ස්ටෝරි බෝඩ් යනු වෙළඳ දැන්වීම්කරණය තුළ මෙන් ම සිනමාව, ටෙලිනාට්‍ය කලාව ආදී ඩිජිටල් කලාවන්වලට නැතුවම බැරි කලාවකි; මෙය අධ්‍යක්ෂකවරයාගේ මනසින් මැවෙන කතන්දරයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ප්‍රථම, පූර්ව දෘශ්‍යකරණය කිරීමේ අරමුණින් ප්‍රදර්ශනය වන සරල නිදර්ශන හෝ රූපවලින් සමන්විත ක්‍රියාවලියකි. එනම්, ‘ස්ටෝරි බෝඩ්’ ඇඳීම චිත්‍ර ශිල්පියාගේ සහ අධ්‍යක්ෂවරයාගේ කලාවයි. අධ්‍යක්ෂවරයා විසින් ලබා දෙන විස්තරය අනුව මැවෙන රූප රාමුව සටහන් කිරීම සරල නොවන සංකීර්ණ ක්‍රියාවලියකි. ස්ටෝරි බෝඩ් ක්‍රියාවලිය ලෝකයේ බොහෝ සිනමා නිර්මාණ, වෙළඳ දැන්වීම් ආදියේ සාර්ථකත්වයේ උපරිමයට බලපෑ කරුණකි.
1940 ගණන්වල මුල් භාගයේ දී සජීවී ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනයේ දී ස්ටෝරි බෝඩින් (ස්ටෝරි බෝඩ් මෙනමින් ද හැඳින්වේ.) ජනප්‍රිය වූ අතර චිත්‍රපටවල පූර්ව දර්ශනය සඳහා සම්මත මාධ්‍යයක් දක්වා එය මූලිකව වර්ධනය විය. පසුකාලීනව කතන්දර පුවරු (ස්ටෝරි බෝඩින්) නිර්මාණාත්මක ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය.
‘ස්ටෝරි බෝඩ්’ භාවිතය ලෝක සිනමාව තුළ ඉතා බහුලය. ජෝර්ජ් ලූකස්ගේ ස්ටාර් වෝර්ස් (1977) සිනමා පටය තුළ CGI ට පෙර, ලූකස් සංකීර්ණ අභ්‍යවකාශ සටන් සහ දෘශ්‍ය ප්‍රයෝග නව නිර්මාණයේ දී ස්ටෝරි බෝඩින් මත විශ්වාසය තබා ඇත. මෙවන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය සහ ගොඩනඟා ගත යුතු, සජීවීකරණය කළ යුතු දේ තේරුම් ගැනීමට කතන්දර පුවරු උපකාර වී ඇත. ස්ටාර් වෝර්ස් හි ‘ස්ටෝරි බෝඩ්’ යොදා ගැනීමෙන් ලද සාර්ථකත්වය දෘශ්‍ය ප්‍රයෝග කතන්දර කීම වෙනස් කළ අතර එහි කතන්දර පුවරු දශක ගණනාවක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියා අනුපිළිවෙළ සඳහා සැකිලි බවට ද පත් විය.
මෑත කාලීන සිනමාව තුළ ඉතා විශේෂ අවස්ථාවක් ලෙස ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Inception(2010) සිනමා පටය හැඳින්විය හැකි ය. මෙහි දී සංකීර්ණ සිහින ස්ථර සහ ගුරුත්වාකර්ෂණ, විරෝධී ක්‍රියා හරහා ගමන් කිරීමට ඉතා සවිස්තරාත්මක කතන්දර පුවරු භාවිත කරන ලදී. මෙම සිහින ලෝක කලින් දෘශ්‍යමාන කිරීම, සුසංයෝගී දෘශ්‍යවල වියුක්ත සංකල්ප පදනම් කර ගැනීමට මෙම කලාව ඉතා වැදගත් විය.
ලාංකේය කතන්දර පුවරු (story board) කලාව පිළිබඳ කතා කිරීමේ දී සුනිල් ඩී. සොයිසා ලංකාවේ දැනට සිටින ප්‍රවීණතමයෙකි. ඔහුගේ සිතුවම් කලාව වෙළඳ දැන්වීම් ‘ස්ටෝරි බෝඩින්’ දක්වා ගලා ගියේය. ඔහුගේ අදහස ‘ස්ටෝරි බෝඩ්’ ක්‍රියාවලිය නිර්මාණයක අගය නිශ්චිත කිරීම සඳහා භාවිත කළ හැකි බවයි.
