රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනු කළ නඩුව අගෝස්තු 29 දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් දෙන ලෙසයි.
චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව අගෝස්තු 29 දා කැඳවීමට දින නියම කළේය.
2014 අගෝස්තු 1 සහ එම වසරේ නොවැම්බර් 1 අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට රුපියල් 125,000කට බදු දී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ නඩුව ගොනු කර තිබේ. මේ මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් පළමුවරට අනාවරණය කරන ලද්දේ ‘සිළුමිණ’ විසිනි.