Home » ගාසාවේ දරුපැටවුන් බේරාගන්න තනිවම නැඟී සිටින යකඩ කෙල්ල Greta Thunberg

ගාසාවේ දරුපැටවුන් බේරාගන්න තනිවම නැඟී සිටින යකඩ කෙල්ල Greta Thunberg

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment
ටානියා මෝසස්

මිනිසුන්ගේ අමානුෂිකකම සම්බන්ධව යම් අදහසක් අප කාටත් තිබේ. එහෙත් අප ජීවත් වෙමින් සිටින ලෝකය මේ තරම් අශිෂ්ට සහ ජඩ මෙන්ම ආත්මාර්ථකාමි ම්ලේච්ඡත්වයෙන් යුත් එකක් බව අපට කියා දෙමින් සිටියේ ගාසා තීරයේ සිදු කරමින් ඇති විනාශයයි. ගාසා තීරය ලොව තිරිසන්කම සලකුණු කරන දර්ශකය බවට පත් කර තිබුණේ ඒ අනුවය.

දීර්ඝකාලීන අර්බුදය මාධ්‍යයේ ගෝලීය අවධානය අඩු කර දමා තිබිණි. ගාසා තීරයේ අපරාධ ලෝක සංවාදයේ සිරස්තලවලින් ඉවත් වෙමින් පැවතිණි. තරගකාරි ගෝලීය හදිසි අවස්ථා ඒ ස්ථාන අත්පත් කරගනිමින් සිටියේය. මහජන හඬ අවධානය සහ පීඩනය තීව්‍ර කළ යුතු අවස්ථාවක ගිලිහෙමින් ඇති ලෝක අවධානය හේතුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් දරු පැටවු මිය ගියහ. කුසගින්න දරාගත නොහැකිව මැරී වැටුණහ. ලෝකයේ අතපල්ලෙන් වැටුණ අසරණ ජාතියක් වැළලෙමින් තිබුණේය.

මේ මැකී යන සංවාදය යළිත් මහත් ජවයකින් මතු කරන්නී විසිදෙහැවිරිදි කෙල්ලකි. ඇය කුඩා යාත්‍රාවක නැඟී ගාසා තීරයට ඇතුළු වීමට උත්සාහ කළාය. ඒ කුසගින්නේ මියයන ගාසා තීරයේ දරුවන්ට හා ගැහැනුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් සංකේතාත්මකව රැගෙන යමිනි. ඊශ්‍රයාලය විසින් ගාසාවේ මනුෂ්‍යයන්ට කෑම ටික පවා දැඩි ලෙස සීමා කරමින්, ආධාර බෙදාහැරීම අවහිර කර ඇති මොහොතක ලෝක සංවාදයක් ඇති කරමින් ඇය මේ මැදිහත්වීම කරන්නීය.

ඇය ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග්ය. අවුරුදු 16ක පාසල් දැරියක ලෙස දේශගුණ විපර්යාස සිදු කරන මානව ක්‍රියාකාරකම්වලට එරෙහිව Fridays for Future නමැති ලෝකයම හෙල්ලූ වර්ජනයක කැඳවුම්කාරිය වූයේ ඇයයි. කොණ්ඩ කරල් දෙකක් සහිත මේ පුංචි කෙල්ල ලොව පුරා මිලියන ගණනක මිනිස්සු දේශගුණ විපර්යාසයන්ට තුඩු දෙන මානව ක්‍රියාකාරම්වලට එරෙහිව විරෝධතා පුවරු සහිතව මහමඟට ගෙන ඒමට සමත් වූවාය. 2018 අගෝස්තු 20 දා ස්වීඩනයේ ඇති වූ මහා ළැව් ගින්නෙන් සිදු වූ විනාශයෙන් කම්පනයට පත් මේ දැරිය එදින පටන් එරට මැතිවරණය පැවත්වෙන දින ‍දක්වා පාසල් නොයෑමට තීරණය කර, පරිසර විනාශය සම්බන්ධ සිය නොකැමැත්ත බෝඩ් කෑල්ලක ලියා‍ගෙන ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරියේ දිනපතා හුදෙකලා සටනක නිරත වූවාය. ‍අවසාන‍යේ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඈ ළඟට පැමිණ “හරි පුතේ, නැඟිටලා ඉස්කෝලෙ යන්න. අපි ‍මේ ගැන මොනවහරි කරමු,” යි කියන ‍තෙක් ඇය තම සටන අත්හැරියේ නැත. එතැන් පටන් ලෝක සන්නාමයක් වූ ග්‍රේටා ගාසාවේ මානුෂික ව්‍යසනයට එරෙහිව දැනෙනසුලු මැදිහත්වීමක් සිදු කරන්නේ 22 හැවිරිදි තරුණියක හැටියටය.

