Home » ඉන්දියාවෙන් මට විවාහ යෝජනා ඇවිත් තියෙනවා

ඉන්දියාවෙන් මට විවාහ යෝජනා ඇවිත් තියෙනවා

by thanushika
June 7, 2025 12:30 am 0 comment
 කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

ඉන්දීය ජාතිකයකුගේ රුව සිහිපත් කරන, රංගනයට, නිවේදනයට සේම නර්තනයට ද හැකියාවන් පෙන්වන තරුණ කලාකරුවෙකු අපට මුණගැසිණ. 2019 වසරේදී සිරස ෆිල්ම් ස්ටාර් හි ජනප්‍රියම නළුවා බවට පත්වූයේ මොහුය. හින්දියෙන් හා දමිළ භාෂාවෙන්ද සිය කථිකත්වය විදහා දක්වන්නේ සැබවින්ම ඔහු සිංහලයකු බවද ප්‍රේක්ෂකයාට අමතක කරවමිනි. ශෙහාන් මලික් වන ඔහුගේ නම ද ඉන්දීය ආරයට ගැලපෙන අපූරු නමකි.

ශෙහාන් මලික් කියන්නේ කවුද ?

‘JUST AND ORDINARY PERSON A PEACE LOVING SOUL’ මම මාව අර්ථ දක්වන්නේ එහෙමයි. මම සරල, සාමාන්‍ය පුද්ගලයෙක්. කලාකරුවෙක් විදියට මම ප්‍රධානවම කරන්නේ රංගනය. කලා ලෝකය තුළ මගේ තැන මම හදාරමින්, හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ.

ක්ෂේත්‍රයට ඔබ පැමිණි ගමන කොහොමද සිදුවුණේ?

2018 වසරේදී පමණ නිරූපණ ශිල්පියෙක් විදියට තමයි කලා ගමන ආරම්භ කළේ. අදටත් මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදියට වැඩ කරනවා. සිරස ෆිල්ම් ස්ටාර් වේදිකාවේ (2019) ජනප්‍රියම නළුවා ලෙස ජයග්‍රහණය කිරීම තමයි මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. එතැනින් පස්සේ මට මියුසික් වීඩියෝ කීපයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ කෙටි චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු එක්ක වසර කිහිපයක් කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියේ.

මලික්ගේ වත්මන් කලා කටයුතුවල තත්ත්වය කොහොමද ?

දැන් වසර දෙකක වගේ ඉඳලා තමයි ආයෙත් මම කලා කටයුතු ආරම්භ කෙරුවේ. මෑතකදී තිරගත වුණු අංජලා කුරුප්පු මහත්මියගේ ‘ආයෙමත් ආදරෙන්‘ ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ‘ගෝමිය‘ ගේ චරිතයට දායක වුණා. ඊට අමතරව මම මේ වෙනකොට tv සුප්‍රීම් නාළිකාවේ වැඩසටහන් කිහිපයක් මෙහෙයවනවා. ඒවගේම මගේ යූ ටියුබ්, ටික් ටොක්, ෆේස් බුක් නාළිකා හරහා කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. අනපේක්ෂිත රසික ආකර්ෂණයක් මේ කෙටි කාලය තුළ මට හිමි වෙලා තියෙනවා. බටහිර නර්තනය ඉගැන්වීම් කටයුතු වගේම නර්තන ශිල්පියෙක් විදියටත් වැඩ කරනවා. ඉදිරියේදී සිදු කරන්න යෝජිත ටෙලි නිර්මාණ කිහිපයක වැඩ කටයුතු මේ දවස්වල සාකච්ඡා මට්ටමින් සිදු කෙරෙනවා. ඒ වගේම මම මේ වෙනකොට ඉම්පාස් ආයතනයට සම්බන්ධ වෙලා රංගනය පිළිබඳ වැඩිදුරටත් හදාරනවා.

මලික් කියන නම ඔබට ලැබීම අහම්බයක් ද ? නැත්නම් විශේෂ හේතුවක් තියෙනව ද ?

ඒක ඇත්තටම අහම්බයක් කියලයි මම හිතන්නේ. තාත්තා තමයි මට ඒ නම දැම්මේ. හැබැයි අම්මයි, තාත්තයි ඒ කාලේ හින්දි චිත්‍රපට ගොඩක් බලලා තියෙනවා. සමහරවිට එයාලගේ හිතේ රැඳුණු නමක් මට දැම්මා වෙන්නත් පුළුවන්.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග විස්තර ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම අපි ඔබේ සමාජ මාධ්‍ය නාළිකා තුළින් බොහෝ දුරට දකිනවා. විශේෂයෙන්ම සිංහල භාෂාවට අමතරව හින්දි, දමිළ, ඉංග්‍රීසි භාෂාවලින් ඔබ මේ ඉදිරිපත් කිරීම් සිදු කිරීම කැපී පෙනෙන අවස්ථාවක් විදියට දකින්න පුළුවන්. එක්තරා

ඉන්දීය මාධ්‍ය නාළිකාවකින් ඔබ ගැන විශේෂ අගය කිරීමකුත් සිදු වුණා නේද ?

