සිසිලින් නැන්දාගේ කොලුවාට වමනය ගියේය. වමනය කළු පැහැගැන්වී තිබිණි. ගමේ රොයිටර් ලෙස සැලකෙන පේමක්කා හමු වූ විට සිසිලින් නැන්දා කීවේ කොල්ලාට කාක්කෙක් වගේ කළුවට වමනය ගිය නිසා බෙහෙත් ගේන්න ඩිස්පැන්සරියට යන බවය. පේමක්කා නිවුස් එක අරගෙන ගියේ ‘සිසිලින්ගේ කොලුවා කපුටු පිහාටුවක් වමනය කරලා!’ කියාය. ගමේ එහා කෙළවරට යන විට කපුටු පිහාටුව කපුටන් හත්දෙනකු වී තිබිණි. ඒ අනුව: සිසිලින් නැන්දාගේ කොලුවා කපුටන් හත්දෙනකු වමනය දමා තිබිණි.
කපුටන් හත්දෙනාගේ කතාව මතක් වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උතුරු-මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය ගැන ගහපු අතේ රෝල දුටු විටය. විපක්ෂයේ මාධ්‍ය මුලින්ම පට්ටාගැසුවේ ජනාධිපති මන්දිරයේ වාහන වෙන්දේසියයි. එහි සත්‍ය තත්ත්වය මාධ්‍යයට හෙළි කළ විට බොරු කී මාධ්‍ය නිහඬ විය. උතුරු-මැද පළාත් සභාවේ වාහන වෙන්දේසියක් පවත්වා ඇති බව මාධ්‍යයෙන් දුටු විට මන්ත්‍රීවරයා කල්පනා කළේ මාධ්‍ය හමුවක් තබා, අනෙක් අයට ප්‍රථමයෙන් ආණ්ඩුවට ඇට්ටි හැලෙන්නට දී, තමා ලකුණු දමාගත යුතු බවය.
ඔහු පසු දිනම වැඩේට බැස්සේය. කුණු රස කරවලවලට කැමැති මාධ්‍ය කල්තියා පැමිණ කැමරා අටවාගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එහිදී ප්‍රකාශ කළේ උතුරු-මැද පළාත් සභාව රහසිගත වෙන්දේසියක් පවත්වා සුඛෝපභෝගි වාහන 12ක් රු. මිලියන 28කට අලෙවි කර ඇති බවයි. වාහන 12ම විකුණා ලද මුදලින් මිල දී ගත හැක්කේ එක් කැබ් රථයක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය. උතුරු-මැද පළාත් සභාව පවත්වා තිබෙන්නේ වාහන වෙන්දේසියක් නොව වාහන දන්සලක් බවද හෙතෙම පැවසීය. ලක්ෂ තුනහමාරක් වටිනා බීඑම්ඩබ්ලිව් වාහනයක් විකුණා තිබෙන්නේ රු. ලක්ෂ 50කට යයිද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය. උතුරු-මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස පසු දිනම මාධ්‍ය හමුවක් පවත්වා සත්‍යය හෙළි කළේය.
“අපි වාහන වෙන්දේසියක් පැවැත්වූයේ නැහැ. ඇත්ත වශයෙන්ම සිදු වුණේ වාහන ටෙන්ඩර් කැඳවා නිෂ්කාශනය කිරීමයි. මේ වාහන දොළහ අතරේ විශේෂ වාහනයක් තිබුණා. ඒක බීඑම්ඩබ්ලිව් රථයක්. පසුගිය කාලයේ එය පාවිච්චි කළේ කවුදැයි අප දන්නේ නෑ. ඒ පිළිබඳ කිසිම සටහනක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නෑ.” දයාසිරි ජයසේකර මහතා ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වසන්ත ජිනදාස ආණ්ඩුකාරවරයා පැවසීය.
අදාල බීඑම්ඩබ්ලිව් රථය බොහෝ කාලයක් පළාත් සභාවෙන් අතුරුදන්ව තිබී, නව රජය බලයට පත් වීමෙන් පසු හොර රහසේ එහි ගෙනැවිත් දමා ගොස් තිබෙන රථයක් බවත්, එය භාවිත කළ පාර්ශ්වයන් අවශ්‍ය නිසි නඩත්තුවෙන් තොරව වාහනය භාවිත කර තිබූ බැවින් එය අබලන් තත්වයේ පැවති බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ බීඑම්ඩබ්ලිව් රථය සඳහා රජයේ තක්සේරු වටිනාකම රු. ලක්ෂ ලක්ෂ 198ක් වී තිබුණු අතර ටෙන්ඩර් කැඳවීමෙන් පසුව එය විකුණා තිබෙන්නේ රු. ලක්ෂ 218ක මිලකට බවත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස වැඩිදුරටත් සඳහන් කළේය.
