වසර තුනක් ගතව ඇති රුසියානු-යුක්‍රේන යුද්ධය භයානක අන්තයක් කරා රැගෙන යමින්, යුක්රේනය රුසියාවේ රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රධාන හමුදා ස්ථාපනයන්ට එරෙහි ඉලක්කගත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට උත්සුක වන බවක් දක්නට ලැබේ. බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට, පසුගියදා යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියාවේ මූලෝපායික ගුවන් බළකායට අයත් යානාවලින් 34%ක් විනාශයට පත් කෙරිණි. මෙහි සත්‍ය-අසත්‍යතාව කුමක් වුවද, මේ මෙහෙයුම් දෙරට අතර ගැටුමේ සැලකිය යුතු තීව්‍රතාවක් පෙන්නුම් කරන අතර, යුක්රේනයට තම දේශසීමාවෙන් ඔබ්බට බලය ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව වර්ධනය වී ඇති බවක් පෙන්නුම් කරයි.
මිනිසුන් රහිත ගුවන් වාහන මඟින් රුසියානු ගුවන් අවකාශය සාර්ථකව විනිවිද යමින් රුසියාවේ සාම්ප්‍රදායික ගුවන් ආරක්ෂක පද්ධතිවල කාර්යක්ෂමතාව එමඟින් අභියෝගයට ලක් කර ඇති අතරම, අඩු වියදමින් යුත්, කඩිසර තාක්ෂණයන් යොදා ගැනීම තුළ, සාම්ප්‍රදායික මිලිටරි වාසිය කඩාකප්පල් කළ හැකි පරිදි නවීන යුද්ධයේ පරිණාමය වන ස්වභාවයද ඉස්මතු කරයි. මේ ඩ්‍රෝන ප්‍රහාර කලාපීය ආරක්ෂක ගතිකතා නව මානයක් වෙත කැඳවා යමින්, ගැටුම වඩාත් උත්සන්න වීමේ අවදානමක් මතු කරන අතරම, දෙපාර්ශ්වයේම උපායමාර්ගික ගණනය කිරීමේ වෙනසක් සංඥා කරයි. දිග්ගැස්සෙමින් පවතින යුද ගැටුමක් තුළ, දියුණු සහ අසමමිතික මෙවලම් මත වැඩි වන යැපීම නැඟෙනහිර යුරෝපයේ වත්මන් ආරක්ෂක පරිසරයේ අස්ථාවරත්වය සහ සංකීර්ණත්වය අවධාරණය කරයි.
යුක්‍රේනය පාර්ශ්වයෙන් ගත් කල, රට අභ්‍යන්තරයේ රුසියානු ගුවන් කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම මොස්කව් පාලනයට එහි උපායමාර්ගික ප්‍රවේශය නැවත සිතා බැලීමට බල කිරීම සඳහා තීරණාත්මක පියවරකි.
මේ ප්‍රහාර නේටෝව ඍජුවම යුද්ධයට සම්බන්ධ නොවන තාක්, ඒවා පිළිගැනීමට එක්සත් ජනපද පරිපාලනය කැමැත්තෙන් පසු වේ. සැබැවින්ම මෙය ගැටුමට අදාළ එක්සත් ජනපද වුවමනා-එපාකම්වල වෙනසක් පෙන්නුම් කිරීමකි. රුසියානු ආක්‍රමණ මැඬපැවැත්වීමට වොෂිංටනය මෙතෙක් අපොහොසත් වීම තුළ ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට ගත් රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සාර්ථක වන බවක් නොපෙනේ.
රුසියානු පාර්ශ්වයෙන් බලන කල, පරිණාමය වන යුද පිටියේ ගතිකතාවන්ට අනුකූලව තීරණාත්මක සහ කල් යල් බලා ප්‍රතිචාරයක් දීමට දැන් කාලය එළඹ ඇත. අණ දෙන මෙහෙයුම් මධ්‍යස්ථාන, සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති සහ පතොරම් ගබඩා ඇතුළු යුක්රේන හමුදාවන්ට තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගත් තිරසර හා ශක්තිමත් හමුදා මෙහෙයුමක් තුළින් යුක්‍රේනයේ මෙහෙයුම් ධාරිතාව සැලකිය යුතු ලෙස පහත හෙළීම අරමුණු කරගත් උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් වෙත රුසියාව කඩිනමින් එළඹිය යුතුය. එවැනි තීව්‍ර කරන ලද ප්‍රතිචාරයක් තුළින්, තම හමුදාවන් නැවත ශක්තිමත් කිරීමට සහ බලමුළුගැන්වීමට යුක්‍රේනයට ඇති හැකියාව අඩපණ කෙරෙනවා පමණක් නොව, මානසික සහ උපායශීලි වශයෙන් ප්‍රතිවාදි පාර්ශ්වය දුර්මුඛ කළ හැකිය.
මේ ක්ෂණික උපායික අරමුණුවලින් ඔබ්බට යමින්, මෙම ප්‍රවේශය යුක්රේනයට දිගුකාලීනව යුද්ධ කිරීමට ඇති හැකියාව අඩපණ කරමින්, එහි ද්‍රව්‍යමය සම්පත් සහ චිත්ත ධෛර්යය යන දෙකම ඛාදනයට ලක් කොට ගැටුමේ ගම්‍යතාවන් වෙනස් කළ හැකිය. කෙසේ වෙතත්, එවැනි ඕනෑම තීව්‍ර කිරීමක සැලකිය යුතු අවදානමක්ද පවතී. රුසියානු ප්‍රහාර අන්තර්ජාතික ප්‍රජාව විසින් හෙළා දැකීම, කීව් පාලනය පළි ගැනීමේ ක්‍රියාමාර්ග වෙත යොමු වීම සහ යුක්රේනයට ලබා දෙන බටහිර සහයෝගය තවදුරටත් වර්ධනය වීම ඒ අතර ප්‍රධානය.
