Home » නිවාස 50ක් හදා දී හිසට සෙවණ දුන් රණවිරුවා

නිවාස 50ක් හදා දී හිසට සෙවණ දුන් රණවිරුවා

තවත් නිවාස රැසක් තනන්න සූදානම්

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර
මේජර් ජන­රාල් (විශ්‍රා­මික) අනිල් පීරිස් නිවාසලාභි දැරි­යක සමඟ පොල්තෙල් පහන දල්වා 50 වැනි නිවෙස විවෘත කළ අව­ස්ථාව

වැලිඔය ත්‍රස්තවාදි යුද්ධය නිසා දැඩි පීඩනයට පත්ව තිබුණු පෙදෙසක් ලෙස හඳුන්වා දිය හැකිය. බෝගස්වැව, ඇතාවැටුණුවැව, ජානකපුර, කල්‍යාණිපුර… මේ ගම්මාන නිරතුරුවම ත්‍රස්තයන්ගේ තර්ජනවලට ලක් වූ ගම්මානයන්ය. එම නිසා දූදරුවන්ට අධ්‍යාපනය හෝ ඔවුන්ගේ මවුපියන්ට රැකියාවක් හෝ ගොවිතැනක් හෝ කරගැනීමට නිරතුරුවම බාධා මතු විය. එම වැලිඔය, බෝගස්වැව ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසහනක් වෙනුවෙන් කටයුතු කළ එක්තරා යුද හමුදා නිලධාරියෙකි. ඔහු නමින් කර්නල් අනිල් පීරිස්ය.

එම සමාජසත්කාරය සිදු කරන්නට යන අතර ඔහුට හමු වූයේ ජීවත් වීමට කිසිදු ආදායමක් නැති, දරුවන් සිව් දෙනකුගෙන් යුත් අසරණ පවුලකි. මේ දරුවන්ට දින දෙකක් පුරා කිසිදු ආහාරයක් ලැබී තිබුණේ නැත. කුසගින්නේ කුඩා පැලේ තැන් තැන්වල කෙඳිරිගාමින් සිටි මේ දරුවන් දුටු කර්නල්වරයා වහා ක්‍රියාත්මක විය. තම පෞද්ගලික මුදලින් ඔවුන්ට ආහාර රැගෙන දුන් ඔහු තවත් දින කිහිපයක් වෙනුවෙන් ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සලසා දීමට නොපමාව කටයුතු කළේය.

යුද හමුදාවේ නිල කාර්යය සිදු කරන අතරතුරම මේ අසරණ ජනතාව වෙනුවෙන් ඔහු තවත් විශේෂ කාර්යයක් ඒ අනුව ආරම්භ කරන ලදි. මේ අතර, අසල්වාසි ජනතාවට වුවද මෙවන් පිරිස් වෙනුවෙන් යමක් කරන්නට හැකි නොවුණේ ඔවුන්ද දැඩි ආර්ථික අහේනියකින් සිටි නිසාය.

දරුවන් සිව් දෙනා සමඟ සිටි ඒ පවුල දුටු කර්නල්වරයා තමා දන්නා-හඳුනන කොළම සිටින ප්‍රසිද්ධ රන් භාණ්ඩ වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අතුල එළියපුර මහතාට ඒ බව දැන්වීය. ඒ තත්ත්වය පිළිබඳ දැනුම් දීමෙන් පසු එක් නිවෙසක් නොව නිවාස 3ක් ඉදි කරදීමට ඔහු අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළේය. බෝගස්වැව ඒ අසරණ පවුලට මෙන්ම තවත් එවන් පවුල් දෙකක් වෙනුවෙන් එම නිවාස දෙකද තනා දෙන්නට ඔහුට හැකි විය.

යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදීම එනම් 2019 වසරේ මේ මහා සත්කාර්යය අරඹන්නට කටයුතු කළ කර්නල් අනිල් පීරිස් අද වන විට එවන් නිවාස 50ක් තනා අසරණ පවුල් වෙත පිරිනමා තිබේ. තනි පුද්ගලයකු මෙවන් සුවිසල් කාර්යයක් සිදු කිරීම සිතන්නත් අපහසුය. විශේෂයෙන්ම උතුරේ හා නැඟෙනහිර යුද කඳවුරක සිටියදී එවන් කාර්යයක් ඉටු කිරීම දැඩි අසීරු කාර්යයකි.

