Home » කොළඹ ගල උඩ සටන 16 වැනිදා

කොළඹ ගල උඩ සටන 16 වැනිදා

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

ළාත් පාලන මැතිවරණය අවසන් වුවද දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය තවමත් යොමු වී තිබෙන්නේ පුංචි ආණ්ඩු පිහිටුවීම දෙසටය. ඊට හේතුව පළාත් පාලන ආයතන 339න් ආයතන 178ක ප්‍රධානීන් තවම පත් කර නොතිබීමයි. දැනට පිහිටුවා ඇත්තේ පළාත් පාලන ආයතන 161 සභා පමණක් වන අතර, ඉන් බහුතරය හිමි වී තිබෙන්නේ මාලිමාවටය.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්ගේ උපදෙස් පරිදි පළාත් පාලන ආයතන 178කට සභාපතිවරුන් පත් කරගැනීමට නියමිතව ඇත්තේ රහස් ඡන්දයෙනි.

මෙයිනුත් වැඩිම අවධානයක් යොමු වී තිබෙන්නේ කොළඹ මහ නගර සභාවටයි. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් උපරිම උත්සහාය දරමින් සිටී. නීතිඥ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශ කරමින් සිටින්නේ 16 වැනිදාට අනිවාර්යයෙන්ම පුරපති බිහි වන්නේ මාලිමාවෙන් බවයි.

විපක්ෂය 16 වැනිදාට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් ප්‍රකාශ කරයි.

දලුලන්න ඉඩදෙන්න

ප්ලාස්ටික් හේතුවෙන් විනාශයට පත් වූ පරිසරය ප්‍රතිෂ්ඨාපනයට සැම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදාගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. පොදු ජාතික විඥානයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොඩනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවද එය මඟහැර නොගත යුතු බවද පැවසූ ජනාධිපතිවරයා කිසිදු භේදයකින් තොරව සියලු දෙනා ඊට එක් විය යුතු බව ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ පසුගියදා (5) පැවති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි. මෙවර ජගත් පරිසර දින තේමාව ‘ප්ලාස්ටික් භාවිතය දුරලමු’ වන අතර, දේශීයව ‘දලුලන්න ඉඩදෙන්න’ යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

ජනපතිගෙන් පරිසර පාඩමක්

“අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැඳීම, හැඟීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා.”

ජනාධිපතිවරයා සිය දෙසුම අරඹමින් පැවසීය.

“අපට පෙනෙන මේ අලංකාරය පිටුපස ඉතා ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අප කුඩා කාලයේ අපේ රාජ්‍යය හඳුනාගත්තේ නායයෑම්වලින්, ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අප නායයෑම්, මහා ගංවතුර සහ මහා නියඟවල විනාශය අත්විඳිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා. ඉතා හොඳ ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා.

“ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන අත්හළ නොහැකි වගකීම මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මේ පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම එකී අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමඟින් පරිසරයට ආරක්ෂාව දීම වෙනුවෙන් විධිමත් රාජ්‍ය යන්ත්‍රණයක් තිබෙනවා.

සමනලුන් නැති දේශයක්

සමනලුන් පෙනෙන්න නැති දේශයක අද කුඩා ළමයින් හැදෙන්නේ. එම නිසා සමනලුන් නැවත පැමිණෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳ වෙනස් සංකල්ප තිබෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන වෙන සංකල්ප තිබිය හැකියි. ඒත් පරිසරය සම්බන්ධයෙන් තිබෙන්න පුළුවන් එකම එක සංකල්පයක් පමණයි. එහිදී සිංහල, දෙමළ, මුස්ලිම් සැම කෙනාටම එක තැනකට පැමිණිය හැකියි. ඒ අනුව, පරිසර ක්ෂේත්‍රය ඇසුරෙන් ජාතික ඒකාග්‍රතාවක්ද ඇති කළ හැකියි. පොදු ජාතික විඥානයකින් යුතුව ජාතික පරිසරය ගොඩනැඟීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අප කියන්නේ “දලුලන්න ඉඩ දෙන්න කියා,” යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තම අත්දැකීම් සමග පරිසරය පිළිබඳ දීර්ඝ විස්තරයක් කළේය.

