අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් හඳුන්වා දෙන ලද ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරග ආකෘතියට අනුව 1975 ජූනි මාසයේදී මංගල එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී පැවත්වුණු අතර, ඉන් පසුව අයිසීසීය පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ගමනට මුල පිරුවේ 2007 වසරේදී ප්‍රථම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමත් සමඟය.
ටෙස්ට් තරග ආකෘතිය සඳහාද ලෝක ශූරතා තරගාවලියක් පැවැත්විය යුතුයැයි 1996දී මුලින්ම යෝජනා කරන ලද්දේ එවකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මෙන්ම කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයා වූ ක්ලයිව් ලොයිඩ් විසිනි. යෝජිත ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අයිසීසී සහ එංගලන්ත එම්සීසී ක්‍රිකට් සමාජ බලධාරීන් හමු වූ විට මාටින් ක්‍රෝ නම් හිටපු නවසීලන්ත නායකයාත් මේ යෝජනාව පිටුපස සිටිමින් ලොයිඩ්ට සහය පළ කළේය. ඒ අනුව 2010 සැප්තැම්බර් මැද භාගයේදී ඩුබායිහි ඔවුන්ගේ මූලස්ථානයේ පැවති රැස්වීමකදී අයිසීසී ප්‍රධාන විධායක කමිටුව විසින් ටෙස්ට් ශූරතාවලියක් පිළිබඳ අදහස සලකා බලන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට ටෙස්ට් ක්‍රීඩා කළ රටවල් අටෙහිම සහයෝගය මේ යෝජනාවට ලැබීමත් සමඟ විටින් විට විවිධ හේතූන් නිසා ඇදී ගිය යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ 2019 වසරේ සිටය.
එනම්: වසර දෙකක කාලයක් තුළ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් එකිනෙකා හමු වීමේ චක්‍රීය ක්‍රමයකට තරග පැවැත්වීමෙන් පසුව වසර දෙකක් (උදා: 2019–2021) අවසානයේ ලබාගන්නා ප්‍රතිඵලවලින් පසු ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන අවසාන මහා තරගයෙන් ලෝක ටෙස්ට් ශූරයා තෝරාගැනීමට තීරණය විය. ඒ අනුව තුන්වැනි වරටත් පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගමාලාවේ අවසන් මහා තරගය පසුගිය බදාදා (11) ආරම්භ වූයේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එනම් එදින සිට දින 5ක් පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා වත්මන් ලෝක ටෙස්ට් ශූරතා කිරුළ හිමි ඔස්ට්‍රේලියාව සමඟ දකුණු අප්‍රිකාව සහභාගි වනු ඇත.
මේ කණ්ඩායම් දෙක මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ 2023–2025 වසර දෙකක චක්‍රය තුළ පවත්වන ලද ටෙස්ට් තරගවලදී ලබාගත් ප්‍රතිඵලවලට අදාළව ලබාගත් ලකුණු ප්‍රතිශතයන්ට අනුව පළමු ස්ථාන දෙකට පැමිණීම නිසාය. තවද, මෙකී වසර දෙකක කාලසීමාව තුළ පවත්වන ලද ටෙස්ට් තරගවලට අනුව ලකුණු සටහනේ 3 වැනි හා 4 වැනි ස්ථාන ලබාගැනීමට පිළිවෙළින් ඉන්දියාව හා නවසීලන්තය සමත් වූ අතර, එංගලන්තයට හා ශ්‍රී ලංකාවට හිමි වූයේ 5 වැනි හා 6 වැනි ස්ථානය. කෙසේ වෙතත්, අයිසීසී ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, අයිසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා ලෝඩ්ස් ක්‍රීඩාංගණය යොදා ගන්නා 10 වැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් වනු ඇත.
මේ අවසන් මහා තරගය සලකා බැලීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් සහ නේතන් ලියොන් යන පන්දු යවන්නන් සිව් දෙනා මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එකට ක්‍රීඩා කළ හොඳම පන්දු යැවීමේ සංයෝජනය ලෙසද හැඳින්විය හැකිය. එනම්: ඔවුන් අතර මේ වන විට ටෙස්ට් කඩුලු 1,508ක් බෙදී ගොස් ඇත. පන්දු යවන්නන් සිව් දෙනකු ටෙස්ට් කඩුලු 250 බැගින් ලබාගනිමින් ප්‍රබල පන්දු බළඇණියක් ඉදිරිපත් කළ හැකි පළමු කණ්ඩායම බවට අද වන විට ඔස්ට්‍රේලියාව පත් වී ඇත. මේ වසර අවසන් වීමට පෙර ඔවුන් සිව් දෙනාටම අවම වශයෙන් කඩුලු 300ක් ඉක්මවා යෑමේ අවස්ථාවට පත් විය හැකි අතර කමින්ස්ට මේ සන්ධිස්ථානයට ළඟා වීමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 6ක් පමණි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) අවසන් මහා තරගයේදී ඔහුට එය කළ හැකිය.
හේසල්වුඩ් ඊට කඩුලු 21ක් දුරින් සිටින අතර, එළඹෙන අළු බඳුන තරගාවලියේදී ඔහුට ඒ කඩඉම පසු කිරීමේ අවස්ථාව උදා විය හැකිය. ස්ටාර්ක් දැනමත් කඩුලු 300 ඉක්මවා ඇති අතර, ඔහුට ටෙස්ට් කඩුලු 400 සමාජයට එක් වීමට අවශ්‍ය වන්නේ තවත් 18ක් පමණි. ලියොන් ටෙස්ට් කඩුලු 553ක් ලබා සිටින අතර, ෂේන් වෝන්ට පසුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනි වැඩිම කඩුලුලාභියා වීමට ඔහුට තවත් කඩුලු 11ක් අවශ්‍ය වේ. ඒ අනුව මාස 6කට පමණ පසුව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එකී ඔස්ට්‍රේලියානු පන්දු බළඇණියට මුහුණ දෙන ආකාරය අනුව ඔවුන්ගේ ඉරණම විසඳෙන අතර, පිතිකරණ අංශයෙන් ගත්තද අත්දැකීම් අතින් වඩාත් ඉදිරියෙන් ඉන්නේ ඔස්ට්‍රේලියානුවෝය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා යනු ටෙස්ට් තරග 50කට වඩා ක්‍රීඩා කර ඇති ඔවුන්ගේ ඉහළම 7 දෙනා අතර සිටින එකම පිතිකරුවා වන අතර, දකුණු අප්‍රිකාවේ අත්දැකීම් අඩුකම, විශේෂයෙන් ඔස්ට්‍රේලියානු කඳවුර හා සසඳන විට පැහැදිලිය. කෙසේ වෙතත් ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් ස්ටාර්ක් හා නේතන් ලියොන් වැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ දක්ෂතා මෙන්ම දකුණු අප්‍රිකාව පැත්තෙන් ටෙම්බා බවුමා, ඒඩන් මාක්‍රම්, කගිසෝ රබාඩා හා ඩේන් පැටර්සන් යන ක්‍රීඩකයන්ගේ දස්කම් මත බොහෝ විට තෙවැනි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශූරයන් කවුරුන්ද යන්න විසඳෙනු ඇත.