මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනු කාලාන්තරයක් තිස්සේ ‘කපුටු රජදහනක්’ මෙන්ම මෙරට දූෂණයෙන් හා අක්‍රමිකතාවෙන් පිරි ආයතනයක් බව ප්‍රසිද්ධ රහසකි. සෑම වසරකම විගණන වාර්තාවෙන් මෙහි අක්‍රමිකතා ඇතුළු ගැටලු ඉදිරිපත් කළද ඒවායෙන් ලැබෙන ප්‍රගතියක් නම් නැත. එක් අතකින් රජයට හිමි විය යුතු රුපියල් කෝටි ගණනක මුදල් අහිමි වන්නාක් මෙන්ම තවත් අතකින් රු. 30,000ක් නැත්නම් 40,000ක් මාසික වැටුප් ලබන නිලධාරීන් යන්නේ සුපිරි රථවලිනි. තවත් අතකින් නීති විරෝධි ලෙස වාහන ලියාපදිංචිය ජයටම සිදු කෙරේ. ඒ සම්බන්ධවද දැන් විමර්ශන අරඹා ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති තවත් අක්‍රමිකතා රැසක් ඇත. මේ සියල්ල දශක ගණනාවක් තිස්සේම රජ කිරීම ඇත්තෙන්ම ඔවුන්ට ලබාදී ඇති ‘වරප්‍රසාදයක්‘ බඳුය. මේ අවභාවිතයන්ට දැන් නම් වැට බැඳෙනු ඇත. ඔවුන්ගේ දූෂණ රජදහනට දැන් ආයුබෝවන් කියා හරි මඟට එන්නට සිදු වනු ඇත. පසුගිය සතියේ දෙපාර්තමේන්තුවේ
මේ දූෂණයන්ට දැන් නම් තමන්ගේ කෙළි පහසු නොවනු ඇත. ඔවුන්ගේ අක්‍රමිකතාවන් තව දුරටත් සිදු කරන්නට ගියහොත් වන දේ පැහැදිලිය. පසුගිය මාසයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු සහ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදි.
කරුණු කෙසේ වුවත් පසුගිය කාලසීමාවේ මේ දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද අක්‍රමිකතාවලින් කොටසක් හෝ හෙළි කිරීම කළ යුතුමය.
2021 වසරේ සිට 2023 දක්වා විගණකාධිපති වාර්තාවල ඇතුළත් අක්‍රමිකතා මෙන්ම ඒ නිසා රජයට සිදු වූ මූල්‍යමය සහ වෙනත් අලාභයන් ගැන මේ වසරේද කෝප් කමිටුවේදී දැඩි කතාබහට ලක් විය. ඒ යටතේ රජයට වැඩිම මුදලක් අහිමි වී ඇත්තේ පූර්ව වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධතිගත වූ චැසි අංක හා එංජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහනවල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර වංචනිකව මෝටර් වාහන ලියාපදිංචි සහතික කර තිබීම නිසාය.
ඒ අනුව ආනයනය කළ සුපිරි වාහන ලියාපදිංචි කිරීම වෙනුවෙන් රජයට අහිමි වූ ආදායම රු. ලක්ෂ 12,000ක් හෙවත් රු. බිලියන 1.2 කි. එය කොතරම් මුදලක්දැයි සිතාගැනීමත් අපහසුය. එම මුදලින් ග්‍රාමීය රෝහල් 100කට අධික සංඛ්‍යාවක් ඉදි කරන්නට හැකියාව තිබිණි.
එමෙන්ම රියැදුරු බලපත්‍ර මුද්‍රණය හා සම්බන්ධිතව වසර ගණනාවක සිට සිදු කෙරෙන මහා පරිමාණ අක්‍රමිකතා නිසා සිදුව ඇති දූෂණ අතිවිශාලය. රියැදුරු බලපත්‍ර මුද්‍රණයේදී 2016 වසරේදී එකඟ වූ මුදලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට සැපයීමට පසුව එකඟ වීම නිසා ඒ සඳහා වැඩිපුර ගෙවා ඇති මුදල රු. කෝටි 100කට වඩා වැඩි බව මේ වන විට අනාවරණය වී ඇත.
රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා භාවිත වන SRITIS පරිගණක මෘදුකාංග වෙනුවෙන් නඩත්තු හා සේවා ලබා ගැනීමේ සිදු වී ඇති අක්‍රමිකතා ගැනද වාර්තා වී ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ නඩත්තු හා සේවා පිරිවැය රු. මිලියන 10ක් වන විට, එම දත්ත පද්ධතිය හා සැසඳීමේදී ඉතා සරල පද්ධතියක් වන SRITIS පරිගණක මෘදුකාංගයේ නඩත්තු හා සේවා වෙනුවෙන් 2023 හා 2024 වසරවල පිළිවෙළින් රු. මිලියන 154.1ක හා රු.මිලියන 181.9ක අසාමාන්‍ය අතිවිශාල මුදලක් වැය කිරීම මෙහිලා පුදුම සහගතය!
එමෙන්ම රියැදුරු බලපත්‍ර මුද්‍රණයට භාවිත කෙරෙන මුද්‍රණ යන්ත්‍රවල සේවා සහ නඩත්තු සඳහා ගිවිසුම්ගත වීම තුළද විනිවිද භාවයට වඩා අක්‍රමිකතා සිදුව ඇති බව පෙනේ. විශේෂයෙන්ම 2017 වර්ෂයේ මිල දී ගත් මුද්‍රණ යන්ත්‍ර දෙකක සේවා හා නඩත්තුව සඳහා රු. මිලියන 14.7ක ගිවිසුමක් පෞද්ගලික සමාගමක් සමඟ ඇති කරගෙන තිබුණේ එවැනි නව මුද්‍රණ යන්ත්‍රයක වෙළෙඳපොළ මිල රු. මිලියන 15ත් 20ත් අතර මිලකට තිබියදීය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රජයට අතිවිශාල ආදායමක් උපයා දුන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම මඟින්ද සිදුව ඇත්තේ එසේ මෙසේ දූෂණයක් නොවේ. විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එකම පෞද්ගලික සමාගමකින් පමණක් මිල ගණන් කැඳවා රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා 2022 සැප්තැම්බර් 15 දින සිට එම සමාගම සමඟ ගිවිසුම් ගත වී ඔවුන්ගෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කර ගැනීම මඟින් 2022 සිට 2024 ජූලි මාසය දක්වා කාලය තුළ රු. මිලියන 134ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම එක්දින සේවාව යටතේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යටතේද සිදු වූ අකටයුතුකම් රැසක් හෙළිව තිබේ.
විශේෂයෙන්ම මාස නවයක කාලයක් තුළදී, එක්දින සේවාව යටතේ භාරගත් අයදුම්පත්‍ර සඳහා රියැදුරු බලපත්‍ර 200ක් සමඟ සාමාන්‍ය ක්‍රමයට අයදුම් කළ අයදුම්පත්‍රද (සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව) රියැදුරු බලපත්‍ර 300ත් 400ත් අතර ප්‍රමාණයක් දිනකට මුද්‍රණය කර ඇති බව අනාවරණය වී ඇත. සාමාන්‍ය ක්‍රමයට අයදුම් කළ එහෙත් එක් දිනකින් නිකුත් කරනු ලබන එවැනි එක් බලපත්‍රයකින් අනීතිකව රු. 5000ක මුදලක් ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.
එමෙන්ම රියැදුරු බලපත්‍ර කාඩ්පත් මිල දී ගැනීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව තිබේ. දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව රියැදුරු බලපත්‍ර කාඩ්පත් දසලක්ෂයක් පමණ අවශ්‍ය වුවද එම කාඩ්පත් ලක්ෂ 4ක් පමණක් ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයටද අනුකූල නොවන ජාතික තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ මිල දී ගෙන ඇත. එහි තවත් ගැටලුවක් වන්නේ එම කාඩ්පත්හි තිබිය යුතු ප්‍රධාන ආරක්ෂිත සලකුණු සහ මුද්‍රණ විශේෂාංග නැතිව යෝජිත කාඩ්පතෙහි ආරක්ෂිත සලකුණු තීරණය කර තිබීමයි.
එමෙන්ම පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය සමඟින් අනීතික අක්‍රමිකතා සහිත ගනුදෙනු රැසක්ද හෙළිව ඇත. විගණකාධිපතිවරයාට හෝ කෝප් කමිටුවට හෝ ලංකා ඔටෝ මොබයිල් සංගමය හා විමර්ශනයට හැකියාවක් තිබේද නැද්ද යන්න වෙනමම කරුණකි. එහෙත් එම සංගමයේ අරමුණුවලින් බැහැරව එම සංගමයද කටයුතු කර ඇති බව පෙනේ.