සංවර්ධනයට යා යුතු ගමන ජනපති පෙන්වා දෙයි

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කරගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුලුනු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා (4) පැවති සාකච්ඡාවේදීය.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යෑමේදී තනි පුද්ගලයන් වශයෙන් සියලු දෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත් කරගැනීම තුළින් බවත් ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂඥ දැනුම සහිත නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම, 2027 වසරේ GSP+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලදි.

මාලිමාවේ ගැටුම් නැති වීමට හේතුව

පළාත් පාලන ප්‍රධානීන් සහ නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂවල අර්බුද නිර්මාණය වුවද ජාතික ජන බලවේගය තුළ එබඳු ප්‍රශ්න මතු වූයේ නැත. එයට හේතුව පළාත් පාලන ආයතන ප්‍රධානීන් කවුද යන්න මාලිමාව කල් ඇතුවම තීරණය කර තිබූ හෙයිනි. හොඳම උදාහරණය කඩුවෙල නගර සභාව හා මහරගම නගර සභාවය.

“කඩුවෙල කණ්ඩායම් නායකයා වූයේ රන්ජන් ජයලාල්ය. රන්ජන් සහෝදරයා වෘත්තීය සමිති නායකයකු හැටියට මුළු රටම දන්නවා. අපට කොළඹ වගේම කඩුවෙලත් වැදගත්. කඩුවෙල ශක්තිමත් නායකයෙක් ඉන්න ඕනෑ. රන්ජන් සහෝදරයා තමයි සුදුස්සා.” මාලිමාවේ විධායක කමිටුවේදී රන්ජන්ගේ නම ආරම්භයේදීම යෝජනා වුණේ එසේය.

මහරගම නගර සභාවේ සභාපති ධුරයට මාලිමාවේ තීරණය වූයේ සමන් සමරකෝන්ය. සමරකෝන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකි. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති වූයේත් සමන්ය. “සමන් සහෝදරයා මහරගමට නායකත්වය දෙන්න ඕනෑ,” ජනාධිපති අනුර දිසානායක සමන්ට කීවේ එහෙමය. සමන් ඒ වන විටත් පදනම් ආයතනයේ සභාපති විය. මහරගම නගර සභාවට නාම යෝජනා භාරදීම සඳහා පදනම් ආයතනයේ සභාපති ධුරයන් සමන් ඉල්ලා අස් විය.

ජ’පුරේ ශිෂ්‍ය නායකයකු හෙයින් ජ’පුරේ සහයෝගය සමන් දිනවීමේ සටන කරට ගත්හ. සටනින් සමන් ජයගත්තේය. මහරගම නගර සභාවේ සභාපති ලෙස සමන් සමරකෝන්ද කඩුවෙල නගරාධිපති ලෙස රංජන් ජයලාල්ද ඉකුත්දා දිවුරුම් දුන්හ.

කොළඹ තත්ත්වය

එහෙත් කොළඹ තත්ත්වය සෑහෙන්න වෙනස්ය. විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට අත්පත් කර ගැනීමට ඉඩ දී බලා සිටීම රජයට විශාල මදි පුංචිකමක් ලෙස දැනුණාට සැකයක් නැත. එම නිසා ජාතික ජනබලවේගය පසුගිය දිනවල ස්වාධීන අපේක්ෂකයන් කෙරෙහි පවා අවධානය යොමු කළේය. සාකච්ඡා ආරම්භ කළේය. ස්වාධීන මන්ත්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක් මේ අනුව ජාතික ජන බලවේගයට සහාය පළ කරන්නට සූදානම් බවද අනාවරණය විය.

