විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිසි වෘත්තීය පුහුණුවක් නැති වීමෙන් අඩු වැටුප් සහිත රැකියාවල නිරත වීමට සිදු වනවා. මේ තත්ත්වය වැළැක්වීමට ඔබේ අමාත්‍යාංශයට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?
සෑම වර්ෂයකදීම දරුවන් පාසල්වලට ඇතුළත් වන ලක්ෂ 3ක් පමණ පිරිසගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්න ඉඩ පහසුකම් තියෙන්නේ 42,000කට පමණයි. ඊට අමතරව සුළු පිරිසක් විදෙස් අධ්‍යාපනට යනවා. ලක්ෂ දෙක හමාරක පමණ පිරිසකට වෙනත් අධ්‍යාපනයක අවශ්‍යතාව දැඩිව තිබෙනවා. වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ විශේෂ කාර්ය භාරය වන්නේ මේ පිරිස නිපුණතාවෙන්, දක්ෂතාවෙන් හා ශිල්පීය ඥානයෙන් යුතු පිරිසක් බවට පත් කිරීම සහ ඔවුන් ආර්ථිකයට උරාගැනීමයි. ඒ වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල 2ක් ඇතුළු ආයතන 9ක් තියෙනවා. මේ ආයතන 9ට දැනට 125,000ක ශිෂ්‍ය සංඛ්‍යාවක් වාර්ෂිකව බඳවාගන්නවා. පළමු අදියර ලෙස වසර දෙකක් ඇතුළත ඒ සංඛ්‍යාව 175,000 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අප විසින් කරගෙන යනවා. අපේ ආයතන පද්ධතිය ආකර්ෂණීය හා නූතන තරුණයාට ගැළපෙන පරිදි වෙනස් කිරීම සඳහා ජූලි මස 4 වැනිදා අප ලංකාව පුරා පිහිටි ආයතන 312ක 150,000ක් පමණ සම්බන්ධ වන මහා ශ්‍රම මෙහෙයුමක් සිදු කරනවා. විශේෂයෙන් ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ අධ්‍යයනය කරමින් ඉදිරි අනාගතයට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කිරීම සඳහා අපේ පාඨමාලා නවීකරණය කරන්න මේ වන විටත් කටයුතු කරගෙන යනවා.
පාසල් හැර යන හැම තරුණයකුම පුහුණු ශ්‍රමිකයකු කරන බවටත් අදහස් පළ කළා නේද?
බන්ධනාගාරවල මේ වෙද්දි ඉන්න තිස්දාහකට අධික ප්‍රමාණයෙන් 62%ක් අටේ පන්තියට පහළ පන්තිවලින් පාසල් හැරගිය දරුවන්. 92%ක්ම ඉන්නේ සාමාන්‍ය පෙළට පහළ පන්තිවලින් පාසල හැරගිය දරුවන්. ලංකාවේ අපරාධ සහ ප්‍රාථමික අංශ අධ්‍යාපනයෙන් හැලීම අතර ඉතාම ළඟ ඥාති සම්බන්ධයක් ප්‍රක්ෂේපණය වෙනවා. ඒ නිසා කිසිදු ආකාරයකින් දරුවෙක් පාසලින් හැලෙන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. ඒ තමයි මාලිමා රජයේ මූලිකම ප්‍රතිපත්තිය.
ගියවර පැවති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දැනුවත් කිරීමක් කළා, පාසලින් හැලෙන දරුවෝ ගැන මාස 3කට වරක් අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා. අපි ඒ දරුවාගෙ ගෙදරටම ගිහින් දරුවා පාසලින් හැලුණු කාරණාව ගැන හොයලා ඒකට උත්තර හොයලා දෙන්න සූදානම්.
විපක්ෂය කියන්නේ ජනතා නැඟිටීමකින් ලබන දෙසැම්බරයේදී ආණ්ඩුව පෙරළනවා කියලා?
