Home » ගීතයක් තුළින් කෙටි කාලයකින් මිනිස්සුන්ගේ හිත් නිවන්න පුළුවන්

ගීතයක් තුළින් කෙටි කාලයකින් මිනිස්සුන්ගේ හිත් නිවන්න පුළුවන්

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

by thanushika
June 7, 2025 12:30 am 0 comment
ඉෂානි මාරසිංහ

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කටහඬින් කාගේත් සිත් වසඟ කළ ගායිකාවක්. ඇගේ ගීත රසිකයින් බොහෝ ආදරයෙන් රසවිඳින්නේ ඇගේ නිර්මාණවල ඇති ආදරණීය බව නිසාවෙනි. වසර ගණනකට පසු ප්‍රථම වතාවට ද්වි පුද්ගල ප්‍රසංගයක් ලෙසින් දීපිකා- දිවුල්ගනේ එක්ව ඔබ හමුවට එන නෙතට උලෙළක් ප්‍රසංගය ගැනයි මේ කතාබහ.

“දැනට වසර කිහිපයකට පෙර තිබුණු අදහසක් මත තමයි ‘නෙතට උලෙළෙන් ප්‍රසංගය ආරම්භ වෙන්නේ. බොහෝ අයගේ ඉල්ලීමක් තිබුණා මේ ප්‍රසංගය ආරම්භ කරන්න කියලා. වසර ගණනක සිට විවිධ අයත් මේ සම්බන්ධයෙන් කතා කළා. ඊට පස්සේ මේ ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන අවකාශ Entertainment හි හසිත බස්නායක සහ සමිත ද මෙල් යන දෙන්නා. පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ පර්ත් නුවරදී ප්‍රසංග තුනක් පැවැත්වුණා. ඒ ප්‍රසංග තුනම ඉතාම සාර්ථක ප්‍රසංග තුනක් බවට පත්වුණා. මෙල්බර්න් ප්‍රසංගයට ගිය අපේ නෑදෑ හිතවතුන්ටත් ප්‍රසංගය නරඹන්න නොහැකි වුණා. ඒ තරම් විශාල රසික ආකර්ෂණයක් තිබු නිසා ටිකට්පත් ලබා ගන්න බැරි වුණා. ඒ ලැබුණු ආදරය සහ ඉල්ලීම නිසා ඒ අය විසින්ම ලංකාවට කතා කරලා ලංකාවේත් මේ ප්‍රසංගය කරන්න ඕනෙ කියන අදහසින් නෙතට උලෙළක් ප්‍රසංගය ආරම්භ කළා. මෙම මස 14 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි සවස 6.30ට නෙතට උලෙළක් ප්‍රසංගය පැවැත්වෙනවා.”

ඔස්ට්‍රේලියාවේදී මුලින්ම පැවැත්වුණු ප්‍රසංගය පිළිබඳ ඇය අප හා පැවසුවේ මෙලෙසිනි.

“මේ ප්‍රසංගය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ කරද්දි හරියටම කලට වේලාවට පටන් ගත්තා. ඒ රටවලදිත් හැමෝම කාර්යබහුල වුණත් සවස පහට පටන් ගෙන රාත්‍රී අට වන විට ඉවර කරන්න පුළුවන් වුණා. ඒකත් ඇත්තටම විශේෂත්වයක්. මිනිස්සුන්ගේ කාලය කළමනාකරණය කරගෙන ප්‍රසංගය නැරඹීමට අවස්ථාවක් ලබා දෙන්න සංවිධායකයින් ලොකු කැපවීමක් කළා.”

කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් නම කියූ සැණින් කාගේත් මතකයට පැමිණෙන රසවත් ගීත ගොන්නක් ඇත. ඒවා එදා මෙන්ම අදටත් ලොකු කුඩා කාගේත් සිත් තුළ මිමිණෙන ගීත බවට පත්ව තිබේ.

“අද වන විට දිවුල්ගනේ අයියත් මමත් මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඇවිත් තියෙනවා. දිවුල්ගනේ අයියා අරපරෙස්සමෙන් ගී පද, ගීත රචනා, හොඳ සංගීතය තෝරගෙන ගීත ගායනා කළා. මගේ ගීතත් එහෙමයි. කැපකිරීමක් එක්ක තමයි මෙතෙක් කල් ගීත නිර්මාණය කළේ. දිවුල්ගනේ සහ මම විවිධ ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනවා. නමුත් අපේ ද්වි පුද්ගල ප්‍රසංගයක් ලෙසින් එළිදැක්වෙන්නෙ මෙය. ඒ නිසා රසික හිතවතුන් මේ ප්‍රසංගයේ තිබෙන වටිනාකම දන්නවා. මෙතෙක් අපි ගායනා කළ ගීත අතරින් ආදර ගීතාවලියක් තමයි ගායනා කරන්නේ. අපි ගයන හැම ගීතයකම උපේක්ෂාව, ආදරය, කරුණාව ගැබ් වෙලා තියෙනවා. මෙම ප්‍රසංගයේ සංගීත නිර්මාණ කටයුතු කරන්නේ සුරේෂ් මාලියද්ද සංගීතවේදියා සහ කථනය සඳහා කැලුම් ශ්‍රීමාල් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ වගේ දෙයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා.”

