Home » ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කිරීම

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කිරීම

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය

ගෙවුණු දින කිහිපයේ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ පුවතක් බවට පත් වූයේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිර්දේශ නොකළ වෙනත් සිරකරුවකු බන්ධනාගාර පරිපාලනයේ බලධාරීන් විසින් සූක්ෂ්ම ලෙස නිදහස් කිරීමේ සිදු වීමයි. එලෙස නිදහස් කරනු ලැබ ඇත්තේ එක් සිරකරුවකු පමණක් නොව, සිරකරුවන් රාශියක් බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලින් අනාවරණය වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

මේ වන විට සිදු කරනු ලබන විමර්ශනයට අනුව ඉකුත් 9 දා වැඩ තහනමකට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය එදින සවසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉකුත් 8 දා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනුර කුමාර දිසානායක ජනපතිවරයා ප්‍රමුඛ රජයේ සුජාතභාවය පිළිබඳව ජනතාව අතර ප්‍රශ්නාර්ථයක් පැනනැඟුණු මහා පරිමාණ මූල්‍ය වංචාවක් නැත්නම් රුපියල් කෝටි පනස්පහක පමණ මූල්‍ය වංචාවන්ට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු 31ක් සහ අනුරාධපුර මහාධිකරණයේ නඩු 8ක් පවතින විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තා ජනපති පොදු සමාව යටතේ වෙසක් පෝදා නිදහස් කෙරුණු 388 දෙනාට ඇතුළත්ව සිටිතැයි රටම කතාබහ කරන්නට වූයේ එම සිදු වීම මාධ්‍යයේද ප්‍රධානතම පුවතක් වූ හෙයිනි.

කලක් නාවික හමුදාවේද සේවය කර ඇති බවට සැල වන අතුල තිලකරත්න මෙරට ප්‍රධානතම බැංකුවක අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයාව සිටියදී 2014 වසරේ පෙබරවාරි මස 17 දා සිට ඒ වසරේ ජූනි මස 9 දා අතර කාලයේදී කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න නමැත්තා අතුලට ලබා දුන් රුපියල් ලක්ෂ 40ක මුදල සාපරාධි විශ්වාසය කඩකරමින් වංචා කර සාවද්‍ය පරිහරණය කරන ලදැයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය ප්‍රකාරව අතුල තිලකරත්නට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.

ඉකුත් මැයි මස 2 වැනිදා එච්සී/69/2018 අංක දරන එම නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙ‍ෙණවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තිකාර අතුලට එරෙහිව තිබූ චෝදනාවන්ට ඔහු වරදකරු බවට විනිසුරුවරිය තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුට මුදලින් රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේනම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. තවද විත්තිකාර අතුලටය වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමටද නියෝග කළාය. එසේම විත්තිකරු පැමිණිලිකාර පාර්ශ්වයට මුදලින් රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එකී මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද නියම කළාය. එදින නියම කළ දඩ සහ වන්දි මුදල් ගෙවීමට නඩුව ජූනි 5 දා යළි මහාධිකරණය හමුවේ කැඳවීමටද එදිනම විනිසුරුවරිය නියෝග කළ අතර, විත්තිකාර අතුල තිලකරත්න එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අනුව ඉකුත් 5 දා එච්සී/69/2018 අංක දරන නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙණෙවිය ඉදිරියේ කැඳවූ මොහොතේ අනුරාධපුර බන්ධනාගාර ප්‍රධානීන් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ ලිඛිත වාර්තාවක් මඟින් කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ නඩුවට අදාළව මහාධිකරණයෙන් වරදකරු කොට දඬුවම් සහ දඩ නියම කොට සිටින විත්තිකාර අතුල තිලකරත්න ඉකුත් මැයි මස 12 දාට යෙදුණු වෙසක් පෝ දිනට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ විත්තිකරු මෙකී නඩුවෙන් නිදහස් කර මුදාහැර ඇති බවයි.

එලෙස අනුරාධපුර බන්ධනාගාර ප්‍රධානීන්ගේ ලිඛිත කරුණු දැක්වීම අධ්‍යයනය කළ මහාධිකරණ විනිසුරුවරිය එදින නීතිඥවරයකු මාර්ගයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටි විත්තිකාර අතුල තිලකරත්න අදාළ නඩුකරයෙන් නිදහස් කර මුදාහරින ලෙස බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළාය.