මේ අතර කෙසේ හෝ කොළඹ බලය අතට ගන්නට සමගි ජන බලවේගය දැඩි අධිෂ්ඨානයක සිටියේය. රහුමාන් මේ මෙහෙයුම සඳහා නායකත්වය ගත්තේය. ඒ සඳහා කොහොමටත් සූදානම්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා වට ගණනාවක් කින් පසුව ඔහුගේ සහය ද ඒ සඳහා ලබා ගැනීමට හැකි විය. පසුගිය කාලයේ රනිල් උත්සාහ කළේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම මුල් කරගෙන විපක්ෂයේ නව සන්ධානයක් පවා ගොඩනගන්නටය. එහෙත් සන්ධානයේ වෑයම අසාර්ථක විය. පොහොට්ටුව සර්වජන බලය වැනි දේශපාලන පක්‍ෂ එවන් සන්ධානයකට කැමැති වූයේ නැත එහෙත් විපක්ෂයට බලය පිහිටුවීමට හැකියාව ඇති තැන්වල නිහඬව සිටිමින් ඔවුන් බලය ලබාගන්නට බාධාවක් නොවී සිටීමට එම පක්ෂ දෙක කැමැත්ත පළ කර සිටියහ.

කළුතර අවනඩුව

කළුතර ප්‍රාදේශීය සභාවට වැඩිම ප්‍රතිශතයක් ගෙන සජබෙන් පත්වුණු මන්ත්‍රී මාපුටුගම ලක්ෂිතයි. දෙවනියට ප්‍රතිශතය තිබුණේ ටන්සන්ලාල්ටය එහෙත් අවසානයේ මේ දෙන්නාට මන්ත්‍රීකම් ලැබී නැත. ඊට පහළින් සිටින වෙන දෙන්නකු ඒ වෙනුවට පත් කර තිබිණි.

මේ අවනඩුව අරගෙන රත් වුණු ටන්සන් ලාලුයි ලක්ෂිතයි දෙන්නා නඩුව කියන්න ගියේ ජගත්විතාන ළඟටය. වූයේ කුමක්දැයි හොඳින් දන්නා ඔහු දුරකතනයෙන් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කතා කළේය.

වැඩිම ප්‍රතිශතයට නම් මන්ත්‍රීකම දෙන්නේ ඇයි අපිට හම්බ නොවුණේ ගිනි ගෙඩිය ජගත් විතාන භාරගත්තේ නැත කෙළින්ම දුරකතන ඇමතුමෙන් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අමතා ඔහු ළඟට දෙන්නා යැවුවේය.

ටන්සන් ලාල් යනු සජිත් ප්‍රේමදාසගේ තාත්තා පවා හඳුනන ළඟම පාක්ෂික පවුලක අයෙකි. එබැවින් රංජිත් මද්දුම බණ්ඩාරත් ටක් ගාලා දෙන්නා ගෙන්නා ගත්තේය.

“තමුසෙලා දැන්ද එන්නේ මොකද බෑ කිවුවේ?”

“මොකක්ද සර් ඒ කතාවෙ තේරුම? අපි ආවෙ වැඩිම ප්‍රතිශතවලින් තේරිලා ඉද්දි ඇයි අපි මන්ත්‍රීකම් නොලැබුණේ කියලා අහන්න.”

“තමුසෙලා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරලා කියලා තිබුණේ බැහැ කියලා. ඉතින් අපි ඊට පහළින් ඉන්න අයව පත් කළා.”

“අනේ සර් අපි නම් දීපු දිවුරුම් ප්‍රකාශයක් නෑ. කවුද අපි වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ දුන්නේ?”

රංජිත් මේ වෙලාවෙ ඉස්පිකර්ෆෝන් දමා දුරකතන ඇමතුමක් ගත්තේ අදාළ දේශපාලන ප්‍රදේශයේ නිලධාරියාටය.

“ඇයි අර කළුතර වැඩිම ප්‍රතිශතය තියෙන දෙන්නට මන්ත්‍රීකම් දෙන්න අපට බැරි වුණේ?”

“දෙන්නා බෑ කිව්වනේ සර්, ඇයි මං දිවුරුම් ප්‍රකාශත් එවුවෙ.”

මේ වෙලාවේ ඒ සංවාදය අහගෙන හිටපු ටන්සන් ලාල් මෙන්න මෙහෙම කෑ ගැහුවා: “බොරු කියන්න එපා සර්! අපි දීපු දිවුරුම් ප්‍රකාශයක් නෑ. කවුද ඔය කූටලේඛන හැදුවෙ?”

