Home » සුදු වෙන්න ඔබත් කැමැති ද?

සුදු වෙන්න ඔබත් කැමැති ද?

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment
ගාමිණී සුසන්ත

සම සුදු කරගැනීමට ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් භාවිත කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත්, ඒවා කොතරම් නිවැරදි ද යන්න පිළිබඳවත්, ඒ ප්‍රතිකාර නිසා අනාගතයේදී ඇති විය හැකි ගැටලු පිළිබඳවත් අපි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මියගෙන් කරුණු විමසා සිටියෙමු. එහිදී විශේෂඥ වෛද්‍යවරිය දුන් තොරතුරු ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

සුදු පැහැති සමකට සමාජයේ බොහෝ දෙනකු තුළ ඇත්තේ දැඩි කැමැත්තකි. විශේෂයෙන් යොවුන් වියෙහි පසු වන තරුණ තරුණියන් අතර තම සම යම් පමණකින් හෝ සුදු පැහැයට හරවාගැනීමට වෙහෙසෙන්නන් බොහෝය. ‘සම සුදු කරනවා’ යැයි සඳහන් ආලේපන වර්ගයක් පිළිබඳ දැන්වීමක් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ පසු ෆාමසිවලට ගොස් එම ආලෝපනය ඉල්ලා සිටිනු දැකගත හැකිය. එලෙස තම සම සුදු පැහැ කරගැනීමට ගිලින ඖෂධ ලබාගන්නා, එන්නත් ඖෂධ ලබාගන්නා තරුණ පිරිස් සමාජයේ බහුලය. ඔවුහු ඒ සඳහා විශාල මුදලක් ද වැය කරති.

කිසියම් හෝ ප්‍රතිකාරයකින් සම තරමක් හෝ සුදු පැහැ කරගත්තද, මේ තත්ත්වය පවතින්නේ කෙටි කාලයකි. දිගින් දිගටම එම ප්‍රතිකාර ලබාගතහොත් අවසානයේ ඉතිරි වන්නේ රෝගී වූ, අකලට වැහැරුණු, දුර්වර්ණ වූ රැලි වැටුණු සමකි. වර්තමානයේදී චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වෙත බොහොමයක් යෞවන, යෞවනියන් යොමු වන්නේ තම සම සුදු වීමට කරගන්නා ලද ප්‍රතිකාර නිසා අවසානයේ ඉතිරි වූ ගැටලුවලට පිළිතුරු ලබාගැනීම සඳහාය. එබැවින් සුදු පැහැති සමකට කැමැති වුවද, තම සම සුදු කර ගැනීමට උත්සාහ කිරීමට පෙර වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිහිනුවණින් යුතුව ඒ පිළිබඳ සිතා බැලීම වැදගත්ය. එසේ නොවුණ හොත් සම සුදු කරගැනීමට ගොස් තම ශරීරය ‘ලෙඩ ගුහාවක්’ කරගැනීමට සිදු වනු ඇත.

සම සුදු වීම සඳහා බව සඳහන් කරමින් නිපදවනු ලබන ඇතැම් ක්‍රීම් වර්ග ආලේපනයෙන් සම මත මෙලනින් සාන්ද්‍රණය අඩු වේ; එසේ නැති නම්, සම මතුපිට ඇති මෙලනින් නිපදවන සෛල විනාශ කරයි; එසේත් නැතිනම් රතු-දුඹුරු මෙලනින් නිපදවීම උත්තේජනය කරනු ලබයි.

මේ සඳහා වැඩි වශයෙන්ම භාවිත කරන්නේ සම මත ආලේපන කරන ක්‍රීම් වර්ගයි. ඊට අමතරව Glutathione නම් එන්නත ද භාවිත කරනු ලැබේ. මේ එන්නත සම සුදු කර ගැනීමට භාවිත කළද කිසිදු රටක එය සම සුදු කිරීමට යොදාගත හැකි එන්නනත් ලෙස අනුමත කර නැත.

