Home » ලෝක යුද්ධයක් ගැන අනාවැකි කියූ ගාන්ධිගේ ලංකා ගමන

ලෝක යුද්ධයක් ගැන අනාවැකි කියූ ගාන්ධිගේ ලංකා ගමන

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment
මලික් චමින්ද ධර්මවර්ධන

හත්මා ගාන්ධි ලාංකිකයන්ට අමුත්තෙක් නොවේ. අසල්වැසි ඉන්දියාවට නිදහස දිනාගැනීමේ සටනේ සුවිශාල දායකත්වයක් සැපයූ ඔහු අනුගමනය කළ අහිංසාවාදී මාවත සමස්ත ලෝ වැසියන්ගේම ගෞරවයට පාත්‍ර විය. අන්තර්ජාතික ‘ටයිම්ස්’ සඟරාව 1930දී වසරේ පුද්ගලයා ලෙස මහත්මා ගාන්ධි හැඳින්වූවේය. එමෙන්ම එම සඟරාවම 1999දී ඇල්බර්ට් අයින්ස්ටයින්ට පසුව සියවසේ ජනප්‍රිය පුද්ගලයා ලෙස හැඳින්වූයේද මහත්මා ගාන්ධිය. අවස්ථා දෙකකදීම ලංකාවට පැමිණි බව විශ්වාස කරන මහත්මා ගාන්ධිගේ දෙවැනි ලංකා ගමන සිදු වූයේ 1927 වර්ෂයේ අග භාගයේදීය.

සති 3ක් පුරා දිවැවුණු මහත්මා ගාන්ධිගේ ලංකා ගමන 1927 නොවැම්බර් 12 දින ආරම්භ විය. දරිද්‍රතාවෙන් පෙළුණු ඉන්දීය ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමත්, ඒ වෙනුවෙන් හඳුන්වා දී තිබූ ඛදාර් රෙදි ව්‍යාපාරය වෙනුවෙන් සහයෝගය ගැනීමත් ගාන්ධිගේ ලංකා ගමනේ අරමුණ වී තිබිණි. උතුර – දකුණ ඇතුළුව සමස්ත රටම ආවරණය කෙරුණු මේ සංචාරයේදී රැස්වීම් තිස් ගණනක් ඇමතූ ගාන්ධි ලාංකික ජනතාවගේ ඉහළ පිළිගැනීමට ලක් විය.

මහත්මා ගාන්ධි දින 17ක් ලංකාවේ ගත කර ඇත. ඉන් දින දෙකක් හැර අන් සියලු දින ඉතා කාර්යබහුල වූ බව වාර්තාවල සඳහන් වේ. ලංකාවට පැමිණෙන විට 58 හැවිරිදි වියේ පසු වූ ගාන්ධි දුම්රියෙන් හෝ මෝටර් රථයෙන් රට පුරා ගියේය. දිනකට විශාල සංඛ්‍යාවක් රැස්වීම් ඇමතුවේය. සංඛ්‍යාත්මකව එය තිස් ගණනක් බව වාර්තාවල සඳහන් වේ. වයස, ගමන් මහන්සිය නිසා හටගත් තෙහෙට්ටුව නිසා දෝ ඔහු මේ රැස්වීම්වලදී බොහෝ විට වාඩි වී ඇමතීමට පෙලඹුණු බව කියවේ.