” ‘ස්ටෝරි බෝඩ්’ කලාව කියන්නේ විශේෂයෙන් ම වෙළඳ දැන්වීම් නිර්මාණයේ දී යොදා ගන්න දෙයක්. අපේ සේවාදායකයාට අදාළ නිර්මාණය පෙන්විය යුතු නිසා පිටපත් රචකයා එය මුලින්ම ලියනවා. ඒ ලියපු එක අපි චිත්‍ර කතාවක් විදිහට රූප රාමු අඳිනවා. තත්පර තිහක වගේ වැඩකට සාමාන්‍යයෙන් රූප රාමු දහඅටක් විස්සක් වගේ යනවා. කැමරාකරණය කරන අයට මේක විශාල පහසුවක්.”
කැමරාකරණයේ යෙදෙන්නන්ට අදාළ රූප රාමුව පිළිබඳ පැහැදිලි දැක්මක් සහ කිසිවක් අතපසු නොවීම ‘ස්ටෝරි බෝඩ්’ ඇඳ තිබීම පහසුවකි.
“කිසිම දෙයක් මඟහැරෙන් නැති නිසා ‘ස්ටෝරි බෝඩ්’ ඇඳීම සිනමාව, දැන්වීම් කලාව මේ හැම දේකදී ම ගොඩක් වැදගත්. උදාහරණයක් විදිහට ලියන මේසයක ජවනිකාවක් නම් ලියන මේසයේ තියෙන පෑන පවා මෙහි දී සටහන් වෙනවා. ඒ නිසා අදාළ නිර්මාණයේ කිසිවක් මඟ නොහැරී සාර්ථකත්වයට ‘ස්ටෝරි බෝඩ්’ විශාල වශයෙන් බලපානවා.”
චිත්‍රපටයකට කතන්දර පුවරුව (ස්ටෝරි බෝඩ්) මූලික වශයෙන් රාමු මාලාවක් වන අතර, චිත්‍රපටයක සිදුවීම් අනුපිළිවෙළෙහි චිත්‍ර, චිත්‍රකතා පොතකට හෝ කලින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයේ යම් කොටසකට හෝ සමාන වේ. එය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට, සිනමාකරුවන්ට සහ රූපවාහිනී වෙළඳ දැන්වීම් සේවාදායකයන්ට දර්ශන දෘශ්‍යමාන කිරීමට සහ ඒවා ඇතිවීමට පෙර ගැටලු සොයා ගැනීමට උපකාරී වේ. මීට අමතරව, කතන්දර පුවරු(ස්ටෝරි බෝඩ්) සමස්ත නිෂ්පාදනයේ පිරිවැය ඇස්තමේන්තු කිරීමට සහ කාලය ඉතිරි කර ගැනීමට ද උපකාරී වේ. බොහෝ විට කතන්දර පුවරුවල චලනය පෙන්නුම් කරන ඊතල හෝ උපදෙස් ඇතුළත් වේ. සුනිල් ඩී සොයිසා පවසන පරිදි ස්ටෝරි බෝඩ් කලාව අධ්‍යක්ෂකවරයාගේ මනසෙහි චිත්‍රණය වන අවස්ථා ගෙන හැර දැක්වීමකි.
“හැමවෙලාවකම ස්ටෝරි බෝඩ් අඳින්නේ නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා ලබා දෙන මඟපෙන්වීමේ උපදෙස් මත. මොකද අධ්‍යක්ෂකවරයාගේ මනසෙ තමයි අදාළ නිර්මාණය ගලා ගෙන යන්නේ. එන්න ඕන කැමරා කෝණය, රූප රාමුවේ ප්‍රමාණය මේ සියල්ල තීරණය කරන්නේ ඔහු. ඒ අනුව තමයි වැඩේ සාර්ථක වෙන්නේ.”
ස්ටෝරි බෝඩ් කලාව වේදිකා නාට්‍ය නිර්මාණ, සජීවිකරණ, වෙළඳ දැන්වීම්, සිනමාව ආදී බොහෝ ක්ෂේත්‍රවල භාවිත කරනු ලැබේ. නමුත් වර්තමානයේ ලංකාව තුළ ස්ටෝරි බෝඩ් කලාව වැඩි වශයෙන් භාවිත කරනුයේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ය.
“විජේ ධර්මවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් සහ දිමුතු කාලිංගගේ කැමරාකරණයෙන් නිර්මාණය වුණ කිරිපිටි ඇඩ් එක මට මතක හිටින අවස්ථාවක්. රෑ එළිවෙනකම් අපි කතා බහ කරමින් අවශ්‍ය කරන රූපරාමු සැලසුම පෙළගස්ව ගත්තා. අපේ මහන්සිය නිසා එය සාර්ථක වැඩක් වුණා. ඒ වගේ ම බීම වර්ගයක වෙළඳ දැන්වීමක් මෑතකදි අපි නිර්මාණය කළා. ඒකත් බොහොම මහන්සි වෙලා අපි කරපු නිර්මාණයක්. ”
සුනිල් ඩී. සොයිසා තමන් දායක වූ නිර්මාණ අතර සුවිශේෂී අවස්ථා බොහෝමයක් වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ විය.
