පළි ගැනීම කියූ පමණින් මතකයට නැඟෙන්නේ ජී.බී. සේනානායක සූරීන් විසින් ලියන ලද ‘පළි ගැනීම’ නමැති අපූරු කෙටිකතාව ය. මේ කතා කරන්නේ ඒ ගැන නො වේ; මහජන දේපළ, රටේ ජාතික ධනය, සොරකම් කළ විපක්ෂයේ දේශපාලකයන්ට අධිකරණය මඟින් දඬුවම් පමුණුවන විට, ආණ්ඩුව විපක්ෂ දේශපාලකයන්ගෙන් පළි ගන්නා බවට මේ දිනවල ඇහෙන කන්දොස්කිරියාව ගැන ය.
මෙහිදී කිව යුත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට මේ රටේ රාජ්‍ය ආයතන අකුරට, තිතට, නීතියට වැඩ කරන්න පටන් ගෙන තිබෙනවා මිස, මෙහි ඇති පළි ගැනීමක් නැති බවයි. සිරගත වන අතර ආණ්ඩුවට චෝදනා කරන උදවිය වෑයම් කරන්නේ දෑතින් විළි වසා ගන්න ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායක පසුගිය දා මේ පිළිබඳ ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළේ ය:
“දූෂණ විරෝධි පනත මඟින් සම්මත කර තිබෙන්නේ සම්පූර්ණයෙන් ම ස්වාධීන වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස රටේ නීතිය මඟින් දී තිබෙනවා. වසර 20ක් අධිකරණයේ විනිශ්චයකාරයකු ලෙස වැඩ කරපු මම නීතියේ බලය ඉතා හොඳින් දන්නවා. මට කිසිම දේශපාලනඥයකු කිසිවක් කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම, කිසිම දේශපාලනඥයකු කියන දෙයක් අහන්න මට අවශ්‍යතාවකුත් නෑ. අපට කාටවත් විරුද්ධව අලුතෙන් නඩු හදන්න වුවමනාවකුත් නැහැ. මොකද, අවශ්‍ය තරම් පැමිණිලි තිබෙනවා. ඒවා ඉවර කරගන්න බැරුවයි අපි ඉන්නේ. අපට සාක්ෂි තිබෙනවා නම්, අප ඕනෑම කෙනකුට විරුද්ධව නඩු පවරා දඬුවම් බලා දෙනවා. කිසිවකුගේ බලපෑම්වලට අප යටත් වන්නේ නැහැ. මොකද, අපට බලපෑම් කරන්න කිසිවකුට අවශ්‍යතාවක් ඇති වෙන්නෙත් නැහැ. කවුරුන් හෝ බලපෑම් කළොත්, ඒ බලපෑම්වලට විරුද්ධව ක්‍රියා කරන හැටිත් දූෂණ විරෝධි පනතේ තිබෙනවා.”
කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන්නේ ඉතා පැහැදිලි සත්‍යයකි. ඉතිහාසයේ ප්‍රථම වරට මේ රටේ ආණ්ඩුවක් අධිකරණයට නීතිය හරියට කරන්න අවශ්‍ය පසුතලය නිර්මාණය කර දී තිබේ. අල්ලස් වැරදි සම්බන්ධයෙන් පහළ නිලයන්ට නීතියෙන් දඬුවම් කළ අවස්ථා ඉඳහිට අසන්න ලැබුණත් සුදුකරපටි ලොක්කන් නීතියේ ගිරයට හසු වූයේ නැත. ලංකාව උගසට තබන ඇතැම් දූෂිත ගනුදෙනු සිදු වූයේ මේ රටේදී නොව, ලොව ඉහළ ම පෙළේ තරු හෝටල්වල දී ය. අල්ලස් දූෂණ මඟින් උපයාගත් කළු සල්ලිවලින් ඉදි වන මහා මන්දිර දෙස ජනතාව තූෂ්ණීම්භූතව බලා සිටියත්, ඒවායේ අක්මුල් සොයන යන්ත්‍රණයක් ක්‍රියාත්මක වී තිබුණේ නැත.
අල්ලස මුල් බැස ගත් රටක් ඉන් මුදාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් රාජ්‍ය සේවාවන් සලසා ගැනීම සඳහා අල්ලස් දීම වරදක් ලෙස නොදකින බව ය. ඒ, රට වැටී තිබුණු පරිහානියේ තරම ය. එය කොතරම් ඛේදජනක තත්ත්වයක් ද යත්: එකී සමීක්ෂණයට අනුව යම් රාජ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් ඉල්ලීම හෝ ඒ සඳහා බල කිරීම හෝ සාමාන්‍ය දෙයක් බව රටවැසියන්ගෙන් 46%ක් විශ්වාස කරති. වර්තමාන ආණ්ඩුව බලයට පත් වන විට රටවැසියන් සිටියේ රාජ්‍ය ආයතනයකින් සේවාවක් ඉටු කර ගැනීමට යෑමේ දී විඳින්න සිදු වන පීඩාව ගැන සිතන විට අල්ලස් දීම එක ම විකල්පය ලෙස පිළිගන්නා තැනක ය. රාජ්‍ය ආයතනයකින් යම් සේවාවක් ඉටු කර ගැනීමට ගොඩ වැදෙන සෑම පුද්ගලයකු ම තමා පැමිණි කටයුත්ත කර ගැනීමට තැරැව්කරුවකු සොයා වටපිට බලන තැනට රට වැටී තිබිණි.
ප්‍රභූ පෙළැන්තියේ සුදුකරපටි අපරාධකරුවන් සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල විභාග වන නඩු සංඛ්‍යාව සියයකට ආසන්න ය. අධිකරණයේ සුපිළිපන් භාවය රැකෙන පරිදි ඒ නඩු සඳහා තීන්දු ලැබෙන බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟී තිබේ.
ජනතාව අපේක්ෂා කළ වෙනස එයයි.