අපේ නිවෙස පිහිටියේ තුන්මංහන්දියකය. බොහෝ කෙම්මුර දවස්වලට පසුදා තවමත් මේ හන්දියේ ‘පෙරේත තට්ටු’ ගෙනැවිත් දමන අය සිටිති. එහෙත් තොවිලයක හඬක් ඇසෙන්නේම නැති ගානය.
අප කුඩා කාලයේ සතියකට වතාවක් හෝ දෙකක් කොහේ හෝ ඈතකින් තොවිල් බෙරයක් ඇසේ.
හැත්තෑව දශකය අගභාගයේ අසල්වැසි නිවෙසක දහඅට සන්නියක් නැටුවා මට තවමත් මතකය.
“ළමයින් මේවා බලන්න ඕනෑ,” එදා තාත්තා කීවේය.
මේ නිසා කිසිම බාධාවකින් තොරව පසුදා ඉර පායන තුරුම සන්නි යකුම නටන අයුරු බලා සිටීමට මට හැකි විය. එය ජීවිතයට එක් කරගත් අසිරිමත්ම අත්දැකීමකි.
එදා මම, වැටෙන් රිංගා ගොස් අසල්වැසි ගැමියන් සමඟ එළිවනතුරු හිටගෙන සිටියෙමි. සන්නි දහඅටම අවසන් වන තුරු අලුතෙන් පිරිස් එක් වූවා මිස කිසිවකුත් ආපසු ගියේ නැත. පැය දහයක පමණ කාලය පුරාම නරඹන්නන් එකසේ රඳවාගන්නට ඒ යකුන්ට විශේෂ හැකියාවක් තිබිණි.
භූත සන්නිය, ගෝල සන්නිය, භීත සන්නිය, ජල සන්නිය ආදී වශයෙන් එදා අසල්වැසි නිවසට ආ යකුන් සැබැවින්ම මිහිරි මතකයකි. මේ එක් එක් යකා තමන්ට ආවේණික වූ පරිද්දෙන් මිනිසුන්ට රෝගාබාධ ඇති කරයි. එම රෝග සුවපත් කිරීමට මිනිස් ශරීරයෙන් යකා එළියට ගත යුතුය.
යකුන්ගේ කතා මිහිරිය. අතිශයින්ම හාස්‍යජනකය. මිනිසුන්ට වින කරන බව කියන යක්කුන් ගැන එදා ඇති වුණේ අතිශය මිත්‍රශීලී හැඟීමකි.
බොහෝ යක්කු ලැජ්ජාශීලීය; තමුන්ගේ සිතැඟි කියාගන්නට නොහැකිව ළතැවෙති. ඇතැම් යකෙක් ගොතගසමින් තමන්ගේ උපත ගැන කියයි. සන්නි දහ අටම හැදුවේ සංඛපාල රජුට සිටි ආයුපාලි නම් බිසවගේ පුතාය. දාසියකගේ කේළාම් බස් අසා රජු තම ගැබිනි බිරිය මරා දැමීය. එහෙත් දරුවා මියගියේ නැත. තම මව මැරූ පළිය ගැනීමට සිතූ එම දරුවා විෂ ගුළි දහඅටක් හැදුවේය. සක් දෙවියෝ එම විෂ ගුළි යකුන් දහඅට දෙනකු බවට පත් කළෝය. එදා ඒ යකා උත්පත්ති කතාව කීවේ මිනිසුන් සිනා ගන්වමිනි.
ගරා යකා අයිලය පැද්දුවේ පුදුමාකාර වේගයකිනි. ශක්තිමත් ගස් අතු දෙකක් සිටුවා, ඒ මත හරස් අතට තවත් ලීයක් බැඳ තිබිණි. ඒ මතට ගොඩ වන යකා එම අයිලය දෙපැත්තෙන්ම බිම ගෑවෙන තරමේ වේගයකින් පද්දයි. මට බය හිතුණේ අයිලය කඩාවැටෙයි කියලාය.
එදා ඒ යකුන් කියූ දෙපිට කැපෙන වචන, ගම්මු බොහෝ කල්යනතුරු නැවත නැවතත් පුනරුච්චාරණය කළෝය. ඔවුන් එදා මවා දුන් රසය බොහෝ කල්යනතුරු පැවතිණි. මම නිතර දරුවන් සමඟ මේ කතා ආවර්ජනය කරමි. “අල්ලපු වත්තේ එළිවනතුරු හිටගෙන හිටියා,” යි මා කියන විට දරුවන් ඇසුවේ “මදුරුවො කෑවේ නැද්ද!” කියාය.
