මෙරට ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන සඳහා පත්වීම් බොහොමයක් ගෙවී ගිය සති කිහිපය තුළදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සිදු කරන ලද නමුත්, ඒවායේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු පෙන්වා දීමට සිදු වීම කනගාටුවට කරුණකි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග මාලාව, 2025 මැයි මස 21 දිනැති අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද නමුත්, එහි උණුසුම පහව යන්නත් පෙර එකී වගන්තිවල ඇතුළත් රෙගුලාසි අමුඅමුවේ උල්ලංඝනය කරමින් කරන ලද පත්වීම් සම්බන්ධවද පසුගිය සතිය තුළදී දැනගන්නට ලැබිණි.
“කුසලතාව, සාධාරණත්වය සහ විනය සපිරුණු නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ මහජන අභිලාෂයන් යථාවත් කිරීම අධිෂ්ඨාන කරගෙන, ෙමම නව රෙගුලාසි මාලාව පනවනු ලබන්නේ ක්‍රීඩා පරිපාලනය පිළිබඳ නව ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා මෙන්ම ක්‍රීඩා පරිපාලනය විනිවිදභාවයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියාත්මකව පවතින බවට සහතික කිරීම සඳහාය,” යනුවෙන් එම නියෝග මාලාව නිකුත් කරමින් පනවන ලද ගැසට් නිවේදනයේ පෙරවදනෙහි ඇමැතිවරයා විසින් සඳහන් කළද එකී සඳහන් කළ අරමුණු සහ අපේක්ෂා මෙවන් පත් කිරීම් මඟින් ඉටු නොවන බව නම් ඉතා පැහැදිලිය.
අසන්නතම උදාහරණය ගත හොත්: ජාතික තේරීම් කමිටුව සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන ලද සභාපතිවරියගේ සහ යම් සාමාජිකයන්ගේ පත්වීම් ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීමකි. නව පත්කිරීම්වලට අනුව ජාතික තේරීම් කමිටුව: ශ්‍රියානි කුලවංශ (සභාපති, ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව), මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ (ලේකම්, ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව), මේජර් රාජිත සමරසේකර (සම්බන්ධීකරණ නිලධාරි, ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව), කමල් ගම්ලත් විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරි, ක්‍රීඩා අමාත්‍යංශය ), රුවන් පෙරේරා (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ, සසෙක්ස් විදුහල), ජයමිණි ඉලෙපෙරුම (විශ්‍රාමික බැංකු නිලධාරීනී, හැටන් නැෂනල් බැංකුව), සුරේෂ් සුබ්‍රමනියම් (සභාපති, ජාතික ඔලිම්පික් කමිටුව), අනුරාධා ඉලෙපෙරුම (අතිරේක ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය) යන අයගෙන් සමන්විතය.
එහෙත් ශ්‍රියානි කුලවංශ යනු ජාත්‍යන්තර පාසලකට සහ වෙනත් පුහුණු ඇකඩමියකට සම්බන්ධව මලල ක්‍රීඩා පුහුණුකාරිනියක ලෙස කටයුතු කරන තැනැත්තියකි. ඒ අනුව ක්‍රීඩා පනතේ රෙගුලාසි පරිදි 6(8) වගන්තියෙන් කියවෙන “නාම යෝජනා ඉදිරිපත් කිරීමට පෙර වසර දෙකක කාල සීමාව තුළ එම ජාතික සංගමයේ/ සම්මේලනයේ වෘත්තීය පුහුණුකරුවකු/ තාක්ෂණික නිලධාරියකු/ විනිශ්චයයකරුවකු වශයෙන් කටයුතු කර ඇත් නම්,” යන නුසුදුසුකමට ඇය යටත් විය යුතුය. තවද, ශ්‍රියානිගේ ස්වාමිපුරුෂයාද පාසලක මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන බැවින්, ඇය ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර දැරීම ආචාරධර්මවලට පටහැනි ලෙස ඇති කරන ළබැඳියාව පිළිබඳ ගැටලුවක්ද ඉස්මතු කරනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.
