“හරියට හරි!”
වයෝවෘද්ධ ඇල්බර්ටෝ ගණිතඥයා සිය ගණිතමය සාධනය නිවැරදිව අවසන් කළේය. මේ අනුව XDD තරංගයට විදත් චුම්භක තරංගයක් ලෙස දුරකතනයකින් ආරම්භ වී ගමන් කළ හැකි බව දැනිණි.
ඔහු නැඟිට ගොස් පර්යේෂණාගාරයේ ජනේලයක් හැර මිදුල සහ වත්ත දෙස බලා සිටියේය. පිළියන්දල ප්‍රදේශයේ පිහිටි මේ භූමි භාගය පාළුවට ගිය ආකාරයක් පෙනෙන්නට තිබිණි. මේ නිවෙසෙහි වැදගත් අංගයකට තිබුණේ ඉතා නවීන විද්‍යුත් උපාංග සහ මෙවලම් සහිතව ගොඩනැඟූ පර්යේෂණාගාරයයි. ඔහු හැරුණු විට නිවෙසේ වූයේ උදේට පැමිණ සවසට ආපසු යන තරුණපහේ කොලු ගැටයෙක් පමණි. ඇල්බර්ටෝ විද්‍යාඥයාගේ ආහාරපාන සකස් කෙරුණේද ඔහු අතිනි.
ආතර් සී. ක්ලාක් 1945දී විප්ලවකාරි න්‍යායක් ලොවට එළිදරවු කළේය. සරලව සලකන්නේ නම් එය මෙවැන්නකි. පොළොවට නිශ්චිත උසකින් චන්ද්‍රිකාවක් පොළොව වටා භ්‍රමණය වන්නේ නම් එය පොළොව ගමන් කරන දෙසටම ගමන් කරන්නේ නම් පොළොවට සාපේක්ෂව එකම ස්ථානයකට කෙළින් ඉහළින් චන්ද්‍රිකාව පිහිටුවිය හැකිය. පොළොව වටා එසේ පිහිටුවන චන්ද්‍රිකා තුනක් ඇසුරෙන් ලෝකයේ ඕනෑම තැනක සිට තවත් ස්ථානයකට විද්‍යුත් චුම්භක තරංග යැවිය හැකි වේ. ජංගම දුරකතනයට පාදක වූයේ ක්ලාක් මහතා කළ මේ යෝජනාවයි. එසේ නමුත් මෙම දුරකතන සංවාද පිළිබඳ ඇල්බර්ටෝ මහතාගේ අදහස ඉතා සුවිශේෂ එකක් විය. ඔහු මේ පිළිබඳ බොහෝ විට සාකච්ඡා කළේ ඉන්දීය ගණිතඥයකු වූ සිවඥානම් සමඟය.
“දැන් බලන්න සිවා, මෙහිදී දුරකතන දෙකක් හරහා විද්‍යුත් චුම්භක තරංගයක් ගමන් කරනවා. ඒ දෙක අතර මැද පිහිටි චන්ද්‍රිකාවක් උපයෝගි කරගෙන අනෙක් ග්‍රාහකයාට තරංග යොමු කෙරෙනවා. අපි යම්කිසි අහිතකර බලපෑමක් ඇති කිරණයක් මේ දුරකතනයෙන් නිකුත් කළොත් අනික් දුරකතනයේ සිටින පුද්ගලයාට බලපෑමක් ඇති කළ හැකියි.”
“නෑ. එහෙම කරන්න බෑ. ඉතා ආරක්ෂාකාරි ලෙස ඔය තරංග පද්ධති ගොඩනඟලා තියෙන්නෙ.”
“එහෙමද හිතන්නෙ? එහෙත් කියමනක් තියනවනෙ කිසිම යන්ත්‍රයකට කඩාකප්පල්කාරි වැඩවලට ඔරොත්තු දෙන්න බැහැ කියලා. හොඳයි මම තවදුරටත් ඔප්පු කරන්නම්. දෙදෙනකු අතර දුරකතන සංවාදයක් කෙරෙන අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර විද්‍යුත් චුම්භක මාර්ගයක් විවෘත වෙලා පවතින්නේ. මෙහිදී මිලි තත්පර කිහිපයක විදුලි ස්පන්දනයක් යැවීමෙන් අනෙක් කෙළවරට හානියක් කළ හැකියි.”