ගාසා තීරයේ ව්‍යසනය

ඒ ව්‍යසනය දැන් ඉදිරිපත් වන්නේ ඉලක්කම්වලිනි. 2023 ඔක්තෝබර් මාසයේ සිට මේ මස මුල වන විට ඇස්තමේන්තු කර ඇති පරිදි දරු පැටවුන් 15,600ක් මරා දමා තිබිණි. මාර්තු මස මුලදී මන්දපෝෂණය සහ විජලනය හේතුවෙන් දරු පැටවු 15ක් මියගියහ. මැයි මස අග සිට මේ මාසයේ මුල් සතිය අතර කාලයේ කුසගින්නේ මියගොස් තිබුණු දරුවන් සහ වැඩිහිටියන් ප්‍රමාණය අවම වශයෙන් 29කි. රොයිටර් වාර්තා අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5ට අඩු දරුවන් ප්‍රමාණය 71,000කට ආසන්නය. ඛේදවාචකය වන්නේ දරාගත නොහැකි කුසගින්නෙන් දිනපතා අවම වශයෙන් දරුපැටවුන් දෙදෙනකු මියයමින් සිටීමය. ගැටුම ආරම්භයේ සිට මේ දක්වා බෝම්බ ප්‍රහාරවලින්, වෙඩි තැබීම්වලින් දෛනිකව දරුවන් 28ක් මියගොස් තිබිණි.

මාස තුනක භූමි අවහිරයකින් පසු ඊශ්‍රායලය මෑතකදී ගාසා තීරයට සීමිත ආධාර සැපයීමට පටන් ගෙන ඇත. එහෙත් පලස්තීනුවෝ 500,000ක් කුසගින්නෙන් පෙළෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය සාගතය ගැන අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝකර් ටර්ක් පසුගිය සතියේ පැවසුවේ, කුසගින්නෙන් මියයෑම හෝ ලබා ගත හැකි සොච්චම් ආහාර ප්‍රමාණයක් වෙත ප්‍රවේශ වීමට උත්සාහ කරන අතරතුර මරාදැමීමේ අවදානම යන දුෂ්කර තේරීම්වලට පලස්තීන වැසියන් මුහුණ දී සිටින බවයි.

ගාසා තීරයේ මුළු රෝහල් පද්ධතියම බිඳවැටී ඇත. රෝහල් මතද පතිත වන බෝම්බ ජීවිත සුනුවිසුනු කරමින් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරව කරන අනතුරු ඇඟවීම් තඹයකට මායිම් වන්නේ නැත. මානුෂීය ආධාර ප්‍රයත්නයට දැඩි ලෙස බාධා ඇති වෙමින් තිබේ. එක්සත් ජාතීන් මඟහැර අමෙරිකා – ඊශ්‍ර­ායල හිතවාදි ආධාර ආකෘතිය මධ්‍යස්ථ භාවය දරුණු ලෙස ප්‍රශ්න කරමිනි. සීමිත ආධාර ප්‍රමාණය බෙදා හැරෙන්නේ – ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය සහාය දැක්වුවද, මානුෂීය ආධාර කණ්ඩායම් විසින් පුළුල් ලෙස හෙළා දකින ලද – Gaza Humanitarian Foundation හරහාය.

සමස්තයක් ලෙස ඊශ්‍රයාලය ප්‍රමාණවත් මානුෂීය ආධාර බෙදාහැරීම් අවහිර කරමින් ඇත. කන්න නොදී මිනිසුන් මරාදැමීම සම්බන්ධ සිතාගත නොහැකි ම්ලේච්ඡත්වය යුද්ධයේ සමූහ ඝාතක අවියක් වූ අවස්ථාවක් මේ තරම් නිර්දය ලෙස ක්‍රියාත්මක වනු මෑත ඉතිහාසය තුළ අප දැක තිබුණේ නැත. රාජ්‍ය නොවන ආයතන සහ මාධ්‍ය පැවතුණේ දැඩි ප්‍රචණ්ඩත්වයට සහ අර්බුදවලට මුහුණ දෙමිනි. මේ තත්ත්වය සේම දිගුකාලීන අර්බුදය මධ්‍යයේ ගෝලීය අවධානය අඩු කර, ගාසාවේ දරුවන් මරාදැමීමට ඉඩහැරීමේ බිහිසුණු නිහඬකම බිඳදමන්නට ග්‍රේටා තුන්බර්ග් ඉදිරිපත් වන්නේ මේ පසුබිමේය. ඇය මේ ක්‍රියාන්විතයට එක් වන්නේ මානුෂීය ආධාර අවහිර කිරීම ඉවත් කරගැනීමත්, එක්සත් ජාතීන්ගේ ආධාර මාර්ග පුළුල් කරගැනීමත් අරමුණු කරගෙන මෙන්ම මධ්‍යස්ථ මානුෂීය ප්‍රවේශයක් සහිත සටන් විරාමයක් පිළිබඳ තියුණු සංවාදයක් අවශ්‍යවම සිටි අවස්ථාවකය.

