Home » බලාගෙනයි! ඩෙංගු – චිකුන්ගුන්යා හතර වටේ

බලාගෙනයි! ඩෙංගු – චිකුන්ගුන්යා හතර වටේ

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

සුගිය කාලය තුළ චිකුන්ගුන්යා, ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර ඉහළ යෑමක් දක්නට ලැබිණි. වසර 16කට පමණ පසුව චිකුන්ගුන්යා රෝගය නැවතත් මෙලෙස පැතිරීම විශේෂත්වකි. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත. එයිනුදු අධි අවදානම් කලාප ලෙස ගම්පහ, ගොතටුව, බත්තරමුල්ල සහ කඩවත ආදි ජනාකීර්ණ ප්‍රදේශ නම් කර තිබේ. රෝගය පිළිබඳ විධිමත් වාර්තා නොතිබීමෙන් නිවැරදි දත්ත ලබාගැනීම අපහසු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වසංගත මට්ටමකට පැමිණ තිබෙන මේ රෝගයේ පැතිරීම පිළිබඳ සහ රෝග තත්ත්වයන් පාලනය කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ පළකළ අදහස් මෙසේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා:

“චිකුන්ගුන්යා රෝගය සම්මත තත්ත්වයට වඩා වැඩිපුර වාර්තා වීම තුළ එය වසංගත තත්ත්වයක් ලෙස හැඳින්වීමට පුළුවන්. රෝගය සඳහා ගොදුරු වූවන්ට එදිනෙදා වැඩ කටයුතු සිදු කරගැනීමට පවා අපහසු තත්ත්වයකට පත් වනවා. මෙය කාලීන මාතෘකාවක්. රෝගය 2006 වසරේදී වැඩි වශයෙන් වාර්තා වුවත්, නැවතත් කලකට පසුව මෙසේ වා‍ර්තා වීම සිදු වනවා. පවතින වැසි තත්ත්වයත් සමඟ පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගි තත්ත්වයන් වැඩි වශයෙන් පැතිරයෑම බස්නාහිර පළාත තුළ වාර්තා වී තිබෙනවා.

රෝග ලක්ෂණ

“චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගය බොහෝ විට වෙන් වෙන්ව හඳුනාගැනීමට අපහසුයි. චිකුන්ගුන්යා වයිරසය කියන්නෙ RNA වයිරසයක්. ඇල්ෆා වයිරසයක්. ඒ වගේම මේ වයිරසය ඩෙංගුවලින් වෙනස්ව අඳුර ගන්න තරමක් දුෂ්කරයි. 1952 වසරේදී ටැන්සානියාවෙ තමයි මුලින්ම වාර්තා වෙන්නේ. මෙහි සුවිශේෂම රෝග ලක්ෂණය වන්නේ හන්දිපත් වේදනාවයි. චිකුන්ගුන්යා රෝගය පතුරුවන මදුරු විශේෂයම ඩෙංගු රෝගය සඳහාත් මූලික වේ. රෝග දෙකම පාලනය කිරීමට නම් මුලින්ම මදුරු විශේෂය පාලනය කළ යුතුයි.

“කාලයක් ගත වන විට ප්‍රතිශක්තිකරණය අඩු වීමෙන් එවැනි අවස්ථාවකදී නැවතත් ජනගහනය රෝගී තත්ත්වයට පත් විය හැකියි. වෛද්‍යවරුන් ලෙස මුලින්ම උණත් සමඟ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග අප දකින්නේ නැහැ. උණත් සමඟ හන්දි ඉදිමුම සහ මස්පිඬු වේදනාව දැකිය හැකියි. එමෙන්ම සමේ රතු පැහැති පැල්ලම් ආදිය ද දැකගත හැකි වේ. රෝගියකු පැමිණි පසු ඩෙංගු රෝගය තිබෙනවාද යැයි පහසුවෙන්ම හඳුනා ගත හැකියි. එයට හේතුව වන්නේ ලංකාවේ සියලු ප්‍රදේශවල පහසුකම් තිබීමයි. ඒත් චිකුන්ගුන්යා රෝගය හඳුනා ගැනීමට පහසුකම් අවමයි. එය සායනිකව හඳුනාගැනේ. චිකුන්ගුන්යා රෝගියෙකු පැමිණි විට බොහෝදුරට සායනිකව ප්‍රතිකාර කරනු ලබයි. වැදගත්ම දේ වන්නේ විජලනය වැළැක්වීමයි. මොකද: උණ රෝගයකදී ආහාර ගැනීම සහ දියර වර්ග භාවිතය අඩු විම නිසා විජලනය වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. මූත්‍ර පිට වන ප්‍රමාණයත් සමඟ ගළපා කොතරම් ප්‍රමාණයක් දියර වර්ග භාවිත කළ යුතුද කියා නිර්ණය කරගත හැකියි.

