Home » ගිනි අරගෙන ගිනි නිව්වේ නුඹද සොයුරියේ

ගිනි අරගෙන ගිනි නිව්වේ නුඹද සොයුරියේ

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

උතුරු සළුව නුඹට අකැප පුන් සඳ එළියේ
දුහුල් සළුව ගිමන නිවයි හතිලන ළමැදේ
ළයට යටින් හිත හඬනා දහස් වාරයේ
ගිනි අරගෙන ගිනි නිව්වේ නුඹද සොයුරියේ  

අඟන බඹුරු මත් වී එන අඳුරු මැදියමේ
විලක කඳුළු මල් පිපෙනවා හීන මන්දිරේ
අහස ගුගුරුවා වහිනා ගිනි කාෂ්ටකේ
පාට පාට දේදුනු එළි සියොළඟ ඇවිළේ

සැදැහැ ගතින් කුමාරයෝ සළු පිළි වරලා
පසුකර යති රෙදි කඩ මළු නුඹ ළඟ තියලා
හිත අසරණ නෙත තනියම ඉකි බිඳ හඬනා
හඬ ඇසෙනා කිසිවෙකු නෑ දොරගුළු ඇරලා

ගායනය සහ සංගීතය – සංජීව් ලොන්ලියෙස්
පද රචනය – ලිලන්ත එස්. සමරසිංහ

ආදරය මත්තෙම නහින කාන්තාවන් අපට කොතෙකුත් හමු වී ඇත. එහෙත් මුළු ජීවිත කාලය පුරාම ආදරයෙන් ජීවිතය සනසා ගත්, ජීවිතය හැඩකරගත් කෙනෙක් හමු වී ඇත්නම් ඒ දුරාවාරයෙන් කෙනෙකි. ආදරය නිසාම ජීවිතය විඳවන මිනිසුන් අතර ආදරයට මුවා වී ජීවිතය හොයන මිනිසුන්ද අපට හමුවේ. කොහොම වුණත් තමන් ගැන නොතකා අනෙකා ගැන සිතන ගැහැනිය ගෙවන ජීවිතය හරිහැටි කෙනෙකුට තේරුම් ගන්නට අසීරුය. එවන් ගැහැනිය ගැන නිර්මාණකරුවන් හිතන දකින විදිහත් වෙනස්ය.

සමාජ සම්මතයන්ට පිටින් ගිය ගැහැනියකගේ ජීවිතය කෙබඳු විය හැකිද? ඇය අනාචාරයේ හැසිරේ යැයි දමා ගසන ගැහැනුන්, පිරිමින් ඇගේ ජීවිතයේ සැබෑව සොයා බැලුවේ කවදා ද? ගැහැනිය හැමවිටම අසරණ නැත. නමුදු තමන්ගේ දුක වේදනාව කියා ගන්නට කෙනෙක් නැති දා ජීවිතයට හව්හරණක් වීමට කෙනෙක් නැති දා ඇය එක්කෝ දැනුවත්ව, එහෙමත් නැති නම් නොදැනුවත්වම තවකෙකුගේ ගොදුරක් බවට පත්වේ.

එවන් ගැහැනිය ගැන බොහෝ කවි ගී නිර්මාණ අතීතයේ පටන්ම ලියැවී ඇත.

පසුගියදාක ඇසුන මේ ගීතය අමුතු හැඬයක් ගත් පද රචනාවක්, ගායන විලාසයක් ලෙස දැනුණි. එනිසාම ඒ ගැන කතා කරන්නට ද සිතුණි. ගීතය ගයන්නේ අද වන විට ගීත ක්ෂේත්‍රයේ වෙනමම නමක් රඳවා තබාගෙන සිටින සංජීව් ලොන්ලියෙස්ය. ගී පද රචනය නව පරපුරේ ලී පද රචකයකු වන ලිලන්ත එස්. සමරසිංහ ය.

මින් පෙරද රසික සිත් ඇද බැඳ ගත් ගීත කිහිපයක්ම රචනා කර ඇති ලිලන්ත සිය අලුත්ම නිර්මාණය ගැන පවසන්නේ මෙවන් අදහසකි.