අපගේ සම ස්තර කිහිපයකින් සමන්විතය. පිටතින්ම ඇත්තේ බාහිර ස්තරයයි. සමෙහි අභ්‍යන්තර කොටසෙහි නිපදවෙන සමෙහි ස්තරය දින 28ක් ඇතුළත බාහිරට පැමිණ ශරීරයෙන් ගැලවී ඉවත් වී යයි. නිරන්තරයෙන් අපගේ සම අලුත් වෙයි. එනිසා නිරන්තයෙන් අපගේ සම සුදු පැහැයෙන් තබාගැනීමට අවශ්‍ය නම්, මෙලනින් වර්ණකය නිපදවීම නවතා දැමීමට හෝ මෙලනින් නිපදවීම අඩු කිරීමට නිරන්තරයෙන් ප්‍රතිකර්ම කළ යුතුය.

ජීවිත කාලය පුරා ආලේපන ගැල්විය යුතුය. සම මතුපිට ගල්වන මෙම ක්‍රීම් වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය රාශියක්ම අඩංගු බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අතර ප්‍රධානම රසායනිකය වන්නේ බොහෝ දෙනකු ‘බ්ලීචිං පවුඩර්’ ලෙස හඳුන්වන Hydroquinone නම් රසායනිකයයි. මෙකී රසායනිකය දීර්ඝ කාලයක් සම මත ආලේප කිරීම සම මත පිළිකා ඇති වීමට හේතු වන බව හෙළි වී තිබේ. සම සුදු වීම සඳහා යැයි නිපදවා ඇති බොහෝ ක්‍රීම් වර්ග අඩංගු භාජනයේ හෝ දවටනයේ මෙකී Hydroquinone අඩංගු බව සඳහන් වන්නේ නැත. මේ රසායනිකය දිගු කලක් භාවිත කිරීමෙන් සම මතුපිට තද කළු පැහැති පැල්ලම් ඇති වී සම අවලස්සන වේ. නියපොතු අවලස්සන වී නියපොතු තැඹිලි පැහැගැනීමට පටන් ගනී. ඊට අමතරව මෙම රසායනිකය ශරීර අභ්‍යන්තරයට ගමන් කර අභ්‍යන්තර අවයවවලට ද බලපෑම් ඇති කරයි.

සම සුදුවීමට යැයි නිපදවා ඇති ක්‍රීම් වර්ගවල අඩංගු තවත් රසායනිකයක් වන්නේ, ස්ටීරොයිඩ් (steroid) නම් ඖෂධීය රසායනිකයයි. ස්ටීරොයිඩ් ඉතා අගනා ඖෂධ කාණ්ඩයකි. එහෙත් මෙය අවශ්‍යම අවස්ථාවල පමණක් නියමිත මාත්‍රාවෙන්ම භාවිත කළ යුතු ඖෂධයකි. බොහෝ රෝගාබාධවලට වෛද්‍යවරුන් මේ ස්ටීරොයිඩ් ඖෂධ නිර්දේශ කරන්නේ ඉතා සුළු මාත්‍රාවකි. ඒ, දින කිහිපයකට පමණි. එහෙත් වර්තමානයේදී වෙළෙඳපොළෙහි ඇති සම සුදු කිරීමට යැයි නිපදවා ඇති ක්‍රීම් වර්ගවල මේ ඖෂධ අධිමාත්‍රාවෙන් අඩංගු කර ඇත. මෙය වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණක් භාවිත කරන ඖෂධ වර්ගයකි. සමෙහි ඇති වන දිලීර ආසාදන සඳහා ඖෂධ, ආලේපන මඟින් ප්‍රතිකාරයක් ලෙස යොදාගනී. එය සම මතුපිට අලේප කළ විට ආලේප කළ අවට සම සුදු පැහැගැන්වී යයි. මෙම තත්ත්වය එම ඖෂධයේ අතුරු ආබාධයකි, අතුරු ඵලයකි. එම අතුරු ඵලයෙන් ලැබෙන සම සුදු වීම ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ලබාගන්නට සම සුදු කිරීමේ ක්‍රීම් නිපදවන්නන් ක්‍රියා කර ඇත. මෙහිදී නිෂ්පාදකයින් ස්ටීරොයිඩ් ඖෂධ අධිමාත්‍රාවෙන් යොදාගෙන ඇත. මේවා නිවැරදි, අනුමත නිෂ්පාදන නොවේ. ස්ටීරොයිඩ් ඖෂධ සම මතුපිට දිගින් දිගටම ආලේප කිරීම නිසා සුව නොවන කුරුලෑ ඇති වීම, සම රතු පැහැ ගැනීම, සම තුනී වීම, සමෙහි රුධිර කේශ නාළිකා අනවශ්‍ය ලෙස මතු වී පෙනීම, සම මතුපිට ඇදීමේ සලකුණු (strech mark) ඇති වීම, අත් යට කළු පැහැ වීම වැනි තත්ත්ව ඇති වේ. මේවා සැමදා පවතින කැළැල්ය; පැල්ලම්ය.