“ඔබ කියන්නේ අනෙක් දුරකතනය පුපුරවා දැමිය හැකි බවයි?”
“නිකම් බාලාංශ කතා කියන්න එපා! ෆෝන් එකක් පුපුරා ගියාට ලොකු හානියක් වෙන්නේ නෑ නෙ. එයට වඩා ගොඩක් දේවල් මෙහිදී කරන්න පුළුවනි. සිවා ඔබට මතකද මීට වසර දහයකට එපිට ඒ කියන්නෙ 2034 දී මෙල්බර්න්වලදී XDD තරංගය සම්බන්ධයෙන් අප කළ පරීක්ෂණය. ඒක අපි කළේ විජයලක්ෂ්මියි, සිවායි, මමයි එකතු වී ගොඩනැඟූ ගණිතමය සංකල්පයකට අනුව. අප ඒක නම් කළේ XDD තරංගය ලෙස. එහි තරංග ආයාමය නොගිණිය හැකියි. තරංගය ඉතා ශක්තිමත්. එයට මුණගැසෙන ඕනෑම ඝන ද්‍රව්‍යයක හෝ ද්‍රවයක අණු අතර බන්ධන බිඳදැමිය හැකි බව පර්යේෂණාත්මකව අප ඔප්පු කළා.”
විද්‍යාගාරයක මේසයක් මත තබන ලද කුඩා කාඩ්බෝඩ් ඝනකයක් වෙත විදුලි ස්පන්දනයක් ලෙස XDD තරංගය මිලි තත්පර කිහිපයකට යොමු කෙරිණි. ප්‍රතිඵලය විස්මයජනක විය. ඝනකය අණුවලට කැඩී ගිය අතර එය අතුරුදන් විණි. ‘දැන් මම ඔතන වාඩි වෙලා හිටියත් වෙන්නෙ ඕකම තමා!’ විජයලක්ෂ්මි කෑගැසුවාය. ‘අතුරුදන් වෙනවා. පරමාණුවලට වෙන් වෙලා වායුගෝලයට එකතු වෙනවා.’ ඔවුන් සොයාගෙන ඇත්තේ මනුෂ්‍ය සංහතිය සොයාගත් භයානකම ආයුධය බව තිදෙනාටම වැටහිණි. ශිවා සහ විජී දැඩි හින්දු භක්තිකයෝ වූහ. ඇල්බර්ටෝට ආගමක් නොතිබිණි. ද්‍රවිඩ විද්‍යාඥයන් දෙදෙනාගේ ඒකමතික තීරණය වූයේ XDD තරංගය පිළිබඳව සියලු දත්ත මකාදැමිය යුතු බවත්, නැවත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ නොකළ යුතු බවත්ය. එසේ වුවද ඇල්බර්ටෝ XDD විනාශකාරි තරංගය – මිනිසුන් අතුරුදන් කළ හැකි තරංගය – දිගින් දිගටම දියුණු කළේය.
“දැන් හිතන්න ශිවා, මේ XDD තරංගය අපි දුරකතනයක් ක්‍රියාත්මක වෙමින් සංවාදයක් පැවැත්වෙන අවස්ථාවක ක්ෂණික විදුලි ස්පන්දනයක් ලෙස යැවුවොත්, අනෙක් කෙළවරේ සිටින පුද්ගලයා අතුරුදන් වෙනවා. ඔහුගේ සිරුරෙහි අණුක බන්ධන සියල්ල බිඳවැටෙනවා.”
“දෙයියෝ සාක්කි! සෛද්ධාන්තිකව ඔබේ කියමන හරි. එහෙම කරන්න පුළුවනි. ඇල්බර්ටෝ ඔබ ප්‍රායෝගිකව මෙය කළාද?”