වංචා, දූෂණ, නාස්තිය හා හොරකම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල ස්ථාවරය විපක්ෂයට දැන් හොඳින්ම දැනිලා තියෙනවා. ඒ සම්බන්ධ නඩු කටයුතු සිදු වෙද්දි ඉදිරියේදී ඔවුන්ට ආණ්ඩු පෙරළනවා තියා නිදහසේ ඉන්නවත් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නඩුවලට අදාළව බොහෝදෙනෙක් සිරගත වීමට නියමිතයි. දැන් නයි පොළොංගු සේරම එක කොටේකට ගොඩ වෙනවා අපිට පේනවා. පරසතුරෝ විදිහට එකිනෙකා විවේචනය කර ගත්තු අයම දැන් එක කඳවුරකට ගොනු වෙලා තියෙනවා. වෙන වෙනම හොරකම් කරලා වෙන වෙනම දෙගොල්ලො ආරක්ෂා කර ගත්ත එක නතර වුණේ ලංකාවේ වාසනාවට මාලිමාව බලයට ඇවිත් ඒ සියලු දෙනාගෙම සළුපිළි ගලවමින් යන නිසයි. ඒ නිසා දැන් මාලිමාව එක මිටට වගේම අනිත් පැත්තෙන් හොරු එක මිටට එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ හොරු එක මිටට බව ජනතාවට ප්‍රදර්ශනය කරන්න වගේම හොරු එක මිටට හිරේ යවන්නත් අපිට දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා.
ඒත් ආණ්ඩුවට එක දිගට ප්‍රශ්න එනවා. රේගුවේ කන්ටේනර් ප්‍රශ්නයට පස්සේ දැන් සිරකරුවන්ට ජනාධිපති සමාව දීමේ ප්‍රශ්නය. ඇයි මෙහෙම වෙන්නේ?
ලංකාවේ කොයි තරම් ජරාජීර්ණ වු, පිරිහුණු, කුණු වුණු සංස්කෘතියක්ද තිබුණද කියලා දැන් තමයි රටේ ජනතාවට පේන්න පටන් අරගෙන තියෙන්නේ. මෙතෙක් කල් පෙනුණේ දේශපාලඥයන්ගේ දූෂිතකම විතරයි. හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා නිරන්තරයෙන්ම මතක් කළා, රාජ්‍ය සේවයේ, ආරක්ෂක අංශයේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ ඉන්න ඉතා සුළු පිරිසක් දේශපාලනයට එකතු වෙලා තමයි මේ දැවැන්ත පිරිහීම කරන්නේ කියලා. දේශපාලනඥයන්ට වඩා භයානක සහ ඉහළ වංචා, දූෂණ සහ නාස්තියක් සිදු වෙලා තියෙනවා. පොලීසියේ අයට සිදු වනවා නම්, තමන්ගේ පොලිස්පති අල්ලන්න මෙහෙයුමක් කරන්න ඒක කොයි තරම් ඛේදනීයද? බන්ධනාගාර නිලධාරින්ට සිදු වනවා නම් තමන්ගේ බන්ධනාගාර අධිකාරිට මාංචු දාන්න ඒක කොයි තරම් ශෝචනීයද?
අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා බය නැතුව කියනවා මම විතරක් නෙවෙයි, අපේ සියලු මන්ත්‍රීවරුන් නිර්දෝෂයි කියලා. හොරකම, වංචාව දූෂණය නතර කළා කියලා අභීත සිංහනාද කරන්න පුළුවන් එකම නායකයාත් ඔහු පමණයි. දැන් තියෙන්නේ රාජ්‍ය යන්ත්‍රණය ශුද්ධ පවිත්‍ර කිරීමයි. පාර්ලිමේන්තුව ශුද්ධ පවිත්‍ර කළා වගේම රාජ්‍ය යන්ත්‍රණය ශුද්ධ නොකර රට එක දශමයකින්වත් ඉදිරියට ගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවයේ ඉහළම ඉන්න නිලධාරීන්ට කියනවා, තවදුරටත් තමන්ගේ වටිනා අනාගතය අඳුරු කරගන්න එපා. නීතිය ඔබ පිටුපස එනවා, ඒ නිසා ඉතා පරිස්සමෙන් වැඩ කරන්න, ඔබතුමන්ලා වෙනුවෙන් ආණ්ඩුව විදිහට අනිවාර්යෙන්ම අපි පෙනී සිටිනවා. හැබැයි, ඒ හරි දේවල් වෙනුවෙන් පමණයි කියන පණිවිඩයත් අපි දෙනවා.
