Home » වෙළෙඳාමත් සුභසාධනයත් පටලවා නොගත් රාජ්‍යයක්!

වෙළෙඳාමත් සුභසාධනයත් පටලවා නොගත් රාජ්‍යයක්!

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

මෙවර නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේ කොළඹ සිට දියතලාව බලා යද්දී අපි හතර දෙනකුට පාතරාසය ගැනීමට තැනක් ගැන විපරමින් ගියා. කලින් වතාවල කාටත් ගැළපෙන තැනක් ලෙස තෝරාගත් ‘බුෆේ-එකේ’ එක් අයකුට රුපියල් දහසකට ආසන්න මිලක් වැය වූ බව මතකයි. පාන්දරින් කොළඹින් පිටත් වූ නිසා මෙවර අපට ඒ හුරුබුහුටි බොජුන්හල මඟහැරුණා. ඒත් ඕපනායක හරියට යන විට බඩගිනි හොඳටම ඇවිස්සී තිබුණා.

ඕපනායක ‘හෙළ බොජුන් හල’ දුටුවේ මේ අල්ලපනල්ලේ. දැන් නටබුන් වී ඇති කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන ඉම වූ ඕපනායක දුම්රියපොළ තිබුණේ මේ අසලමයි. අප එතැන නිදහසේ වාහනය නවත්වා, උදෑසන කෑම වේල ගත්තා. ඉතා අංගසම්පූර්ණ ආහාර වේලක් සඳහා අප හතර දෙනාටම වියදම් වූයේ රුපියල් දහසකට ආසන්න මුදලක්. ඒ ඉතා හොඳින් පවත්වාගෙන යන, සියලු පහසුකම් සපිරි, සුහදශීලි ආයතනයක්.

එතැන් සිට දියතලාවට යන තුරු අප කතා කරමින් ගියේ මේ කාලයේ මතු වී ගෙන එන සමුපකාර, නගරයේ අඩු මිල අවන්හල්, අස්වැසුම, පොසොන් දන්සල්, අලුතින් පත් වූ නගර සභාපතිවරුන් හා ‘කොමිනිටි කිචන්’ වැනි මාතෘකා ගැන.

“මම නම් කියන්නෙ ‘අස්වැසුම’ වගේ ආධාර දෙනවට වඩා, හොඳම දේ තමයි අවශ්‍යම අයට නොමිලේ පිරිසුදු ආහාර වේලක් දෙන එක, ළමයින්ට ඉගෙනගන්න උදවු කරන එක. අර වතාවක් පටන් ගන්න ගිය ‘කොමිනිටි කිචන්’ වැඩසටහන නොකඩවා කරගෙන යන්න ඕනෑ දෙයක්,” එක් මිතුරෙක් කිවුවා.

“නොමිලේ ආහාර දෙන එකෙන්, රජය මඟින් ව්‍යාපාර පටන් ගන්න එකෙන් වෙළෙඳපොළ යන්ත්‍රණයට හානි වෙනවා,” තවත් මිතුරෙක් කිවුවා.

“නෑ, කිසිම කෙනෙක් බඩගින්නේ තියන්නේ නැති වෙන්න මුළු සමාජයම වගකීම භාර ගන්න ඕනෑ. නිකම්ම කෑම වේලක් නෙවෙයි, පිරිසුදු පෝෂ්‍යදායි කෑම වේලක් හැම මිනිහෙකුටම ලැබෙන්න ඕනෑ. ඒකට අදාළ යන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න රජය පෞද්ගලික අංශය විතරක් නෙවෙයි, හැම පුරවැසියම සහභාගි වෙන්න ඕනෑ. විවෘත ආර්ථිකය හරි සමාජවාදි ආර්ථිකය හරි මොකක් තිබ්බත් මේ වගකීම මුළු සමාජයටම තියෙනවා.”

කතාව මේ විදිහට ඇදී යද්දී, මම ඉස්තාන්බුල් නගරයේ හා තුර්කියේ වෙනත් නගරවලත් තිබෙන ස්තර තුනකින් යුත් ජනතා ආහාර වැඩසටහන ගැන කිවුවා. මේ මහජන ආහාර වැඩසටහන් දුගී-දුප්පතුන් විතරක් නෙවෙයි, සියලු ආර්ථික පන්තිවලට සේවය කරන එකක්. අවුරුදු දෙසීයකට වැඩි කාලයක ඉඳන් නොකඩවා පවත්වාගෙන එන දන්සල් ඉස්තාන්බුල් නගරයේ තිබෙන බව මා කී විට සියලු දෙනා මවිත වුණා.