මේ වෙලාවෙ අදාළ බලධාරියා දුරකතනය විසන්ධි කළේය. මහ ලේකම්ටත් කරකියා ගන්න දෙයක් නැති වුණ තැන වැරද නිවැරදි කරන්න භාරගත්තේය. ඒ අතර ඔහු සජිත් ප්‍රේමදාසටද දුරකතනයෙන් කතා කර මේ සම්බන්ධයෙන් ඔහුගේ උපදේශයක්ද ගත්තේය. ඔහුගේ නිර්දේශය වූයේද වැඩිම ප්‍රතිශත ලාභීන්ට මන්ත්‍රී තනතුරු දිය යුතු බවයි. ඒ වන විටත් සජබේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී නම් ඇතුළත් ලැයිස්තුව ගැසට් එකට මුද්‍රණයට යවා තිබිණි. කළුතර අදාළ ලැයිස්තුව නතර කරන්න පුළුවන්ද කියා බලන්න රංජිත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බලය අල්ලන්න විපක්ෂයේ උපක්‍රමයක්

මේ වන විට බහුතර බලය තිබෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා අවසන්ය. දැන් තිබෙන්නේ ඉතිරි සභා 178හි බලය පිහිටුවීමයි. විපක්ෂයේ අදහස වී තිබෙන්නේ සභා 100ක බලය කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂය සතු කරගත යුතු බවයි. ආරම්භය ගන්නේ කෙසේදැයි විපක්ෂය අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.

එහි ප්‍රතිඵලය වූයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවට පත් වූ විපක්ෂයේ සියලු කණ්ඩායම් ගයන්ත කරුණාතිලක හා එක්ව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමයි. එහිදී සියල්ලන්ම පැවසුවේ සියලු දෙනා එක්ව බෙන්තොට ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන බවත්, සත්‍ය වශයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වා ඇත්තේ නියමු ව්‍යාපෘතියක් ලෙස බවත්ය. සභාවේ බලය ලබාගැනීම පිළිබඳ ඡන්ද විමසීම සභාව රැස් වී සිදු කිරීමට පෙර පක්ෂ කණ්ඩායම් එළියේ රැස් වී බලය ලබාගැනීමට එකතු විය යුත්තේ කෙසේදැයි පූර්වාදර්ශයක් සැපයිය යුතු යැයි විපක්ෂ කණ්ඩායම් අතර ඇති වූ සාකච්ඡාවේදී මෙම ප්‍රවෘත්ති සාකච්ඡා යෝජනාව ඉදිරිපත්ව තිබේ.

“බෙන්තොට මේක කරලා මාධ්‍ය හරහා මේක රට පුරාම ගියහම විපක්ෂ මන්ත්‍රීවරුන් හැමෝම කල්පනා කරනවා අපිත් මෙහෙම ගේමක් ගහන්න ඕන කියලා. මෙන්න මේ පණිවිඩය රටටම දෙන්න තමා මේක කළේ,” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔස්ට්‍රේලියාවෙන් ඇමැති විජිතට ලැබුණු සහතිකය

නිල සංචාරයක් සඳහා මෙරරට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සුහද සාකච්ඡාවක් පසුගියදා (3) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩලයිය පාර්ලිමේන්තු සංගම් කාර්යාලයේදී පැවැත්විණි.

ඔස්ට්‍රේලියාවේ බලයට පත් වූ නව රජයට සුබ පැතූ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු රජය අඛණ්ඩව දෙන සහය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේ ය. ඔස්ට්‍රේලියානු නව රජය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සබඳතා වර්ධනය කරගැනීමටත්, සබඳතා ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.