විශේෂයෙන්ම අන්තර්ජාතික රියැදුරු අවසර පත්‍ර නිකුත් කිරීමේදී එය මෝටර් වාහන පනතට අනුකූල නොවන ලෙස අයදුම්කරුවන් පරීක්ෂා කිරීමෙන් තොරව ලංකා ඔටෝ මොබයිල් සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් සඳහා ජාත්‍යන්තර රියැදුරු අවසර පත්‍ර ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
එහිදී අය කළ යුතු නියමිත ගාස්තුවලින් පරිබාහිරව 2023 සහ 2024 වසරවල පමණක් රුපි. ලක්ෂ 5,273ක මුදලක් අනීතිකව අය කරගෙන ඇත. එමෙන්ම කිසිදු නීතිමය පදනමකින් තොරව මෙරටට පැමිණෙන අන්තර්ජාතික රියැදුරු අවසර පත් හිමියන්ගෙන් රු. 8,466ක මුදලක් අය කර Recognition Permit නමින් අනීතික රියැදුරු අවසර පත්‍රයක් නිකුත් කිරීමට ලංකා ඔටෝ මොබයිල් සංගමය කටයුතු කර තිබේ.
කුමන පදනමකින් හෝ ලංකා ඔටෝ මොබයිල් සංගමයද රජයට අය විය යුතු මුදල් හෝ ජනතාවගේ හෝ මුදල් අනීතික ලෙසින් උපයාගෙන ඇති බව පැහැදිලිය. එය සම්පූර්ණයෙන්ම මෙරට මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමකි. ලංකා ඔටෝ මොබයිල් සංගමයේ ගනුදෙනු හෝ එහි විගණන සම්බන්ධයෙන් අත පොවන්න හෝ සොයා බලන්නට අපට අවශ්‍ය නැතත් මෙතැන පැහැදිලි දූෂණයක් සිදුව ඇති බවට වාර්තා වී ඇත. Recognition Permit නමින් අනීතික රියැදුරු අවසර පත්‍රයක් නිකුත් කිරීමට ඔවුන්ට බලය දුන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද එසේත් නැත් නම් දේශපාලනයේ ඉහළම තැනකින්ද යන්න ගැන විමර්ශනය කළ යුතුය.
එම සංගමයේ අරමුණු අතර වන්නේ ශ්‍රී ලංකාව තුළ මෝටර් රිය ධාවනය පිළිබඳව ක්‍රියාකාරි උනන්දුවක් දිරිගැන්වීම හා පවත්වාගෙන යාම සහ මෝටර් රථ පදවන්නන්ගේ හා ගගන යාත්‍රිකයන්ගේ, මෝටර් රිය හා ගුවන්තරණ කර්මාන්තයන්හි සහ ගොඩබිමේ, ජලයේ හෝ ගුවනේ යාන්ත්‍රිකව ප්‍රවාලනය කෙරෙන සියලු ආකාරවල වාහන හිමිකරුවන්ගේ හා භාවිත කරන්නන්ගේ සහ ඒ හා සම්බන්ධ කවර හෝ කර්මාන්තයක නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා පවත්වා ගෙන යෑමය. එමෙන්ම මහා මාර්ගවලට හා ඒවා භාවිත කරන්නන්ට බලපාන නීති බලාත්මක කිරීමෙහිලා සහය දීමත් ඊට අමතරව මෝටර් රථ පදවන්නන්ගේ අයිතිවාසිකම්වලට බලපාන කාරණා සාධාරණ ලෙස පරිපාලනය කෙරෙන බවට සහ සියලුම මාර්ග භාවිත කරන්නන්ට බලපාන නීති බලාත්මක කෙරෙන බවට වගබලා ගැනීම සහ මෝටර් රථ පදවන්නන්ගේ අයිතිවාසිකම් කෙරෙහි කවර ආකාරයකින් හෝ බලපාන යෝජිත නීති සම්පාදන පිළිබඳ පරීක්ෂාවෙන් බලා සිටීම සහ ඒවායෙහි ගැබ්ව ඇති මූලධර්ම ප්‍රායෝගිකව හැකි තාක් දුරට මෝටර් රථ පදවන්නන්ට හා මහජනතාවට එක හා සමානව සාධාරණ වන බවට වගබලාගැනීමය. එසේම ලාභාංශ හෝ ප්‍රසාද දීමනා වශයෙන් හෝ අන්‍යාකාරයකින් සංස්ථාවේ සාමාජිකයන් වෙත ඍජුවම හෝ වක්‍රව පවරනු නොලැබිය යුතුය. එවන් තත්ත්වයක් යටතේ සංගමයට ලබාගත් රු. ලක්ෂ 5,273ක මුදලට වූයේ කුමක්ද යන්න විමර්ශනය කළ යුතුය.