“අපොයි තවම නැහැ. මට පෙන්වා දෙන්න අවශ්‍ය වුණේ මේ විද්‍යුත් චුම්භක සම්බන්ධතාවේ ඇති භයානකකම.”
“ඇල්බර්ටෝ, ඔබ හිතන විදිය හරිම භයානකයි. මට හිතෙනවා ඔබට පිස්සු කියලා,” ශිවා පැවසීය.
“සමහර විට මටත් එහෙම හිතෙනවා,” ඇල්බර්ටෝ කතාව නැවැත්වීය.
ඇත්ත වශයෙන්ම ඉහත කී අධිබල තරංගය තවම ඇත්තේ අදහසක් ලෙස පමණ යැයි ඇල්බර්ටෝ කළ ප්‍රකාශය සත්‍යයක් නොවේ. ඔහුගේ විද්‍යාගාරයේදී බළලුන් පමණක් දැනට 12 දෙනකුට වඩා ඇල්බර්ටෝ විසින් අතුරුදහන් කරනු ලබ ඇත. ඒ, ක්‍රියාත්මක දුරකතනයක් ඔවුන් අසල තබා XDD තරංගයක් යැවීමෙනි. දැන් මේ ගැන දන්නා අනෙක් දෙදෙනා වන්නේ විජයලක්ෂ්මි සහ සිවඥානම්ය. ඔවුන් දෙදෙනා අතුරුදන් වන තුරු තමා ආරක්ෂාකාරි නොවන බව ඇල්බර්ටෝ සිතීය.
ඔහුට විජයලක්ෂ්මි වසරකට පෙර කොළඹ ගණිත සමුළුවකදී මුණගැසී තිබිණි. පරණ මතකයන් ඔස්සේ ඔවුන්ගේ කතාව ඇදීයන්නට විය.
“ඇල්බර්ටෝ විවාහයක් ගැන හිතුවෙ නැද්ද?” විජී සිනාවෙන් විමසුවාය.
“නැහැ. මම ඔබට නොකීවාට ඒ කාලයේ ඔබ ගැන අදහසක් මගේ හිතේ තිබුණා.”
“ඉතින් ඔච්චර එකට වැඩ කළා ඔයා යෝජනා කරන්න එපායැ!”
වයස්ගත වුවද ඇය තවමත් රූපසම්පන්න බව ඇල්බර්ටෝට පෙනිණි.
මේ මුණගැසීමෙන් පසු දුරකතනයෙන් ඉඳහිට ඔවුහු සම්බන්ධ වූහ. එහෙත් කතාව විෂයපථය ඇතුළතම පවත්වාගැනීමට විජයලක්ෂ්මි වගබලාගත්තාය.
දැන් මිනිසුන් සම්බන්ධයෙන් මේ පරීක්ෂණය කළ යුතුය. විජී සහ ශිවා XDD තරංගය පිළිබඳ දනී. පළමුව විජී අවසන් කිරීමට ඇල්බර්ටෝ තීරණය කළේය. ශිවාට විජී අතුරුදන් වීම කන වැටෙන්න කලින් ශිවාද ඉවත් කළ යුතුය. නැත හොත් විජී අතුරුදන් වීම පිළිබඳ ශිවා තමා සැක කරන බවත්, නීතිය හමුවට යන බවත් ඇල්බර්ටෝ හොඳින් දැන සිටියේය.
එදින උදෑසන 9.00ට පමණ ඇල්බර්ටෝ විජීට දුරකතන ඇමතුමක් ගත්තේය. “හලෝ ඇල්බර්ටෝ, ඔයා හොඳින්ද?” එහා පැත්තෙන් විජීගේ කටහඬ ගලා ආයේය.
“ඔයා විතරද ඔතන ඉන්නේ?”
“ඔව්. වෙන කවුරුවත් නැහැ.”