සම සුදුවීමට යැයි නිපදවා ඇති බොහෝ ක්‍රීම් වර්ගවල ඊයම්, රසදිය වැනි රසායනිකයන් බොහෝ සෙයින් අඩංගු වන බව හෙළි වී තිබේ. මේවා බැරලෝහය. ආලේපන ක්‍රීම් වර්ගවලින් වඩාත්ම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නේ මේ බැරලෝහ අධි මාත්‍රාවෙන් අඩංගු ක්‍රීම් වර්ගවලිනි. ඕනෑම රූපලාවණ්‍ය නිෂ්පාදනයක බැරලෝහ කොටස් එකක් හෝ ඊට අඩුවෙන් තිබීම ශරීරයට අහිතකර නොවේ.

එහෙත් වර්තමානයේදී වෙළෙඳපොළෙහි ඇති සුදු වීමට භාවිත කරනු ලබන ආලේපන ක්‍රීම් වර්ගවල බැර ලෝහ කොටස් තිස්දහසක් හෝ හතළිස් දහසක් පමණ ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු වන බව හෙළි වී තිබේ. මේ බැර ලෝහ ශරීරයට ඉතා අහිතකර තත්ත්වයක් ඇති කිරීමට සමත්ය. බැර ලෝහ මඟින් හානි වන්නේ සමට පමණක් නොවේ.

අක්මාව, වකුගඩු, ස්නායු පද්ධතිය වැනි ශරීර අභ්‍යන්තර කොටස්වලට බැර ලෝහ මඟින් හානි පැමිණෙන බව තහවුරු වී ඇත. මේ බැර ලෝහ අඩංගු ආලේපන දීර්ඝ කාලයක් ගැනීම නිසා මවුවරුනට දරු ප්‍රසූතියේදි ගැටලුකාරි තත්ත්වයන් මතු වන බව හෙළි වී ඇත. මේ අනුව සුදුවීමට යැයි කියා සමට ගල්වන ආලේපනවලින් සමට පමණක් නොව, ජීවිතයට ද හානි වීමට හැකියාව ඇති බව පැහැදිලිය. මේ ආලේපන මඟින් ඇති කරන අහිතකර ප්‍රතිඵල බොහෝවිට ක්ෂණිකව පෙන්නුම් කරන ඒවා නොවේ. එහෙත් ඒවා දරුණු ප්‍රතිඵලය.

සම සුදු කරගැනීමට එන්නත් වර්ග ද භාවිත කිරීමට ඇතැම්හු පෙලඹී සිටිති. මේ එන්නත් සම සුදු වීමට භාවිත කළ හැකි එන්නත් ලෙස ලොව කිසිදු රටක් අනුමත කර නැත. මේ එන්නත් භාවිතයෙන් කුමන අන්දමේ ප්‍රතිඵලයක් අත්වේදැයි තවමත් තහවුරු වී නැත.

