ආණ්ඩුවකට එරෙහිව කෙබඳු ආකාරයේ හෝ චෝදනා එකතු වීම යහපත් තත්ත්වයක් නොවේ. ආණ්ඩුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බහුතරයකට පිළිගත හැකි තර්කානුකූල පිළිතුරු දෙමින්, වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට නොගිය හොත් එහි ප්‍රතිඵල අයහපත් වන්නට පුළුවන.
ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් ජනිත කරන එවැනි සිදුවීම් තුනක් ආසන්න සති කිහිපයේ මතු විය. ඉන් පළමුවැන්න වනුයේ රේගුවේ නිසි නිෂ්කාශන යන්ත්‍රණයෙන් බැහැරව කන්ටේනර් 323ක් නිදහස් කර ඇති බවට නැඟෙන චෝදනාවය.
දෙවැන්න සහ තෙවැන්න ඉතා ආසන්නව වූ සිදුවීම් වන අතර, ඉන් එකක් වනුයේ වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරයේ පිරිසකට ජනාධිපති සමාව හිමි වීමේදී මූල්‍ය වංචාවකට අදාළව දඬුවම් ලබමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි පුද්ගලයකුටද ජනාධිපති සමාව හිමි වීමය. ඒ වන විට ඔහු අච්චු විඳ තිබුණු කාලය දින දහයක් වීම තත්ත්වය බැරෑරුම් කරන්නක් විය. මේ තත්ත්වය වහා නිවැරදි කරන්නට ආණ්ඩුව පියවර ගත් අතර, ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ වගකිවයුතු බවට විශ්වාස කළ හැකි අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අත්හිටුවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. දැන් මේ පිළිබඳ විමර්ශනයක් කර, ජනපති සමාව ලබන පුද්ගලයන්ට අදාළ නිර්ණායක අතරට මූල්‍ය චෝදනාවකට වරදකරු වී අච්චු ලබමින් සිටි පුද්ගලයකු ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳ යම් නිගමනයකට පැමිණිය හැකිය.
තෙවනුව මතු වූ ප්‍රශ්නය වනුයේ ‘ජාතික සංවිධාන එකමුතුව’ විසින් ඉන්දු-ලංකා මෑත අවධියේ ගිවිසුම් හෙළිදරවු කරගැනීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමය. එය එක්තරා අවාසියක්යැයි එක්විටම ආණ්ඩුවට පෙනී යා හැක්කේ මේ ගිවිසුම් වේලාසන හෙළි කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකළ තත්ත්වය මතය.
උක්ත ‘ජාතික සංවිධාන එකමුතුව’ නමැති කණ්ඩායම ජාතිවාදයෙන් රට ආතුර කළ නඩයකි. ඔවුන් රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි, රාජපක්ෂලා රට බංකොලොත් කරන විට ඒ පිළිබඳ මුනිවත රැකි හා ඊට නිහඬ අනුග්‍රහයක් දැක්වූ පිරිසක් බවද අප අමතක නොකළ යුතුය. සද්භාවයෙන් අදාළ කරුණු හෙළිදරවු කරගැනීමේ අභිලාෂයට වඩා මෙහි බල පවත්නේ බල දේශපාලන වුවමනාවන් පෙරදැරිව ගිවිසුම්වල අන්තර්ගතයට තමාට වුවමනා අර්ථකථන දීම බව පැහැදිලිව පෙනෙන්නකි. එකී අරමුණ පිළිබඳ තවත් නිදර්ශනයක් මෙබඳුය:
කන්ටේනර් 323ක් නිදහස් කිරීම සිදු වන්නේ ජනවාරි 17 වැනිදාය. විපක්ෂය මුලින්ම මතු කළ විරෝධයේදී කීවේ මේ බහාලුම්වල ඇති භාණ්ඩ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අයත් බවයි. ඔහු ප්‍රකට ව්‍යාපාරිකයකු බැවින් රහසිගතව ආනයනය කරන ලද භාණ්ඩ තොගයක් මේවායේ අන්තර්ගතව තිබිණැයි කීම චෝදනා කළ පාර්ශ්වයේ අරමුණ විය. එහෙත් ඒ චෝදනාවට වැඩිකල් ආයුෂ නොතිබිණි. ඊළඟට පාර්ලිමේන්තුවේදී විපක්ෂ නියෝජිතයන් මෙන්ම යූටියුබ් සමාජය කියන්න පටන්ගත්තේ ඇමැති බිමල් රත්නායකගේ බලපෑම මත මේ බහාලුම් නිවැරදි රේගු යන්ත්‍රණයෙන් බැහැරව නිදහස් කර ඇති බවයි. ඒ චෝදනාව එසේ තිබියදීම අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාදයකදී කීවේ 2009 මුල් කාර්තුවේදී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබුණු ප්‍රභාකරන්ට අයත් භාණ්ඩ තොගයක් ඩයස්පෝරාව සහ අනුර දිසානායක මහතා අතර එකඟතාවකින් ලංකාවට ගෙන්වා පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවයි. එය ඩයස්පෝරාව තමාට දැනුම් දුන් බවද හෙතෙම වැඩිදුරටත් කීවේය. එවිට විපක්ෂයේ මන්ත්‍රීවරු අර්චුනාගේ කතාවේ එල්ලුණහ.