ඒ අනුව දඩ මුදල් හෝ රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලද නොගෙවා අතුල තිලකරත්න නඩුවෙන් නිදහස් කෙරුණේ වෙසක් දින ජනපති පොදු සමාව යටතේ විත්තිකරුට නිදහස ලැබීම නිසා බව සමාජයේ මහත් කතාබහක් ඇතිවෙද්දී ඉකුත් 6 දා විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා, ජනපතිවරයාගේ ගම් පළාතේ පුද්ගලයකු එලෙස ජනපති පොදු සමාව යටතේ නිදහස් කළායැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද කළේ ඒ ඔස්සේ රජයට ප්‍රහාරයක් දියත් කිරීමේ අරමුණෙනි. එහෙත් සිදු වූයේ ‍ෙවනකකි. ජනපති ලේකම් කාර්යාලය වහා මාධ්‍යයද දැනුම්වත් කොට විමර්ශනයක් සිදු කිරීමට නීතිය ඉදිරියට යන්නට තින්දු කළේය.

එලෙස සමාජයේ දැඩි කතාබහක් ඇති වෙමින් තිබියදී වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ නිදසස දුන් 388 දෙනා අතර මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගත කර සිටි රැඳවූවකුගේ නම එහි ඇතුළත්ව නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශයද ඉකුත් මැයි මස 6 දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඊට අමතරව ඒ නිවේදනය මඟින් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34/1 වගන්තිය අනුව සිරකරුවන්ට පොදු සමාව දීමට ජනපතිවරයාට බලතල තිබෙන බවත්, බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරාගන්නා ලද සිරකරු නාමලේඛනයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මඟින් අධිකරණ අමාත්‍යාංශයට යොමු කර අමාත්‍යාංශයේ පරීක්ෂාවකින් පසු ජනපති ලේකම් කාර්යාලයට යොමු කෙරෙන බවත්ය. එලෙස වෙසක් පොහොයට නිදහස් කළ 388 දෙනකු වූ සිරකරු ලේඛනයට අදාළ අතුල තිලකරත්න යන නම නොතිබූ හෙයින් ඔහු ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීම පිළිබඳ වහා විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති අතිරේක ලේකම් ප්‍රසන්න ඉන්ද්‍රජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ඉකුත් මැයි 6 දාය.

ඒ අනුව වහා විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත්තේ එම සිරකරුවා නිදහස් කිරීමට ජනපති පොදු සමාවක් කිසි ලෙසකින් ලැබී නැති බවයි. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කළේ අතුල තිලකරත්නට ජනාධිපති සමාව ලබාදීම ඔහු පමණක් කේන්ද්‍ර කරගෙන සිදුකර නොමැති බවයි.

එහිදී විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන තිබුණේ ජනපති පොදු සමාව සඳහා අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉදිරිපත් කළ නම් 36 අතර එම පුද්ගලයාගේ නම නොතිබූ බවයි. එලෙස විමර්ශන සිදු කරන අතරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 8 දා රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න අත්අඩංගුවට ගත්තේ ජනපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර සිරදඬුවම් නියම වූවකු නිදහස් කිරීමේ චෝදනාව යටතේය. ඒ අතර දෙදිනක් පුරා පැය 15ක පමණ දීර්ඝ ප්‍රකාශ ලබා ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඉකුත් 9 දා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත්තේ ජනපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.

ඉකුත් 10 දා තුෂාර උපුල්දෙණිය අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනපති පොදු සමාවට හොර රහසේ බන්ධනාගාර පරිපාලනය සිදු කර ඇති විමර්ශනවලින් හෙළි වූ බොහෝ කරුණු අධිකරණය ඉදිරියේ හෙළි කළේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමේදී හෙළි වූයේ ගිය වසරේ නත්තල් දිනයට සමගාමිව ජනපති පොදු සමාවට පිටතින් රැඳවූවන් 57 දෙනකු බන්ධනාගාර බලධාරීන් විසින් නිදහස් කර ඇති බවත්, මේ වසරේ නිදහස් දිනයේද එලෙස සිරකරුවන් 11 දෙනකු නිදහස් කර ඇති බවත්ය. මේ වන විට අනාවරණය වන්නේ මෙලෙස සිරකරුවන් ජනපති පොදු සමාවට පිටතින් වසර කිහිපයක සිටම බන්ධනාගාර බලධාරීන් විසින් නිදහස් කර ඇති බවයි. එදින අධිකරණයේදී වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප් පීරිස් කීවේ අධිකරණවලින් රුපියල් ලක්ෂ විස්ස, විසිපහ දඩ නියම කළ පුද්ගලයන්ද හොර රහසේ නිදහස් කර ඇති බව හා එවැනි නිදහස් කිරීම් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවයි. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ පමණක් නොව, බන්ධනාගාර 28ක අධිකාරිවරුන්ගේ වත්කම් පිළිබඳවද විමර්ශන කටයුතු සිදු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

මේ අතර අධිකරණය හමුවේ දිලීප පීරිස් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමේදී ජනපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ එක් සිරකරුවකු පමණක් නොව, සිරකරුවන් තිදෙනකු නිදහස් කර ඇති බවද අනාවරණය වූ බව හෙළි කළේය. අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් ජනපති පොදු සමාව අයැද 37 දෙනකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත එවා ඇති බව හා ඔහු අධිකරණ අමාත්‍යාංශය හරහා ජනපති ලේකම් කාර්යාලයට යවා ඇත්තේ 36 දෙනකුගේ නම් පමණක් බවයි; අනතුරුව ජනපති සමාව හිමි වීමෙන් පසු 36 දෙනාගේ එම ලැයිස්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබූ පසු නැවත 37 දෙනාම ඇතුළත් ලැයිස්තුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට යවා ඇති බවයි. එලෙස කටයුතු කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ තිදෙනකුම අනීතිකව නිදහස් කර ඇති බවත් දිලීප් පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් හෙළි කළේය.

එලෙස 2024 නත්තල් දින ජනපති පොදු සමාව යටතේ සැකකරුවන් 330ක් නිදහස් කර ඇති අතර, ඉන් 57 දෙනකුම නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බව විමර්ශනවලින් හෙළි වන අතරේම ඉකුත් පෙබරවාරි 4 දාට යෙදුණු නිදහස් දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ 274 අතරින් 11 දෙනකුද අනීතිකව නිදහස් කර තිබෙන බවටද කරුණු හෙළිවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ඉකුත් 11 දා අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජිව ජයසූරිය ඉදිරියේ පෙනී සිටි මොහොතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ යුතු බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා යවා ඇති ලේඛනයේ අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන්ව නැති බවත් ජනපති ලේකම් කාර්යාලයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙත එවා ඇති ජනපති පොදු සමාව දිය යුතු සිරුකරු නාම ලේඛනයේද අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන්ව නැති බවයි. එහෙත් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු ලේඛනයේ අතුල තිලකරත්නගේ නම ඉදිරියේ සැකකරු නිදහස් යනුවෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා සලකුණු කර සිය අත්සන් තබා ඇති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හෙළි කළ අතර, එම තත්ත්වය මත අතුල තිලකරත්න නමැත්තා නිදහස් කිරීම චේතනාන්විතවම කළ අපරාධමය වරදක් බවට සැක කරන බවද පැවැසුවාය.

සැකකාර මොහාන් කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්ද හබක්කල කරුණු දක්වමින් සඳහන් කළේ වෙසක් පෝදා ජනපති පොදු සමාව දුන් අනුරාධපුර බන්ධනාගාර සිරකරු නාමලේඛනයේ අතුල තිලකරත්නගේ නම ඇතුළත් නොවන බව පිළිගන්නා නමුත් මීට වසර කිහිපයකට පෙර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සඳහන් නීතිමය ප්‍රතිපාදන මත අතුල තිලකරත්න නමැත්තා නිදහස් කිරීමට තම සේවාදායකයා පියවර ගෙන ඇති බවයි.

එදින එම නඩු විභාගය සිදු වන මොහොත දැක බලා ගැනීමට ජනපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් නිදහස් කළ අතුල තිලකරත්නද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේ වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුවය. විවෘත අධිකරණ ශාලාවේ සිටි අතුල තිලකරත්න මොහාන් කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වද්දී ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න මේ අවස්ථාවේ මේ අධිකරණයේ පෙනී සිටින බවද කී විට ඔහු අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව ද මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරද්දී වැඩ තහනමකට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ලබන 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැසුවේ ඊළඟ නඩු වාරයේදී අධිකරණය සහ රටම මවිත වන කරුණු දැක්වීමක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

දිවා රෑ නොතකා අපරාධකාරයන් පසුපස හඹා යන කණ්ඩායම් එක්ව අත්අඩංගුවට ගෙන දීර්ඝ විමර්ශනවලින් පසු අධිකරණවලට ඉදිරිපත් කොට සිරදඬුවමට ලක් කරන අපරාධකාරයන් බන්ධනාගාර දූෂිත නිලධාරින් මුදලට ගෙන බන්ධනාගාරයේ සිට සිය අපරාධකාර ගෝලයන්ට උපදෙස් ලබා දෙමින් දුරකතන ඔස්සේ මෙහෙයවමින් බොහෝ ජාවාරම්, මිනීමැරුම් සිදු කරන්නේ ඉතා පහසුවෙන් බව පසුගිය කාලයේ එවැනි අපරාධ සහ ජාවාරම්වලට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වන්නකි. එලෙස බන්ධනාගාර තුළ දුරකතන සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිරගෙවල්වල රජ ගෙවල්වල සේ අපරාධකාරයන් වැජඹෙන්නේ අන්ත දූෂිත බන්ධනාගාර නිලධාරීන් මුදලට ගැනීමෙනි.

මෙවර ජනපති පොදු සමාව අනීතික ලෙස භාවිත කිරීමෙන් කරළියට ආ බන්ධනාගාරයේ අන්ත දූෂිත පරිපාලකයන්ගේ ක්‍රියාදාමයන්ට මේ ඔස්සේ හෝ ඉදිරියේදී වැට කඩුලු බැඳීම වග කිව යුතු පාර්ශ්වවල වගකීමකි. එය මෙවර හෝ සිදු වේයැයි ජනතාව බොහෝ අපේක්ෂාසහගතව සිටින බවක් පෙනෙන්නට තිබෙන්නේ වසර කිහිපයක් පුරා සිදු කළ මෙකී දූෂිත ක්‍රියාවද කරළියට ආවේ මේ අවස්ථාවේ නිසාය. එහෙයින් අන්ත දූෂිත නිලධාරීන් දැන්වත් අල්ලා ගැටගැසීම සැවොම එක්ව කළ යුතුය.


ජනපති පොදු සමාව සිරකරුවන්ට ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

සාමාන්‍යයෙන් අප රටේ අපරාධ නඩුවක අවසාන තීරණය දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අතීතයේ තිබුණේ රාජාධිකරණයයි. 1972 ව්‍යවස්ථාවට දැන් පවතින උපරීම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අවසාන තීන්දුව දුන් පසු කිසියම් අයෙකුට අසාධාරණයක් සිදු වූවා යැයි හැඟී යනවා නම් ඔහුට හෝ ඇයට ඒ තත්ත්වයට සහනයක් සලසා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති නිසා ඊට සහනයක් සලසා ගැනීම පිණිස කටයුතු කළ යුතුයි යන අදහසින් යුතුව 1978 ව්‍යවස්ථාවට ජනාධිපති බලතල යටතේ විශේෂ වගන්තියක් ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේත් ජනාධිපති සමාව ගැන සඳහන් වෙනවා. කෙසේ වුවත් ව්‍යවස්ථාව බලවත් හෙයින් එම කටයුතු සිදු වන්නේ ව්‍යවස්ථාවට අනුවයි.

සාමාන්‍ය නඩුවක පුද්ගලයකු වෙනුවෙන් ජනාධිපති සමාව දෙන ආකාරය සහ මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයකුට සමාව දෙන ආකාරය පිළිබඳව කොටස් දෙකක් තිබෙනවා. පළමුවැනි අවස්ථාව සාමාන්‍ය වරදකට දඬුවම ලිහිල් කළ හැකියි සේම වෙනස් කළ හැකියි. ඒ වගේම දඬුවම ඉවත් කර සම්පූර්ණ නිදහස දීමේ හැකියාවද පවතිනවා. එවැනි අවස්ථාවකදී කටයුතු කළ ආකාරය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව යම්කිසි චක්‍රලේඛ මඟින් සඳහන් කර තිබෙන අදාළ ක්‍රියාදාමයන්ට අයත් වන පුද්ගලයන් සිටී නම්, ඒ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු සකස් කර යැවිය යුතු වන්නේ බන්ධනාගාර අධිකාරිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටයි. ඔහු ඒ ලැයිස්තු අධිකරණ අමාත්‍යාංශයට යොමු කළ යුතුයි. අමාත්‍යාංශ ලේකම් මඟින් ජනාධිපති ලේකම් වෙත යැවිය යුතු වනවා. අනතුරුව ජනපති ඒ ලැයිස්තුවලට අත්සන් කිරීම සිදු වනවා. හැබැයි ජනපතිතුමා ඒ ලැයිස්තු එකින්එක සොයා බැලීමේ ක්‍රමවේදයක් නැහැ. එහෙත් ඒ ලියවිලිවලට බලය දීම සිදු කරන්නේ ජනාධිපතිතුමාගෙනි. ඒ අතර, එම ලැයිස්තු සකස් කිරීමේ සම්පූර්ණ බලය රඳා පවතින්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ අධිකරණ අමාත්‍යාංශයටයි. එහිදී අධිකරණ අමාත්‍යාංශයටද සිරකරුවන් පිළිබඳ අවබෝධයක් නැති නිසා අමාත්‍යාංශයද කටයුතු කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් එවනු ලබන ලැයිස්තු මතයි. එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හිතුමතේට කටයුතු කළ නොහැකියි.

ඒ වගේම අප සැම අත්දුටු, පසුගිය කාලයේ ජනපතිවරුන් දෙදෙනකුම මරණීය දණ්ඩනයට නියම වූ දෙදෙනකුට දුන් සමාව ගැනත් කතා කළ යුතුයි. එහිදීත් අභිමතානුසාරි අවසාන බලය තිබෙන්නේ ජනාධිපතිතුමාටයි. හැබැයි, ජනපති ඒ තීන්දුව ගැනීමට පෙර අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් ව්‍යවස්ථාවෙන්ම දක්වා තිබෙනවා. ඒ, එවැනි අවස්ථාවක ජනාධිපතිතුමා විසින් අදාළ තීන්දුව දුන් විනිශ්චයකාරතුමා හෝ කිහිප දෙනකු සිටී නම්, ඒ අයගෙන් ඒ සම්බන්ධ අදහස් විමසා වාර්තාවක් කැඳවිය යුතුයි. ඒ වාර්තාව නීතිපතිවරයාට යොමු කොට ඔහුගේ අදහස් සහ මතය විමසා සිටිනවා. අනතුරුව එය අධිකරණ අමාත්‍යවරයාට යොමු කෙරෙනවා. අධිකරණ අමාත්‍යවරයා ඒ සියල්ල අධ්‍යයනය කර ජනාධිපතිතුමාට නිර්දේශ කරනවා අදාළ පුද්ගලයාට සමාව දීම ගැන.

ඒ සියලු පියවර එකිනෙක සිදු විය යුතුයි. නැති නම් ජනපති අභිමතය පාවිච්චි කළාට පමණක් වැඩක් නැහැ. එවිට සිදු වන්නේ අභිමතය නිශ්චිත ලෙස සිදු නොවීමයි. මේ ක්‍රියාපටිපාටිය නිසි ලෙස සිදු නොවූ නිසා පසුගිය කාලයේ ජනාධිපතිවරුන් දෙදෙනකු දුන් මරණීය දණ්ඩන සමා දෙකක් අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන් දු කළා.

මේ අවස්ථාවේදීත් ඔය කියන පුද්ගලයාගේ නම ජනාධිපති පොදු සමාව සඳහා යවා ඇති ලැයිස්තුවලට ඇතුළත් වී නැහැ. ඒ නිසා ඔහුට කිසිම අවස්ථාවක ජනාධිපති සමාවක් ලැබුණායැයි කිව නොහැකියි.

You may also like

Leave a Comment