ප්‍රේමයේ දෙව්දුවයි නුඹ මට
ස්නේහයේ සුවඳ අරගෙන
වේදනා මකා මේ හදවත
නිවන්න දේවී
නුඹ මගෙම වෙලා
මගේ ළඟින්
හිඳින්න දේවී…
දුක් කන්ද අතැර යන මඟ
නුඹ නිවා දමා සරතැස
පවනැල්ලක් වී සිසිල අරන්
එනවද දේවී
හසරැල්ල වෙලා
සතුට අරන්
වඩින්න දේවී…
ඝන අඳුර ගලන රෑ යම
රන් චන්ද්‍ර මඬල විලසින
එළිය දිදී මගේ තුරුළේ
රැඳෙන්න දේවී
ඔබෙ සුසුම් සරින්
හදවත
නිවන්න දේවී…
තනුව සහ ගායනය – අමිල එදිරිසිංහ
පද රචනය – නිශාන්ති නිරෝෂනී
සංගීතය – අනුරාධ අබේසිංහ
මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මට මං ගැන බලා ගන්න පුළුවන්… විටෙකදි ඇය මෙහෙම කිවුවත් ඇයටත් තනිකම දැනෙන මොහොතක් එනවා. ඒ කොයි මොහොතද කියලා කාටවත්ම කියන්න බෑ. ජීවිතේ පාළුව, කාන්සිය, දුක, වේදනාව, ආදරය ආදී හැඟීම් දැනෙන මොහොතක් එනවා. ඒ වෙලාවට ඒ හැඟීම් බෙදාගන්න කෙනෙක් අවශ්‍යමයි. එහෙම නූණොත් හිතෙන් විඳවමින් ජීවත් වෙන්නයි ඇයට සිදු වන්නේ.
ආදරය කියන්නේ එහෙම දෙයක්. හැඟීම් දැනීම් එක්ක ජීවත් වන ගැහැනියකගේ හිත නිවන්න දන්නෙත් හිත අවුළවන්න දන්නෙත් පිරිමියෙක්මයි. ගිනි ගන්න හිත් අස්සේ හිත නිවන ආදරයකටයි කවුරුත් කැමැති. එහෙම පිරිමි හිත් අස්සේ මේ වගේ හැඟීම් සිතිවිලි තිබීම අරුමයක්ද?
‘දුක් කන්ද අතැර යන මඟ
නුඹ නිවා දමා සරතැස
පවනැල්ලක් වී සිසිල අරන්
එනවද දේවී
හසරැල්ල වෙලා
සතුට අරන්
වඩින්න දේවී…’
මෙහෙම කියන පිරිමි ආදරයක් ගැන හරි හැඟුම්බරව ලියන්නේ ගැහැනියක්. ඇය නිශාන්ති නිරෝෂනී. ඇය ලියූ ගී පද ගයන්නේ ගායන ශිල්පී අමිල එදිරිසිංහ. ඒ පද සංගීතවත් කරන්නේ අනුරාධ අබේසිංහ සංගීතවේදියා.
ගීතය ලියන නිශාන්ති වෘත්තියෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරයි. එමෙන්ම ජාතික රූපවාහිනියේ නිවේදිකාවක ලෙසද මේ වන විට කටයුතු කරන්නීය. මේ වන විට ගීත ගණනාවක් රචනා කර ඇති නිශාන්ති සිය ගීතයට අත්දැකීම් වූ සිදුවීම් පෙළගැසුණ අයුරු පැවැසුවේ මෙලෙසිනි:
“මම දැන් කලක් තිස්සේ විවිධ ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන් කරනවා. මේ වැඩසටහන්වලදී මට බොහෝ දෙනකු සමඟ කතාබහ කරන්න ලැබෙනවා. එහෙම කතා කරන්න ලැබුණ බොහෝ පිරිමින් තමන්ගේ ජීවිතේ අත්දැකීම් මා හා පවසා තිබෙනවා; තමන්ට ජීවිතය විඳින්න ලැබුණ විදිහ, එමෙන්ම ඔහුගේ සහකාරිය ගැන දැනෙන විදිහ ආදී වූ දේ කියා තිබෙනවා. පිරිමියකුගේ හිතේ ඔහුගේ බිරිය, එහෙමත් නැත් නම් පෙම්වතිය ගැන, එහෙමත් නැත් නම් තම හිත ගත් තැනැත්තිය ගැන තියෙන්නේ වෙනමම කියවීමක්. ඔහු ඇයට ආදරෙයි. ඒත් පුංචි දේකින් ඒ හිත් බිඳෙන්නත් රිදෙන්නත් පුළුවන්. ඒත් එහෙම වුණත්, ඒ සැණින් ඒ හිත් යළිත් හැදෙනවා. ‘මට එයා නැතිව බැහැ, එයාගේ ආදරය රැකවරණය තමන්ට අවශ්‍යමයි,’ කියන තැන ඔහු ඉන්නවා.
“අපි දැකලා තියෙනවා සමහර පිරිමින්ගේ රැකියාව, කාර්යබහුලකම නිසා දවසේ නිතරම තම සහකාරිය සමඟ රැඳෙන්න කතාබහ කරන්න බැරි වුණාට, ඔහුගේ හිතේ ගැඹුරුම තැනක ඇය ඉන්නවා. මිනිස්සු ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් ආදරයත් සමඟ ජීවත් වෙන්නේ. ඔවුන් උත්සාහ කරන්නේ ආදරේ විඳින්න. ළෙන්ගතු ආදරයක්, එකිනෙකාට තමන්ව දැනෙන ආදරයක්, දුකේදීත් සැපේදිත් ළඟින් ඉන්න පිරිමි හිතක තියෙන ආදරයක් ගැනයි මට ලියන්න ඕන වුණේ. මම මේ පද පෙළ ලියලා අමිල එදිරිසිංහ සොයුරාට දුන්නාම ඔහු මට තනුවක් නිර්මාණය කරලා මෙය ගයලා පෙන්නුවා. ඉන් පස්සේ තමයි මේ ගීතය සංගීතවේදී අනුරාධ සොයුරා අතට පත්වුණේ. ඔහු අමිල දැම්ම තනු නිර්මාණය වෙනස් කරන්න ගියේ නැහැ. ඒ් විදිහටයි මම ලියපු පදවලට වටිනාකමක් ලැබුණේ.”
නිශාන්ති තමා අතින් ලියවුණ ගීතය ගැන පවසන්නේ එවැනි අදහසකි.