දෙරට අතර සමුද්‍රීය සහයෝගිතාව පිළිබඳ විශේෂ අවධානයක් මෙම සාකච්ඡාවේදී යොමු වූ අතර කලාපීය ආරක්ෂාව සහ කලාපයේ සාමය වෙනුවෙන් දෙරට සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම රිචඩ් මාලස් අවධාරණය කළේ ය. මිනිස් ජාවාරම් අවම කිරීම සම්බන්ධයෙන් දෙරට අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ ඒ මහතා තවදුරටත් එම අංශය දෙරටේ සහයෝගිතාවයෙන් ශක්තිමත් කළ යුතු බවටද යෝජනා කළේය.

කලාපීය සහ කලාපයෙන් ඔබ්බට දෙරටටම වැදගත් ගෝලීය ප්‍රවණතා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන් අතර ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයට ලබා දෙන පුහුණුව සහ ධාරිතා ඉහළ නැංවීමේ වැඩසටහන් පිළිබඳව ද අගය කළේ ය.

මීට අමතරව දෙරට අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති අවස්ථා පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය.

රනිල් විපක්ෂය එකතු කරයි

පළාත් පාලන මැතිවරණයේ විපක්ෂයේ සභික ධුර පත්කිරීම සඳහා සාකච්ඡා ඇරැඹීමත් සමග විසිර තිබූ විපක්ෂය නැවත එක්තැන් වූ ආකාරයක් දැක ගත හැකි විය.

මේ එකතුවේ මුල හිටපු ජනපති රනිල්ය. පසුපස හිඳ මේ එකතුවට ජලය පොහොර සැපයූවේ ඔහුයි. මුලින්ම එක්සත් ජාතික පක්ෂය මේ බල එකතුවට මුල පිරූ අතර සෙසු සියලු පක්ෂ ඒ වටා ගොනු විය. මේ එකතුවේ මුල පිරීම සිදුවූයේද කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික කාර්යාලයේදීය.

රනිල් කළේ අලුත් කණ්ඩායමක් ඉදිරියට දැමීමයි.ඔවුහු තමන්ට පැවරුණු කටයුත්ත ඉතා ඉහළින් සිදු කළහ. රනිල් කළේ පසෙකින් සිට ඒ කණ්ඩායම මෙහෙයවීමයි.

දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පාර්ශ්වයෙන්ද අලුත් හඬවල් කිහිපයක් මතු වෙන්නට පටන් ගෙන ඇත.නාමල්,චාමර, ඩී.වී. චානක, දයාසිරි ඒ ප්‍රබල හඬවල් අතර ප්‍රමුඛ පෙළේ සිටින බව පෙනේ. මේ විපක්ෂයේ ප්‍රබල හඬ මතු වීමත් සමඟ සාම්ප්‍රදායිකව විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත්ගේ විපක්ෂ භූමිකාව දියාරු වී යමින් පවතින බව කාටත් හොඳින්ම තේරුම් යන කරුණක් විය.

පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කිරීමේ කටයුතු සඳහා මූලික වූ එක්සත් ජාතික පක්ෂයේ කමිටු සාමාජිකයන් පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම පැවරීමටද නායක රනිල් තීරණය කර තිබේ. ඉදිරි එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ආකෘතිය සකස් කිරීම කිරීමද මේ නව කණ්ඩායමට පවරනු ලැබ ඇත. මෙම කණ්ඩායම ක්‍රියා කරන්නේ කමිටුවක් ආකාරයටයි.

රනිල්ගේ නවීකරණයට නොසතුට

මේ නව කමිටුවේ ක්‍රියාකාරීත්වයට පක්ෂයේ පැරණියන් කිහිප දෙනකුගේ නොසතුට පළ වී තිබෙන බවද දැනගන්නට ඇත. රනිල්ට ආරංචි වී ඇත්තේ තමන්ගේ නමේ කුමක් සඳහන්ව තිබුණත් පක්ෂය නවීන වනවාට මේ ගතානුගතික පිරිස් අකැමැති බවයි. මේ නවීකරණයට විරුද්ධව ඔවුන් විවිධ හමු පවත්වන්නට පටන් ගෙන තිබෙන බවද ආරංචිය.අලුත් අයට තැනදීම ගැන පැරණියන් විරුද්ධ වීමට හේතුව ඔවුන්ගේ තැන නැති වේද කියන බියයැයිද කනින් කොනින් ආරංචි ලැබෙන්න විය.