සැබැවින්ම ඒ කාලයේ ගෙදරින් එළියට බහින විට මදුරු විකර්ෂක ඕනෑ කළේ නැත. එදා එළිවනතුරු එක මදුරුවෙක් හෝ දෂ්ට කළ බවක් මට මතක නැත.
බස්නාහිර පළාතේ ගස් කොළන් ඇති බොහෝ ප්‍රදේශවල දවසේ ඕනෑම කාලයක දැන් මදුරුවෝ වැහිවැහැලාය.
ඒ කාලයේ තිබුණේ බොරලු පාරවල් නිසා පාරේ තැන් තැන්වල දවස් ගණන් වතුර රැඳී තිබෙන්නේ නැත. ෂොපිං බෑග් වෙනුවට තිබුණේ කඩදාසි බෑග්ය. පොලිතීන් භාවිතයක් තිබුණේම නැත.
ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කමිංගේ අප ජල වායු වළක්වන වැසිකිළි පද්ධති ප්‍රචලිතව තිබුණේ නැත. තැඹිලි කෝම්බ, පොල් කෝම්බ මෙන්ම තැන තැන දියකඩිතිද ඕනෑ තරම් තිබිණි. එහෙත් මෙහෙම මදුරුවන් හිටියේ නැත.
කවර හේතුවක් නිසා හෝ මහා පරිමාණයෙන් මදුරුවන් බෝ වී තිබීම මේ වන විට විශාල ගැටලුවකට දොර ඇරලාය. මදුරුවා, මිනිසුනට මාරාන්තික රෝග බෝ කරන, ඇසට පෙනෙන භයානක යක්ෂයකු බව පැහැදිලිය. එහෙත් එදවස රෝග බෝ කළේ අපට නොපෙනෙන යක්ෂයෝය. තොවිල් කළේ ඔවුන් පැන්නීමටය. එදා යකැදුරා වරින් වර සිත් ගන්නා ක්‍රියාවක යෙදුණේය. පන්දම අතින් ගන්නා ඔහු, එයට වේගවත් දුම්මල කුඩු ප්‍රහාරයක් එල්ල කරයි. දුම්මල කීරි ගැහිල්ලෙන් මහා ගිනි ජාලාවක් සමඟ දුමාරයක් පැතිරෙයි. ඔහු ආවේසයෙන් මුළු වත්ත පුරා දිව යමින් දුම්මල කීරි ගැහුවේය. එසේ කළේ ඒ ගිනිදුමාරයෙන් පඳුරු අස්සේ සැඟවී සිටින යකුන් පෙරේතයන් සහ කුම්භාණ්ඩයන් පලවාහැරීමටය.
මම ඒ දිනවලම මෙය නිවෙසේ අත්හදා බැලීමට උත්සාහ කළෙමි. භූමිතෙල් පෙඟවූ රෙදි කැබැල්ලක් කෝටුවක දවටා පන්දමක් සාදාගත්තෙමි. දුම්මල වෙනුවට තිබුණේ සාම්බ්‍රානිය.
“අම්මේ… මෙන්න මල්ලි ගිනි තියාගන්න හදනවා!” යි එදා අක්කා කෑගැසුවාය. ඒකෙන් වැඩේ නතර විය.
එහෙත් තවමත් මට හිතෙන්නේ මේ දුම්මල ගැහිල්ලේ විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා කියාය. ඇසට නොපෙනෙන යක්ෂයන් මවා, පැරණි මිනිසුන් තොවිල් පවිල් නිර්මාණය කළේ මදුරුවන් වැනි අහිතකර කෘමීන් මර්දනය කිරීමටදැයි මට විටෙක සිතේ.
මදුරුවන් බෝ වන්නේ ගුණෝත්තර ශ්‍රේණිවලිනි. මේ දාමය වරින් වර කඩාදැමිය යුතුය. ගමක තොවිලයක් දෙකක් තිබෙනවා නම් මදුරු ගහනය පාලනය වන බවට සැක නැත.