ආසියාවේ අඩුම විදුලි බිල සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනාධිපතිවරයා කිවුවා. ඒත් මේ මාසෙත් විදුලි බිල ඉහළ දැම්මා…
අපි යථාර්ථවාදී ගුණයෙන් පිරි, කියපු දේ කරන ආණ්ඩුවක්. මාසයකින් දෙකකින් සියල්ල කරන්න බැරි බව ලංකාව ගැන අවබෝධයක් තියෙන, දේශපාලන, ආර්ථික සාක්ෂරතා ඥානයක් තියෙන හැමෝටම තේරෙන කාරණාවක්. මේ කෙටි කාලයට අපි රටේ දැවැන්ත වෙනසක් කරලා ආර්ථිකය ස්ථාවර කරලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරලා, නැති වෙන්න ගිය කර්මාන්ත ටිකට පණ දීලා, යම් ගමනක් ආරම්භ කර තියෙනවා. පහුගිය කාලයේදී නිල්, කොළ දේශපාලනය මේ වැඩ කළේ අටුව කඩා පුටුව හදන න්‍යායයෙන්. හම්බන්තොට වරාය විකුණලා ලයිට් බිල අඩු කළා කියලා කිවුවා. වරායෙන් කෑල්ලක් විකුණලා රජයේ සේවකයන්ට පඩි වැඩි කළා. නුවර වත්තක පැත්තක් විකුණලා දකුණේ වත්තක පාරක් හැදුවා. එහෙම ඇස්බැන්දුම් සංවර්ධනයක් කරනවා නම් අපිටත් දවසින් දෙකකින් මේක කරන්න පුළුවන්. පසුගිය කාලයේදී තිබුණේ දිගුකාලීන අස්ථාවර භාවයක් හදාගනිමින් කෙටිකාලීන ස්ථාවර භාවයක් හදාගත්ත එක. එහෙත් අපි දිගුකාලීන ස්ථාවර භාවයක් හදාගනිමින් තමයි කෙටිකාලීන ස්ථාවර භාවයත් හදන්නේ. ඒ නිසා රජයේ දේපළ විකුණමින්, දැවැන්ත ණයකරණයකට ලක්කරමින් කළ දැවැන්ත සංවර්ධනයක් වෙනුවට අනාගතය ගැන හිතන සංවර්ධනයක් අපි සිදු කරනවා. විදුලි බිල 30%කින් අඩු කරනවා කියල ජනාධිපතිතුමා කිවුවා වගේම පහුගිය කාලේ සැලකිය යුතු ප්‍රමාණයකින් බිල අඩු කළා. ජනාධිපතිතුමා කියපු දේවල් මේ අවුරුදු පහ ඇතුළත ඉෂ්ට නූණොත් තවදුරටත් ඔබ මාලිමාවට ඡන්දය දීමෙන් ඵලක් නැහැ, මාලිමාවට ඡන්දෙ දෙන්න එපා කියන ඉල්ලීම අපි බය සැක නැතුවම කරනවා. ඒ නිසා බලාගෙන ඉන්න, අපි කියපු දේවල් පියවරෙන් පියවර ජනතා විශ්වාසයත් රටත් රකිමින් අනිවාර්යෙන් ඉෂ්ට කරනවා.
ආණ්ඩුවට මාස හතයි, කම්බි කණුවක්වත් හිටෙවුවේ නෑ කියලයි විපක්ෂය කියන්නෙ…
මාස හතක් ගියාට ඒ කාලය තුළ ඡන්දයක් තිබුණා. ඒ කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න බැහැ. ආණ්ඩුව ස්ථාවර වෙන්න නම් ප්‍රාදේශීය සභා, නගර සභා සහ පළාත් සභා බලය අවශ්‍යයි. අපට තිබුණේ පාර්ලිමේන්තුවේ බලය විතරයි. ඊට පස්සේ අපේ අය වැයක් ගෙනාවේ මාර්තු මාසේ 21 වැනිදා. ඒ අය වැය සම්මත වුණාට පස්සෙ තමයි මුදල් වෙන් කරගෙන අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වුණේ. ඒ නිසා අපි ඒ මහත්වරුන්ට කියන්න කැමැතියි, තව මාස දෙකකින් බලන්න, රට එකම වැඩබිමක් බවට පරිවර්තනය වෙනවා. එදා මෙදාතුර ලංකාවේ ප්‍රාග්ධන වියදම සඳහා වෙන් කරන ලද වැඩිම මුදල, ට්‍රිලියන 1.4ක් මේ ආණ්ඩුව වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් ඇළ-වේලි ටික හදන්න විතරක් අපි කෝටි 7000ක් වෙන් කරලා තියෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරගත්, සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ වෙන මාසයක් බවට ඊළඟ මාසය පත් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව ආරම්භ කළ ගමන බර අඩි තබමින් ස්ථාවරව ඉදිරියට යන්න පුළුවන් කියලා.