ඉස්තාන්බුල් නුවර කියන්නේ කාටවත් බඩගින්නේ ඉන්න දෙන්නෙ නැති නගරයක්. මම එහෙ රස්සාවට ගිය මුල්ම දවස්වල මට ආහාර කාඩ් එකක් ලැබුණා. ඒ මම වැඩට ආ අලුත කෑම හදාගන්න හා මිල දී ගන්න හුරු වන තෙක් කන්තෝරුවට අාසන්න බෝජුන්හලෙන් නොමිලේ කෑම ගන්න පුළුවන් කාඩ් එකක්. දින කීපයක් මා එය පාවිච්චි කරලා අපහු භාර දුන්නා. මුල් දින කිහිපයේ මට එය වඩා පහසුවක් වුණා. සමහර ආයතනවලින් මේ වගේ කාඩ් එකක් සිය කාර්ය මණ්ඩලයට දිගටම ලබා දෙනවා.

දුගී දුප්පතුන්ට විතරක් නෙවෙයි, මොකක් හරි හේතුවක් නිසා කෑම නොලැබෙන කෙනක් හිටියොත් ඔවුන්ගේ කුසගින්න නිවන වැඩසටහනක් මේ සමාජයේ තිබෙනවා.

මුලින් කිවුවා වගේ, ඉස්තාන්බුල් නුවර අවුරුදු සිය ගණනක ඉඳන් දන්සල් තිබෙනවා. දුප්පතුන්ට, ශිෂ්‍යන්ට, මගීන්ට පවා නොමිලේ සුප් හා පාන් දෙන මධ්‍යස්ථාන හැම උප නගරෙකම වගේ තිබෙනවා. මේ වගේ තැනක් බේකෝස් නගර සභාවෙන් පවත්වාගෙන යනවා. එය ඉතා පිරිසුදු, විශාල තැනක්. නඩත්තුව අනර්ඝයි. සුප් සහ පාන් දවල්ට නොමිලේ පිළිගන්වන්නේ සුපිරි හෝටලයක වගේ. වැසිකිළි, කැසිකිළි පහසුකම් ඉතා හොඳින් නඩත්තු කරගෙන යනවා. මේ වගේ දන්සල් රාශියක් ඔටෝමාන් අධිරාජ්‍යය සමයේ ඉඳන් නොකඩවා පවත්වාගෙන එනවා. 1792 ඉඳන් පවත්වාගෙන එන Mihrah Valide Sultan Imaret දිනපතා ආහාර‍ෙව්ල් දෙදාහක් පමණ දුප්පතුන් අතර බෙදා දෙනවා. මෑතකදී අරඹා රාජ්‍ය නොවන සංවිධාන මඟින් පවත්වාගෙන යන තවත් රාත්‍රී සුප් දන්සල් පහළොවක් පමණ නගරයේ විවිධ ස්ථානවල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ නගරයේ සෑම පුස්තක­ාලයකම වගේ නොමිලේ තේ, කෝපි පිරිනමනවා. පොත් කියවන්නට දවල්ට පාන් සහ සුප් නොමිලේ ලැබෙනවා.

දෙවැනි මහජන ආහාර සේවා වැඩසටහන තමයි ඉස්තාන්බුල් අඩු මිල පාන් ව්‍යාපෘතිය. 1970 පමණ පටන් නගරය පුරා ක්‍රියාත්මක වන වි‍ෙශ්ෂ බේකරි ජාලයකින් නිපදවන පාන් ඉතා අඩු මිලට අවශ්‍යතා සහිත ජනයා වෙත බෙදා දෙනවා. සාමාන්‍ය මිලට වඩා සියයට හතළිහක පමණ අඩු මිලට ගන්න පුළුවන් මේ පාන් කුඩා අලෙවිසල් දෙදහසකින් පමණ ගන්නට පුළුවන්. සාමාන්‍ය උද්‍යාන අසල මේ අලෙවි කුටිවලින් උණු උණුවේ පාන් මිල දී ගන්න කෙටි පෝලිම්වල ඇවිද යන හොඳින් හැඳ-පැලඳගත් පිරිමින් හා කාන්තාවන් මා දැක තිබෙනවා. මේ ව්‍යාපෘතිය මඟින් ඉස්තාන්බුල් නගරයේ මුළු පාන් අවශ්‍යතාවෙන් සියයට දහයක් පමණ සපිරෙනවා.

