පුද්ගලයා තුළින් මතුවන දේශපාලන ගැඹුර හා මානවීය ගැඹුර යන කාරණා දෙක සාපේක්ෂව එකිනෙක හා සමාන්තර කර බලන විට උපදින සත්‍යයක් තිබේ. එය නම් පුද්ගලයාගේ මානවීය ගැඹුර මත දේශපාලන ගැඹුර රඳා පැවතීමය. අනෙක් අතට මෙහිදී දේශපාලන ගැඹුර යන්නෙහි ද්විත්වයක් ඇත. ඒ න්‍යායික හා ප්‍රායෝගික වශයෙනි. න්‍යායික ගැඹුර විනිශ්චය කිරීමට පුද්ගලයාගේ මානවීය ගැඹුර අදාළ නැත. එහෙත් ප්‍රායෝගික දේශපාලන ගැඹුර සපුරාම පුද්ගල මානවීය ගැඹුර මත රඳා පවතී. විජේවීර ජීවිතය දුන්නේත් ප්‍රභාකරන් ජීවිතය දුන්නේත් ප්‍රායෝගික දේශපාලන ගැඹුර නම් වූ කාරණය ඔස්සේ ගමන් කරමිනි. ඕනෑ නම් දෙදෙනාටම දිවි බේරා ගන්නට උපාය මාර්ග තිබුණි.
ආචාර්ය ලූතර් කිං පොළොව මත තැබීම
උක්ත කෙටි පූර්විකාව අවශ්‍ය යැයි හැඟුණේ i have a dream නමැති නාට්‍යය පිළිබඳ පසු විමසා බැලීමකටය. මෙම නාට්‍යය මාටින් ලුතර් කිං ගේ අවසන් හෝරා කිහිපය නිරූපණය වන්නක් වන අතර නාට්‍යයේ පරිවර්තකයා වන්නේ ප්‍රවීණ ගත් කතුවර චූලානන්ද සමරනායකය.බුද්ධික දමයන්ත නාට්‍යයේ නිෂ්පාදකවරයාය.
චූලානන්ද සහ බුද්ධික මාටින් ලූතර් කිං විෂයයෙහි අතිශයින් වැදගත් පියවරයන් දෙකක් ප්‍රේක්ෂාව හමුවට ගෙන එති.චූලා පළමු කොට ලූතර් කිං පොළොව මත තබා සිටුවා බලයි. ඉන් පසු මේ දෙදෙනාම ආචාර්ය කිං ගේ දේශපාලන ගැඹුර වෙනුවට ඉසියුම් මානව ගුණ ඉස්මතු කර ගැනීමට යත්න දරයි.නාට්‍යය පුරා කිං ගේ දේශපාලන ගැඹුර යටපත් කර දමා ඇතැයි යන්න ඉන් අදහස් නොවන අතර ඔහුගේ මානව ගුණ ලවය තුළින් ඔවුහු ප්‍රේක්ෂාවට දේශපාලන ගැඹුර දකින්නට සලස්වති.කිං බිමින් තබා ඇතැයි යන්නෙහි තේරුම වන්නේ චේ, කිං වැනි චරිත අප සාමාන්‍ය ජීවිත පැවැත්මෙන් බැහැර කොට හදෙහි වෙන කිසිවෙක් නො වසන උස් තැනක තබාගෙන සිටීමට ජීවිත කාලය පුරා යත්න දරන නමුත් ඔවුන්ගේ ඒ අසාමාන්‍යය බිඳ හෙළා සාමාන්‍ය මිනිසුන් ලෙස ප්‍රතීයමාන කිරීම හේතුවෙනි. ඇතැම් විටෙක කිං දෙස පැතළි දේශපාලන කෝණයකින් බලන ප්‍රේක්ෂකයෙකුගේ බලාපොරොත්තු කිං වේදිකාවට ප්‍රවිෂ්ට වී පළමු විනාඩි විස්ස ඇතුළත බිඳී යා හැකිය. එහෙත් කිං දෙස තත්‍ය මිනිසකු දෙස බලන කෝණයකින් බලන ප්‍රේක්ෂකයෙකු කිං ගේ වේදිකා ප්‍රවිෂ්ටය උපේක්ෂා සහගතව ඉවසනු ඇත. ඔහුට අමන්දානන්දයක් නැත්තේ කිං තමන් වැනිම මිනිසකු බවත් වෙනස ඇත්තේ ඔහුගේ ඒ මහා කැපකිරීම තුළ බවත් පසක් කරගෙන සිටින තත්ත්වයක් තුළය.
බළලා, මීයා සොයා ගැනීම
ආචාර්ය මාටින් ලූතර් කිං නමැති නිදහස් අරගලකරුවාට 1968 අප්‍රේල් 04 වැනිදාට පහන් වන විට සිදුවූයේ කුමක්ද යන වග අප දනිමු. බරපතළම ප්‍රශ්නය වනුයේ දන්නා නිසාම එකී චරිතය රඟ දැක්වීම විෂයයෙහි මතු විය හැකි සංකීර්ණතාය.කිං නමැති චරිතයට ප්‍රවිෂ්ට නළුවා ක්‍රීඩා කරන්නේ කාල්පනික මීයකු සමඟ වුවත් මෙම කාල්පනික මීයාගේ ගති ස්වභාවයන් ප්‍රේක්ෂකයෝ හඳුනති. එනිසාම බළලාට කාල්පනික මීයා හෙවත් කිං චරිතය ගොඩනැංවීම විෂයයෙහි නිශ්චිත තාර්කික පරාමිතීන්ගෙන් බැහැර විය නොහැක. අනෙක් අතට ලූතර් කිං යනු විනයගත අනම්‍ය චරිතයක් ලෙස සහෘද හදවත්හි ලැඟුම්ගෙන සිටින තත්ත්වයක් තුළ ඔහු නම්‍යශීලී සාමාන්‍ය චරිතයක් බවට පත්කිරීමේ මනෝකායික (Psychophysical) වගකීම චරිතය නිරූපණය කරන ශිල්පියා සතුය.එමෙන්ම එය සුවහසක් මිනිස් හදවත්හි වසන අනම්‍ය කිං ට ප්‍රතිපක්ෂ නව ජීවිතයක් හෙවත් නව ප්‍රතිසන්ධියක් ප්‍රාදූර්භූත කරන්නකි.