අපි ඒ ගැන ඔහුගෙන්ම විමසුවෙමු:

“මම වව්නියාවේ ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරි කරන අවධියේදී, ඒ කියන්නෙ 2019 අවුරුද්දෙ, එහි ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කුමුදු පෙරේරා ජනතාවට සහන සැලසෙන ප්‍රජා සත්කාරක වැඩසටහන් මඟින් සතුටක් ලබනවා මම දැක්කා. එවන් ජනතා සහන සේවාවක් ඉටු කළ විට ජනරාල්වරයාගේ මුහුණ ප්‍රීතියෙන් ඉපිලෙනවා මම දැක තිබෙනවා. ඒ නිලධාරියා දවසක් මට කතා කරලා කිවුවා වන්නි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යම් ප්‍රජාමූලික කාර්යයකට සම්බන්ධ වී කටයුතු කරන්න කියලා. ඒ වෙලාවෙ වැලිඔය බෝගස්වැවට ගිය වෙලාවෙ තමයි දවස් දෙකක් තිස්සෙ බඩගින්නෙ ඉන්න ළමයි 4 දෙනෙක් මම දැක්කෙ. අසලවාසීටත් කරන්න දෙයක් නෑ. සේරම පැල්පත්වාසීන් ඔක්කොම වගේ එකම ආකාරයේ ජීවන තත්ත්වයක අය. හැමෝම අසරණයි. මම ඒ දරුවන්ගෙ කුසගිනි නිවලා ඒ අයට ඉන්න ගෙයක් හැදීමෙන් තමයි මේ අසරණයන්ට නිවාස තනාදීම ආරම්භ කළේ. අද වන විට මට ඒ විදිහෙ ගෙවල් 50ක් හදන්න හැකියාව ලැබුණා. මම ඒ කාර්යය පුදුම සතුටකින් කළේ. මම හිතන්නෙ අපි හැමෝම මේ වගේ අනුන්ට පුළුවන් උපරිම අයුරින් පිහිට වෙනවා නම් ඒකෙන් ලබන්න පුළුවන් සතුට ජීවිත කාලෙම තියේවි. ඒ වගේම ඒ වගේ නිවෙසක් ලැබුණහම ඒ මිනිස්සුන්ගෙ මුහුණෙ තියෙන සතුට අපිට කිසිම මිල මුදලකින් ගන්න බැහැ. මම කුරුණෑගල හා ත්‍රිකුණාමලයේ තවත් නිවාස කිහිපයක් හදමින් ඉන්නෙ. තවත් මාස දෙක-තුනකින් ඒ ගෙවල් ජනතා අයිතියට පත් කරන්න කටයුතු කරනවා.”

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ මේජර් ජනරාල් අනිල් පීරිස් සිදු කරන මෙවන් අසමසම කාර්යයන්ට ඔහු පාසල් සමයේ සිටම උනන්දුවක් දැක්වූවෙකි.

“මම ඉගෙන ගත්තෙ කොළඹ රාජකීය විද්‍යාලයේ. පාසල් කාලයේ අපට ලැබුණු යහපත් මඟ පෙන්වීම මෙවන් කාර්යයක් කරන්න මට ඉවහල් වුණා. රාජකීය විද්‍යාලයේ ’88 කණ්ඩායම තමයි මම නියෝජනය කරන්නෙ. මේ කාර්යයට අපේ පාසලේ අයත් මාවදිරි ගන්වනවා.

“1990 සැප්තැම්බර් 7 වැනිදා තමයි මම යුද හමුදාවට බැඳුණෙ. ශ්‍රී ලංකා යුද හමුදාවේ PMA – 2 යටතේ සම්බන්ධ වෙලා පාකිස්තකාන යුද්ධ හමුදා විද්‍යා පීඨය සහ දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව ලැබුවා. මම යුද හමුදාවට එක් වුණේ උතුරේ හා නැඟෙනහිර දරුණු ලෙස යුද ගැටුම් පවතිද්දී. එදා සිට යුද්ධය නිමා වන තුරුම අප රට වෙනුවෙන් ඇප-කැප වෙලා කටයුතු කළා. යුද්ධය අවසන් වුණත් අපි අසරණ ජනතාව උදෙසා මෙවන් කාර්යයක් වෙනුවෙන් ඇප කැප වෙලා කටයුතු කළා.”

