Home » අදත් ඉන්දියාව සොලවන භගත් සිං

අදත් ඉන්දියාව සොලවන භගත් සිං

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment
උදේනි සමන් කුමාර

‘අසාධාරණත්වයෙන් ක්‍රියා කරන කෙනකුට වඩා අයුක්තිය ඉවසන තැනැත්තා වැරදිකරුවෙකි. අපි හැමෝම හඬ නඟා කාන්තාවන් සූරාකෑමට එරෙහිව සටන් කරමු’
නීලම් සිං

න්දීය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ආගන්තුක තරුණයන් කීප දෙනකු කඩාපැන දුම් විහිදුවාහැරීම නිසා 2023 දෙසැම්බර් 13 බදාදා ඉන්දියාවම සසල විය. එහිදී තරුණයන් දෙදෙනකු පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු වී, සටන් පාඨ කීම හා වර්ණ ගැන්වූ ගෑස් විදීමෙන් පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් වටපිටාවක් ඇති වන අන්දම විදෙස් මාධ්‍ය ඔස්සේ එදා ලොවම දුටුවේය.

සබා ගැබේ මේසයෙන් මේසයට පනිමින් සිටි තරුණයකු අල්ලාගැනීමට මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක නිලධාරීන් උත්සාහ දරන ආකාරය ඡායාරූපවල දැකගත හැකි විය. මේ දෙදෙනා අමුත්තන්ගේ ගැලරියේ සිට සභාව මැද, කථානායක ආසනය ඉදිරියේ ඇති හිස් ඉඩට පැන ආ බව ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරු මාධ්‍යයට පැවසූහ. ඔවුහු වර්ණ ගැන්වූ ගෑස් විදින අතරතුර සටන් පාඨ කියමින් ලෝක් සභා සැසි වාරය අවුල් ජාලයක් බවට පත් කළහ. ඉන්දීය ඔත්තු සේවා මේ කිසිවක් දැන සිට නැත. ආරක්ෂක නිලධාරීන් විසින් ස්වල්ප වේලාවක් ඇතුළත කලහකාරීන් මෙල්ල කර ඉවතට රැගෙන යනු ලැබ ඇතැයි වාර්තා විය.

මේ අනපේක්ෂිත සිදුවීම වූයේ, ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ මන්ත්‍රීවරුන්ගේ සැසිවාරය අතරතුරදීය. සැසිවාරය යළි ඇරඹීමට පෙර සභා දෙකම කෙටි කාලයකට අත්හිටුවනු ලැබිණි.

“අප මේ සිද්ධිය විමර්ශනය කරනවා; ඒ වගේම, දිල්ලි පොලීසියෙනුත් විභාගයට සම්බන්ධ වන මෙන් ඉල්ලා තිබෙනවා,” ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තුවෙන් පිටතදී වර්ණ ගෑස් කැනිස්ටර් විවෘත කර විරෝධතාවේ යෙදීම හේතුවෙන් තවත් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් අයෙක් කාන්තාවකි. දිල්ලි පොලිස් නිලධාරීන් ඔවුන් ඉවතට රැගෙන යන අයුරු රූපවාහිනී දර්ශනවලින් දැකගත හැකි විය. කාන්තාවක හා තරුණයන් සිව් දෙනකු ඒ කණ්ඩායමට අයත් අතර, ඔවුන් සියල්ලන් අත්අඩංගුවට ගෙන ඇත.

“මහජන ගැලරියේ සිටි තරුණයන් දෙදෙනකු එක්වරම පාර්ලිමේන්තුවේ හිස් ඉඩ සහිත ස්ථානයට පැන්නා. ඒ සමඟම දුමකුත් ආවා. හැමතැනම කලබලයක් තිබුණේ. ආරක්ෂක නිලධාරීන් ඒ දෙන්නවම යටත් කර ගත්තා,” නීති සම්පාදක ධානිෂ් අලී පාර්ලිමේන්තුවෙන් පිටතදී වාර්තාකරුවන්ට පැවසීය.

මේ කලබලකාරි සිදුවීම වූයේ ඉන්දීය පාර්ලිමේන්තුවට 2001දී එල්ල වූ මාරාන්තික ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය දාය. මේ සිදුවීමේදී ප්‍රහාරකයෝ පස් දෙනකුද ඇතුළුව 14 දෙනෙක් මියගියහ. බදාදා පෙරවරුවේදී, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නායකයන් එම ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට උපහාර පුද කිරීමට කටයුතු යොදා තිබියදී මේ සිදුවීම සිදුව තිබේ.

කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ති චිදම්බරම් සභාව ඇමතීම සඳහා ඔහුගේ වාරය එන තෙක් බලා සිටියදී මේ කැලඹිලිසහගත තත්ත්වය ඇතිවූ බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණ.

“එක් වරටම පෙනුණේ මනුස්සයෙක් අමුත්තන්ගෙ ගැලරියෙ ඉඳන් වැටුණා වගෙයි. ඊට පස්සෙ අපට තේරුණා මේ කෙනා හිතාමතාම තමයි සභාවට පැනලා තියෙන්නේ කියලා. තවත් මනුස්සයෙක් හිටියා, ඒ දෙන්නම කහපාට දුමක් එන ගෑස් කැනිස්ටර් එළියට ගත්තා,” ලෝක් සභා මන්ත්‍රී කාර්තිදම්බරම් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

ඉන්දීය ආරක්ෂක අංශ ඉතා කෙටි කාලයක් තුළ සිදුවීමට අදාළ තරුණයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පිහිටි ඔවුන්ගේ නිවාස සෝදිසියට ලක් කරනු ලැබීය. ඒ තරුණයන් ඉන්දීය අධිරාජ්‍ය විරෝධි අරගලයේ කීර්තිමත් නායකයකු වූ භගත් සිංගේ අනුගාමිකයන්ගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් බව හෙළි කරගෙන තිබිණි. 2001 පාර්ලිමේන්තු ප්‍රහාරය අනුස්මරණය කරන දිනයම ඉලක්ක කොට මේ මෙහෙයුම දියත් කිරීම සඳහා ඔවුන් මාස 8කට වැඩි කාලයක් සැලසුම් කර ඇති බව හෙළි වී තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ඉතා අලංකාර ලෙස හා ඉහළ ආරක්ෂක තත්ත්වයකින් යුතුව සකස් කරන ලද ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කරන ලද්දේ මේ වසරේ මුලය. එය ආරක්ෂාව අතින් ඇමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට සමාන වන අයුරින් ඉදි කර තිබේ. එවැනි තත්ත්වයක තරුණ උද්ඝෝෂකයන් ඊට ඇතුළු වූයේ කෙසේද යන්න සොයාගැනීම විමර්ශයකයන්ට පැවරෙන රාජකාරියකි. ඔවුන් මහජන ගැලරියට පිවිස තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ අවසරය ගෙන බව හෙළි වී ඇත. 14 වැනිදා ඉන්දීය පාර්ලිමේන්තු සැසිවාරය කල් තබන ලද්දේ විපක්ෂයේ දැඩි විවේචන මධ්‍යයේය. ආගන්තුක තැනැත්තන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමේදී ආරක්ෂක කපොලු පහක් පසු කර ගියත්, ඔවුන් රැගෙන ගිය වර්ණ ගැන්වූ දුම් කැනිස්ටර් අල්ලාගන්නට නොහැකි වීම බරපතළ අනාරක්ෂිත තත්ත්වයක් ලෙස ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ නිදහස ලබාගැනීම උදෙසා ඉන්දීය ජාතිකයන් ගෙනගිය අරගලය එදා විවිධාකාර මුහුණුවර ගෙන තිබිණි. මහත්මා ගාන්ධිගේ අහිංසාවාදි ව්‍යාපාරය එක් පැත්තකි. සිවිල් නීති කඩ කිරීම, ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ගේ උපවාස වැඩසටහන් දියත් කිරීම මහත්මා ගාන්ධි නායකත්වය දුන් ව්‍යාපාරයේ කැපීපෙනෙන අංග විය. ශ්‍රී නේරු ආදි නායකයන් විසින් ඉන්දීය ජාතික කොංග්‍රසය බිහි කළ අතර, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තුළ අතිදුෂ්කර මාර්ගයක් ඔස්සේ 1947 ඉන්දීය නිදහස් සටන ජයග්‍රහණය කරනු ලැබීය.