රංගය පිළිබඳ පර්යේෂණකාමී වැඩබිමක්
රංගය උපදින්නේ රංගය තුළින්ම වන සත්‍යය තුළ මෙම චරිතයට ප්‍රවිෂ්ට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර වීරරත්න, කිං විසින් වේදිකාව මත පැයකට මදක් වැඩි කාලයක් තුළ නියෝජනය කරන සරල දිවි පැවැත්ම, වින්දනය, දුක, අධික ප්‍රහර්ෂය, බලාපොරොත්තු කඩවීම, උපේක්ෂාව, කුටුම්භ ප්‍රේමය සහ දාරක ප්‍රේමය, ස්ත්‍රී ආලෝලනය ආදී සෑම මානව වේෂ්ඨාවකදීම ස්ව රංගය සන්දර්භීය හා තාක්ෂණික වශයෙන් තල ගණනාවකට සීරු මාරු කරනු පෙනේ. ඒ අනුව ඔහු මෙම කෙටි කාලය තුළ ග්‍රොටොවුස්කිවාදී රංග පර්යේෂණ වැඩබිමක් වේදිකාව මත ප්‍රතීයමාන කරන අතර බළලා ක්‍රීඩා කරන පරිකල්පිත මීයා පරිසමාන්ත ආචාර්ය කිං දක්වා විද්‍යාත්මක අරුතකින් සූත්‍රගත කරයි.
සැබැවින්ම මෙම නාට්‍ය තුළ කිං ගේ මානවීය පාර්ශ්වය අතැර දේශපාලන පාර්ශ්වය නළුවෙකුට රඟ දක්වන්නට සිදුවුණි නම් මේ තරම් එය සාර්ථක නොවන්නට තිබුණි.
කුමන්ත්‍රණයක්ද? දේව කැමැත්තද?
කිං පිළිබඳ ප්‍රතිසන්ධීය ක්‍රියාවලිය තුළ මෙහි අනෙක් චරිතය වන කමායේ නමැති හෝටල් සේවිකාවට කිරීමට සිදු වී තිබෙන කර්තව්‍ය කුමක්ද. නාට්‍ය පරිවර්තකයා කිං ට කරන සත්කාරයම කමායේ ටද කරනු දිසේ.
අප තුළ වෙසෙන අනම්‍ය කිං සරල මතිකත්වයට පත් කළා සේ කමායේ කුමන්ත්‍රණකාරියකගේ භූමිකාවේ සිට දේව කැමැත්ත ක්‍රියාත්මක කරවන නියෝජිතවරියක් දක්වා අර්ථ රූපාන්තරණයකට ලක් කෙරේ. එමගින් ප්‍රේක්ෂකයා පැතලි අවකාශයක සිට ගෝලාකාර අවකාශයකට ගෙන එනු මෙහිදී දැක්ක හැකිය.
සිහිනය මිය නොය යි
අනම්‍ය චරිතයට සාමාන්‍ය මිනිස් අර්ථයක් ලබාදීමත් සැහැල්ලු හෝ සාහසික යැයි හැඟෙන චරිතයට උත්තුංග අරුතක් දීමටත් ප්‍රයත්න දැරීම මඟින් ‘මට සිහිනයක් ඇත’ නාට්‍යය ප්‍රේක්ෂාව සමඟ නොසන්සිඳෙන ගැටුමක් අරඹයි.
ඉන් නොනැවතී එමඟින් ඊට කළු සුදු මෙන්ම අළු පැහැති ධ්‍රැවීකරණමය තේමාත්මකයක්ද අත්කර දෙයි.
කමායේ මෙහිදී රංගවේදයේ විද්‍යාත්මක ආකෘතිය නිවැරදිව අභ්‍යාස කරමින් කිං ගේ චරිතයේ ක්‍රියා ඒකත්වයට (unity of action) මඟ හෙළි කරන්නීය. එනම්; කිං ප්‍රයුංජනය කිරීමට වෑයම් කරන කාල්පනික මීයාගේ මාතෘ සාධකය බවට පත්වන්නීය. එම චරිතය නිරූපණය කරන ඉමේෂා දිල්කි, ‘කිං කමායේ’ චරිතායනය, දරා ගත නොහෙන පරමාදර්ශයක් වෙනුවට දරා ගත හැකි ප්‍රායෝගික හා මානව ප්‍රබුද්ධතා ලෝකයක් වෙත ගැට ගසන්නීය.
කිං මිය ගියත් I have a dream නම් වූ ඒ ප්‍රබුද්ධතා ලෝකයේ අග්‍රඵලය මිය නොයන්නේද එනිසාය.