අනුෂ්ක ඉන්ද්‍රසිරි සහ නතාෂා ලංකේශ්වරී විතානගේ කැනඩාවේ, බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ, වැන්කුවර්හි, ලැංග්ලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළකි. උතුරු අමෙරිකාවේ අත්ලාන්තික් ශාන්තිකර සාගර දෙක යා කෙරෙන දුර කිලෝමීටර් 5,514කි. අනුෂ්ක හා නතාෂා ලැංග්ලි නගරයේ සිට නැඟෙනහිරට ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පංච මහා විල් පද්ධතියේ ඊරි විලට ආසන්න වෙලන්ඩ් නගරය දක්වා, සිය හත් හැවිරිදි දියණිය ශෙඩ්‍රියා ජෙනලි ද කැටුව තම මෝටර් රථයෙන් දීර්ඝ චාරිකාවක් සඳහා පිටත් වෙති. නතාෂා සිළුමිණ පාඨකයන් වෙත ගෙන එන ලිපි මාලාවේ තවත් කොටසක් මෙසේ දිගහැරේ.

ඇල්බර්ටා ප්‍රාන්ත පිවිසුම
කැනඩාව හරහා පළමුවැනි වතාවට මෝටර් රථයකින් තරණය කර තිබුණේ බ්‍රිතාන්‍ය සංචාරක කතුවරයකු වූ තෝමස් ඩබ්. විල්බි සහ ඔහුගේ රියැදුරුය. ඔවුන් හැලිෆැක්ස් (Halifax) සිට වික්ටෝරියා (Victoria) දක්වා එකොන් මෙකොන් යා කළ මේ ගමන ගොස් තිබුණේ 1912 වසර තරම් දුරාතීතයකය. ඒ වන විට මේ මාර්ගයේ තාර පාරවල් තිබී ඇත්තේ කි.මී. 16ක් පමණය. ඉතිරි සියලු මාර්ග කොටස් මඩ පිරුණු පාරවල් වූ බැවින්, එය ඉතා කටුක ගමනක් වූවා නිසැකය. එදා ඔවුන්ට සිය ගමනාන්තය වෙත ළඟා වන්නට දින 52ක් ගත වී තිබේ. ඔවුන්ගේ ගමන් සටහනේ දැක්වෙන පරිදි: ඔවුන් හැලිෆැක්ස්වලින් පිටත් වීමට පෙර අත්ලාන්තික් සාගරයෙන් වතුර ස්වල්පයක් රැගෙන විත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා අගනගරයට සම්ප්‍රාප්ත වීමෙන් පසුව උත්සවාකාරයෙන් ඒ වතුර ස්වල්පය ශාන්තිකර සාගරයට එකතු කර තිබේ.