මේ ලංකා ගමනට අවස්ථා කිහිපයකදීම ගාන්ධිට ලංකාවේ විවිධ පිරිස් ආරාධනා කර තිබූ බව වාර්තාවල සඳහන්ය. ඇතැම් වාර්තාවල මීට පළමුව 1901දී ගාන්ධි ලංකාවට පැමිණි බවද සඳහන් වේ. කෙසේ වෙතත් 1927දී සිදු වූ ලංකා ගමන සඳහා ගාන්ධිට අවස්ථා කිහිපයකදීම ආරාධනා කර තිබූ බව සමකාලීන වාර්තාවලින් පෙන්නුම් කෙරේ. ඉන් පළමු අවස්ථාව වාර්තා වන්නේ අනගාරික ධර්මපාලතුමාගෙනි. 1924 පෙබරවාරි 7 දින විදුලි පණිවිඩයක් මඟින් අනගාරික ධර්මපාලතුමා මහත්මා ගාන්ධිට සහ පවුලේ සාමාජිකයන්ට ලංකාවේ සංචාරයකට ආරාධනා කර තිබිණි. එහිදී වාර්තා වන තොරතුරුවලට අනුව එකල මහත්මා ගාන්ධි වසර දෙකක් බන්ධනාගාරගත වී සිට ඇති අතරම ඇපෙන්ඩිටයිටිස් රෝග තත්ත්වයෙන්ද පීඩා විඳ ඇත.

“ලංකාවේ බෞද්‍ධයෝ ඔබේ නිදහස් වීම ගැන සතුටු වෙති. ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයන්ට ලංකාවේ සංචාරයක් සඳහා ‍ඇරියුම් කරමි. වෙරළබඩ නිදහස් නවාතැනක් සූදානම් කර තිබේ.” රෝහලට යැවුණු මේ විදුලි පණිවිඩයට ලැබුණු ප්‍රතිචාර පිළිබඳ වාර්තා නොවේ.

තවත් අවස්ථාවක චාර්ල්ස් එඩ්ගර් කොරයා සහ එතුමාගේ සොහොයුරු වික්ටර් කොරයා යන මැතිතුමන්ලාද ආරාධනාවක් කර තිබිණි. හලාවත ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු වූ මේ දෙදෙනා ජාතික සටනේ කැපීපෙනෙන දායකත්වයක් දැරූ අය වූහ. විශේෂයෙන්ම ඇතැම් වාර්තාවලට අනුව ඉන්දීය නිදහස් අරගලයේදී මහත්මා ගාන්ධි සමඟ සම්බන්ධකම් පවත්වා තිබී ඇත. චාර්ල්ස් එඩ්ගර් කොරයා මහතා හලාවත සංගමයේද, පහතරට වැවිලි කරුවන්ගේ සංගමයේද, 1924 දී ලංකා ජාතික සංගමයේද සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙකි. මේ සංචාරයේදී හලාවතට පැමිණි ගාන්ධි නතර වී සිටියේ චාර්ල්ස් එඩ්ගර් කොරයා මහතාගේ ‘සීගිරි’ නිවෙසේ බව කිය වේ.

කෙසේ වෙතත් ගාන්ධි මේ ආරාධනාව පිළිගත්තේ එක් කොන්දේසියක් මත බව සඳහන්ය. එනම්: ඛාදාර් අරමුදල වෙනුවෙන් ලංකාවෙන් රුපියල් ලක්ෂයක ආධාර එකතු කර දීමයි. එම වගකීම පෙරින්බනායගම් විසින් භාර ගත් හෙයින් අදාළ සංචාරයේ යෙදීමට ගාන්ධි එකඟ වූ බවද පැවසේ.

නොවැම්බර් 12 දින ලංකාවට පැමිණි ගාන්ධි ඇතුළු පිරිස නොවැම්බර් 13 දා කොළඹ චෙට්ටි ප්‍රජාව හමු වීම සිදු විය. අද ‘හෙට්ටි වීදිය’ නමින් හඳුන්වනු ලබන එදා ‘සී ස්ට්‍රීට්’ හිදී මේ හමුව සිදු විය. නොවැම්බර් 14 දින ලේක්හවුස් මාධ්‍යවේදියකු සමඟ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වී තිබේ. ‘මහත්මා ගාන්ධි ලංකාගමනය’ නම් කෘතියේ ප්‍රියානි ගුණරත්න සඳහන් කරන අන්දමට එම සාකච්ඡාව ‘දිනමිණ’ පුවත්පතේ මාධ්‍යවේදියකු සමඟ පවත්වා තිබේ. එහිදී තම ලංකා සංචාරයේ අරමුණ ගැන මහත්මා ගාන්ධි මෙසේ අදහස් දක්වා තිබේ:

“දහස් සංඛ්‍යාත භාරතවාසී ජනතාව අද ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. එදා දේශීය කර්මාන්තයක් ලෙස දියුණු වී තිබූ ඛදාර් රෙදි ව්‍යාපාරය අද බලවත් තර්ජනයකට මුහුණ පා තියෙනවා. ඛදාර් රෙදි වියනු ලබන්නේ චරක හෙවත් අත්යන්ත්‍ර මඟින්. මෙම රෙදි විකුණා ගැනීමට අද වෙළෙඳපොළක් නැහැ. කර්මාන්ත ශාලා භාරතය පුරා ම ඉදි වෙමින් පවතිනවා. ඒ නිසා මෙම පිරිස අසරණ බවට පත්වෙලා. ලාංකික ඔබ මෙම රෙදි වියන ජනතාවට ‍උදවු කරන්න. මොවුන්ගේ නිෂ්පාදන මිලට ගෙන සහයෝගය දක්වන්න. ඉන්දීය දුගී පිරිසට මුදලින් ආධාර කරන්න. ඒ ඉල්ලීම ලාංකීය ජනතාවගෙන්. මගේ අසල්වැලි මිතුරාගෙන්.”

ගාන්ධිගේ ඛදාර් රෙදි ව්‍යාපාරය හා බැඳි අරමුණු සම්බන්ධයෙන් අනගාරික ධර්මපාල තුමාද වරක් ප්‍රකාශ කර තිබිණි. ඒ 1922 ජූලි 15 දින ‘සිංහල බෞද්ධයා’ පුවත්පතටය:

“දඹදිවින් අමු කපු එංගලන්තයට ගෙන ගොස් එහිදී ඒ කපු කැට, නැවත දඹදිවවාසීන්ට විකිණීමට ඒ කපු සූත්‍ර එවනු ලැබේ. මෙසේ එංගලන්තයෙන් එවන කපු සූත්‍රවලට වර්ෂයකට රුපියල් හැටකෝටියක් දඹදිවින් දෙනු ලැබේ. අමු කපු එංගලන්තයට නොයවා, වීරිය කොට චර්කාචක්‍රය මඟින් ඒ කපුරෙදි වියුමට ඕනෑ කරන සූත්‍ර තනා ගැනීම රටවාසීන් විසින් කටයුතු යැයි ගාන්ධි මහත්මාගේ මතයයි. මෙසේ කිරීමෙන් වර්ෂයකට රුපියල් හැටකෝටියක් ස්වදේශීයන්ට ලාභ ලැබෙන බව කියමින් චක්‍රයෙන් කපුවලින් සූත්‍ර තනාගන්ට ස්ත්‍රී පුරුෂයන්ට මේ පුදුම පුද්ගලයා අවවාද කරයි.”

1927 නොවැම්බර් 15 දින කම්කරු සංගමයේ සභාපති ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ පැවති රැස්වීමේදී ගාන්ධි මෙසේ අදහස් දැක්වීය:

“… අධිරාජ්‍යවාදී පාලනයෙන් ලංකාව නිදහස් කරගැනීමට කම්කරු ජනතාව පෙළගැසිය යුතුයි. පීඩාකාරි ආර්ථිකය ඉදිරියේ අසරණ වන කම්කරුවන් ඉන් මුදාගැනීමට කටයුතු කළ යුතුයි…”

එහිදී කම්කරුවන්ගෙන් එකතු කළ රුපියල් 2500ක මුදලක් ඛදාර් අරමුදලට පරිත්‍යාග කරන ලදි. එමෙන්ම ගාන්ධිද මෙහිදී ඉන්දීය රෙදි වියන ජනතාවට උපහාරයක් වශයෙන් ගෙන එන ලද ඛදාර් රෙදි රැස්ව සිටි කම්කරු පිරිසට පරිත්‍යාග කර තිබේ.

