මැයි මස 31 වැනිදා බල්ගේරියාවේ සොෆියා අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට රැස් වූ බල්ගේරියානු ධජ රැගත් දහස් සංඛ්‍යාත ජනතාව, බල්ගේරියාව, යුරෝ මුදල් එකකට එක් කිරීම නැති නම් ‘යුරෝ කලාපයක්’ බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පෑමට මහා පරිමාණව පෙළගැසී ඇති ආකාරය අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
බල්ගේරියානු මුදල් ඒකකය වූ ‘බල්ගේරියන් ලෙව්’ තවදුරටත් ආරක්ෂා කර දෙන ලෙසත්, ඊට අදාළ තීන්දුව ජනමත විචාරණයක් ඔස්සේ තීන්දු කිරීමට අවශ්‍ය පරිසරය බල්ගේරියානු රජය විසින් සකස් කරදෙන ලෙසත් බල්ගේරියානු ජනතාව ඉල්ලා සිටිති. 1880 ගණන්වලදී බල්ගේරියන් ලෙව්’ මුදල් ඒකකය බල්ගේරියාවේ ස්ථාපනය වූ අතර තවදුරටත් එය භාවිතයට මේ විරෝධතා ඔස්සේ ඉල්ලන බව වාර්තා වී ඇත. බල්ගේරියානු ජාතිකවාදීන් මේ විරෝධතා ව්‍යාපාරවල පෙරමුණ ගෙන ඇති අතර පුරවැසි කණ්ඩායම්ද මේ උදෙසා නායකත්වය දී ඇති බව විදෙස් මාධ්‍ය රූප රාමු ඔස්සේ වාර්තා කර ඇත.
මේ විරෝධතා ඔස්සේ නිර්මිත යථාර්ථය වන්නේ, බල්ගේරියානු වැසියන්, යුරෝ කලාපයට සම්බන්ධ වීමට කැමැත්තක් නැති බව නොවේද? මේ අයුරින් බල්ගේරියානු වැසියන් යුරෝ මුදල් ඒකකය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිද යන්න විමසීම වැදගත්ය.
2007 වසරේදී, යුරෝපීය සංගමයට එක් වූ බල්ගේරියා රාජ්‍යය, යුරෝපීය සංගමයේ සාමාජික රාජ්‍ය අතර දරිද්‍රතාවේ ඉහළින්ම සිටින රාජ්‍ය කාණ්ඩයට අයත් වීම තදබල ගැටලුවකි. මිලියන 6.4ක ජනතාවක් ජීවත් වන බෝල්කන් රාජ්‍යයක් වූ බල්ගේරියාව වසර ගණනාවක පටන්ම යුරෝපීය සංගමය හා එහි ප්‍රතිසංස්කරණ උදෙසා ඒකාබද්ධතාව පිළිබඳ තීරණාත්මක ප්‍රවේශයක්, යුරෝ මුදල් ඒකකය වෙත මාරු වීම සම්බන්ධයෙන් දැරූ රාජ්‍යයක් ලෙස විස්තර වී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය විස්තර කර තිබිණි.
බල්ගේරියානු වත්මන් ජනපති රුමෙන් රාදෙව් යුරෝ විරෝධි හඬවල් දිරිමත් කළ බවත්, 2025 අප්‍රේල් මස යූරෝ මුදල් ඒකකය පිළිබඳ නිසියාකාර තීරණයකට හා ප්‍රවේශයකට එළඹීමේ අරමුණින් බල්ගේරියාව ජනමත විචාරණයකට රැගෙන යාමේ සුවිශේෂ වූ අභිලාෂයක් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් යුරෝපීය සංගමයට හිතවාදි බල්ගේරියානු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් මේ ජනමත විචාරණය පැවැත්වීම උදෙසා සහායක් පළ කර නැති බවද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
* ජනපති රාදෙව්, මොස්කව් හිතවාදීද?
2016 අගෝස්තුවේදී බල්ගේරියානු විපක්ෂය වූ සමාජවාදී පක්ෂය හා ඒබීආර් පක්ෂය නිල වශයෙන් එකඟතාවෙන් 2016 බල්ගේරියානු ජනපතිවරණය උදෙසා වත්මන් ජනපති රාදෙව්ගේ නම යෝජනා කළ අතර, ජනපති තරගය ජය ගෙන 2017 සිට බල්ගේරියානු ජනපති ධුරය උසුලනු ලැබීමට සුදුසුකම් ලැබීය. හිටපු මේජර් ජනරාල්වරයකු වූ ජනපති රාදෙව් බල්ගේරියානු ගුවන් හමුදාවේ ඉහළ පෙළේ අණ දෙන නිලධරයකු ලෙසද සේවයට එක් වූ අයකු බව විස්තර වී ඇත.