කැල්ගරි නගරයේ පිහිටි රාමඩා ප්ලාසා හෝටලය
රොකී කඳු වළල්ලට ළං වීමට පෙර, එතෙක් ජනේලයෙන් එළියට ඔළුව දාගෙන කළු වලසුන් ගණන් කරන්නේයැයි කේතුධර වනාන්තර දෙස බලමින් සිටි චූටි ශෙඩ්‍රියාට ප්‍රහේලිකාවක් මතු විය. “අම්මි, මේ කඳුවල තිබුණ ගස්වලට මොකද වුණේ? ඇයි මෙච්චර රස්නේ?” ඇය පුංචි ප්‍රශ්න පත්තරයක් මගේ ළඟ දිගඇරියා! ගිම්හානේ අව්වෙන් හෙම්බත්ව සිටි මේ චූටි කෙල්ලට තේරෙන විදිහට මම එක රටක් ඇතුළේ වුණත් විවිධාකාර දේශගුණික තත්ත්ව තිබෙන්න පුළුවන් බවත්, වැටෙන වර්ෂාවේ ප්‍රමාණය, සුළඟ සහ උෂ්ණත්වය අනුව ඒ ඒ පළාත්වල ගස්වල උස තීරණය වන බවත් කියා දුන්නා. ඔක්කොම අහගෙන හිටපු චූටි ශේඩ්‍රියා හරිම ෂෝක් ප්‍රශ්නයක් ඇහුවා: “අපි දැන් සුදු මාමිගෙ ගෙදරට ළඟයිද?” අනුෂ්කටත්, මටත් හිනාව වළක්වාගන්න බැරි වුණා. තවත් කිලෝමීටර් පන්දාහක් විතර – ගමන එහෙම් පිටින්ම වාගේ – යන්නට ඉතිරිව තිබෙනවා.
බ්‍රිටිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා බෝඩරයේ මුඩුබිම් මැකී ගොස්, නැවතත් ඝන කේතුධර වනාන්තර පටන් ගනිද්දි වනාන්තරය මැදින් වැටී තිබුණු අධිවේගි මාර්ගය නිසා වනාන්තරය කොටස් දෙකකට බෙදී තිබුණා. ඒ නිසා වනාන්තරයේ ඒ කොන් මේ කොන් යා කරමින් තැනින් තැන වනජීවි මාරු තනා තිබුණා. අධිවේගි මාර්ගයට උඩින් සකස් කළ පාලමක ස්වරූපය ගත් මේ වනජීවී මාරු කැලෑ රොදවලින් වැසී තිබුණා. මේ ස්ථානවලදී අධිවේගි මාර්ගය බිංගෙයක් තුළින් ගමන් කරමින් ඉහළින් සකස් කොට ඇති වනජීවි මාරුවට ඉඩ දී තිබුණා. මුලදී බිංගෙයක් තුළින් ගමන් කරන්නේ ඇයිදැයි සිතාගත නොහැකිව සිටියත්, පසුව ඒ වනජීවී මාරුවට ඉඩ දීමට යැයි තේරුම් ගිය විට සොබාදහමට සතා සීපාවාට ආදරය කරන අපට එය ඉතා ලොකු අස්වැසිල්ලක් වුණා. හවස් යාමයත් එළඹී තිබුණා. අප ගමන් කරමින් සිටි අධිවේගි මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේගය පැ.කි.මී. 100 පමණකි. කඳුවැටිය දෙස බලමින් දොඩමලු වූ අනුෂ්ක නොදැනුවත්වම රථයේ වේගය වැඩි කරගෙන තිබුණා. සීතල සුළං රැල්ල නිසා කිසිම විඩාවක් වත් ගමනේ වේගයක් වත් නොදැන ඉතා වේගයෙන් ගමන් කරමින් සිටි අප ඉදිරියේ දුටු දසුනෙන් ත්‍රස්ත වුණා.
පොලිස් කාර් එකක් වෙනුවට දෙකක්ම එකම තැන නතර කර, පොලිස් භටයන් දෙදෙනකු අපට මීටර් අටසියයක් විතර ඉදිරියෙන් ලොකු කතාබහක. කලබල වූ අනුෂ්ක රථයේ වේගය අඩු කර දකුණු පසට සිග්නල් දමා, සෙමෙන් ගමන් කරන මංතීරුවට රථය මාරු කළා. ඔහු කොතරම් කලබල වූවා දැයි කිව හොත්: එයිනුත් නොනැවතී රථය සුදු ඉරෙන් තවත් අයිනට කරගනිමින් හොර බළලකු සේ ඉදිරියට ඇදුණා. අප පොලිස් භටයන් පසු කර මීටර 50ක් ඉදිරියට යන විටම පිටුපසින් ලයිට් දමාගෙන එක් පොලිස් රථයක් අප වෙත පැමිණෙන්නට පටන් ගත්තා.