ඔව්, එක්තරා අවස්ථාවක ඉන්දියාවේ ඉන්න ප්‍රධානම ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන vikrant Gupa, Aaj Tak නාළිකාවෙන් මම ගැන කතා කළා. ඒ හරහා මට ඉන්දියාවේ ක්‍රිකට් රසික පිරිසගෙන් ලොකු ආකර්ෂණයක් ලැබුණා. මම සිංහල, ඉංග්‍රීසි, දමිළ හා හින්දි භාෂා හතරෙන්ම කන්ටෙන්ට් හදනවා. භාෂා හතරම මට හොඳට පුළුවන්. හින්දි,දෙමළ භාෂා මම ඉගෙන ගත්තේ චිත්‍රපට, ටෙලි නාට්‍ය බලලා මිසක් ගුරුවරයෙක් යටතේ හැදෑරීමකින් නෙවේ.

ක්‍රිකට්ලෝලී ඉන්දීය තරුණියකගෙනුත් යම් අවස්ථාවක ඔබට ලොකු අගය කිරීමක් හිමි වුණා නේද ?

ඔව් ඉන්දියාවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ටී 10 ක්‍රිකට් තරගාවලියකට මම සහභාගි වුණා. එතැන මොඩ්ලින් ෂෝ එකකුත් තිබුණා. ඉන්දියාවට ජය පතපු ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පියෝ කිහිදෙනෙක් මා එක්ක ෆොටෝ ගත්තා. මම හිතුවේ නෑ එච්චර ප්‍රසාදයක්, ප්‍රසිද්ධියක් මට තියෙනවා කියලා. ඔය කියන තරුණියත් මට ඇවිත් කතා කළේ ඒ වෙලාවේ. ඇය මාව වර්ණනා කළා. ඒ වීඩියෝ එක වයිරල් වුණා. ඉන්දියාවෙන් මට විවාහ යෝජනාත් ඇවිත් තියෙනවා.

මේ තරම් ඉන්දීය ආකර්ෂණයක් ලැබුණු ඔබට එරටින් රංගන ආරාධනා ලැබිලා තියෙනවද ?

මලයාලම් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට ආරාධනාවක් ලැබුණා. නමුත් මම හිතන්නේ ඉන්දියාව ජය ගන්න කලින් මගේ රට තුළ රංගන ශිල්පියෙක් විදියට මම ස්ථාවරය හදාගත යුතුයි කියලා. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් මම මගේ උපරිමය රංගන ශිල්පියකු විදියට ලබා දෙමින් ලාංකේය ප්‍රේක්ෂකයා අතර නමක් දිනා ගන්න ඕන. ඒක තමයි මට මූලිකවම වැදගත් දේ.

ඔබේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් කියමු?

මම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා ගණිත අංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. අධ්‍යාපන කටයුතු හොඳටම කරගෙන තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක් විදියට විශ්වවිද්‍යාලයෙන් පිටවුණා. පාසල් කාලේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි. ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියට මම අවුරුදු පහක් සෙල්ලම් කළා.

මලික් කැමැති වෘත්තීමය කලාකරුවෙක් වෙන්න ද ?

ඔව්, මම අයි ටී ක්ෂේත්‍රයේ රැකියාවක් මීට කලින් කළා. නමුත් ශ්‍රී ලංකාවෙන් වගේම ඉන්දියාවේ රසිකයින්ගෙන් ලැබුණ ප්‍රතිචාර එක්ක මට ගැළපෙනම ක්ෂේත්‍රය කලාව කියලා මම හිතනවා. විශේෂයෙන්ම රංගන ශිල්පියෙක් විදියට මගේ හැකියාවන් වර්ධනය කරගනිමින් ඉස්සරහට යන්න තමයි කැමැති. මේ වෙලාවේ ස්තූති කරන්න කැමැතියි මගේ පවුලේ අයට, ඉම්පාස් ආයතනයේ ප්‍රධානී සද්ධා මංගල සූරියබණ්ඩාර සර්, චේතනී විජේතුංග මිස්ට. මාත් එක්ක රැඳිලා ඉන්න ආදරණීයයන් හැමෝටම ස්තූතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division