මධ්‍යම කඳුකරයේදීද විශේෂ ජනහමු රැසකට ගාන්ධි සහභාගි විය. සිය සංචාරයේ අවසන් අදියර ලෙස ගාන්ධි 1927 නොවැම්බර් 26 දින යාපනය බලා පිටත් විය. එහිදී ඔහු කොළඹ සිට යාපනය දක්වා දුම්රියෙන් ගමන් කළ අතර, යාපනයේදී ඉහළ පිළිගැනීමකට ලක් විය.

යාපනයේදී රැස්වීම් ගණනාවක් ඇමතූ ගාන්ධි රැස්වීම් අතරමැද ගාන්ධි යාපනයේ ප්‍රධාන පෙළේ පාසල් රැසකද සංචාරය කළේය. ගාන්ධි යාපනයේ ප්‍රධාන හින්දු හා ක්‍රිස්තියානි විද්‍යාලවලට ගියද රෝමානු කතෝලික පාසල් ගාන්ධි පිළිගැනීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ. යාපනයේ පළමු රැස්වීම අමතමින් ගාන්ධි කියා සිටියේ ලංකාව තමාට ආධුනික රටක් නොවන බවයි.

“යාපනයට පැමිණි පසු මා ලංකාවේ සිටින බවක් මට දැනෙන්නේ නැතත්, මා ඉන්දියාවේම කුඩා කොටසක සිටින බවක් මට දැනේ. ඔබගේ මුහුණුවත් ඔබගේ භාෂාවත් මට ආගන්තුක නොවේ. ඔබ අතුරින් හැම කෙනකුම අංග ලක්ෂණ මඟින් හඳුනාගැනීමට මට නොහැකි වුවද ඔබගෙන් බොහෝ දෙනෙකු ඉන්දියාව තුළදීම මට මුණගැසී ඇති බව මම දනිමි.”

සංචාරය අවසන් කරන විට ගාන්ධිගේ මූලික අරමුණ වූ ඉන්දීය නිදහස් ව්‍යාපාරයට සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ලංකාවේ ජනතාවගේ සහාය ගැනීම ඉතා ඉහළින් සාර්ථක ‍වී තිබිණි. මෙහිදී රට පුරා ජනතාව නොමසුරුව ආධාර දී තිබිණි. සංචාරය අවසානයේ රු 105,016.02ක ආධාර මුදලක් ජනතාවගෙන් ලබාගැනීමට ඔහුට හැකි විය. සංචාරය නිම කළ ඔහු 1927 නොවැම්බර් 29 තලෙයිමන්නාරමෙන් ඉන්දියාව බලා පිටත් විය.

මහත්මා ගාන්ධි ලංකාවට පැමිණි දිනයද සුවිශේෂ දවසක් විය. නව ආණ්ඩුක්‍රම යෝජනාවලියක් සඳහා ඩොනමෝර් කොමිසම ලංකාවට පැමිණීම සිදු වන්නේද එදිනය. ඔහු ලෝක දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමක්ද ‘දිනමිණ’ පුවත්පත සමඟ නොවැම්බර් 14 පැවති සාකච්ඡාවේදී සිදු කර තිබේ. “ලොව නැවත යුද්ධයකට අවතීර්ණ වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එවැන්නක් නැවැත්වීම ඉතා අපහසුයි,” ඔහු එහිදී කියා ඇත. මහත්මා ගාන්ධි ලේඛකයකු ලෙසද කටයුතු කර තිබේ. තවද ඔහු පුවත්පත් සංස්කාරකවරයෙකි. ලිපි, කතුවැකි, තීරු ලිපි එකතුවක්ද ඔහු නමින් ලියවී තිබේ. ගාන්ධිගේ වූ තවත් සුවිශේෂත්වයක් ලෙස සැලකෙන්නේ ඔහුට තිබූ වමතින් මෙන්ම දකුණතින්ද ලිවීමේ හැකියාවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division