තුන්වැනි මහජන ආහාර වැඩසටහන වන්නේ නගර සභා විසින් පවත්වාගෙන යනු ලබන භෝජනාගාර ජාලය. මේවා අතිපිරිසුදුව පවත්වාගෙන යනවා. සේවාව ඉතා ගරුසරු ඇතිව සලසනවා. බොහෝ රසවත් ආහාර මෙහිදී ඉතා පහසු මිලට ගන්න පුළුවන්. සති අන්තවල ඇවිදින්න ගිය විට හෝ උද්‍යානයකදී මිතුරන් පිරිසක් හමු වූ විට මෙවැනි අවන්හලකට ගොඩ වී සප්පායම් වීමට අප පැකිළෙන්නේ නෑ. ප්‍රධාන නැව්තොටවල් අසල, දුම්රිය ස්ථාන අසල හා නගර සභා උද්‍යාන අසල මෙවන් අවන්හල් පිහිටුවා තිබෙනවා. මේවායේ සේවා සැපයුම ඉතා සිත්ගන්නාසුලු උසස් තත්ත්වයෙන් තිබෙනවා.

මේවා කරන්නේ රජය, නගර සභා, නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන හා දානපතියන් එකතු වෙලා. මේවායේ සේවය සැපයීමට, පවත්වාගෙන යෑමට හා සුරක්ෂිත බව තහවුරු කිරීමට තිරසර වැඩපිළිවෙළක් තිබෙනවා.

සෞඛ්‍යසම්පන්නව, කාටත් අපහසුවකින් තොරව ආහාර සැපයුම් ආයතන පවත්වාගෙන යන්න හා ඒවාගෙන් සේවය සලසාගන්න හොඳ හික්මීමක් අවශ්‍යයි. මෙකි විනය තුර්කි සංස්කෘතියේ තිබෙනවා. ඒ නිසා මේ වගේ සේවා සංවිධානයේදී හා සැපයුම් කිරීමේදී සිදු වන දූෂණ, සේවාවේ අවිධිමත් බව හා සේවය ලබන්නන්ගේ නොහික්මුණුකම් හා අපිරිසුදුකම් ගැන අසන්න ලැබෙන්නේ නෑ. මේක සංස්කෘතික කාරණාවක්.

මිලියන දහසයක ජනතාවක් වෙසෙන, තව මිලියන ගණනක් සංචාරකයන් ලෙස නිතිපතා පැමිණෙන ඉස්තාන්බුල් නගරයේ එක්තරා ජන කොටසකගේ බඩගිනි නිවෙන්නේ ඒ විදිහට වුණත් නවීන වෙළෙඳපොළ යන්ත්‍රණයේ ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ ආහාර සැපයුම් හා බොජුන්හල් ජාලා නගරය පුරා හොඳින් ක්‍රියාත්මකයි. එය ඉතා සරුසාර වෙළෙඳපොළක්.

මේ ආකෘතිය පෙන්නුම් කරන්නේ රජයේ ආහාර වැඩසටහන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සමඟ සහජීවනයෙන් ක්‍රියාත්මක විය හැකි ආකාරය. රජයේ වැඩසටහන් මූලික පෝෂණය සහ අඩු පහසුකම් සහිත ජනගහනය කෙරෙහි අවධානය යොමු කරන අතර, පෞද්ගලික අවන්හල් විවිධත්වය සොයන්නන්ගේ වෙළෙඳපොළ සහ විශේෂිත ආහාර සැපයීම ව්‍යාපාර ලෙස සාර්ථකව කරගෙන යනවා. ආර්ථික ක්‍රියාවලියේදී පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් විස්ථාපනය නොකර, සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකට මේ හොඳ උදාහරණයක්.

මහ­ජන අව­න්හ­ලෙන් මිල දී ගත් කෑම එළිම­හනේ රස විඳින පිරි­සක්

මහ­ජන අව­න්හ­ලෙන් මිල දී ගත් කෑම එළිම­හනේ රස විඳින පිරි­සක්

You may also like

Leave a Comment