Home » ශ්‍රී ලංකාව මට පූජනීයයි ඉන්දීය නළු ගගන් මලික්

ශ්‍රී ලංකාව මට පූජනීයයි ඉන්දීය නළු ගගන් මලික්

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

– බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබුවත් මට සැබවින්ම ධර්මය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ජනප්‍රිය ඉන්දීය නළු සහ අධ්‍යාත්මික තානාපති ගගන් මලික් යළිත් වරක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ පසුගිය 6 වනදා. ගගන් මලික් ලංකාව දෙවන නිවහනක් ලෙස පමණක් නොව, ඔහුගේ ජීවිතයේ පූජනීය හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනවා. ගගන් මලික් ජූනි මස 9 වනදා තෙක් දින තුනක කාලයක් ලංකාවේ රැඳී සිටියා.

ගගන් මලික් සිද්ධාර්ථ කුමාරයා බවට පත් වූ ආකාරය කෙටියෙන් මතක් කරනවා නම්, ශ්‍රී ලංකාවේ වාර්තාවලට ගිය මෙම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නිර්මාණය වූයේ Light of Asia පදනමේ සභාපති නවින් ගුණරත්න මහතා විසින්. ඔහු වසර පහකට ආසන්න කාලයක් මේ සඳහා සුදුසු නළුවෙකු සෙවීමට කාලයගත කර තිබුණා. එහිදී බොම්බයේ සිට කලාකරුවන් සම්බන්ධ කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ කෞෂල්‍යා වික්‍රමසිංහ මෙණෙවිය, ගගන් මලික් නවීන්ට හඳුන්වා දීමත් සමඟ සිද්ධාර්ථ කුමරුගේ චරිතයට නළුවෙකු සෙවීමේ කටයුතු අවසන් විය. තේරීම් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද වෙනත් විකල්ප තිබියදීත්, සිද්ධාර්ථ කුමරුගේ චරිතය රඟ දැක්වීමට වඩාත් සුසුදු සහ ඒ හැකියාව ඇත්තේ ගගන් මලික්ට බව ඔවුන් නවින් ගුණරත්නට ඒත්තු ගැන්වූහ. ඒ මොහොතේ සිට, ඔහුගේ ජිවිතේ නව පරිච්ඡේදයක් ආරම්භ විය.

එහි ප්‍රතිඵලය ලෙස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නිර්මාණය වූ අතර එය සිනමා ජයග්‍රහණයක් පමණක් නොව, අධ්‍යාත්මික වශයෙන් සන්ධිස්ථානයක්ද සනිටුහන් විය. මෙම චිත්‍රපටය දිවයින පුරා ප්‍රේක්ෂකයින් සමඟ කෙතරම් ගැඹුරින් බද්ධ වූයේද යත්, නවින් ගුණරත්න සහ ගගන් මලික් පළාත් මට්ටමින් සහ ගම් මට්ටමින් යමින් නොමිලේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ප්‍රදර්ශනය කළහ. එය දහම් පූජාවක් සේ සංවිධානය විය.

ගගන් මලික්ගේ මෙවර සංචාරය ද පූජනීය ස්ථාන හරහා ගිය අපූරු ගමනක් විය. නවින් ගුණරත්න මහතාගේ ආරාධනයෙන් ජූනි 6 වනදා ලංකාවට පැමිණි ගගන් මලික් සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී එහි සාමාන්‍යාධිකාරී නසුමි අසාර් මහතා විසින් පිළිගනු ලැබීය. සංචාරය ආරම්භයේ සිටම ආශිර්වාදයෙන් හා සංස්කෘතික සැමරුම්වලින් පිරී තිබිණි.

ජූනි 6 වන දින ගගන් මලික්ගේ පළමු නැවතුම වූයේ බාන්ස් පෙදෙසේ පිහිටි මියුසියස් විද්‍යාලයයි. එහිදී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ විශේෂ දර්ශනයකින් පසු සිසුන් පිරිසක් විසින් ඔහුව පිළිගත්හ. පොසොන් පොහොය දිනය පසුගිය අඟහරුවාදා දිනට යෙදී තිබීමත් සමඟ එම අවස්ථාව විශේෂ විය.

ජූනි 7 වන දින ඔහු මහනුවරට ගිය අතර එහිදී මහවැලි රීච් හෝටලයේ දී නැවත වතාවක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණ. ඒ සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වූහ. චිත්‍රපටය නිකුත් වී දශකයකට පසුවත් මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමන් වෙත ලැබීම ගැන රැස්ව සිටි පිරිස අමතමින් ගගන් මලික් හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

ජූනි 8 වන දින, ඔහුගේ මුල්ම ගමනාන්තය වූයේ මහනුවර අස්ගිරි මහා විහාර පිරිවනයි. එහිදී ද පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණ. ඉන්පසු උන්වහන්සේලා සමඟ සුහද කතා බහක නිරත විය. ඉන් පසු ඔහු ගියේ ලෝකයේ වඩාත්ම වැදගත් බෞද්ධ උරුම ස්ථානවලින් එකක් වන මාතලේ

අලුවිහාරයටයි. මාතලේ ඓතිහාසික අලුවිහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ එදින සවස් කාලයේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නැවත වතාවක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණ. ඒ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශයේ අතිවිශාල ජනකායක් එක්ව සිටියහ.

එදින රැස්ව සිටි සිය ගණනක් බැතිමතුන්ට ආචාර කිරීමට සහ ඔවුන් සමඟ කතා කිරීමට ද ගගන් මලික් කාලය වෙන් කළේය.

ජූනි 9 දා උදෑසන, මෙරටින් නික්ම යාමට පෙර ගගන් මලික් ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගත්තේය. කෙටි සංචාරයක් වුවද, එය බෙහෙවින් ආශිර්වාදයෙන් පිරුණු කාලයක් විය. අනාගතයේදීත් නවින් ගුණරත්න සමඟ සිදු කළ හැකි සිනමාත්මක නිර්මාණ ගැන ද මෙම සංචාරය අතරතුර කතා බහ විය. මේ වනවිටත් සූත්‍ර පිටකයේ එන සූත්‍ර සිනමාත්මකව සිනමාවට නැඟීමේ ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ. එහි පළමුවැන්න ලෙස සංයුක්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුක්තයේ සේදක සූත්‍රය සිනමාවට නැඟී ඇති අතර එය වියට්නාමයේ පැවති 2025 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේදී තිරගත විය. එයට අධ්‍යාත්මික නායකයින්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් එක හා සමානව ප්‍රශංසා ලැබී තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ මුවින් නිතරම පිට වූයේ “ශ්‍රී ලංකාව මට පූජනීයයි” යන වදන් පෙළයි. “බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබුවද, මට සැබවින්ම ධර්මය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවයි.” ශ්‍රී ලංකාව කෙරෙහි ඔහු දක්වන ගෞරවය එයයි. එහි අධ්‍යාත්මික උරුමය, සංස්කෘතික අලංකාරය සහ මෙරට ජනතාවගේ උණුසුම ඔහුගේ ජීවිතය තුළ නොමැකෙන සලකුණක් තබා ඇත. නුදුරු අනාගතයේ දී ඔහුගේ නැවත පැමිණීම සඳහා සාකච්ඡා දැනටමත් සිදුවෙමින් පවතී. මන්දයත්, ගගන් මලික් මෙරට අධ්‍යාත්මික සහ සිනමාත්මක සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින හෙයිනි.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment