Home » ගුවන් අනතුරින් මියගිය ප්‍රතික් ජෝෂි සහ පවුලේ අය ලංකාව වටේ ගෙන ගිය දුලාජ් සිළුමිණට කී කතාව

ගුවන් අනතුරින් මියගිය ප්‍රතික් ජෝෂි සහ පවුලේ අය ලංකාව වටේ ගෙන ගිය දුලාජ් සිළුමිණට කී කතාව

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය
ප්‍රතික් ඇතුළු පවුලේ සැම මෙරට සංචා­ර­යේදී දුලාජ් සමඟ

කුත් බ්‍රහස්පතින්දා සවස 1.38ට පමණ වාර්තා වූ ඉන්දීය ගුවන් අනතුරින් මුළු ලෝකයේම ජනයාගේ හදවත් සලිත වූවා නොඅනුමානය. ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ සර්දා පටේල් ගුවන් පථයෙන් ඉහළට නැඟි ලන්ඩනයේ ගැට්වික් බලා පිටත් වූ එයා ඉන්දියා 171 නමැති බොයින් 787-8 ඩ්‍රිම්ලයිනර් ගුවන්යානයේ සිටි 242 දෙනකු අතරින් 241කට දිවි අහිමි වෙද්දී රමේෂ් විශ්වස්කුමාර් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියා පමණක් දිවි බේරාගෙන තිබුණේ හාස්කමකින් මෙනි.

ප්‍රතික් ජෝෂි සහ පවුලේ අය දළදා මාලි­ගාව ඉදි­රි­පි­ටදී දුලාජ් ගත් සේයා­රුව

ප්‍රතික් ජෝෂි සහ පවුලේ අය දළදා මාලි­ගාව ඉදි­රි­පි­ටදී දුලාජ් ගත් සේයා­රුව

ගුවන්යානයේ සිටි අය අතරින් 169 දෙනකු ඉන්දීය ජාතිකයන් වූ අතර, 53 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෝය. පෘතුගාල ජාතිකයන් 7දෙනකු සහ එක් කැනේඩියානු ජාතිකයකු සමඟ කාර්ය මණ්ඩලය 12 දෙනකු එහි සිට ඇත. ගුවන්යානයේ හිටපු ගුජරාට් මහඇමැති පාලක බීජේපී පක්ෂයේ ප්‍රබලයකු වන විජේ රූපානි ද සිටි බව එක් කාන්තාවක ගුවන්යානයේ සිට ලබාගත් සෙල්ෆි ඡායාරූපයකින් සනාථ විය.

එලෙස ගුවන්යානයට ගොඩ වීමට ගිය මඟීන් ගුවන්තොටේදී සහ ගුවන්යානය තුළදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල සැරිසරද්දී දුටුවන්ගේ හදවත් සලිත කළ මහත් සංවේදි ඡායාරූපයක්ද ඒ අතර විය. ඒ, යානය ගුවන්ගත වීමට මොහොතකට පෙර සිය බිරිය සහ කුඩා දරු තිදෙනා සමඟ ප්‍රතික් ජෝෂි නම් ඉන්දියානුවා ලබාගෙන සමාජ මාධ්‍යයට මුදාහළ ඡායාරූපයයි. ඒ ඡායාරූපය පළ වූ සමාජ මාධ්‍ය සටහනක සඳහන් වී තිබුණේ ප්‍රතික් ජෝෂි පසුගිය වසර හයක පමණ කාලය තුළ ලන්ඩනයේ ජීවත්ව ඇති බවයි. ඔහු දිගු කලක් සිහින මවා ඇත්තේ ඉන්දියාවේ වාසය කළ වෛද්‍යවරියක වන තම බිරිය කෝමි ව්‍යාස් සහ කුඩා දරුවන් තිදෙනා සමඟ ලන්ඩනයේදී වඩා හොඳ අනාගතයක් ගොඩනඟා ගැනීමටයි.

ඒ අනුව වසර ගණනාවක සැලසුමකින් පසු ප්‍රතික් ජෝෂි එම සැලැසුම් මල්පල ගන්වාගෙන බිරියද ඉන්දියාවේ ඇය කළ වෛද්‍ය වෘත්තියෙන් ඉවත් කරගෙන තිබිණි. අනතුරුව ප්‍රතික් සිය බිරිය සමඟ දියණිය මිරායා, ප්‍රද්යුත් සහ නකුල් සමඟ එයාර් ඉන්දියා 171 යානයෙන් ලන්ඩනයේ පදිංචියට යෑමට ගුවන්යානයට ගොඩ වී සෙල්ෆි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණේ ජීවිතයේ නව ගමනක බලාපොරොත්තුද සමඟිනි. එහෙත් ඒ ඡායාරූපය ගෙන තත්පර ගණනකින් ප්‍රතික් ඇතුළු 241කගේ ජීවිත සියල්ල විනාශ වී ගියේ ජීවිතයේ අනිත්‍යය පසක් කරමිනි.

එකී ඡායාරූපය සමාජ මාධ්‍යයේ සැරිසරද්දී එය නෙතගැටුණු මෙරට පුද්ගලයකුගේ වේදනාව තීව්‍ර වූයේ ප්‍රතික් ඇතුළු පවුලේ උදවිය මීට මාස කිහිපයකට පෙර ලංකාවේ සංචාරයක නිරත වෙද්දී ඔවුනට මඟපෙන්වා තිබුණේ ඔහු වූ බැවිනි. ඔහු දුලාජ් කරුණාරත්නය. දුලාජ් සැණින් ප්‍රතික්ගේ වට්ස්ඇප් දුරකතනයට ඇමතුමක් ගෙන තිබුණේ වැඩිදුරටත් ඔහු ඒ ගුවන්යානයේ සිටියේද යන්න සනාථ කරගැනීමේ අටියෙනි. එහිදී දුලාජ් දුටුවේ පස්වරු 1.38ට ප්‍රතික්ගේ වට්ස්ඇප් දුරකතනයේ ඔන්ලයින් සබඳතාව විසන්ධි වී ඇති බවයි.

ප්‍රතික් ගුවන් 
අන­තු­රට තත්පර ගණ­න­කට පෙර ගුවන් යාන­යේදී ගත් සෙල්ෆි ඡායා­රූ­පයක්

ප්‍රතික් ගුවන් අන­තු­රට තත්පර ගණ­න­කට පෙර ගුවන් යාන­යේදී ගත් සෙල්ෆි ඡායා­රූ­පයක්

ඉකුත් ඔක්තෝබරයේ 20 වැනිදා මෙරට සංචාරයකට පැමිණ ඇති ප්‍රතික් ජෝෂි ඇතුළු පවුලේ සැමට ශ්‍රී ලංකාවේදී මඟපෙන්වමින් ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කළ දින දහයක පමණ කාලය සහ අනතුරුව ප්‍රතික් සමඟ දුලාජ්ගේ තිබූ සබඳතාවන් ගැන ඔහු අපට හෙළිදරවු කළේ මෙසේය:

“ඇත්තටම මට හිතාගන්නවත් බෑ ඒ අයට මෙහෙම වුණේ කොහොමද කියලා. මම වැඩිපුරම ගයිඩ් කරන්නේ ඉන්දීය ජාතිකයන්. මේ කපල් එක සහ දරුවෝ තුන්දෙනා මට හමු වුණ සුවිශේෂම කණ්ඩායමක් වුණා. ඔවුන් ඒ තරමටම හොඳ පිරිසක්. යන්නේ කොහේද? ඒ ගිය හැමතැනකදීම මුලින්ම බලන්නේ මම කෑවද බිවුවද කියලා…” යැයි හැඟීම්බරව පැවසූ දුලාජ් එම පස්දෙනා ඔහුගේ වෑන් රථයෙන් මෙරට විසූ දින 10 තුළ කොළඹ, මහනුවර, නුවරඑළිය, ඇල්ල, යාල සහ බෙන්තොට සංචාරය කළ බව පැවසීය.

“ඒ, ප්‍රතික් සහ පවුලේ පිරිස ලංකාවට ආපු පළමුවැනි වතාව කියල තමයි මට කිවුවේ… ලංකාව ගැන හරිම සතුටින් කතා කළේ… තැඹිලි බොන්න පුදුම ආසාවක් තිබුණේ… දළදා මාලිගාව ඉදිරිපිට ඉඳන් මට කියලා ෆොටෝ එකකුත් ගත්තා… ප්‍රතික් මුලින් ඩේටා ඉංජිනියර් කෙනෙක්. පස්සේ එයා ඩොක්ටර් කෙනෙක් වෙලා… එයාගේ වයිෆුත් ප්‍රතික් එංගලන්තයේ වැඩ කළ හොස්පිට්ල් එකට අරගෙන ලන්ඩන්වලම පදිංචි වෙන්නයි එයාලගේ ප්ලෑන් එක තිබුණේ… දවසක් මම කතා කරපු වෙලාවක ඒ ගැනත් කතා කළා…” යැයි කී දුලාජ් එම යුවළගේ දරුවන් තිදෙනා ඔහුට පුදුමාකාර ළෙන්ගතුකමකින් එම දින කිහිපය තුළ ගත කළ බවද කීවේය.

“පිරිමි දරුවෝ දෙන්නට ආදරේට කියන්නේ ලව් කුෂ් කියලා. ඒ දෙන්නට අවුරුදු පහයි… නිවුන්නු. ලොකු දුවට අවුරුදු 7ක් වගේ. ප්‍රතික් ලක්නව්වල. බිරිය කෝමි රාජාස්ථාන්වල. මට හරිම දුක ඒ පිරිස අන්තිමට මගේ වෑන් එකට නැග්ගේ ටුවර් එක ඉවර කරලා එයාපෝට් යන්න බෙන්තොටින්. එදා වෑන් එකට නඟින්න හදන කොට මගේ වෑන් එක ඉඹලා… මාව බදාගෙන කිවුවේ… ‘උඹ අපිව පරිස්සමට ලංකාව වටේ එක්කගෙන ගියා… ඒක තමයි මට කළ ලොකුම උපකාරය’ කියලා… එතරම් ඔහු පවුල සහ දරුවෝ ගැන පරිස්සම් වුණා…”

එලෙස ප්‍රතික් ඇතුළු පවුලේ සැම ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා දුලාජ්ගෙන් සමු ගෙන ගියද එම යුවළ දුලාජ් සමඟ නිතර වට්ස්ඇප් ඔස්සේ කතාබහ කරමින් දුක සැප බෙදාගත් බවද දුලාජ් කීය.

“ඒ කපල් එක හරිම සංවේදියි. ජනවාරි 1 වැනිදාත් මට කතා කළා… එහෙම මට කතා කරන හැම වෙලේම කියන්නේ පරිස්සමින් වාහනේ එළවපන් කියලමයි… ඒකමයි මට මේ ඛේදවාචකය ආරංචි වුණාම පුදුම දුකක් ඇති වුණේ… මම ඕනෑ තරම් ඉන්දියන්ස්ලා ටුවර් අරගෙන ගිහින් තියෙනවා… ඒත් මේ කපල් එක සහ පොඩි තුන් දෙනා මට පුදුම විදිහට එකතු වුණා… ඒ පොඩි තුන්දෙනා යන තැන්වලදි මාරුවෙන් මාරුවට මමයි වැඩිපුර වඩාගෙන ගියේ… කොල්ලෝ දෙන්නා අංකල්… අංකල්… කියකිය මගේ පස්සෙන්මයි…” යැයි කී දුලාජ් අවසානයේ ප්‍රතික් ඇතුළු පවුලේ සැමට සිදු වූයේ කලාතුරකින් සිදුවන ගුවන් අනතුරකින් සියලු දෙනාටම එක්ව ජීවිතයේ අවසන් ගමන යැමට යැයි පැවැසුවේ දුක්මුසුවය.

දුලාජ් අප සමඟ කතාබහ කරන විටත් ඔහුට ප්‍රතික් ඇතුළු පවුලේ සැමට සිදු වූ ඛේදවාචකය ගැන පවසා දුලාජ්ගේ ඉන්දීය මිතුරන් කිහිප දෙනකුගෙන්ම ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් දී තිබිණි.

ඉන්දීය ගුවන් අනතුරින් ඇසුණු ඛේදනීය කතා එමටය. ඒ අතර ගුවන්යානයට ගොඩවීමට විනාඩි 10ක ප්‍රමාදයක් නිසා ගුවන්යානය මඟහැරුණු භුමි චෞහාන් තරුණියට ජීවත් වීමේ වාසනාව ලැබීමද එක්තරා ලෙසකින් හාස්කමකි.

You may also like

Leave a Comment