‘ස්ටෝරි බෝඩ්’ ඇඳීම අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම මත පමණක් කළ නොහැකි බව මේ පිළිබඳ ව විශ්ලේෂණාත්මක ව බැලීමේදී තහවුරු වේ. අදාළ ශිල්පියා සතු ශිල්පීය ඥානය කැමරා කෝණ, රූපරාමු වර්ග, රංගනය තුළ වෙනස්වන මුහුණේ ඉරියව් ආදී බොහෝ දේ ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් යුක්ත විය යුතු ය.
“මේ වගේ වැඩකදි ලොකු සංවිධානාත්මක බවක් තියෙන්න ඕනි. ස්ථාන, ඇඳුම් පැලඳුම්, නිරූපණ ශිල්පීන් වගේ ම ඒ රූප රාමුවට අවශ්‍ය මල් පෝච්චියේ පවා අදාළ විදිහට තියෙන්න ඕන. ඒකට ලොකු රුකුළක් මේ ‘ස්ටෝරි බෝඩ්’. උදාහරණයක් විදිහට අපිට ඒ වෙළඳ දැන්වීම රූපගත කරන ස්ථානය පිළිබඳ දැනුම තියෙන්න ඕන. කැමරාව මොන කෝණයකින් ද ක්‍රියාත්මක වෙන්නෙ වගේ හැම දෙයක් ගැනම සාමාන්‍ය දැනීමක් අපට තිබිය යුතු යි.”
මේ ආකාරයට ආයතනිකව ක්‍රියාත්මක නොවී නිදහස් කලාකරුවන් ලෙස ‘ස්ටෝරී බෝඩ්’ කලාවේ නියුතු කලාකරුවන් ලංකාව තුළ සිටින්නේ කිහිප දෙනෙකි. එය සුනිල් ඩී. සොයිසා මහතා තහවුරු කරයි.
“දැනට ලංකාවේ මේ කලාව කරන නිදහස් ‘ස්ටෝරි බෝඩ්’ ශිල්පීන් ඉන්නේ කිහිප දෙනයි. බොහෝ විට දැන් වෙළඳ දැන්වීම් ආයතන මඟින් තමයි මේ සියල්ල බාර අරන් කරන්නේ.”
තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ‘ස්ටෝරි බෝඩ්’ කලාව වෙනස් වෙමින් පවතී.අනාගතයේදී, කතන්දර පුවරු ඇඳීම තවදුරටත් ස්කෙච් පෑඩ් සහ ස්ථිතික රාමුවලට සීමා වූ අතින් සිදු කරන ක්‍රියාවලියක් නොවනු ඇත. ඒ වෙනුවට, අධ්‍යක්ෂවරුන් සහ කලාකරුවන්ගේ කතන්දර තාක්ෂණය සමඟ අන්තර් ක්‍රියා කරයි. පිටපත කියවන, ස්වරයෙන් ඉන් අර්ථකථනය කරන දේ තේරුම් ගත හැකි සහ තථ්‍ය කාලය තුළ සජීවීකරණ කතන්දර පුවරු ජනනය කරන AI පද්ධති දැන් නිර්මාණය වී ඇත. සරල ප්‍රේරණයකින්, සම්පූර්ණ දර්ශන ත්‍රිමාණ අවකාශයේ දෘශ්‍යමාන කිරීම මෙමඟින් සිදු වේ. මනෝභාවයන් ආලෝකකරණය, කැමරා කෝණ සහ චරිත ආදී සියල්ල ග්‍රහණය කර ගැනීම මේ හරහා සිදුවේ. මේ හරහා කතන්දර පුවරු ඇඳීම කතන්දර කීමේ ක්‍රියාවක් බවට පත් වනු ඇත.
Shai,Storyboard Hero, Boords, Reelmind දැනට නිර්මාණය වී ඇති වේදිකා කිහිපයකි. මෙමඟින් නිර්මාණකරුවන්ට ස්ක්‍රිප්ට් පිටපත වේගයෙන් දෘශ්‍යමාන කිරීමට, සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ පිරිවැය අඩු කිරීමට හැකියාව ලබා දෙයි. අනාගත ලෝකයට කලාව ද තාක්ෂණික ක්‍රියාවලියක් තුළින් ජනනය වනු ඇත. නමුත් මනුෂ්‍ය භාව කැටි කරගත් සුනිල් ඩී. සොයිසා වැනි කලාකරුවන්ගේ දක්ෂතාවයට ආදේශ කළ හැකි යමක් බිහි නොවනු ඇත.
(සුනිල් ඩී සොයිසා මහතා සමඟ කළ සංවාදයක් ඇසුරිනි.)