පරාලය නොදැක පොල් කෙන්ද දැකීම
අග්‍රාමාත්‍යවරිය සහභාගි වුණු රැස්වීම් දෙකකදීම කොටපිටියේ රාහුල හිමියෝ ආණ්ඩුව දෝෂ දර්ශනයට ලක් කළහ. ඒ විවේචනය කළේ තමා දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි, වරදවා වටහා නොගන්නා ලෙසද කිහිපවරක් ප්‍රකාශ කරමිනි. උන් වහන්සේ පැවසුවේ ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් නිසි මඟට ගැනීම තමන් ඇතුළු සංඝ සමාජයේ වගකීමක් බවයි. මේ ප්‍රකාශය දෙයාකාරයකට අප විමසා බැලිය යුතුය. එකක් වන්නේ කොටපිටියේ හිමියන්ට පමණක් නොව, සෑම පුරවැසියකුටම ආණ්ඩුව හැකි තාක් නිවැරදි කරගැනීමේ වගකීමක් තිබෙන බවයි. ප්‍රශ්නය වන්නේ රාජපක්ෂලා දෙදෙනකුම රට පාලනය කළ කාලයත්, මෛත්‍රීපාල සිරිසේනගේ කාලයත්, රනිල් වික්‍රමසිංහගේ කාලයත් සලකා බැලුව හොත් රාහුල හිමියන්ට එකී කාලවකවානු තුළ මෙකී වුවමනාව නොතිබුණු බව පෙනී යෑමය.
සංඝ සමාජය සෑම කල්හිම නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිට ඇතැයි කිව නොහැකිය. නිදසුනක් ලෙස: ගෝඨාභය රාජපක්ෂ වසර දෙකහමාරක් තිස්සේ මහත් විකාරරූපී පාලනයක් ගෙන යන විට සංඝ සමාජය ඊට අනුශාසනා කළා විනා වරද පෙන්නා දුන්නේ නැත. කොටපිටියේ හිමි විශේෂයෙන් ඉහත කී කිසිදු පාලකයකුට වරද පෙන්නා දුන් බවක්ද දක්නට නොලැබිණි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහ මඟ මිනිස් ඝාතන කීයක් සිදු විණිද? ඒ මිනිස් ඝාතන හෙළා දැකීමට කොටපිටියේ හිමියන්ට හැකි වීද? රට බංකොලොත් කරන විට ඊට එරෙහිව හඬ නගන්නට හැකි වීද?
විපක්ෂයේ තැති ගැන්ම
විපක්ෂ දේශපාලකයෝ තමන් බලයේ සිටින විට කළ වංචා දූෂණ අරබයා වසර 20 -25ක් සිරගත වීම ජනතාව අපේක්ෂා කළ යුගයක් මේ වන විට ආරම්භ වී තිබෙන බව සත්‍යයකි. වරදකරුවන් චෝදනා ඔප්පු කොට සිරගත කිරීම ඍජුව ආණ්ඩුවේ වැඩක් නොවන අතර, එය චුදිතයන්ට එරෙහිව පවරන ලද නඩු වෙනදා මෙන් කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි. එනම්: වත්මන් ජනපති බලයට පත් වීමට පෙර සිටම ශපථ කළ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක වන්නට ඉඩ හැරීමකි. චෝදනා ඔප්පු වී එස්.එම්. රංජිත්ලා, මහින්දානන්දලා වැනි අය සිරගත වූ ආකාරය අනුව ඊටත් වඩා මහජන ධනය කොල්ලකෑ පුද්ගලයන් ජීවිතාන්තය දක්වා සිරගත වන තත්ත්වයක් මේ අනුව අනුමාන කළ හැකිය. අවශ්‍ය වන්නේ ඔප්පු කළ හැකි සාක්ෂි සහිතව තාක්ෂණික දෝෂවලින් තොරව එම නඩු පැවරීම පමණි. බැසිල් රාජපක්ෂට අදාළ නඩුවලින් ඔහු මේ වන විට නිදොස් වී තිබුණත් එකී නඩු යළි නිසි ක්‍රමවේදය යටතේ පැවරුව හොත් බැසිල්ට නවතින්න සිදු වන තැන සිතාගත නොහැකිය. ඊළඟට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන්නේ ආණ්ඩුවල නියමුවන් මූල්‍ය වංචා මෙන්ම ඇතැම් ප්‍රකට මිනිස් ඝාතන සිදු කිරීමෙන් පසුවත් සෑහෙන කාලයක් බලයේ සිටි නිසා ඔවුන් විසින් එකී නඩු ඉදිරියට ගෙන යෑමට අත්‍යාවශ්‍ය සාක්ෂි මකාදමා තිබීමය; නැත හොත් අස්ථානගත කර තිබීමය. එවැනි තත්ත්වයක් මත සමහර පරීක්ෂණ ඉදිරියට යෑම ඉතා අසීරු වී තිබේ. සමහර පරීක්ෂණ ක්‍රියාවලීන් ඒ නිසාම මන්දගාමි වී තිබේ. නිදසුනක් ලෙස රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සහ ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිදුවීම් දැක්විය හැකිය.