ඔබට කිසියම් රූපලාවණ්‍ය ආලෝප වර්ගයක් මිල දී ගැනීමට අවශ්‍ය නම්, එය ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇති ඖෂධයක්දැයි පළමුව සොයා බලන්න. වර්තමානයේදී එය ඉතා පහසු කටයුත්තකි. ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියට පිවිසීමෙන් එය අද පහසුවෙන්ම සිදුකළ හැකිය.

වෙළෙඳපොළෙහි ඇති බොහෝ රූපලාවණ්‍ය ආලේපන වර්ග ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගෙන නැත. ලියාපදිංචිය ලබාගෙන ඇති ඇතැම් ඒවා ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ නිරන්තර පරීක්ෂාවක් සිදු කරන්නේ නැත. ඒ පිළිබඳවද සොයා බැලීම වැදගත්ය.

වර්තමානයේ බොහෝ පෞද්ගලික බඩු බාහිරාදිය මෙන්ම විවිධ ආලේපන වර්ග ද (සම සුදු වීමට සුදුසු යැයි පවසන ආලේපන පවා) Online ක්‍රමයට නිවෙසටම ගෙන්වා ගැනීමට පෙලඹී ඇත. ඒවා පිළිබඳ කිසිදු වගකීමක් නැත. කිසියම් සම සුදු කරන ආලේපනයක් මඟින් ඉක්මන් ප්‍රතිඵල දෙන බව සඳහන් වන්නේ නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.

සම සුදු කරනවා යැයි සඳහන් වන මොන යම් හෝ ආලේපනයකින්, එන්නතකින් ස්ථිර ලෙසම සම සුදු කළ නොහැකිය. ඒ, සම නිරන්තරයෙන්ම අලුත් වන බැවිනි. බාහිර ආලේපන එන්නත් මඟින් සම සුදු කරගැනීමට උත්සාහ කරන්නේ නම් ජීවිත කාලය පුරාම ආලේපන ප්‍රතිකාර භාවිත කළ යුතුය.

අපට අවශ්‍ය වන්නේ සුදු පැහැති සමක් නොව නීරෝගි, දීප්තිමත්, තරුණ බව රැක දෙන සමක් බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා නිසි පෝෂණයක් ශරීරයට අවශ්‍ය වේ.

හොඳින් ජලය පානය කිරීම, සුව නින්ද, මානසික ආතතියෙන් තොරවීම දීප්තිමත් සමකට මඟ පෙන්වන සාධකය.

උපතින් ලැබුණු සමේ පැහැය වෙනස් කරගැනීමට වෛද්‍යවරුන් කිසිසේත් මඟ පෙන්වන්නේ නැත; ඒ සඳහා අනුබල දෙන්නේ නැත. එහෙත් නීරෝගි, දීප්තිමත් සමක් පවත්වාගෙන යෑමට වෛද්‍ය සහාය සැම විටම ලැබේ.

සම මතුපිට ඇති විවිධ පැල්ලම්, කළු පැහැති ලප, කුරුලෑ කැළැල්, ඉන්නන් ආදිය ඉවත් කරගෙන නිරෝගී දීප්තිමත් සමක් ලබාගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත හැකිය. දැඩි හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීමට ‘සන් ක්‍රීම්’ (Sun cream) වර්ගයක් භාවිත කළ හැකිය.

වර්තමානයේ බිහි වන ලෝක රූප රාජිනියෝ බොහෝ විට සුදු පැහැති සමක් ඇති අය නොවෙති.

ඔවුන්ගේ සම දීප්තිමත්ය. සුදු පැහැය යනු ලස්සන නිරෝගී සමක නිර්වචනය නොවේ. ඔබේ සමේ වර්ණය කුමක් වුවත් ලප කැළැල්වලින් තොරව, අවශ්‍ය තෙතමනය ඇතිව, තරුණ පෙනුම ආරක්ෂා වන අයුරින් තිබේ නම්, එය නිරෝගි ලස්සන සමකි.

You may also like

Leave a Comment