මැඩ්ලීන් සංචාරය

එක්සත් රාජධානියේ ධජය යටතේ යාත්‍රා කරන මැඩ්ලීන් නමැති නෞකාව ජූනි 1 දින සිසිලියේ කැටානියාවෙන් ගාසා තීරය බලා පිටත් වූයේ අත්‍යවශ්‍ය මානුෂීය ආධාර, ළදරු ආහාර ඇතුළු උපකරණ, සහල්, පිටි, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන, වෛද්‍ය සැපයුම්, ජල ලවණ ඉවත් කිරීමේ කට්ටල, කිහිලිකරු සහ ළමයින්ට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනය. එහි ඉලක්කය වූයේ ඊශ්‍රායලයේ නාවික අවහිර සංකේතාත්මකව බිඳදමා, ජූනි 7 දින වන විට ගාසා තීරයට ආධාර සැපයීමය. ග්‍රේටා තුන්බර්ග් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ප්‍රංස ජාතික රීමා හසන් ඇතුළු මඟීහු දොළොස් දෙනෙක් එහි සිටියහ. මොවුහු සියලු දෙනා ලෝකයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරීහුය.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අනතුරු අඟවා තිබුණේ යාත්‍රාව ආපසු හැරවිය යුතු බවත්, අවහිරතා බිඳදැමීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියා කරන බවත්ය. අනතුරුව X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කීවේ “මැඩලීන් වෛරී කණ්ඩායම ගාසා වෙත පැමිණීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා ලෙසත් මා ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දී ඇත,” ලෙසය. 2007 සිට ක්‍රියාත්මක වන ඊශ්‍රායල් අවහිර කිරීමේ අරමුණ හමාස් වෙත අවි ලබා දීම වැළැක්වීම බවත් හමාස් විනාශ කිරීමට උත්සාහ කරන ඊශ්‍රායලයේ ආරක්ෂාවට එය අත්‍යවශ්‍ය බවත් කැට්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

මේ යාත්‍රාවේ ප්‍රචාරණය ආවරණය කළ ෆ්‍රීඩම් ෆ්ලෝටිලා කෝලිෂන් සංවිධානය (FFC) ඉතාලියේ සිසිලි දූපතෙන් පිටත් වූ යාත්‍රාව මානුෂීය ආධාර රැගෙන යන බවත්, ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට සූදානමින් සිටින බවත් ප්‍රකාශ කළේය. ඔවුන් පිටත් වී තිබුණේ පැමිණිය හැකි අවදානම් සම්බන්ධයෙන් තක්සේරුවක්ද සමඟය.

කුඩා යාත්‍රාව ඊජිප්තු ජලය මඟහරිමින් ගමන් කළේය. යාත්‍රාව මුල් අවදියේ සිටම මහත් ලෝක අවධානය දිනා ගනු ලැබීය. මේ යාත්‍රාවෙන් සංක්‍රමණික සරණාගත කණ්ඩායම්ද මුදාගැනීම් සිදු කෙරිණි. ජූනි 5 දින ගාසා තීරයට විහිදෙන මුහුදු සීමාව වෙත මැඩ්ලීන් යාත්‍රාව යොමු විය. එහෙත් ජූනි 9 දින, ඊශ්‍රායල නාවික හමුදා ඊජිප්තුවේ පෝට් සයිඩ් අසල අන්තර්ජාතික ජලයේදී මැඩ්ලීන් නෞකාව අල්ලා ගත්තේය. වාර්තාවලට අනුව, කමාන්ඩෝ භටයන් මාරාන්තික නොවන ද්‍රව්‍ය භාවිත කර, නැව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වෙත හරවා යවා ඇත.

අන්තර්ජාතික මුහුදේදී කළ මේ ආක්‍රමණය සම්බන්ධයෙන් විරෝධයක් මතු විය. එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් මේ අත්අඩංගුවට ගැනීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස නම් කළේය; මැඩ්ලීන් කුඩා නෞකාව සඳහා ආරක්ෂිත ගමනක් ඉල්ලා සිටියේය. ඇඩාලා සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු මානව හිමිකම් කණ්ඩායම් සමුද්‍ර නීතිය යටතේ මේ බාධා කිරීම නීති විරෝධි ලෙස හැඳින්වීය.