අපරාධ සහ මූල්‍ය වංචා ගැන නිහඬව කෙරෙන පරීක්ෂණ ක්‍රියාවලියක් අනවරතව සිද්ධ වීම හා ඒ සඳහා ආණ්ඩුව පූර්ණ පහසුකම් සලසන තත්ත්වයක් තුළ විපක්ෂය ඉතා අංශුමාත්‍රික දේවල් පදනම් කරගෙන ආණ්ඩුවට විවේචන එල්ල කිරීම තේරුම්ගත හැකිය. බොරු කියන ආණ්ඩුවක් යැයි පදනම් විරහිතව කරන චෝදනාව ඉන් එකකි.
ජනාධිපති සහ ඩයස්පෝරාව අතර මිත්‍රත්වයක් ඇතැයි යන කතාවෙහි අරමුණ වනුයේද ආණ්ඩුව සහ ජනතාව අතර හොඳහිත බිඳවීම බව පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ප්‍රභාකරන් ගැන දැන සිටියත්, දකුණේ කුප්‍රකට දේශපාලනය සහ දේශපාලන නායකයන් ගැන දන්නේ නැති තරම්ය. ඒ නිසා ඔහු දුදනන් සුදන වේශයක් මවාගෙන ගහන ගැටවල සහ සැලසුම්වල නොදනුවත්කමින් කොටස්කරුවකු විය හැකිය.
ප්‍රහාරයට තවත් හේතුවක්
පළාත් පාලන ආයතන 151ක බලය ඍජුවම ආණ්ඩුවට ලැබී තිබේ. තවත් 110ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ සාමූහික බලයක් පිහිටුවීමේ පදනමෙහිය. මේ ක්‍රියාවලියෙහි ජයග්‍රහණය ආණ්ඩුවට නොදී තමන් වෙත ලබා ගැනීම විපක්ෂයේ අපේක්ෂාවය. ඒ අනුව දැන් සාමූහිකත්වය ගැන කතා කරන්නේ එකිනෙකා කාකොටාගත් විපක්ෂයකි. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ඔවුහු කොන්දේසි විරහිතව එකතු වීමට කැමැත්තක් දක්වති. එක් අතකින් එම එකඟතාවන්හි වරදක් නැත. මන්ද යත්: මේ සියල්ලන් වෙන වෙනම නාමයන් යටතේ ලියාපදිංචි වී සිටියත් ඒ සියලු පක්ෂවල ප්‍රතිපත්ති එක හා සමානය. ප්‍රතිපත්ති නැති තත්ත්වයම ප්‍රතිපත්තිය බවට පත් වන අවස්ථාද එමටය. පක්ෂ සියල්ලෙහි නියෝජිතයෝ අධික වරප්‍රසාද අපේක්ෂා කරති. අති බහුතරයක් දෙනා මහජන දේපළ හා ධනය අවභාවිත කරති; තම තමන්ගේ පක්ෂවල දූෂිත දේශපාලනඥයන් කිසිවකුට නීති මඟින් දඬුවම් කරනවාට එරෙහිව විශ්වාසභංග යෝජනාවලදී වරදකරුට පක්ෂව ඡන්දය භාවිත කරති. ඒ අනුව එජාපය, පොදු ජන පෙරමුණ, සජබ ඇතුළු පක්ෂවලට කිසිදු ප්‍රශ්නයකින් තොරව එක පතෙහි කෑමට පුළුවන. ආණ්ඩුව මේ කාගේත් පොදු සතුරා බවට පත්ව තිබේ.