ඊළඟ මොහොතේ විජයලක්ෂ්මි වෙත තරංගය යවන ලදී. විනාඩි 5කට පසු ඔහු විජීගේ නිවෙසේ දුරකතනයට ඇමතුමක් ගත්තද, ප්‍රතිචාරයක් නොවීය.
විජයලක්ෂ්මි අතුරුදන් වූ බව ඇල්බර්ටෝට සහතිකය. ‘අද දවල් නිව්ස්වලට මේක එන්න කලින්, ශිවාවත් අවසන් කරන්න ඕනෑ.’ ශිවා විවාහ වී සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක සමඟය. දෙදෙනා අතර වූයේ ඉතා ආදරණීය වූ විවාහ බන්ධනයකි. ශිවාට දරුවෝ නොවූහ. මේ තරංග පිළිබඳ විස්තර ශිවා, ගෞරීට සැල කරන්න ඇත. මේ නිසා ශිවා ඉවත් කරන්නේ නම් ගෞරීද ඒ සමඟම යා යුතුය. ඔහු ශිවාට ඇමතුමක් ගත්තේය.
“ශිවා, ගෞරීට පොඩ්ඩක් කතා කරන්න. එයාගෙ පාසල් මිතුරියක් මෙතන ඇවිල්ලා ඉන්නවා. එයා ඔය දෙන්නා ගැන හොඳට දන්නවා….”
ශිවා හඬ නඟා ගෞරීට කතා කරන බව ඇසිණි. මඳ වේලාවකට පසු,
“ඔව් අයියේ, කවුද ඇවිල්ලා ඉන්නේ?” ගෞරීගේ කටහඬ ඇසිණි.
“නංගී, ශිවා ඔතන ඉන්නවද?”
“ඔව්.”
ඇල්බර්ටෝ මාරක තරංගය යැවීය.
“දැන් ඉතින් මම ගෙදරින් හෙල්ලෙන්නේ නැහැ. දහවල් ප්‍රවෘත්තිවලට ඔක්කොම කියයි. ඔවුන්ගේ දුරකතනද අතුරුදන් වන නිසා ගැටලුව මා වෙත එන්න ක්‍රමයක් නෑ.”
ඉතා බුද්ධිමත්ව ඉදිරි පියවර තැබීමෙන් විශාල ධනයක් සහිතව ස්විට්සර්ලන්තයේ පදිංචියට යා හැකි බව ඇල්බර්ටෝට වැටහිණි. මෙවකට ලංකාවේ අගමැතිවරයාව සිටියේ ඇල්බර්ටෝගේ විශ්වවිද්‍යාල මිතුරෙකි. හොඳින් කල්පනා කර බලා, දින 3කට පසු ඔහු අගමැතිතුමාට කතා කළේය. තමාට අගමැතිවරයා මුණගැසීමට අවශ්‍ය බව අගමැති කාර්යාලයේ බලධාරියකුට විද්‍යාඥ ඇල්බර්ටෝ දැනුම් දුන්නේය. පැය 2කට පසු අගමැතිගේ ගොරෝසු කටහඬ ඇමතුම දිගේ ගලා ආයේය.
“මට සර් හමුවන්න ඕනෑ. ඔබතුමාට ඉතා වැදගත් වන කාරණයක් ගැන කතා කර ගන්නයි.”
“හොඳයි. හෙට උදේ 10.00ට අගමැති කාර්යාලයට එන්න.” නියමිත වේලාවේදී ඇල්බර්ටෝ අගමැති කාර්යාලයට පැමිණියේය.
“සර්. අර තුන්දෙනෙක් අතුරුදන් වුණේ. ඒ ගැන ඔබ තුමාව දැනුම්වත් කරන්නයි ඕනෑ.”
“ඉතින් කියන්න…”
“මෙහෙම බෑ. මගේ ලැබ් එකට ඔබතුමා පැමිණිය යුතුයි. මට පෙන්වන්න දෙයක් තියෙනවා. විශිෂ්ට සොයාගැනීමක්. ඔබතුමාගේ කාලය නාස්ති වෙන්නේ නෑ.”