“මේ ගීතය මගෙ අතින් ලියැවිලා අවුරුදු දෙකක් පමණ වෙනවා. ගීතය ලියැවෙන කොටම මගෙ හිතේ ඒ පද පෙළ ගයන්න දෙන කෙනා ගැනත් අදහසක් එනවා. මේ පද පෙළ ලියද්දිත් මගෙ හිතට ආවේ මේක සංජීව්ට දුන්නානම් හොඳයි කියලා. ඒ අනුව තමයි මම ඔහුව තෝර ගත්තේ. ඔහුත් ඉතාම කැමැත්තෙන් මෙය ගයන්න ඉදිරිපත් වුණා.

මගෙ ගීතයේ ප්‍රධාන චරිතය ගණිකා වෘත්තියේ නියැළෙන තරුණ කාන්තාවක්. සමාජයේ මිනිස්සු මේ ගැහැනිය දෙස විවිධ විදිහට බලන්න පුළුවන්. ඒත් ජීවිතයේ දරිද්‍රතාව, සමාජයෙන් එල්ල වන නින්දා අපහාස නිසා ඇය හැමවිටම ඉන්නේ පීඩාවෙන්. ගැහැනියක් සහකරුවෙක් සමඟ ගියා කියලා ඇයට ලැබෙන සැනසිල්ලක් නැහැ. ඇගේ හිත හැම විටම තියෙන්නේ බයෙන් ගැස්සිලා. ඇය එහෙම ගමනක් යන්නේ තමන්ගේ අයව පෝෂණය කරන්න. ජීවත් කරවන්න. ඒක තාවකාලික දෙයක් විතරයි. ජීවිතයේ මිහිරක් අත්නොවිඳින ගැහැනියකගේ දුක, වේදනාව ගැනයි මට මගේ අකුරුවලින් මතුකරලා දෙන්න ඕන වුණේ. මටත් ඉන්නවා සොයුරියන් දෙදෙනෙක්. මේ සමාජයේ ඉන්න හැම ගැහැනියක්ම මගේ සොයුරියක් ලෙසයි මම දකින්නේ. එහෙම බැලුවාම අපට සැබැවින්ම හිතට දැනෙන්නේ දුකක්. ගැහැනිය මුදල් උපයන්න මොනවද නොකරන්නේ. එහෙත් ඇයට සමාජයෙන් ගෞරවය ආදරය නිසි අයුරින් ලැබෙනවද? මෙන්න මේකයි මට ලියන්න ඕන වුණේ.

“උතුරු සළුව නුඹට අකැප පුන් සඳ 
එළියේ
දුහුල් සළුව ගිමන නිවයි හතිලන
ළමැදේ
ළයට යටින් හිත හඬනා දහස්
වාරයේ
ගිනි අරගෙන ගිනි නිව්වේ නුඹද
සොයුරියේ“

මේ පද මේ විදිහට ලියැවුණේ නිරායාසයෙන්මයි. මම සංජීව්ට මේ පද පෙළ යැව්වාම ඔහු බොහෝම කැමැත්තෙන් ගයන්න භාර ගත්තා. ඔහුම ඊට තනු නිර්මාණය, සංගීත නිර්මාණය කළා.

මේ සමාජයේ ඉන්න අපි හැමෝම සහෝදරයෝ … සහෝදරියෝ… ඥාතීන්….

ඒ වගේම මනුස්සයෝ. එහෙම හිතලා මේ සමාජය දීහා බැලුවම වෙන වැරැද්ද අවම කර ගන්න පුළුවන්. ඒත් අද නොවෙන්නෙත් ඒකමයි. මට කියන්න ඕන වුණේ ඒ පණිවුඩය. මම මෙහිදි උපමා රූපක ආදිය රැසක් භාවිත කරනවා. මා මෙතෙක් ලියූ අනෙක් ගීතවලට වඩා මේ ගීතය ඉදිරියෙන් තියෙනවා කියලා මට දැනෙනවා. ඒ වගේම ගීතයේ රූප රචනාව කළේ චාම් හේරත් සොයුරා. එයත් ගීතයට යම් ආලෝකයක් වුණා කිව්වොත් නිවැරදියි.“

අද වන විට විශාල සංඛ්‍යාවක් නරඹා, රසවිඳ ඇති

“උතුරු සළුව නුඹට අකැප පුන් සඳ

එළියේ“ ගීතය පිළිබඳ එහි පද රචක ලිලන්ත කියන්නේ එවැනි කතාවකි.

You may also like

Leave a Comment