“දෙවැනි සුවිශේෂිතම කාරණාව ලෙස වේදනාව දැක්විය හැකියි. උණ සහ වේදනාව අඩු කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය ලබා දීම සිදු කෙරෙනවා. වෙනත් ඖෂධ ලබාදීමක් සිදු වන්නේ නෑ. එයට හේතුව වන්නේ පවතින උණ තත්ත්වය ඩෙංගු රෝගය වුව හොත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් තුළ රුධිර ගැලීම ඇති විය හැකි වීමයි. එසේ හෙයින් ඩෙංගු රෝගය බව සැක හැර දැනගත් පසුව වෙනත් ඖෂධ භාවිත කිරීම සිදු වේ.”

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අදහස් දක්වමින්:

“මේ දිනවල ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝගීන් කණ්ඩායම් දෙකම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතියි. මේ රෝග දෙකම වසංගත තත්ත්වයන්වල තිබෙන්නේ. මේ සම්බන්ධව ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි මේ රෝග දෙකම බෝ කරන්නෙ එකම මදුරුවා වීමයි. එසේ හෙයින් රෝග දෙකම පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගද සමානයි. ඒ සඳහා අප සියලු දෙනාම එකතු විය යුතුයි.

“එමෙන්ම මේ රෝග දෙකේම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ බොහෝ දුරට සමානයි. අධික උණ, ශරීරයේ වේදනාව සහ සන්ධි වේදනාව වැනි රෝග ලක්ෂණ තමයි මූලික වශයෙන් ඇති වන්නේ. එමෙන්ම රෝග දෙක අතරේ යම් යම් වෙනස්කම්ද දක්නට තිබෙනවා. මේ රෝග දෙකම සාමාන්‍යයෙන් මූලික අවස්ථාවේදී දින 6ක් සතියක් පැවතුණත්, විශේෂයෙන්ම චිකුන්ගුන්යා රෝගයේ දින 6කින් පස්සේ රෝග ලක්ෂණ අඩු වී, උණ අඩු වීමක් සිදු වනවා. ඒත් මේ රෝග දෙකේ සංකූලතා එකිනෙකට වෙනස්.”

ඩෙංගු රෝගීන්ගේ සංකූලතා දක්නට ලැබෙන්නේ සතියක් තුළයි. සංකූලතා ඇති වන රෝගීන්ගෙත් සමහර පිරිසකට රෝග තත්ත්ව බරපතළ වේ. ඩෙංගු රෝගය නිසා මිය යන පිරිස විශාල වශයෙන් අඩු කරගැනීමටත් මේ වන විට හැකිව තිබේ. රෝගයට ප්‍රතිකාර කිරීමේදී ලබා ඇති දියුණුව එයට හේතුවක් ලෙස දැක්විය හැකිය. චිකුන්ගුන්යා රෝගයේදී ප්‍රධාන වන්නේ වේදනාවට ප්‍රතිකාර කිරීමයි. මුල් අවස්ථාවේදීම මේ රෝග පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා, නිසි වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන්, ඇති වන සංකූලතා වළක්වාගත හැකිය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව 2025 පෙබරවාරි මාසයේ සිට කොවිඩ් 19 රෝගය ඇති කරන SARS – CoV-2 වයිරසය ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් වාර්තා වන බවද දැක්වේ. එමෙන්ම පසුගිය මාස කිහිපය තුළදී ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක කොවිඩ් 19 රෝගීන් ඉහළ යෑමක් වාර්තා වන බවද එහි සඳහන් වේ.

ඡායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division