තවද, යුරෝපා සංගමයේ සහ නේටෝ සාමාජික රටවල් කිහිපයක් ගැටුමට ගැඹුරින් මැදිහත් වීමත් සමඟ ගැටුම වටා ඇති භූ දේශපාලනික භූ දර්ශනය වඩ වඩාත් සංකීර්ණ ස්වභාවයක් උසුලයි. එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල් යුක්රේනයේ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමේදී ඍජු මිලිටරි ආධාර, බුද්ධි අංශ තොරතුරු බෙදාගැනීම හෝ සැපයුම් සහාය හරහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ඇතැම් උපායමාර්ගික විශ්ලේෂණවලට අනුව, යුරෝපා බලවතුන්ගේ මෙම මැදිහත්වීම රුසියානු භූමිය තුළ ඉලක්කවලට පහර දුන් මෙහෙයුම්වලදී යුක්රේනයට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම සඳහා පහසුකම් සැලසීම හෝ අවම වශයෙන් ප්‍රහාරවලට නිහඬ අනුමැතියක් දීම හෝ යන දෙකෙන් එකක් විය හැකිය.
මෙවැනි පසුබිමක, ඇතැම් යුද සහ භූ දේශපාලනික උපායමාර්ගිකයින්ගේ තර්කය වනුයේ රුසියාවට යුක්රේන භූමියට පමණක් සීමා නොවී සමානුපාතික ප්‍රතිචාරයක් සලකා බැලීමට පෙලඹෙනු ඇති බවයි. එවැනි ප්‍රතිචාරයකට මෙලෙස යුක්‍රේනයට සහාය දක්වන නේටෝ රටවල භූමි ප්‍රදේශ තුළ පිහිටි තෝරාගත් හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරගත් නිශ්චිත ප්‍රහාර හෝ සයිබර් මෙහෙයුම් ඇතුළත් විය හැකිය. මෙම ප්‍රවේශය පිටුපස ඇති තර්කය වනුයේ යුරෝපා බලවතුන්ට නිසැක පණිවිඩයක් ලබා දීමයි: ගැටුමට ඍජුව හෝ වක්‍රව සහභාගිත්වය ලබා දෙන්නේ නම් එහි ප්‍රතිවිපාකවලට මුහුණදීමට ද සූදානම් විය යුතු බවයි. උපායමාර්ගික සංයමයකින් යුතුව එවැනි සැලසුමක් ක්‍රියාත්මක කළහොත්, සතුරුකම් උත්සන්න වීම ඒකපාර්ශ්විකව සිදුවන්නක් සහ යුක්රේනයට පමණක් එය සීමා වී ඇති බවට වන උපකල්පනය බිඳදමමින්, ප්‍රතිවාදී පාර්ශ්වය දුර්මුඛ කිරීමක් ලෙස ක්‍රියා කළ හැකි බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි.
කෙසේ වෙතත්, මේ දිශාවට තබන ඕනෑම පියවරක් ගැටුමේ විෂයපථය භයානක අන්තයක් කරා ගෙන යන අතර, එය දැවැන්ත භූදේශපාලනික අවදානමක්ද උද්ගත කරයි. රුසියාවේ එවැනි ක්‍රියාමාර්ගයකට නේටෝවෙන් ප්‍රබල ප්‍රතිචාරයක් එල්ල වීමට ඉඩ ඇති අතර පුළුල් ගැටුමක් උද්ගත වීමට ඇති හැකියාව සැලකිය යුතු ලෙස වර්ධනය කරයි. කෙසේ වෙතත්, රුසියාවේ උපායමාර්ගික ප්‍රජාව තුළ සිටින ඇතැමුන් කල්පනා කරන අන්දමට, එවැනි පියවරක් සලකා බැලීමට රුසියාව යොමු වීම මඟින් පිළිබිඹු වන්නේ බටහිර රටවල වත්මන් ක්‍රියාකලාපය යුද්ධය වළක්වනවාට වඩා එය තව තවත් දිරිගන්වන්නක් බවත්, එවැනි පසුබිමක් තුළ යුක්රේන යුද පිටියෙන් ඔබ්බට යෑමට රුසියාව සූදානම් විය යුතු බවත්ය.
වර්ධනය වෙමින් පවතින මේ ආතතීන් සහ යුද ගැටුම් මධ්‍යයේ, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග වඩ වඩාත් සංකීර්ණ මෙන්ම දුෂ්කර වෙමින් පවතී. මේ අතර, නවතම එදිරිවාදිකම් වටයට විසඳුම් සෙවීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ජා කළ බැව් වාර්තා වේ. රුසියානු ගුවන් කඳවුරු ඉලක්ක කරගත් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව පළි ගැනීමෙන් වළකින ලෙස ට්‍රම්ප් එහිදී පුටින්ගෙන් ඉල්ලා සිටි අතර, ගැටුම පුළුල් ලෙස උත්සන්න වීම වැළැක්වීම සඳහා සංයමයෙන් ක්‍රියා කරන්නැයිද ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, රුසියානු ගුවන් තොටුපොළවලට යුක්රේනය මෑතකදී එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට එරෙහිව පළි ගන්නා බව පුටින් එහිදී අවධාරණය කළ බැව් වාර්තා වේ.