ආයතනික අර්බුදය
රාජ්‍ය ආයතන පද්ධතියේ මතු වී තිබෙන අර්බුදය පිළිබිඹු කරන අවස්ථා දෙකක් ආසන්න කාලවකවානුව තුළ දක්නට ලැබිණි. එකක් වනුයේ ජනාධිපතිවරයාටත් කොළය වසා ජනාධිපති සමාව නොදිය යුතු පුද්ගලයකු ජනාධිපති සමා ලැයිස්තුවට ඇතුළත් කිරීමය. ආණ්ඩුව බලයට පත් අවස්ථාවේ සිටම දක්නට ලැබුණු දෙයක් වූයේ ආයතන තුළ උපරිම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට ඉඩහැරීමය. මීට පෙර ආණ්ඩු බලයට පත් වූ සැණින්ම රාජ්‍ය ආයතන, රාජ්‍ය මාධ්‍ය ආයතන වැනි රජයට බලපෑමක් කළ හැකි හා විය හැකි ආයතනවල ප්‍රධානීන් සහ ඒවායේ මර්මස්ථාන නියෝජනය කරන්නන් වහා වෙනස් කෙරිණි. එහෙත් වර්තමාන රජය වෙනස් කළේ රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය මාධ්‍ය ආයතනවල මුල් පුටු පමණි.
විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල සෙසු මර්මස්ථාන වෙනස් නොකෙරුණු තත්ත්වයක් යටතේ ආණ්ඩුවට අවාසි සහගත අවස්ථාවල ආයතනවල දෙවැනි පෙළ ප්‍රධාන භූමිකා නියෝජනය කරන්නන් එක්කෝ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කළ හැකිය; නැත හොත් නිහඬව, සිදු වන අවාසි සහගත දේට ඉඩ දී බලා සිටිය හැකිය. ආණ්ඩුව තදබල පරිපාලන ක්‍රියාකාරිත්වයක් සහිත නම් මෙසේ වෙනස් නොකෙරුණු දෙවැනි පෙළ ප්‍රධානීන්ට ආණ්ඩුවට විරුද්ධ විය නොහැකිය; නැත හොත් අවාසි සහගත අවස්ථාවල නිහඬ විය නොහැකිය.
සංවරණ හා තුලන ක්‍රමය
රාජ්‍යයේ එක් එක් ආයතන තමන්ට ලැබී තිබෙන බලය අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීමට සංවරණ හා තුලන ක්‍රමය අත්හදා බැලිය හැකිය. විශේෂයෙන්ම, යුරෝපයේ මෙන්ම අමෙරිකාවේ ආණ්ඩුක්‍රම තුළ සංවරණ හා තුලන ක්‍රමය ස්ථාපිත කරන ලද්දේ රාජ්‍යයේ එක් එක් ආයතන තම බලය අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීමටය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතනවලට සංවරණ හා තුලන ක්‍රමය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් ස්වාධීන බලයක් හිමි කර දී තිබෙන්නේ එකිනෙකෙහි අත්තනෝමතික බලය එකිනෙකින් පාලනය කරනු උදෙසාය.
වර්තමාන ලංකාවේ ඉහත ආයතන තුනම අයුතු ලෙස තම බලය පාවිච්චි කරන්නේ නැත. වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු ඒ ගැන කිසිදු චෝදනාවක්ද එල්ල නොවීය.
ඒ වෙනුවට රාජ්‍ය ආයතන ව්‍යූහය තුළ බලය අයුතු ලෙස පරිහරණය කෙරෙමින් පවතී. එය බරපතළ තත්ත්වයක් උද්ගත කරන්නක් වී තිබෙන්නේ විධායකයට හා ව්‍යවස්ථාදායකයට එරෙහිව බලය අයුතු ලෙස පාවිච්චි කිරීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබෙන බැවිනි. රාජ්‍ය ආයතන අයුතු ලෙස බලය පරිහරණය කෙරෙන තත්ත්වයක් උද්ගතව තිබෙන්නේ නම් එය පාලනය කිරීමට ඉහත ආයතන තුනම පොදු ක්‍රියාමාර්ග ගත යුතුය. ඉහත ආයතන තුන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය,මූල්‍ය විනිවිදභාවය මෙන්ම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳ අන් කවරදාටත් වඩා එකඟතාවක් ඇති වී තිබෙන බැවින් ඒවා යටතේ ඇති ඕනෑම ආයතන ව්‍යුහයක අයුතු බල පරිහරණය ශුන්‍ය කර සාමාන්‍ය ලෙස ධුරාවලීන්ගේ පාලන ක්‍රියාකාරිත්වය යටතට නතු කිරීම විධායකයේ, ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ අනුල්ලංඝනීය වගකීමකි.
විමලනාත් වීරරත්න