ඉන්දීය නිදහස් සටනට ජීවය දුන් සටන්කාමි නායකයන් අතර ‘භගත් සිං’ හිමි කරගන්නේ අතිවිශිෂ්ට ස්ථානයකි. ඉන්දියාව ඔහු හඳුන්වන්නේ ‘මහා ප්‍රාණ පූජාව සිදු කළ වීරයා’ වශයෙනි. භගත් සිං අනුගාමිකයන් විසින් විප්ලවකාරි සංවිධාන ගොඩනැඟීම ඉන්දියාවට අලුත් අත්දැකීමක් නොවේ. 1907දී භගත් සිං උපන්නේ වර්තමාන පාකිස්තානයට අයත් ලාහෝර්හි පන්ජාබ් ප්‍රදේශයේය. 1931 මාර්තු 27 දින දිල්ලි බන්ධනාගාරයේදී ඔහු එල්ලා මරන විට භගත් සිංගේ වයස අවුරුදු 23කි. ඉන්දියාව භගත් සිං සලකන්නේ නිදහස් සටනට ජීවය දුන් තැනැත්තා වශයෙනි.

ඉන්දියාවේ නිදහස සඳහා වූ ව්‍යාපාරය හිංසාකාරි නොවූ නමුත්, ඉන්දියාවේ වැඩෙන සටන්කාමිත්වය තුළ අවි අතට ගත් ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැදුණේය. පන්ජාබ් කලාපයේ අමරණීය නාමයක් දිනා සිටි භගත් සිං වයස අවුරුදු 23දී ඝාතනය කිරීමෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රාණ පරිත්‍යාගිකයකු සහ ජන වීරයකු බවට පත් විය. භගත් සිං සහ ඔහුගේ සහායකයකු වූ ශිවරාම් රාජ්ගුරු කුඩා විප්ලවවාදි කණ්ඩායමක සාමාජිකයෝ වූහ. ඔවුන්ගේ කණ්ඩායමේ නායකයකු වූ ලජ්පත් රායිට බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියකු වූ ජෝන් සෝන්ඩර්ස් විසින් වෙඩි තබන ලදි. ඔහුට ඉතා ආසන්නයේ සිට කිහිප වතාවක් වෙඩි තබා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ උණ්ඩ තුවාල අටක් පෙන්නුම් කළේය. ලජ්පත් රායි තුවාල ලබා සති දෙකකට පසු හෘදයාබාධයකින් මිය ගියේය.

භගත් සිං සහ ඔහුගේ සගයන් ලජ්පත් රායිගේ මරණයට පළි ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය; අන්වර්ථ නාමයන් භාවිත කළ අතර, ඒ බව පෙන්වීමට ඔවුන් විසින් සූදානම් කළ පෝස්ටර් ඇලවූහ. ඔවුහු ඉන්දීය පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව පත්‍රිකා ව්‍යවස්ථාදායකයට විසුරුවා හැරියෝය; සටන් පාඨ කියමින් විශාල ප්‍රචාරක වාසියක් අත් කරගත්හ. භගත් සිං කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ජෝන් සෝන්ඩර්ස් ඝාතනයේ සිංගේ හවුල්කාරිත්වය හෙළිදරවු විය. නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී සිං, සෙසු විත්තිකරුවන් සමඟ පලා ගිය අතර, ඒ අවස්ථාවේදී යටත්විජිත ආණ්ඩුවට ඔහු අල්ලාගත නොහැකි විය. 1929 අප්‍රේල් මාසයේදී භගත් සිං ජෝන් සෝන්ඩර්ස් සහ චන්නන් සිං ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී වරදකරු වූ අතර, 1931 මාර්තු 23 ලාහෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමෙන් පසු ඔහු ජනප්‍රිය ජන වීරයකු බවට පත් විය.