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ඒ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බවද දැනගන්නට ඇත.

විපක්ෂයට වැඩි බලයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන සාකච්ඡා මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතී. විපක්ෂ නායක සජිත් ද පොදු විපක්ෂයේ ඒ සාකච්ඡාවලට සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

“සජිත් ඔය සාකච්ඡාවලට එන්නෙ බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ,” විපක්ෂයේම මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එසේ කීහ. මුලදී සාකච්ඡාවලින් කරඇර සිටින්න උත්සාහ කළ සජිත් අනතුරුව සාකච්ඡාවලට එළඹුණේ වෙන කරන්නට දෙයක් නැතිකම නිසාය. ඒ කිසිම සාකච්ඡාවකට එජාප නායක රනිල් සම්බන්ධ නොවී සිටින්න තීරණයක් ගෙන තිබේ. සියලු සාකච්ඡා මෙහෙයවන්නේ රනිල්ගේ අනුදැනුම මත පත් කෙරුණු කමිටුවයි. පක්ෂ අතර සාකච්ඡා කිරීමේදී මතු වන ගැටලු අදාළ තැන්වලට කතා කොට විසඳා දීමට රනිල් කටයුතු කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගිතා පුළුල් කෙරේ

ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා කරමින් පවතින වරණීය වෙළෙඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දුනීසියානු තානාපතිනියට දැන්වූවේය. ඒ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් ඉකුත්දා (2) පැවති අවස්ථාවේදීය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ පවත්වන මිත්‍ර සබඳතාව පිළිබඳවද ප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා ඒ සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයිද පෙන්වා දුන්නේය.

ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සඳහා නිකල් ආදි ඛනිජ සම්පත් අපනයන කරන බව පෙන්වා දුන් තානාපතිවරිය ඛනිජ වැලි ආදිය අපනයනය කරන රටවල එකමුතුවක් ඇති කර ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන ලෙස සෙසු රටවලට අපනයනය කිරීම පිළිබඳ යෝජනා කළාය. ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට ඉන්දුනීසියාව සමඟ එක් වී අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ලබාගැනීමට ඉදිරි කාලයේ ද්විපාර්ශ්වික සහයෝගිතාවකට පැමිණීමට අමාත්‍ය විජිත හේරත්ද එකඟතාව පළ කළේය.

ඉන්දුනීසියාව විදුලි වාහන නිස්පාදනය සම්බන්ධයෙන් කේන්ද්‍රයක් බවට පත් වී ඇති බැවින් සිය විදුලි බස් රථ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ හවුලේ කටයුතු කිරීමටද තානාපතිවරිය කැමැත්ත ප්‍රකාශ කළාය. මීට අමතරව ඉන්දුනීසියාව සහල්, ඉරිඟු, සීනි සහ ධීවර කර්මාන්තය වැනි කෘෂි ක්ෂේත්‍රවල ලබා ඇති දියුණුවත් සමඟ කෘෂි නිෂ්පාදන අතිරික්තයක් එරට පවතින බැවින් මේ ක්ෂේත්‍රවලද ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගැනීමට ඉන්දුනීසියානු රජය කැමැත්තෙන් සිටින බවද තානාපත­ිවරිය අමාත්‍ය විජිත හේරත්ට දන්වා සිටියා ය.

එරට ඓතිහාසික බැංඩුන් සමුළුව පවත්වා වසර 70ක් පිරෙන බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැංඩුන් සමුළුවට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අපේක්ෂා කරන බව ඉන්දුනීසියානු තානාපතිවරිය අමාත්‍යවරයාට දන්වා සිටියාය.

රනිල්ගේ සූදානම ගැන වජිර කියයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ ගාල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පසුගිය සති අන්තයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු විණි. විශේෂයෙන්ම මෙහිදී එම ආයතවලට තේරී පත් වූවන්ට ඇති ගැටලු පිළිබඳව මෙන්ම පක්ෂය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද වජිර ඔවුන් මෙහිදී දැනුවත් කර තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division