රජය විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ජාතික ණය සුරැකුම් ආයතනය යටතේ ක්‍රියාත්මක වන බැංකු සහ මූල්‍ය ආයතන 13ක් මඟින් රුපියල් ලක්ෂ පහේ සිට මිලියන 25 දක්වා ඇපකර රහිත ණය පහසුකම් සලසන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.
මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සීමාසහිත ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) යටතේ ගනුදෙනුකරුවන්ගේ දේපළ ඇපකර වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවක් සහිත ව්‍යාපෘති හඳුනාගනිමින් ණය සුරැකුම් ලබා දීම ඉකුත් ජූනි 2 දා නිල වශයෙන් ආරම්භ විය. රජය බැංකු සහ මූල්‍ය ආයතන සමඟ එක්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් විශාල පිරිසකට සහන සැලසීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරන ඇප රහිත මෙම ණය සුරැකුම් ක්‍රමය ගිනි පොලියට ණය දෙන වැඩපිළිවෙළක් නොවන බව අවධාරණය කළ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වැඩිදුරටත් පැවැසුවේ සාමාන්‍ය ව්‍යාපාරික ණය පොලියට අමතරව, ණය ක්‍රමය නඩත්තු කරගෙන යෑමේ පිරිවැය වෙනුවෙන් සියයට 1ක හෝ 2ක වාර්ෂික ගාස්තුවක් පමණක් අය කරන බවයි.
මේ ණය ක්‍රමය යටතේ මේ වන විට රුපියල් මිලියන 650ක පමණ ණය සුරැකුම් මුදාහැර ඇති බවද පැවසූ හෙතෙම, වත්මන් රජයේ එක් මැතිවරණ පොරොන්දුවක් ලෙස යථාවත් වූ මෙම ඇප රහිත ණය යෝජනා ක්‍රමය ඇතුළු තවත් බැංකු ණය ලබාදෙන වැඩසටහන් රැසක් මඟින් මේ වසරේදී රුපියල් බිලියන ගණනාවක් මුදාහැරීමට නියමිත බවත් සඳහන් කළේය.