තමා මාධ්‍ය හමුවට යොදාගත්තේ පත්තර කිහිපයකින් ඉරාගත් ප්‍රවෘත්ති බව දයාසිරි මන්ත්‍රීවරයා හදිසියේ කැඳවූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
“දින කිහිපයකට කලින් මා විසින් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී උතුරු-මැද පළාත් සභාව වෙන්දේසි කළ වාහන සම්බන්ධව, එහි ගණන්හිලවු සම්බන්ධව යම් වැරදි අදහසක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරලා තිබුණා. ඒ තොරතුරු මම ලබාගත්තේ ඇත්තටම පුවත්පත් කිහිපයක සඳහන් වෙලා තිබුණු නිසාත් උතුරු-මැද පළාත් යම් යම් පිරිස් ගණනාවක් මට කතා කරලා විවිධ තොරතුරු ලබාදීම නිසාත් බව කියන්න ඕනෑ.
“උතුරු-මැද පළාතේ ආණ්ඩුකාරතුමා මේ පිළිබඳ පවතින ඇත්ත තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු අධ්‍යයනය කිරීමෙන් පස්සේ මම තේරුම් ගත්තා අපට ලබාදීලා තිබුණු තොරතුරු යම් වැරදි ස්වභාවයක් තියෙනවා කියලා.
මේ අවස්ථාවේදී මම මාධ්‍ය සියලු දෙනාගෙන් ඉල්ලනවා මගේ ඒ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ නිවැරදි කිරීම ගැන අවධානය යොමු කරන්න කියා. වගකීමක් සහිත දේශපාලනඥයකු විදියට උතුරු-මැද පළාතේ ඒ නිලධාරීන්ට සහ ආණ්ඩුකාරතුමා ඇතුළු සියලු දෙනාට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.”
ආණ්ඩුකාරවරයා පවසන්නේ, අදාළ වාහන සම්බන්ධයෙන් රජයේ තක්සේරුවක් අනුව කටයුතු කළ අතර වාහන අලෙවි කිරීමට පෙර පුවත්පත් තුනක විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් කැඳවූ බවයි. සමාජය නොමඟ යවනසුලු මෙවැනි කතාවල සත්‍යය හෙළි වන්නේ කලාතුරකිනි. තමා විසි කළ ගිනිබෝලය අතේ පත්තු වීම නිසා මන්ත්‍රීවරයා එය නිවැරදි කරන්න ඉදිරිපත් විය. එහෙත් ඔහු මේ කතාව පැවසුවේ පාර්ලිමේන්තුවේ නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව ඔහු ප්‍රශ්නය නිවැරදි කරනවාද යන්න සැක සහිතය. විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට මුවා වෙමින් අසත්‍ය ප්‍රචාර කිරීම අපේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී තිබේ. ඒ සෑම අවස්ථාවකම සිදු වන්නේ කපුටන් හත්දෙනකු වමනය කළ කතාව සමාජගත වීමය. එවිට එය ද්‍රව්‍යමය බලවේගයක් බවට පත් වී සමාජ දේහයට හානි කරයි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිය ගුවන්යානා ඇණියට අලුත් එයාර් බස් එකක් ගෙන ඒම මේ සතියේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් විය. පසුගියදා පැරීසියේ සිට ගෙන එනු ලැබූ නව ගුවන්යානය වසර 14ක් පැරණි බව ප්‍රකාශ කරමින් නව ගුවන්යානය ගෙන ඒම හෑල්ලුවට ලක් කරන්නට විපක්ෂය කටයුතු කරමින් සිටී. වසර 14ක් පැරණි ගුවන්යානයක් ශ්‍රීලන්කන් ගුවන් සේවයට එක් කර ගත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න මතු කර තිබිණි.
මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු පවසා තිබුණේ කොවිඩ් වසංගතය හමුවේ ගුවන්යානා නිෂ්පාදනය කිරීම අඩාළ වී ඇති බැවින් ගුවන් සමාගම්වලට ගුවන්යානා ලබා ගැනීම අසීරු කටයුත්තක් වී ඇති බවයි.
“මේ දවස්වල ගුවන්යානා වෙළෙඳපොළේ ලොකු හිඟයක් තිබෙනවා. කොවිඩ්වලින් පස්සේ ගුවන් සේවා ක්ෂේත්‍රය මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි අලුතින් ගුවන්යානා මිල දී ගැනීම. ගුවන්යානා නිෂ්පාදනය අඩාළ වෙලා තිබෙනවා. ඒකට හේතුව: ගුවන් යානාවලට අවශ්‍ය එංජින්, ගියර් පද්ධති ඇතුළු අමතර උපාංග නිපදවන සමාගම්වල නිෂ්පාදන කටයුතුවල තියෙන ප්‍රමාදයන්. ඒ නිසා අලුත් ගුවන්යානාවල ලොකු හිඟයක් පවතිනවා. ඒ නිසා දැනට ගුවන් සමාගම්වලින් බදු අරන් තිබෙන ගුවන්යානා ඒ අයගේ බදු කාලය ඉවර වුණාට පස්සේ නැවත බදු දෙන සමාගම්වලට භාර දෙන එක කරන්නේ නැහැ. ඒ ගුවන් සමාගම් නැවත නැවතත් මේ ගුවන් යානා බදු ගිවිසුම් අලුත් කරන එකයි කරන්නේ. එයාර්බස් 350 වර්ගයේ ගුවන්යානයක් මිල දී ගන්න නම් දැන් 2032 අවුරුද්ද වෙන කල් ඉන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ.” ඔහු පවසා තිබිණි.