එසේම සසෙක්ස් විදුහලේ, ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන රුවන් පෙරේරා ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කිරීමද ඉහත කී වගන්තියම උල්ලංඝනය කිරීමකි. තවද, ජාතික තේරීම් කමිටුවකට පත් කළ යුත්තේ වර්තමානයේ ක්‍රියාකාරිව සිටින මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිසි අවබෝධයක් ඇති පුද්ගලයන් මෙන්ම ජාතික හා අන්තර්ජාතික වශයෙන් ක්‍රීඩා විෂයය සම්බන්ධයෙන් යාවත්කාලීන වී ඇති අයයි. එසේ නැතිව, දශක ගණනකට පෙර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් කෙනකු ඔලිම්පික් ගිය මිතුරකු වූ පමණින් ජාතික තේරීම් කමිටුවකට සුදුසුකමක් නොවන්නේය. තවද දැනගන්න ඇති පරිදි මේ පත් වීමට පෙර ඇය විසින් දරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන්ද ශ්‍රියාණි කුලවංශ පසුගිය බදාදා (4) වන තුරු ඉල්ලා අස්වී නැත. ඒ, ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් ඇයට හා අවට සිටින අයට ඇති අනවබෝධය නිසා වන්නට පුළුවන.
කෙසේ වෙතත් මෙවන් ආකාරයෙන් ජාතික ක්‍රීඩා සභාව සඳහාද ක්‍රීඩා ඇමැතිවරයා විසින් කරන ලද පත්වීම් හරහා ක්‍රීඩා පනත උල්ලංඝනය කර ඇතැයි පෙන්වා දුන්නද ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු බලධාරියකු නීතියට අනුගත වී ඇති බවක් නම් පෙනෙන්නට නැත. එනම් ක්‍රීඩා භාණ්ඩ හා ආම්පන්න අලෙවියට ඍජුව දායක වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු වන රොහාන් අබේකොන් මෙකී රෙගුලාසිවල 6(10) වගන්තිය උල්ලංඝනය කරන බවට සාක්ෂි සහිතව අප පෙන්වා දුනි. එසේම එම වගන්තියම උල්ලංඝනය තවත් පුද්ගලයකු ලෙස ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය දරන නූතන පංච ප්‍රයාම සංගමයේ සභාපතිවරයා හැඳින්විය හැකිය.
කෙසේ වෙතත් එම සභාපති නිශාන්ත පියසේන මේ ලියුම්කරු සමඟ පැවැසූවේ තමන්ගේ ව්‍යාපාරයක් ලෙස පාපැදි අලෙවි කටයුතු කළද එම පාපැදි, ක්‍රීඩාව සඳහා යොදාගන්නා ඒවා නොවන බවයි. එහෙත් ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සංගමයේ නිල ලිපිනය ලෙස දක්වා ඇත්තේද සභාපති නිශාන්ත පියසේනගේ කාර්යාලය හෙවත් එම පාපැදි අලෙවි කරන ස්ථානයේම ලිපිනයයි. ඒ නිසා මේ සම්බන්ධව තොරතුරු සොයා බැලීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට අවිස්සාවේල්ල පාරේ මහරගම පිහිටි එම පාපැදි අලෙවි සල වෙත ගිය විට එකී ඇත්ත නැත්ත අවබෝධ කරගත හැකිය.
අවසාන වශයෙන් ක්‍රීඩාවට සිටින අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යාංශ බලධාරීන්ට එක් දෙයක් සිහිපත් කළ යුතුව ඇත. ගෙවී ගිය දශක දෙක තුනක කාලය තුළ සිදු කළාක් මෙන් ක්‍රීඩාව තුළ පතෝල න්‍යාය ක්‍රියාත්මක කරන්නේ නම් රටේ ජනතාව ඉල්ලූ වෙනස මෙන්ම කළ වෙනසෙන් ඵලක් නැත. එනිසා නීති රෙගුලාසි කොතෙක් පැනවූවත් වැඩක් නැත. ක්‍රීඩා පනතේ හිල් එහෙන් මෙහෙන් වසාදැම්මාට ඵලක් නැත. කළ යුත්තේ කිසිවකුගේ මුහුණ නොබලා කෙරුවාව දිහා පමණක් බලා ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. තවත් විදියකින් කිව හොත්: නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ මහජන අභිලාෂයන් යථාවත් කිරීම අධිෂ්ඨාන කරගෙන කටයුතු කරන බව මහජනයාට ඒත්තු ගැන්වීමයි.