ජවහර්ලාල් නේරු ඔහු ගැන මෙසේ ලිවීය:

“භගත් සිං ජනප්‍රිය වූයේ ඔහුගේ ත්‍රස්තවාදි ක්‍රියාව නිසා නොව, ඔහු විප්ලවවාදි ජීවගුණය පෙනෙන්න සැලැස්වූ නිසාය, මේ මොහොතේ, ලජ්පත් රායිගේ මරණය හරහා ජාතියේ ගෞරවණීය සංකේතය බවට ඔහු පත් විය. ක්‍රියාව අමතක වී, සංකේතය ඉතිරි වූ අතර, මාස කිහිපයක් ඇතුළත පන්ජාබ් ප්‍රාන්තයේ සෑම නගරයක්ම සහ ගමක්ම සහ උතුරු ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල ඔහුගේ නම ප්‍රතිරාවය විය. සිං, අදේවවාදියෙකි; සමාජවාදියෙකි; කොමියුනිස්ට්වාදියෙකි; ‘මහා ප්‍රාණ පරිත්‍යාගිකයා’ විරුදාවලි ලැබූවෙකි. සිංගේ අනුගාමිකයන් බොහෝ දෙනකු මෙන්ම බොහෝ ඉන්දීය යටත්විජිත විරෝධි විප්ලවවාදීන්ද නිර්භීත ක්‍රියාවන්ට සම්බන්ධ වී මරණයට පත් වුවද භගත් සිං මෙන් කලාව හා සාහිත්‍යය තුළ ජනතා ආකර්ෂණය දිනාගත්තේ නැත.

සමස්ත ඉන්දියාව භගත් සිංට කොතරම් ආකර්ෂණය වී ඇත්දැයි කිව හොත් ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරිපිට අඩි දහඅටක් උස භගත් සිංගේ ප්‍රතිමාවක් ඉදි කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළතද භගත් සිංගේ විශාල ප්‍රමාණයේ සිතුවමකි. ඉන්දීය සිනමාව භගත් සිං සම්බන්ධ චිත්‍රපට ගණනාවක් නිපදවා ඇත. ඒ සියල්ල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ ඒවාය.

පසුගිය බදාදා ඉන්දීය පාර්ලිමේන්තුවට කඩාවැදුණු තරුණයන් කණ්ඩායම පස්දෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් සංවිධානාත්මකව එකතු වී තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේය. ලලිත් ජා ඔවුන්ගෙන් අයෙකි. ඔහු ඉන්ස්ටග්‍රෑම්හි වීඩියෝ පළ කරන්නෙකි. තරුණියක වූ නීලම් සිං පාර්ලිමේන්තුවෙන් පිටත කැනිස්ටර්වලින් වර්ණ ගෑස් මුදා හරින අතරතුර උස් හඬින් සටන් පාඨ කී තැනැත්තියයි.

නීලම් සිං

නීලම් සිංගේ ෆේස්බුක් පිටුවේ අනුගාමික සංඛ්‍යාව 313කි. ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස හඳුනාගන්නා අතර, තරුණ සංවිධානයක් වන ‘ප්‍රගතිශීල් අසාද් යුව’ ඇයගේ සංවිධානයේ නම ලෙස දැක්වේ. 2023 ජූනි 4 දිනැති ඇයගේ අවසන් සටහන, රෝස පැහැති ටී ෂර්ටයක් සහ ජීන්ස් එකක් ඇඳගෙන කාන්තා පොලිස් නිලධාරීන් විසින් ඇය ඇදගෙන යන අන්දම පෙන්වන ඡායාරූපයකි. එහි ශීර්ෂ පාඨය ලෙස සඳහන් කර තිබෙන්නේ ‘අසාධාරණත්වයෙන් ක්‍රියා කරන කෙනකුට වඩා අයුක්තිය ඉවසන තැනැත්තා වැරදිකරුවෙකි. අපි හැමෝම හඬ නඟා කාන්තාවන් සූරාකෑමට එරෙහිව සටන් කරමු’ යනුවෙනි.

