– කළු දුම දාන වාහන සොයන්න සී.සී.ටී.වී. ජාලයක්
– පසුගිය මාස 5ට රිය අනතුරුවලින් 1051ක් මියගිහින්
– පොලීසිය සහ ආර්.එම්.වී.යෙන් රථ වාහන අනතුරු වළක්වන අලුත්ම වැඩක්
– අධික වේගයෙන් යන වාහන අල්ලන්න පොලීසියට අලුතින් එන ‘මීටරේ’
කොළඹ රථවාහන පොලිස් මූලස්ථානය පසුගියදා සුවිශේෂී තොරතුරක් අනාවරණය කැර තිබිණි. ඒ ගත වූ මාස 05 ක කාලය ඇතුළත රටපුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1051ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ සිදුවූ රිය අනතුරු 986කදීය.
මේ කාරණාව සුළුපටු ලෙස සැලකිය යුතු එකක් නොවේ. විශේෂයෙන් මේ මාරක රිය අනතුරු ගැන සංඛ්‍යා ලේඛන කලින් කල කරළියට එතත් මෙවර එය අලුත් ලෙස කරළියට එන්නේ නුවරඑළිය, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බසයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ ජීවිත හානි සමඟය. මේ මාරක අනතුරින් මගීන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 30කට අධිකය. ඉන් අනතුරුව ගැරඬිඇල්ලේ මාරක අනතුර සමඟ මුළුමහත් ජන සමාජයේම අවධානය ඒ සඳහා යොමු වූ අතර පොලීසිය ඒ වන විට සිදු කරමින් සිටි රථවාහන මෙහෙයුම් වැඩි කිරීම සඳහා වැඩි බරක් යොදා ඇති බවද පෙනෙන්නට තිබිණි.
පසුගිය මාස 05 දී මෙරට සිදු වූ මාරක රිය අනතුරුවලින් මියගිය ගණන පසුගිය වසරේ එම කාලය ඇතුළතදී මාරක රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි බවද සංඛ්‍යා ලේඛනවලින් හෙළි විය. 2024 වසරේ ජනවාරි – මැයි අතර කාලය ඇතුළතදී මාරක අනතුරුවලින් පුද්ගලයන් 924ක් ජීවිතක්ෂයට පත් වූ අතර 2025 වසරේ එය මරණ 62කින් වැඩිවී තිබීමද කතාබහට ලක්විය යුතු එසේම දැඩි අවධානය යොමු විය යුතුම කාරණාවකි. මාරක රිය අනතුරු 2024 ජනවාරි – මැයි අතර කාලයට වඩා 2025 ජනවාරි – මැයි අතර කාලයේදී 86කින් වැඩි වී තිබුණු බවද සංඛ්‍යා ලේඛන හෙළි කරයි.
පොලීසිය සඳහන් කරන අන්දමට මාරක රිය අනතුරුවලට ප්‍රධාන හේතුව අධික වේගයයි. නොසැලකිල්ල, අපරික්ෂාකාරී ධාවනය, මාර්ග නීති දිගින් දිගටම උල්ලංඝනය කිරීම, බරපතළ අඩුපාඩු සහිත දෝෂ සහිත රථ වාහන ධාවනයද මාරක රිය අනතුරුවලට අත වනන බව පොලීසියේ අදහසයි. පොලිස් නිලධාරීන් පැය 24 පුරා මහමඟ සිට රථවාහන සම්බන්ධ වැරදි කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදු කළත් රියැදුරන්ගේ ආකල්ප වෙනසක් සිදු නොවන තාක් රිය අනතුරු අඩු කිරීම වැළැක්වීම සිදු කළ නොහැකි බව පොලීසියේ අදහසයි.
අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් නීතියට හසුකර ගැනීමත් බරපතළ තාක්ෂණික දෝෂ සහිතව මෙන්ම කළු දුම පිට කරමින් මහමඟ වාහන ධාවනය කරන රියැදුරන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ වන විට සුවිශේෂී වැඩ පිළිවෙළක් යොදා ඇත. පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී මේ බව මුල් වරට අනාවරණය කෙරිණි. මේ අනුව අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් නීතියට හසුකර ගැනීම සඳහා රථවාහන පොලිස් මූලස්ථානය මේ වන විට නවීන තාක්ෂණික උපකරණයක් අමෙරිකාවෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කර තිබුණි. අදාළ උපකරණ ආනයනය සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 90ක් පමණ වන අතර ඉන් 30ක් පොලිස් කොට්ඨාස මට්ටමින් මේ වන විට බෙදාහැර තිබේ. අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමට මේ උපකරණ පොලීසිය විසින් භාවිතයට ගැනේ. දිගින් දිගටම සිදුවන අනතුරුවල ප්‍රමාණය තක්සේරු කිරීමෙන් අනතුරුව අදාළ වේග මාපක උපකරණ අමතරව ආනයනය කිරීමට නියමිතය. කෝපා කමිටුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් මේ සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 150න් 50ක් පොලීසියට ලැබී තිබේ. එම මුදල යොදවා අදාළ අධි තාක්ෂණික උපකරණ 50ක් ආනයනය කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පෙන්වා දුන්නේය.
මේ අතර බරපතළ තාක්ෂණික සහ කාර්මික දෝෂ සහිතව එමෙන්ම කළු දුම පිට කරමින් මහමඟ ධාවනය කරන රථවාහනවල රියැදුරන් එම රථවාහන සමඟම නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවද මේ වන විට සුවිශේෂී වැඩපිළිවෙළකට අතගසා තිබේ. ඒ පරිසරයට අහිතකර ලෙස විෂ දුම පිට කරමින් ධාවනය වන රථ වාහන සහ ඒවායේ රියැදුරන් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා සවි කිරීමයි. වායු විමෝචන භාරකාර අරමුදල මේ කටයුත්ත සිදු කරයි. මේ මහා පරිමාණ කාර්යයට පොලිස් සමීප රූප ආවේෂණ කොට්ඨාසය හෙවත් සී.සී.ටී.වී. කොට්ඨාසය වැඩපිළිවෙළ මුළුමනින්ම සම්බන්ධීකරණය කරනු ඇත. අහිතකර දුම් පිට කරමින් වාහන ධාවනය කරන රියැදුරන් වාහන සහ ඒවායේ ලියාපදිංචි අංකය ක්ෂණිකව හඳුනාගෙන එම වාහනවල වීඩියෝ සහ ඡායාරූප ලබාගෙන අදාළ වාහන සහ ඒවායේ අයිතිකරුවන් ඉතාම කෙටි කාලයක් ඇතුළත හඳුනාගැනීම මේ වැඩපිළිවෙළ යටතේ පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයට පැවරී ඇති කාර්යයි.
පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් හඳුනාගන්නා එවැනි වාහනවල වීඩියෝ ඡායාරූප රියැදුරු ලියාපදිංචි අංකය ඇතුළු සියලුම තොරතුරු ක්ෂණිකව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන අතර අදාළ ඡායාරූප වීඩියෝ සහ දුම් දමන වාහන පිළිබඳ සියලු තොරතුරු වායු විමෝචන අංශය වෙත යොමු කෙරෙනු ඇත.
ඉන් අනතුරුව එම අංශයේ නිලධරයන් විසින් සිදු කරන විමර්ශනවලින් අනතුරුව අදාළ වාහනයේ නීත්‍යනුකූල හිමිකරුවන්ට අදාළ වාහනවල දෝෂ පිළිබඳ දැනුම් දීමට නියමිතය. එම දෝෂ ඉතා ඉක්මනින් නිවැරදි කරගෙන එය මෝටර් රථ වාහන පරීක්ෂකවරයකුට ඉදිරිපත් කිරීම කළ යුතුය.