හිසට සෙවණක් නැති සිය ගණනකට සිය පෞද්ගලික මැදිහත් වීම මත සෙවණ සදමින් ඔහු විසින් අරඹා ඇති සුවිශේෂ නිවාස ව්‍යාපෘතිය හරහා සෙසු සැමට ද සපයා ඇත්තේ කදිම ආදර්ශයකි. එලෙසින් හිසට සෙවණක් නොමැති සිංහල සහ දෙමළ ජනතාව 250 කට අධික පිරිසකගේ හිසට සෙවණ සදන්නට මේ රණවිරුවා කටයුතු කර ඇත. එසේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් සිදු කරන ලද ප්‍රශංසනීය සහ ආදර්ශමත් ප්‍රජා සත්කාරක ක්‍රියාව අගයමින් 2023 වර්ෂයේදී ඔහුට එවක යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ අතින් ප්‍රශංසාත්මක පදක්කමෙන් ද පිදුම් ලබන්නේ එම සත්කාරයට උපහාර ලෙසය. ඒ අනුව මේ වන විට නිවාස 50ක් ඔහුගේ පෞද්ගලික මැදිහත්වීම මත ඉදිකර, නිවාස නොමැති අය වෙත පවරාදීමට කටයුතු කර තිබේ.

අද වන විට එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 14.5 කට වැඩි වියදමක් ඉදිකිරීම් භාණ්ඩ වෙනුවෙන් වැය කරන්නට සිදුව තිබේ. ඉදිකිරීම් භාණ්ඩ මිල ඉහළ යෑම නිසා මේ වියදම් වැඩි වී තිබේ. නිවාස තැනීම සඳහා ශ්‍රම දායකත්වය යුද හමුදාවෙන් සපයා දීම නිසා ඔහුට මෙවන් විශාල කාර්යයක් සිදු කරන්නට හැකියාව ලැබිණි. මෙවැනි ප්‍රජා මූලික ව්‍යාපෘති හරහා ඔහු සිය මෙහෙවර සිංහල දෙමළ මුස්ලිම් ජාති භේදයකින් තොරව සලසන්නට කටයුතු කොට ඇත්තේ ජන කොටස් අතර සංහිඳියාව ඇති කිරීමේ කදිම ආදර්ශයක් ද පෙන්වා දෙමිනි. මේ සුවිශේෂ කාර්ය සඳහා දෙස් විදෙස් මිතුරන්ගෙන් මෙන්ම වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ඔහුට මූල්‍ය පරිත්‍යාග ලැබී ඇත.

නිවාස ඉදි කර දීමේදී එම නිවාසයන්ට අවශ්‍ය විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ වැනි දෑ ලබාදීමටත් අනිල පීරිස් විසින් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් වවුනියාව, වැලිඔය, කහටගස්දිගිලිය, තන්තිරිමලේ, අනුරාධපුර, මැල්සිරිපුර, කැකිරාව, කුරුණෑගල, ත්‍රිකුණාමලය, කන්තලේ, සේරුවිල, පුල්මුඩේ, මොරවැව, තඹුත්තේගම ප්‍රදේශවල අසරණ ජනතාව සඳහා නිවාස රැසක් ඉදි කර දෙන්නට අනිල් පීරිස්ට හැකියාව ලැබී ඇත. එසේම වැලිමඩ, මාතලේ සහ දියතලාව මෙන්ම නුදුරු අනාගතයේදී රටේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන අසර ජනතාව වෙනුවෙන් තවත් නිවාස රැසක් ඉදිකරදීමට ද ඔහු මේ වන විටත් සැලසුම් කර ඇත.

ඔහුගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මේ නිවාස ඉදිකිරීමට අදාළ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන ඇති අතර ඔහුගේ ඉල්ලීම අනුව හිතවත් ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් මෙන්ම පෙර පැවසූ පරිදි විදේශීය මිතුරන් මෙන්ම දේශීය දානපතියන්ද මේ සත්කාර්යයට දායකත්වය සපයා තිබේ. එමෙන්ම මේ කාර්යය වෙනුවෙන් ඉංජිනේරුවන් සහ නීති උපදේශකයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම අනිල් පීරිස් සිහිපත් කරන්නේ ස්තුති පූර්වකවය.

