යටත්විජිත මානසිකත්වය නමැති හැඳින්වීමක් තවමත් අපට සමාජයෙන් ඇසෙයි. යටත්විජිත පාලනයෙන් මිදී වසර අසූවකට ආසන්න වෙමින් තිබියදීත් හැඟෙනුයේ යටත්විජිත මානසිකත්වයක් යනුවෙන් යමක් පවතින බවයි.
මේ යටත්විජිත හිමියන්ගේ කල්පනාව වූයේ තමන් ඉහළ ශිෂ්ටාචාරයක් සහිත ජාතියක් බවත්, තමන් තුවක්කුව සහ කඩුවේ බලයෙන් යටත් කරගන්නා රටවල් නොදියුණු මිනිසුන් ජීවත් වන කලාප බවත්ය. ඒ නොදියුණු රටවල් සහ මිනිසුන් ශිෂ්ටත්වයට පත් කිරීම ඔවුන්ගේ වගකීම බවද ප්‍රකාශ විය. ඔවුන්ගේ දේශපාලන, ආර්ථික, සාංග්‍රාමික අරමුණු අප්‍රකාශිතය.
දෙවැනි ලෝක යුද්ධය වන තුරු තමන්ට යටත්විජිත පාලනය අත්හැරීමට කාලය එළඹ ඇති බව බොහෝ දෙනකුට නොතේරුණු කාරණයකි. දෙවැනි ලෝක යුද්ධයට යටත්විජිත හිමියන්ට ගෙවිමට සිදු වූ මිල හේතුවෙන් යටත්විජිත පාලනය වාසිදායක නොවන බව මුලින්ම තේරුම් ගන්නේ බ්‍රිතාන්‍යයයි. ඔවුන් අභ්‍යන්තර වියවුල්ද සමඟ නිදහස යනුවෙන් යමක් දී, යටත්විජිතභාවය ලිහිල් කරන ප්‍රතිපත්තියකට යොමු වූ බව පැහැදිලිය. ප්‍රංශය වියට්නාමය, කාම්බෝජය, ලාඕසය වැනි රටවලද බ්‍රිතාන්‍යය ඉන්දියාව හා පාකිස්තානය මතද ඇති කරන ලද වියවුල් තවමත් රුධිර තටාක ඇති කරවන තරමට බලසම්පන්නය. අවිශ්වාසය මත නොනවතින කැරලි, ගැටුම් මේ රටවලට පැවරෙන්නේ යටත්විජිත උරුමයක් ලෙසිනි.
කලක් ප්‍රංශ යටත්විජිතයක් ලෙස පැවති අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝහි ජනාධිපති තරුණ ඉබ්‍රාහිම් ට්‍රඕරෙ ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර කියවෙයි. ලුව් පිලිෆ් රජු ඇල්ජීරියාව (1830-1848) තම පාලනයට නතු කරගත් අතර, ටියුනිසියාව (1887-1916), මොරොක්කෝව (1912-1950), සෝමාලිලන්තය (1884-1967), මැඩගස්කර දූපත් (1897-1960) හා සෙනගාලය (1817-1960) පැවතියේ ප්‍රංශ යටත්විජිත ලෙසය. දැන් ජනප්‍රිය මාතෘකාවක් වී ඇති බුර්කිනා ෆාසෝ රාජ්‍යයද 1896-1960 සමයේ ප්‍රංශ යටත්විජිතයකි. යටත්විජිත නිදහස නාමමාත්‍රිකව ලැබුණද බර්කිනෝවට ප්‍රංශ සෙවණැල්ල දිගටම වැටි තිබිණි; රත්තරන් කැණීම සහ ඒවා ප්‍රංශයට රැගෙන යෑමද දිගටම සිදු විය. ප්‍රංශ ආරක්ෂක හමුදා දිගටම රැඳී සිටියහ. රත්තරන් කොතරම් වටිනා වුවද බර්කිනො ෆාසෝවල දුප්පත්කම, විරැකියාව, මන්දපෝෂණය වෙනුවෙන් රන් මිල ප්‍රමාණවත් නොවීය. ඒ වටිනාකම ධනවත් කළෙ ප්‍රංශයයි.
නිදහස් බර්කිනො ෆාසොහි ප්‍රථම ජනාධිපතිවරයා වන්නේ මොරිස් යමියෝගෝ ය. ඔහු ප්‍රංශ ගැතියකු ලෙස අප්‍රසාදයට පත් විය. ඉක්බිති එරට ජනාධිපති වන්නේ හමුදා සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වූ තෝමස් සංකාරා ය. හමුදා නිලධරයකු වුවද ඔහු ඉතා ප්‍රගතිශීලි නායකයකු ලෙස ජනතා ප්‍රසාදයට සහ ආදරයට පාත්‍ර වේ. ඔහු නිර්භය පියවර ගනී. එතෙක් ප්‍රංශයට ගෙන ගොස් පිරිපහදු කළ රන් නිධි ඒ රටේදීම පිරිපහදු කිරීම අරඹයි. ඒ ආදායම් රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීමටත්, අධ්‍යාපනයටත් යොදවයි. ආයෝජන වෙනුවෙන් බදු සහන සලසයි. කෙසේ වෙතත් අවසන සංකාරා ඝාතනයට ලක් වේ.
අද මේ කතා කරන, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට පමණක් නොව, බටහිර ජනමාධ්‍යයටත් දෙහිකපන ඉබ්‍රාහිම් ට්‍රඕරෙ ජනාධිපති වන්නේ ඉන් පසුවය. ඔහු බලයට පත් වී දැන් අවුරුදු තුනකි. මේ බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති තරුණයා මේ කාලයේ වීරයා ලෙස හැඳින්වූවාට වරදක් නැත. සැබවින්ම ඉබ්‍රාහිම් ට්‍රඕරෙගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝය.
අප්‍රිකානු කලාපයෙන් බිහි වූ නෙල්සන් මැන්ඩෙලාගේ පටන් ඉබ්‍රාහිම් ට්‍රඕරෙ දක්වා ජනනායකයන්ගේ ලැයිස්තුවක්ම හමු වේ. සුවිශේෂත්වය වන්නේ ඔවුන් තමන්ගේ ජනතාවට ආදරය කිරීමයි. මොවුන් තුළ මාක්ස්වාදිද කොමියුනිස්ට්ද ලිබරල්ද යන කරුණට ඉහළින් ඇත්තේ ජනතාව කෙරෙහි වූ ගරුත්වයයි.