ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් විසින් පසුගිය 11 දින උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. බර්ලිනයේ බෙල්වීව් මන්දිරය වෙත පැමිණි ජනාධිපති අනුර දිසානායක වෙත ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනමනු ලැබීය.
නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරටේ ජනපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. එහිදී දෙරට අතර ආර්ථික හා අන්තර්ජාතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එදිනම සන්ධ්‍යා භාගයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බර්ලින්හි වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩ්ෆුල් හමුවී සාකච්ඡා පැවැත්වීය. රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගිතාව පුළුල් කෙරෙන නව මාර්ග කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක 13 දින පෙරවරුවේ බර්ලින්හි වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් සමඟ හමුවකට එක් විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා විශේෂයෙන් සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දෙමින් තිරසර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව සඳහන් කළේය. එහිදී, සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කරගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජනය කිරීමට ජර්මානු ආයෝජකයන්ට ආරාධනා කරන බවද පැවසීය.
ශ්‍රී ලංකාවට මේ වන විට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර ජර්මනිය 4 වැනි ස්ථානයේ පසු වේ. 2024 වර්ෂයේ ජර්මානු සංචාරකයන් 136,000ක් මෙරටට පැමිණ ඇති අතර, මේ වසරේ මැයි දක්වා කාලය තුළ එරට සංචාරකයන් 69,000ක් මෙහි සංචාරය කර තිබේ.
මේ චාරිකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට ජර්මානු රජයේ ඉහළම ගෞරවාචාර හිමි විය. එහිදී යුරෝපා සංගමයේ රාජ්‍යයකදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට ලැබුණු ඉහළම ගෞරවය වත්මන් ජනාධිපතිවරයාට පිරිනැමුණු බව කියවිණි. ඊට විශේෂ හේතුවක්ද විය. වර්තමාන ලෝකයේ මහජන මැතිවරණයකින් බහුතර ජනතා කැමැත්ත දිනා සිටින ප්‍රගතිශීලි රාජ්‍ය නායකයා අනුර කුමාර දිසානායකය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස චීනය, රුසියාව, වියට්නාමය වැනි සමාජවාදී රාජ්‍යයන් සමඟ ඍජු හා ස්ථාවර සබඳතා ගොඩනඟාගන්නා අතරම අමෙරිකාව, ඉන්දියාව, ජපානය ආදි අනෙක් කඳවුරේ රාජ්‍ය සමඟද ඍජු මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමේ පෘථුල රාජ්‍යතාන්ත්‍රිකභාවය ලෝක බලවතුන්ගේ පැසසුමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාවත් ජර්මනියත් අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සබඳතා ගොඩනැඟී ඇත්තේ ඓතිහාසික රාජධානි සමයේ සිටය. දෙරට අතර මානව සම්බන්ධතා ඇති වී ඇත්තේ ඊටත් පෙර සිටය. මේ අතර, වෛද්‍ය පෝල් ඩාල්කේ බර්ලින් නුවර අක්කර 6ක පමණ භූමි භාගයක ඉදි කළ නිවෙසේ අශෝක වීරරත්න මහතාගේ මූලිකත්වයෙන් 1957දී ‘බර්ලින් විහාරය’ පිහිටුවා ඇත.
විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් ජර්මන් ජාතික ප්‍රාචීන ශාස්ත්‍රඥයා සිංහල සහ පාලි මහාවංශය ජර්මන් බසට සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරමින්, මෙරට අඛණ්ඩ ඉතිහාසයේ කතාව ලොවට ගෙන ගියේය. කෙසේ වෙතත්, පළමු ලෝක යුද්ධය පැවති කාල සීමාවේදී (1914–1918) හා දෙවැනි ලෝක යුද්ධය පැවති කාල සීමාවේදී (1939-1945) ජර්මනිය ශ්‍රී ලංකාව සමඟ පැවති කොන්සල් සම්බන්ධතා නවත්වා ඇත. ඉන් පසුව ශ්‍රී ලංකාවත් ජර්මනියත් අතර රාජ්‍ය මට්ටමින් නිල සහ ස්ථිර තානාපති සේවාව ආරම්භ වන්නේ 1953 වර්ෂයේදීය. එතැන් පටන් මේ දක්වාම දෙරට අතර වසර 72ක කාලයක් තිස්සේ යහපත් තානාපති සබඳතා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කොට ඇත්තේ 1957 වර්ෂයේදීය.
1957 අංක 48 දරන ගමනාගමන පනත යටතේ පිහිටුවන ලද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයෙහි දීර්ඝ කාලීන සේවාවක් ඉටු කරමින් සිටී.
ලොව විවිධ රටවල සංචාරය කරන ජර්මන් ජාතිකයෝ වැඩි පිරිසක් ශ්‍රී ලංකාව තෝරාගැනීමට රුචියක් දක්වති. ජර්මන් ජාතිකයන්ගෙන් පමණක් පසුගිය වසරේ අප රටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 218.7කි.
ජර්මානු ජනරජයේ හිටපු විදේශ ඇමැතිවරයකු වූ ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් 2017 වසරේ එරට ජනාධිපති වශයෙන් තේරී පත් විය. ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ වූයේ 2022 වසරේදීය. රුසියාව, චීනය වැනි රටවල් කෙරෙහි ඔහු දක්වන ලිහිල් ප්‍රතිපත්ති යුරෝපා සංගමයේ විවේචනයට භාජනය විය. එහෙත් ඔහු ආසියාවේ ප්‍රගතිශීලි රාජ්‍යයන් සමඟ මිත්‍රත්වය තහවුරු කරගැනීමට දැඩි උනන්දුවක් දක්වයි. ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ජර්මන් මිත්‍ර සබඳතා බෙහෙවින් සුබදායක වන බවට කිසිදු සැකයක් නැත.