“මේ ගුවන්යානය තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. සැටලයිට් නැවිගේෂන් වගේම, සන්නිවේදන, කාලගුණ දත්ත ලැබෙන රේඩාර් එකක්, කඳු ළඟින් යද්දී යානය යම් විදිහකින් අනතුරුදායක මට්ටමකට ආවොත් ඒ ගැන නියමුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ සංඥා පද්ධතියක් වගේම නියමුවන් රහිතව ගොඩබෑමේ පහසුකම් මේ යානයේ තිබෙනවා. ඒ වගේම මේ ගුවන්යානයට එක දිගට කි.මී. 8,800ක් දුර පියාසර කරන්න පුළුවන් කිසිම විදිහකින් නැවත ඉන්ධන සැපයීමකින් තොරව,” ඔහු පැහැදිලි කළේය.
ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක ප්‍රකාශ කර තිබුණේ බද්දට ගත් ගුවන්යානය වසර අටකට පසු නැවත අදාළ සමාගමට භාර දෙන බවයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය ආසියාවේ සාඩම්බර ගුවන් සේවයක් බවට පත් කරන බවයි. හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගුවන් සේවා ඇමැති ලෙස සිටි වකවානුවේ ප්‍රකාශ කළේ පාඩු ලබන ශ්‍රීලන්කන් විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතත්, රුපියලකට හෝ ශ්‍රීලන්කන් මිලදී ගැනීමට ලෝකයේ කිසිදු ගුවන් සමාගමක් ඉදිරිපත් නොවන බවයි.
දැන් බොහෝදෙනාට මේවා මතක නැත. ශ්‍රීලන්කන් ගුවන් සමාගම පාඩු ලැබුවේ රාජපක්ෂ පවුල් සමාගමේ දූෂිත පාලනය නිසාය. වර්තමාන ප්‍රවාහන ඇමැතිවරයා ජාතියේ ගුවන් සම්පත ගොඩනැඟීම සඳහා උපරිම වෙහෙසක් දරමින් සිටී. නව ගුවන්යානය පහතින් පියාසර කරන විට ජනතාව ඔල්වරසන් දුන්නේ විපක්ෂය මොනවා කීවත් රටේ ජනතාවට හෘදයසාක්ෂියක් ඇති නිසාය.
රජයට අයත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම මේ වන විට මහා භාණ්ඩාරය මත යැපෙන තත්ත්වයෙන් ඉවත්ව ස්වාධීනව නැඟී සිටිය හැකි මට්ටමට පැමිණ ඇති බව එම ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ මහතා පවසා තිබිණි.
“අපට දැන් නව යානයත් සමඟ ගුවන් යානා 23ක් තිබෙනවා. ඒ, පුළුල් බඳ යානා 10ක් සහ පටු බඳ යානා 13ක් වශයෙන්. අපට රටවල් 24ක ගමනාන්ත 37කට ළඟා වන්න පුළුවන්. අලුත් ගුවන්යානයත් එක්ක අප හිතනවා අපට අපේ මගීන්ට ඉතා කාර්යක්ෂම සේවයක් සලසන්න පුළුවන් කියලා. නිවැරදි වේලාවට පැමිණීම අපට වැඩිදියුණු කරන්න පුළුවන් වෙයි. මේක දැකපුවාම ඔබට පේනවා හොඳින් නවීකරණය කරන ලද යානයක්.
රටේ ජනතාවටත් ඉස්සෙල්ලා අපි බලාපොරොත්තුවක් දෙන්න ඕනෑ මේකෙ ඉන්න 6,000ක් සේවක පිරිසට. කේටරින් එකේ තව 900ක් ඉන්නවා. ඒ කියන්නෙ පවුල් 6,000ක්, ඒගොල්ලොන්ගෙ දරුවන්, අපි හිතනවා දැන් ඒගොල්ලොන්ට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා. රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි මේකෙ ප්‍රතිලාභ. අප දැන් මහාභාණ්ඩාගාරයෙන් යැපෙන්නෙ නෑ. අපට අවශ්‍ය නෑ මහාභාණ්ඩාගාරය මත යැපෙන්න. අප හිතනවා දැන් අපට අපේම දෙපයින් නැඟී සිටින්න පුළුවන් කියලා. ඒ කියන්නෙ රටේ ජනතාවට බරක් වෙන්නෙ නැතිව මේක කළමනාකරණය කරගන්න අපට පුළුවන්.”
දෙසැම්බර් මාසයේ අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සිහින දකින උදවියට මේවා දිරවන්නේ නැති බව අපි දනිමු. සිහින දකින්නට ඔවුන් නින්දේ පසු වීම, රටේ ජනතාවට සැනසිල්ලකි.
– දේශපාලන ලියුම්කරු විසිනි