ඉදි කරනු ලබන මේ සෑම නිවෙසක් වෙනුවෙන්ම විදුලිය, ජල සැපයුම, ද්විත්ව ඇඳන්, පුටු 6 සහිත කෑම මේසයක්, රයිස් කුකර්, ගෑස් සිලින්ඩරයක් සහිත ගෑස් කුකර්, තුවා රාක්කයක් සහ ලීටර් 500ක ධාරිතාවකින් යුත් ජල ටැංකියක්ද ලබා දෙන්නට ඔහු කටයුතු කර ඇත. මේ උතුම් කර්තව්‍යය සඳහා ස්ව කැමැත්තෙන් මූල්‍යමය ආධාර දෙන සියලු පරිත්‍යාගශීලීන්ට අනිල් පීරිස් ස්තුතිය පළ කරන්නේ පින් දෙමිනි.

2019 වර්ෂයේ ආරම්භ කළ මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භයේදීම නිවෙසක් ඉදි කිරීමට වැය වූ මුදල රුපියල් 550,000ක් පමණක් වුවත් මේ වන විට එක් නිවෙසකට ලක්ෂ 14.5ක් ලෙස වැය වුවත් කෙසේ හෝ නිවෙසේ කාමර දෙකක්, කෑම කාමරය, පැන්ට්‍රිය සහ වැරන්ඩා දෙකක් ඇතුළු නවීන උපාංගවලින් සමන්විත නානකාමරයක්ද එක් නිවෙසක් වෙනුවෙන් එක් කිරීමට ඔහු කටයුතු කර තිබේ.

අනිල් පීරිස්ට නිවාස තැනීමේදී මුහුණ පාන්නට වන විශාලතම ගැටලුව වී ඇත්තේ පානීය ජල ගැටලුවයි. ඒ සඳහා භූගත පානීය ජල නළ පහසුකම් ලසාදීමටද ඔහු අවස්ථා කිහිපයකදීම කටයුතු කර ඇත. විශේෂයෙන්ම වැලිඔය, වව්නියාව, තන්තිරිමලේ වැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජල අවශ්‍යතා සපයා දී ඇත්තේ එවන් නළ ළිං මඟිනි.

අනිල් පීරිස්ගේ 50 වැනි නිවාස ප්‍රදානය පසුගිය 11 වැනිදා වග, පහළ මාඹුල, පොල්හේන පාරේදී සිදු කරන ලදි. අඬබෙර ගසමින්, මහා විශාල වියදම් කර මුදල් වැය නොකර ඒ සියලු වියදම් මෙවන් නිවාස තනන්නට කටයුතු කිරීම අනිල් පීරිස්ගේ අරමුණයි. මේජර් ජනරාල් (විශ්‍රාමික) අනිල් පීරිස් යනු යුද බිමේ වීරයකු මෙන්ම සමාජයේ ජනතා ගැටලු මානුෂීය ලෙස දකිනා සානුකම්පිත මිනිසෙකි. ඔහුගේ අපේක්ෂාව යමක් කළ හැකි අය එකතු වන්නේ නම් බොහෝ දේ කළ හැකි බවයි. අසරණ ජනතාවට හිසට සෙවණක් තනා දෙන්නට අනිල් පීරිස් ගන්නා මේ වෑයම අපද අගය කළ යුතුය. එමෙන්ම මේ සඳහා ශ්‍රම දායකත්වය දෙමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කරනු ලබන්නේද සුවිසල් මෙහෙවරකි.

හිටපු යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් විකුම් ලිය­නගේනිවෙ­සක් විවෘත කිරී­මට පැමිණි අව­ස්ථා­වක්.
වම් පසින් සිටින්නේ මේජර් ජන­රාල් අනිල් පීරිස්ය.

හිටපු යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් විකුම් ලිය­නගේ නිවෙ­සක් විවෘත කිරී­මට පැමිණි අව­ස්ථා­වක්. වම් පසින් සිටින්නේ මේජර් ජන­රාල් අනිල් පීරිස්ය.

 දිය­ත­ලාවේ අස­රණ පවු­ලක් පදිං­චිව සිටි නිවෙස හා ඔවුන්ට පිරි­නැමූ නව නිවෙස

දිය­ත­ලාවේ අස­රණ පවු­ලක් පදිං­චිව සිටි නිවෙස හා ඔවුන්ට පිරි­නැමූ නව නිවෙස

50 වැනි නිවෙ­සට අදාළ ගෘහ­ භාණ්ඩ පිරි­නැමූ අව­ස්ථාව

50 වැනි නිවෙ­සට අදාළ ගෘහ­ භාණ්ඩ පිරි­නැමූ අව­ස්ථාව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division