දේශපාලන දැක්ම අතින් ජනපති රාදෙව් විස්තර වන්නේ, ඔහු රුසියාව සමග සමීප වූත්, යහපත් වූත් සබඳතාවක් පවත්වාගෙන යන රාජ්‍ය නායකයකු ලෙසිනි. ජනපති රාදෙව් වරෙක එක්සත් ජනපද ගුවන් යුද පාසලෙහි (ඇලබාමා) අධ්‍යාපනය හදාරන අවස්ථාවේ කළ ප්‍රකාශයකින් මේ තත්ත්වය වඩාත් හොඳින් තහවුරු වී ඇත. එනම්: බල්ගේරියාව නේටෝව සමඟ ස්ථාපිත කිරීමට කටයුතු කරන අවස්ථාවේ ජනපති රාදෙව් ප්‍රකාශ කර ඇත්තේ, යුරෝපීය හිතවාදියකු වීම යන්නෙන් අදහස් වන්නේ, රුසියානු විරෝධි වීමක් නොවන බවයි.
රුසියාව විසින් යුක්ක්‍රේනය ආක්‍රමණය කරන ලද අවස්ථාවේ යුරෝපීය සංගමය විසින් රුසියාවට සම්බාධක පැනවීම නැවත්වීමට ජනපති රාදෙව් මැදිහත් වූ බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකයන් විස්තර කර තිබූ බව විදෙස් මාධ්‍ය දක්වා තිබිණි. එබැවින්, බොහෝ දේශපාලන විචාරක පිරිස් මේ ආකාර තත්ව මත පිහිටා බල්ගේරියානු ජනපති රාදෙව්, මොස්කව් හිතවාදිත්වය දරන බව පැවසීමට කරුණු ගොනු කර ඇති බව පැහැදිලි වේ.
බල්ගේරියානු විරෝධතාවලට එක් වූ පිරිස්, රුසියානු හිතවාදි Vazrahdane පක්ෂයේ ධජ රැගෙන පැමිණි බව විදෙස් මාධ්‍ය රූප රාමු සහිතව ප්‍රදර්ශනය කර තිබිණි. එහිදී සුවිශාල බැනර් ප්‍රදර්ශනය මඟින් පෙන්නුම් කළ වැකි අතර ප්‍රධානත වැකිය වූයේ බල්ගේරියන් ‘ලෙව්’ උදෙසා වූ සටන බල්ගේරියාව සඳහා වූ අවසාන සටන බවයි. මෙමඟින් ඉතා ගැඹුරු අදහස් විද්‍යමාන වන අතර, 2007දී බල්ගේරියාව යුරෝපීය සංගමයට ඒකාබද්ධ වූවද ස්වකීය මුදල් ඒකකය වූ ‘ලෙව්’ දිගින් දිගටම භාවිතය තුළ අදටත් වෑයම් කරනු ලබන්නේ ස්වකීය අනන්‍යතාව තහවුරු කරගැනීමක් පවතින උපායමාර්ගික ගෝලීය ආර්ථික ක්‍රමය තුළ පවා ස්ථාපිත කරගැනීමක් නොවේද?
බල්ගේරියානු ජනපති රුමෙන් රාදෙව් ද යුරෝ මුදල් ඒකකය, බල්ගේරියාවට ස්ථාවර කිරීම පිළිබඳ විරුද්ධත්වය පළ කළ පිරිස් අතරට එක් වන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. අනෙක් අතින් විරෝධතාවලට බල්ගේරියාවේ සොෆියා අගනගරයට එක් වූ බල්ගේරියානු නායකත්වයන් ඉතා දැඩිවම ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ට අවශ්‍ය බල්ගේරියානු ‘ලෙව්’ මුදල් ඒකකය විනාශ කරගැනීම නොව එය සුරක්ෂිත කර ලීමයි බව ප්‍රකාශ කර තිබිණි.
බල්ගේරියානු ආර්ථිකය මේ වන විට අත්පත් කොටගෙන ඇති ආර්ථික ස්ථායිකරණය යුරෝපීය කොමිසම දකින්නේ එය යූරෝ කලාපයට එක් වීමට බල්ගේරියාව සුදුසුම තත්ත්වයක පසු වන බවයි. එබැවින්, මේ ගතිකත්වයන් දෙක අතර බල්ගේරියාවට, යුරෝ මුදල් ඒකකය පිළිගැනීමට සිදු වේද නැති නම් ‘ලෙව්’ මත පිහිටි එය සුරක්ෂිත කරලීමට යුරෝපීය තීරණ ඉඩ දෙයිද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.