නෞකාව ඊශ්‍රයාලයට

අෂ්ඩෝඩ් වරායට නෞකාව ගෙන එන්නට ඊශ්‍රයාලය කටයුතු කළේය. ග්‍රේටා තුන්බර්ග් සහ ක්‍රියාකාරීහු කිහිප දෙනෙක් රඳවා තබා ප්‍රශ්න කර, අවසානයේ පිටුවහල් කරනු ලැබූහ. ලෝක අවධානයට ලක් වූ තරුණිය ග්‍රේටා දිගු කාලයක් රඳවා තබාගැනීමට වඩා පිටුවහල් කිරීමට තෝරාගනු ලැබීය.

පිටුවහල් කළ ග්‍රේටා පැරිසියේ සිට ස්වීඩනයට යන ගමනේදී මාධ්‍යයට කතා කළාය. ඇය කීවේ මේ බාධා කිරීම අන්තර්ජාතික මුහුදු සීමාවේ සිදු වූ අමානුෂීය මෙහෙයුමක් බවයි. ඇය එය සමාන කළේ පැහැරගැනීමකටය. මේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ඇය හෙළා දුටුවාය. ඊශ්‍රායලය සිදු කරන්නේ ජන සංහාරක ක්‍රියාවක් බව ප්‍රකාශ කරමින් ඒ ම්ලේච්ඡත්වය හෙළා දුටු ග්‍රේටා රඳවාගෙන සිටින මැඩ්ලීන් නෞකාවේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියාය.

ග්‍රේටාගේ මැදිහත් වීමේ වැදගත්කම

මැඩ්ලීන් යාත්‍රාව ගාසාවේ මානුෂීය අවශ්‍යතාවල පරිමාණයට සාපේක්ෂව සුළු සැපයුම් ප්‍රමාණයක් රැගෙන ගිය බව සැබෑය. එහෙත් එහි ග්‍රේටා සිටියාය. ඇයගේ මූලිකත්වයෙන් ඇති කළ මේ මැදිහත් වීම කෙරෙහි ගෝලීය අවධානය යොමු විය; ගාසා තීරයේ අවහිර කිරීම, අන්තර්ජාතික නීතිය සහ ගාසාවේ ම්ලේච්ඡත්වය පිළිබඳ කථිකාව අලුත් කෙරිණි. මේ සිදුවීම ලොව පුරා විරෝධතා ගොනු කිරීමට නිමිත්තක් වූයේය. යුරෝපයේ සිට ඔස්ට්‍රේලියාව දක්වා දහස් ගණනක් ගාසා තීරයට සටන් විරාමයක් සහ මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා පෙළගැසෙන්නට වූහ.

ග්‍රේටා නිරන්තරයෙන් කියා සිටියේ ඇයගේ ක්‍රියා ප්‍රචාරණය නොව, මානව හිමිකම් මත පදනම් වූවක් බවය. “කණ්ඩායම අවදානම් පිළිබඳ සම්පූර්ණයෙන්ම දැන සිටියා. එහෙත් ගාසා තීරයේ සිවිල් වැසියන්ට සහාය වීමේ හදිසි අවශ්‍යතාව අපට එල්ල වන අවදානමට වඩා වැඩියි.” ඇය කීවේ එවැන්නකි.

ග්‍රේටාගේ ගමන ඊශ්‍රයාල ගැත්තන්ට ‘ඉන්ස්ටග්‍රෑම් වික්‍රමයකි; ප්‍රචාරකවාදි ප්‍රයෝගයකි. ඇත්ත නම් ඇයගේ ගමන ගාසා තීරයේ මානුෂීය අර්බුදය යළි දැනෙන ලෙස ලෝක අවධානයට ලක් කළ බවයි. ඇයගේ මැදිහත්වීම භූ-දේශපාලනික අවහිර කිරීම්වලට අභියෝග කිරීම සඳහා නූතන ව්‍යාපාරවලට මඟ පෙන්වා තිබිණි. සදාචාරාත්මක සන්නාමකරණය මනුෂ්‍යත්වයේ මෙහෙයුමකට උපයෝගි කරගත හැකි ආකාරය ඇය නිරූපණය කළාය. එයට මනුෂ්‍යයන් ලෙස අප කොපමණ බරක් තැබිය යුතු දැයි නොදනිමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division