කැල්ගරි නගරයේ විශ්වවිද්‍යාලයක්
පොලිස් සයිරනය වැදුණා. ඉඩ ඇති තැනක් බලා වාහනය නතර කරගත් අප කුමක් වේදැයි සිතාගත නොහැකිව අවිනිශ්චිතව බලා සිටියා. අනුෂ්ක ටිකට් එකක් ලැබුණොත් ගෙවන්න හිත හදාගෙන ඔහුගේ වම් පස කවුළුව හැර බලා සිටියත්, එදෙසට ගමන් නොකර පොලිස් භටයා ඉදිරිපස මගේ අසුන වෙත පැමිණියා. සියලු කවුළු අරින ලෙස පළමුව අතින් සන් කළ ඔහු අනතුරුව දකුණුපස කවුළුවෙන් එබී, “මේ කොහේ යන ගමන්දැ?” යි අපෙන් විමසුවා.
අප ඔහුට කෙටියෙන් අප බ්‍රිටිෂ් කොලොම්බියාවල සිට පැමිණෙන බවත්, ඔන්ටාරියෝ දක්වා ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවා. ගමනාන්තය නයගරා වන බව කී විට ඔහු සිනාමුසුව “ඒක දිග ගමනක් නේ!” යැයි පැවසුවා.
“ඔයාලා දන්නවද ඇයි මං ඔයාලව නතර කළේ කියලා?” අපද වික්ෂිප්තව ඔහු දෙස බලා සිටියා. “ඔයාලගෙ වාහනේ වීදුරු ඔක්කොම කළු කරලා. මෙච්චර තදට වීදුරු අඳුරු කිරීම ඇල්බර්ටාවල නීතියෙන් තහනම්. හදිසි අනතුරකදී ඔයාලව එළියට ගන්න මේ වීදුරු කඩන එක ලේසි වෙන්නේ නෑ.”
අනුෂ්ක සිනාමුසුව, මේ අප ඇල්බර්ටා වෙත පැමිණි ප්‍රථම වතාව බවත්, අප මේ නීතිය පිළිබඳ නොදැන සිටි බව බවත් ඔහුට පැහැදිලි කළා; ඒ වගේම බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ මේ ආකාරයට වීදුරු කළු කිරීමේ තහනමක් නැති බවත් කීවා.
පොලිස් භටයා තවත් මොහොතක් අප සමඟ අපේ ගමන පිළිබඳ විස්තර අසමින් ගත කළා. “සුබ ගමන්!” ලෙස පවසා උණුසුම් සිනාවකින් සංග්‍රහ කළ ඔහු නැවතත් තම වාහනය වෙත ගමන් කළා. අපි සැනසුම් සුසුම් හෙළුවා.
කෙමෙන් කෙමෙන් අප කැල්ගරි නගරයට ළඟා වුණා. අද අපේ නැවතුම්පොළ වන්නේ නගර මධ්‍යයේ පිහිටි ‘රාමඩා ප්ලාසා’ හෝටලයයි.
ඒ වන විටත් අහස කළු කොට ඉතා තදින් හුළං හමන්න පටන් ගෙන තිබූ අතර, ළඟ ළඟම ලොකු වැස්සක ලකුණු පෙනෙන්න තිබුණා. එය ග්‍රීෂ්ම කාලයේ දහවලක් වුණත් ඇඟ කිලිපොළායන සීතලක් සහිත තද සුළඟෙන් බේරෙන්න කැල්ගරි වැසියන් තරමක් ඝන කබායන් හැඳගෙන වැස්සකට සූදානම්ව පැමිණි බවක් පෙනෙන්නට තිබුණා.

නතාෂා කැල්ගරි නගරයේදී
දහවල් කාලයේ ඉතා තදින් අවුව පායා නැවතත් ඉක්මනින් වර්ෂාව ලබා දෙන ලංකාවේ උණුසුම් දේශගුණයට කැල්ගරිහි ග්‍රීෂ්මය තරමක් සමාන බවක් පෙන්නුවා. හවස වැඩ ඇරී ගෙදර යන විවිධ ජාතීන්ට අයත් කැල්ගරි පදිංචිකරුවන් වැස්සෙන් බේරෙන්න ඉක්මන් ගමනින් පාර දෙපස ගමන් ගත්තා. අප හෝටලයට පැමිණි පසු හයියෙන් වහින්න ගත්තත් ඉතා පොඩි වෙලාවකින් වැස්ස නතර වුණා.
හෝටලයට වී හෝරා කිහිපයක් මහන්සි ඇර එය කැල්ගරිහි ගෙවන පළමු රාත්‍රිය නිසා අපි හෝටලයෙන් පිටතට ගොස් නගරයේ ඇවිදීමටත් රාත්‍රී ආහාරය එළියෙන් ගැනීමටත් තීරණය කළා. හවස හයහමාර හත පමණ වන විට හෝටලෙන් එළියට බැස්ස අපි ළඟම තිබුණු මාවත දිගේ ඇවිද ගියා. විවිධ දිශාවන්ගෙන් එකට එකතු වුණු මාවත් කිහිපයක් එකම දෙසකට වැටී තිබුණු අතර, ඒ පෙදෙස මධ්‍යම පරිමාණයේ හෝටල්, එළිමහන් රෙස්ටෝරන්ට්, කෝපි හල් රාශියකින් සමන්විත වුණා. ප්‍රදේශය ඉතා ජනාකීර්ණ වූ අතර එළිමහනේ තරුණ-තරුණියන් රාශියක් එක්රොක් වී සිටියා. එක් කොනක වයස විසිපහක් පමණ කිව හැකි තරුණයෙක් ඉතා ලස්සනට ඔහුගේ ගිටාරය වයමින් ගැමි සංගීතයේ හරවත් ගීයක් ගයමින් සිටියා. මේ සියල්ල අතරේ ඉතා කදිම දර්ශනයක් අපට දැක ගත හැකි වුණා. තරුණ-තරුණියන් පිරිසක් රෝද හතරකින් සමන්විත කරත්තයක ගීත ගායනා කරමින් ගමන් කළා. කරත්තය ගමන් කරවීමට ඔවුන් ඉඳ සිටි උස බාර් පුටුවලට සවි කරන ලද බයිසිකල් පැඩල වැනි පැඩල පාගන්න අවශ්‍ය වූ අතර ‘පැඩල් පබ්’ (Pedal Pub) යනුවෙන් ඒ කරත්තය නම් කර තිබුණා. එහි එක් පසෙක අසුන් පහ ගණනේ දෙපසම අසුන් දහයක් වූ අතර, හැම කෙනකුටම පාගන්න බයිසිකල් පැඩලයක් වැන්නක් තිබුණා. වාහනය ගමන් ගත්තේ ඔවුන් සියල්ලන්ම පැඩලය පාගන වේගයටයි. ඒ වේගයත්, ඔවුන්ගේ ගායනයේ වේගයත්, හිනා හඬත් රසවත් වූ අතර; එය පාරේ ගමන් ගත් සියල්ලන්ගේම මුවට සිනාවක් නංවන්න සමත් වුණා.