“හොඳයි අද රෑ 8.00ට මම එන්නම්. ගමන් විස්තර කාර්යාලයට දෙන්න.”
හරියට රාත්‍රී 8.00ට අගමැතිතුමා, ආරක්ෂකයන් පිරිවරාගෙන ඇල්බර්ටෝගේ නිවෙස වෙත පැමිණියේය.
“සර්, තනිවම ලැබ් එකට එන්න. සෙකියුරිටි එකට එළියෙන් ඉන්න කියන්න. ඔබතුමා විතරක් සංසිද්ධිය දැක්කම ඇති.”
අගමැතිවරයා පර්යේෂණාගාරයට ඇතුළු විය. ඔහු වටපිට බැලුවේ පුදුමයෙනි.
“සර්, මම සොයාගැනීමක් කළා. ඒකෙන් පුළුවනි මිනිසුන් අතුරුදන් කරන්න. මේක අපට ඉතා බලගතු ආයුධයක්.”
“මට පැහැදිලි වුණේ නෑ. අතුරුදන් කරනවා කියන්නේ ප්‍රචණ්ඩ පැහැරගැනීමක් නේ.”
“නැහැ සර්. කිසිම පැහැරගැනීමක් නැහැ. අඩු තරමේ කිසිම ශබ්දයක්වත් නැහැ.”
“ඩිමොස්ට්‍රේෂන් එකක් කරන්න පුළුවන්ද?”
“පුළුවනි. එළියේ ගාඩ් එකේ ඉන්න කාගෙ හරි ටෙලිෆෝන් අංකයක් ඔබතුමා ළඟ තියෙනවද?”
“ඔව්. තියෙනවා.”
“එහෙනම් සර් ඒ අංකය මට දීලා, ජනේලය ඇරලා බලන්න ඔහු සිටින තැන.”
“ඔව්. අර මිදුලෙ බංකුව ළඟ හිටගෙන සිටින්නේ ඔහු තමයි.”
“හොඳයි ඔහු දෙස බලාගෙන ඉන්න.”
ඇල්බර්ටෝ ඒ නිලධාරියාට දුරකතන ඇමතුමක් ගත්තේය. ඊළඟ මොහොතේ ඔහු සිටි ස්ථානයේ කිසිවෙක් නොවීය. අගමැතිවරයා විස්මයජනක බැල්මක් ඇල්බර්ටෝ වෙත හෙළුවේය.
“හහ්! තමුසෙ මිනිහව අතුරුදන් කළා එහෙනම්?”
“ඔව් සර්. මිනිහා ආපහු එන්නේ නැහැ. අපිට චෝදනාවකුත් නැහැ. ඔහුගේ දුරකතනයවත් නැති නිසා.”
“තමුසෙ මාර මිනිහෙක් නෙ! මේ සොයාගැනීම ගැන කවුරුවත් දන්නවද?”
“නැහැ සර්. දන්න එකම තුන්දෙනා තමයි ගිය සතියෙ අතුරුදන් කළේ.” අගමැතිතුමා දෑස් පියාගෙන කල්පනාවට වැටිණි. අනතුරුව නැඟිට බිම බලාගෙන සක්මන් කරන්න විය. ඔහු හදිසියේ නතර විය. කුඩා කාඩ්පතක රැඳි අංකයක් ඇල්බර්ටෝ වෙත දුන්නේය.
“මෙයා මේ වෙලාවේ රටේ නැහැ. කමක් නැද්ද?”
“කමක් නැහැ සර්.”
ඇල්බර්ටෝ මාරක තරංගය යැවීය.
“දැන් මිනිහා ඉවරද?”
“ඔව්.”
“විශ්වාසද?”
“ඔව්.”
අගමැතිවරයා සාක්කුවෙන් පිස්තෝලයක් ගෙන ඇල්බර්ටෝට ඉලක්කය ගත්තේය. අගමැති ලෙස පැමිණි ඔහු ජනාධිපති ලෙස නික්ම ගියේය.
වෛද්‍ය බන්දුල සිරිවර්ධන