ඇයගේ පැති පින්තූරය පුද්ගලයන් පිරිසක් සමඟ වන අතර, ඔවුන්ගෙන් අයෙක් ආචාර්ය අම්බෙඩ්කාර්ගේ රාමු කළ ඡායාරූපයක් අතැතිව සිටී. 1931දී බ්‍රිතාන්‍යයන් විසින් එල්ලා මරාදමන ලද විප්ලවවාදීන් තිදෙනා වන භගත් සිං, සුඛාදේව්, සහ රාජගුරුට ඇය උපහාරය පළ කර තිබිණි. පෙබරවාරි 5 දින ඇය රැස්වීමක ඡායාරූප පළ කළාය. විවිධ විරෝධතා ස්ථානවලදී ඇය විසින් පවත්වන ලද දේශනවල වීඩියෝද පළ කර ඇත.

ලලිත් ජා

බදාදා පස්වරුවේ පාර්ලිමේන්තුවෙන් පිටත නීලම් සිං සහ ෂින්ඩේ සටන් පාඨ කියමින් සිටින වීඩියෝවක් පළ කළ ලලිත් ජා, තමා ගුරුවරයකු ලෙස විස්තර කරන අතර ඔහුට ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයෝ 293 දෙනෙක් සිටිති. ඔහුගේ පැතිකඩෙහි ඇති පළ කිරීම් 535න් බොහෝවක් ඉන්දීය නිදහස් සටන්කාමීන් සහ භගත් සිං, බෝස් සහ අසාද් වැනි විප්ලවවාදීන්ගේ සහ හින්දි කවීන් වන රාම්ධාරි සිං ඩින්කර්, සූර්යංකන්ත් ත්‍රිපාති සහ උපහාසාත්මක හරිශංකර් පර්සායිගේ උපුටා දැක්වීම් වේ. සැප්තැම්බර් මාසයේ සිට අවම වශයෙන් අවස්ථා හතකදී නීලම් සිං විසින් ඔහු ටැග් කර ඇත. ඔවුන් එකිනෙකා හඳුනන බව ඉන්දීය ආරක්ෂක අංශය විශ්වාස කරයි.

අමෝල් ෂින්ඩේ

ලාහෝර්හි පදිංචි 25 හැවිරිදි අමෝල් ෂින්ඩේට ෆේස් බුක් අනුගාමිකයෝ 357ක් සිටිති. ඔහුගේ ඉන්ස්ට්‍රගෑම්හි බදාදා උදෑසන 8ට පමණ මුම්බායිහි චත්‍රපති ශිවාජි මහාරාජ් ටර්මිනස්හි ඡායාරූපයක් පළ කළේය. ඔහුගේ පැතිකඩද භගත් සිං, අසාද් සහ සුභාෂ් චන්ද්‍රබෝස් පිළිබඳ පළ කිරීම්වලින් පිරී ඇත. ඉන්ස්ටග්‍රෑම්හි ඔහුගේ විස්තරය, ‘ෂහීදෝ කි ෂහදත් කෝ සලාම් අවුර් නමන්’ යනුවෙන් කියවෙන අතර, ඔහු දිවීමේ සතුටු වන බව සඳහන් කරයි. දිල්ලි පොලිස් නිලධරයකු මාධ්‍යයට පැවසුවේ අගෝස්තු මාසයේ පැවති මෝසම් සැසියේදී ෂින්ඩේ ඇතුළු පස් දෙනාගෙන් තිදෙනකු පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය සඳහා දිල්ලියට පැමිණ ඇති බවයි.

You may also like

Leave a Comment