ඇල්බර්ටාහි අධිවේගි මාර්ග පොලිස් නිලධාරින්
‘නූඩ්ල්බොක්ස්’ (Noodlebox) අවන්හල වෙත සම්ප්‍රාප්තවූ අප පාර අයිනේ තිබූ මේස කිහිපයෙන් එකක ඉඳගෙන පරිසරය නරඹමින් රාත්‍රී ආහාරය ගත්තා. සමස්ත දර්ශනයම නරඹමින් සිටි අපට අවබෝධ වුණේ එහි ගැවසුණ තරුණ-තරුණියන් බොහොමයක් නගරයේම ජීවත් වන වයස විසි ගණන්වල පසු වන ඉතා ජවසම්පන්න වූ අය බවයි. සතුටින් සිනා නඟමින් සිටි ඒ සමස්ත කණ්ඩායමම එකම ප්‍රජාවක්, තමනුත් එහි කොටසක් බඳු හැඟීමක් ඒ වාතයේ ගැබ්ව තිබුණා. නගරය පිළිබඳ කුතූහලය නිසාම රාත්‍රී ආහාරයෙන් පසු නැවතත් හෝටලයට ගිය අප ඒ වන විටත් අඳුර වැටී නොතිබූ නිසා මෝටර් රථයේ නැඟී කැල්ගරි නගරයෙන් තරමක් පිටතට ධාවනය කරන්නට තීරණය කළා.
අපට නගරයෙන් එළියට විනාඩි 15කට වඩා ගමන් ගන්න හැකි වූයේ නැහැ. ගොඩනැඟිලිවලින් ගහන වූ නාගරික ප්‍රදේශය ඉක්මනින්ම අවසන් වී, පාරම්පරික පෙනුමකින් යුතු වූ වසර 30-40ක් පැරණි යැයි කිව හැකි නිවාස සහිත මංමාවත් දක්නට ලැබුණා. ඒ අවටම බාලාංශ පාසල් සහ ක්‍රීඩා උද්‍යාන දකින්නට ලැබුණා. ඒ වගේම අලුතින් සාදන ලද සහ සාදමින් පවතින නිවාස සහිත ප්‍රදේශ රාශියක් නාගරික ප්‍රදේශයට විනාඩි 15-20ක් දුරින් පිහිටා තිබුණා. පසුව ඒ පිළිබඳ කරන ලද සොයා බැලීම්වලින් තහවුරු වුණේ නගරයට කොතරම් ළංව තිබුණත්, ඒ නිවාස කෙනකුට සාධාරණ මිලකට ගත හැකි මට්ටමේ මිල අඩු ඒවා වන බවයි. වාර්ෂිකව වැන්කූවර් සිට සහ ටොරොන්ටෝ සිට කැල්ගරි වෙත සිදු වන අන්තර් සංක්‍රමණයට මෙය ඉතා වැදගත් හේතුවක්. උතුරු අමෙරිකාවේ ජීවත් වීමට වඩාත් සුදුසු නගරය ලෙස එක දිගට වර්ෂ දෙකකදී ‘දි ඉකොනොමිස්ට්’ (The Economist) සඟරාව ‘කැල්ගරි’ නම් කර තිබීම පුදුමයක් නොවේ. වැඩි වේලා නොගෙන අපි නැවතත් හෝටලය වෙත ගමන් ගත්තේ පසු දින ආපසු පිටත් වීම සඳහා සූදානම් වීමටයි.
මෙතැනින් අපි සස්කැචුවාන් ප්‍රාන්තයේ රෙජයිනා (Regina) දක්වා ‘කැනඩාවේ තිරිඟු පටිය’ පසු කරමින් ගමන් කරන්නයි බලාපොරොත්තු වන්නේ.

කැල්ගරි නගරයේ සුන්දර රාත්‍රිය

වන සතුනට අධිවේගි මාර්ගය හරහා මාරුවීමට තනා ඇති මඟ
(ඉදිරි සතියට…)
නතාෂා ලංකේශ්වරී විතානගේ