සංගීතය යනු රසික සිත් සතන් සනසාලන අපූර්ව විශ්ව භාෂාවකි. එසේ මිනිසුන්ගේ සිත් පිනවීම සඳහා වරම් ලැබීමම වාසනාවකි. දීපිකාගේ සංගීත ගමනේ අලුත්ම තොරතුරු ඇය මෙසේ පැවසුවාය.

“මම පසුගිය කාලය පුරා අලුත් ගීත නිර්මාණ රැසක් කළා. මගේ යූටියුබ් නාළිකාව ඔස්සේ එම ගීත මුදාහැරලා තියෙනවා. අලුත්ම ගීතය තමයි ‘මඟහැරුණු සැඳෑවන්’. ඒ ගීතයත් යූටියුබ් ඔස්සේ බලන්න පුළුවන්. කපිල අපරැක්ක සංගීතවත් කළ ප්‍රියානන්ද විජේසුන්දර නම් ජ්‍යේෂ්ඨ ගේය පද රචකයා නිර්මාණය කළ එම ගීතයට ඉතාම වටිනා ප්‍රතිචාර ලැබුණා. ඊට අමතරව පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කළ මහින්ද චන්ද්‍රසේකර නිර්මාණය කළ සම්බුද්ධ පරිනිර්වාණ සූත්‍රය ඇසුරු කරගෙන ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතයත් යූටියුබ් නාලිකාව හරහා මුදාහැරියා. එය රූපවාහිනී නාළිකා කිහිපයකත් ප්‍රචාරය වුණා.”

කාර්යබහුල ජීවිතය තුළ මිනිසුන් මොහොතකට හෝ අස්වැසිල්ලක් සොයමින් සිටියි. එම පිරිස් සනසාලීම මෙම ප්‍රසංගයේ බලාපොරොත්තුව වී ඇත.

” අපේ ගීත අසන හොඳ රසික පිරිසක් ඉන්නවා. හොඳ ප්‍රසංගයක් එනකල් ඒ පිරිස බලාගෙන ඉන්නවා. නිදහසේ ගීත අහලා සැනසීමක් විඳින්න ආසාවෙන් ඉන්න පිරිසක් ඉන්නවා. ගොඩක් අය අහනවා අපේ පළාත්වලට එන්නෙ නැද්ද කියලා. අපි පුළුවන් ආකාරයෙන් රට පුරා මෙම ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණියන්ද වර්තමානයේ කලාවේ රසමුසු තැන් ස්පර්ශ කරමින් උසස් සංගීතයන් රසවිඳීමට පෙළඹී සිටි.

මම රසික ජනතාවට හරිම ආදරෙයි. ඔවුන්ගේ ආදරය නිසා තමයි නිර්මාණයක් කරන්න පෙළඹවීමක් ඇති වෙන්නේ. මිනිස්සු හරිම පීඩාවකින් ඉන්න වෙලාවේ මේ ආතතිය නැති කරලා සනීපදායි දෙයක් නිර්මාණයකින් දෙන්න පුළුවන් නම් මං ඒ පැත්තම තමයි හිතන්නේ.”

“අපි දැන් හැම තැනම මිනිස්සුන්ගෙ රළු ගති දකිනවා. ඔවුන් ඒවාගෙන් මුදවන්න පුළුවන් යහපත් මෙවලමක් ලෙස මම ගීතය දකිනවා. ගීතයක් තුළින් කෙටි කාලයකින් මිනිස්සුන්ගේ හිත් නිවන්න පුළුවන්. ඒක මම අත්විඳලා තියෙනවා. මම හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ නිර්මාණවලට හොඳ තෝතැන්නක් හදලා දෙන්න කියන එක. රසිකත්වය ගැන හිතලා නිර්මාණ එළිදක්වන්න පුළුවන් නම්, ඒවා ජනගත කරන්න ඉඩක් සැලසෙනවා නම් ඇත්තටම ඒක මහඟු සමාජ සත්කාරයක්. ඒකෙදි මම හසිතට සහ සමිතට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රසංගය ආරම්භ කිරීම ගැන”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division