මාර්ග නීති සත පහකටවත් මායිම් නොකරන ඇතැම් රියැදුරන් වාහන හිමිකරුවන්ද සිටින නිසා වායු විමෝචන අංශය විසින් පෙන්වා දෙන දෝෂ නිවැරදි කර නොගන්නා වාහන රියැදුරන්, හිමිකරුවන්ගේ වාහනවල ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කැරේ.
වායු විමෝචන භාරකාර අරමුදල කරන සේවයද සුළුපටු නොවේ. ඇතැම් වාහනවලින් මහමඟදී පිට කරන විෂ දුම කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළට අතගසා සිටින ගමන් පොලිස් දෙපාර්තමේන්තුවේ සී.සී.ටී.වී. කොට්ඨාසය සතුව දැනට තිබෙන සී.සී.ටී.වී. කැමරා පද්ධතිය නවීකරණය කිරීම සහ පුළුල් කිරීම අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට ද වායු විමෝචන භාරකාර අරමුදල කටයුතු කරමින් තිබීමද සුවිශේෂීය.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ පොලීසිය අතර නෛතික බැඳීම තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අලුත් වැඩක් ආරම්භ කර තිබේ. මීට පෙර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියට පිවිසීමේ අවසරය එම දෙපාර්තමේන්තුව මඟින් පොලීසියට ලබා දී තිබුණු අතර එය එම දත්ත පද්ධතිය නිරීක්ෂණයට පමණක් සීමා විය.
මාර්ග නීති කඩ කරන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, දඩ කොළ නිදහස් කිරීම වැනි කාර්යබහුල කාර්යන්ද පොලීසිය සිදු කරන නිසා මේ කටයුතු තවදුරටත් විධිමත් කරගැනීමේ අරමුණින් ආර්. එම්. වී. දත්ත පද්ධතිය ඔස්සේ පොලීසියට අවශ්‍ය නීත්‍යනුකූල කටයුතු සිදුකර ගැනීම සඳහා අවශ්‍ය බලය ලබාදීම ගැනද මේ වන විට ආර්. එම්. වී. බලධරයන් සහ පොලීසිය අතර සාකච්ඡා පැවැත්වෙයි.
මගී බස්රථවල සේවය කරන රියැදුරු, කොන්දොස්තරවරුන්ගෙන් 10% – 15% අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හෙළිකර තිබුණේ ද පසුගියදාය. අයිස්, ගංජා, හෙරොයින් සහ මත්පැන් පානය කර බස් ධාවනය කරන ඇතැම් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කළ යුතු බවද ගැමුණු විජේරත්න හෙළිකර තිබුණි.
2024 වසරේදී මාරක රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2521 කි. දිනකට අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකුට වඩා රිය අනතුරුවලින් මිය යන බව රහසක් නොවේ. 2024 වසරේ රිය අනතුරුවලින් මිය ගිය 2521 දෙනා අතර පදිකයන්, පාපැදිකරුවන්, යතුරුපැදිකරුවන් සහ මගීන්ද සිටි බව සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. එම වසරේ මාරක රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වූ පදිකයන් ගණන 815 කි. යතුරුපැදිකරුවන් සංඛ්‍යාව 194 කි. පසුපැදිකරුවන් සංඛ්‍යාව 194 කි. බරපතළ තුවාල ලද සංඛ්‍යාව 715 කි. අධික වේගය නොසැලකිල්ල, අපරික්ෂාකාරී රිය ධාවනය, මාර්ග සංඥාවලට අවනත නොවීම අනතුරුවලට ප්‍රධාන හේතුව බව පොලීසියේ අදහසයි.
මේ වසරේ ගතවුණු මාස 05 ඇතුළතදී බීමත් රියැදුරන් 26,000 කට වඩා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග හෙළි කළේ පසුගියදාය. රිය අනතුරු අවම කිරීම සඳහා කළ මෙම මෙහෙයුමේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ රිය පැදවු පුද්ගලයන් 1375කට එරෙහිව නඩු පැවැරූ බවද හෙතෙම සඳහන් කළේය.