මීට අමතරව රථ වාහන මාර්ග නීති උල්ලංඝනය කරන ලද අවස්ථාවල උසාවියට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කරන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම යටතේ එම ව්‍යාපෘතිය නිසි හඳුනාගැනීමකින් තොරව සහ ක්‍රමානුකූල නොවන ලෙස තෝරාගත් සැපයුම්කරුවන් වෙත ප්‍රදානය කිරීමෙන් වර්ෂයකට ගනුදෙනු මිලියන 1.5ක සහතිකයක් ලබාදීම සඳහා අපේක්ෂිත වසර පහක කාලය සඳහා රු. මිලියන 1,905ක අතිවිශාල මුදලක් ගෙවීමට සිදුවීමද ගැටලු සහිතය.
මීට අමතරව වාහන ලියාපදිංචි අංක අනුපිළිවෙළට නිකුත් කිරීම වෙනුවට හිතාමතාම ඇතැම් අංක හිස්ව තබමින් පසුව සාවද්‍ය දත්ත ඇතුළත් කර වාහන 5ක් ලියාපදිංචි කිරීම නිසා රජයට අහිමි වූ මුදල රුපියල් ලක්ෂ 46කි. එමෙන්ම දෙපාර්තමේන්තුවේ වේරහැර ආපණශාලාව හා බද්දට දී තිබූ අනෙකුත් ආයතන වෙතින් බදු මුදල් අය කර නොගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇත. විශේෂයෙන් මහජනයා විශාල වශයෙන් ගැවසෙන වේරහැර ආපණශාලාව සඳහා 2019 සිට 2023 දක්වා වූ කාලයට රජයට අය විය යුතු රු. ලක්ෂ 66ක බදු මුදල් ගෙන නැති වීම හෝ එම මුදල් අස්ථානගත වීමක් හෝ සිදුව ඇත.
එමෙන්ම වාහන අංක තහඩුවල පළාත් අක්ෂර මුද්‍රණය කිරීම නිසා වාහනයක අයිතිය පළාත් අතර මාරු වීමේදී නැවත නැවත නව අංක තහඩු මුද්‍රණය කිරීමට සිදු වීමෙන් පෞද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ 9,310ක් ගෙවීම් කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු මාතර ශාඛාවේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අක්‍රමිකතා රැසක් සිදුව ඇත.
විශේෂයෙන්ම එල් (L) පුවරු මිල දී ගැනීමේ වංචා සහ දූෂණ රැසක් දෙපාර්තමේන්තුවේ සිදුව තිබේ. එහිදී මෝටර් රථ පනතට අනුව භාවිත කිරීමට අවකාශ නැති එල් (L) පුවරු මිලියන 1.8 ක් මිලදී ගැනීමට රු. ලක්ෂ 1,624ක මුදලක් භාවිත කිරීම ගැටලු සහිතය.
එසේම වායු විමෝචන පරීක්ෂණ භාර අරමුදල ඈවර කර අරමුදල වසාදැමීමට කටයුතු කළ යුතු බවට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් දී තිබුණද අරමුදල තවදුරටත් පවත්වාගෙන යෑමට අරමුදලේ භාර මණ්ඩලය කටයුතු කර ඇත.
එසේම භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කර තිබීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් ලක්ෂ 62ක් බවද වාර්තා වී ඇත.
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් DPL අංක යටතේ භාවිත කළ පසුව එම වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම නිසා අහිමි වී ඇති බදු ආදායම රු. ලක්ෂ 1,220කි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති තවත් අක්‍රමිකතා රැසක් ඇත. දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල සිටි අයට වූ දේ දන්නා හෙයින් මින් ඉදිරියට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැන් නම් හරි පාරේ යන්නට සිදු වනු ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට වූ දේ දන්නේ නම් මේ දෙපාර්තමේන්තුවේ සිටින දූෂීත නිලධාරීන් දැන් හෝ හරි මාර්ගයට එනු ඇත. ඇතැම් විට දූෂිතයන් සිටින්නේ අතළොස්සක් වන්නට පුළුවන. එහෙත් කළු පැල්ලම එන්නේ සැමටම බව සිහිතබාගත යුතුය.