අනුෂ්ක ඉන්ද්‍රසිරි සහ නතාෂා ලංකේශ්වරී විතානගේ කැනඩාවේ, බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ, වැන්කුවර්හි, ලැංග්ලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළකි. උතුරු අමෙරිකාවේ අත්ලාන්තික් සාගරයේ සිට ශාන්තිකර සාගරය දක්වා විහිදෙන කැනඩාව වර්ග කි.මී. මිලියන 9.98ක භූමියක් අයත් රාජ්‍යයකි. කැනඩා දේශය හරහා සාගර දෙක යා කෙරෙන දුර කිලෝමීටර් 5,514කි. අනුෂ්ක හා නතාෂා ලැංග්ලි නගරයේ සිට නැඟෙනහිරට ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පංච මහා විල් පද්ධතියේ ඊරි විලට ආසන්න වෙලන්ඩ් නගරය දක්වා, සිය හත් හැවිරිදි දියණිය ශෙඩ්රියා ජෙනලි ද කැටුව තම මෝටර් රථයෙන් දීර්ඝ චාරිකාවක් සඳහා පිටත් වෙති. විවිධ දේශගුණික තත්ත්ව යටතේ, විශාල වනාන්තර, කාන්තාර, ගොවිබිම්, ගංගා, තණබිම් සහ විල් පසු කරමින්, විවිධ භාෂා කතා කරන ජනතාව ඇසුරු කරමින් යෙදෙන මේ චාරිකාවේදී ලබන අපූර්ව අත්දැකීම, නතාෂා සිළුමිණ පාඨකයන් වෙත ගෙන එන ලිපි මාලාවේ තවත් කොටසක් මෙසේ දිගහැරේ.

බ්‍රයිඩල් දියඇල්ල
උදෑසන හිරු රශ්මියෙන් නැහැවෙමින් අප ඇබෝට්ස්ෆර්ඩ්හි වගාබිම් පසු කරමින් හිටියා. මේ අතරේ තැනිතලා බිම් අතරින් අහස් කුසට නැඟි බේකර්ස් ශිඛරය (Mount Bakers) දැවැන්තයකු ලෙස විරාජමාන වුණා. බේකර්ස් ශිඛරය කියන්නේ විශාල ගිනි කන්දක්. එක්සත් ජනපද රාජ්‍යයට අයිති මේ ගිනි කන්ද ඇබෝට්ස්ෆර්ඩ්හි සිට කිලෝමීටර් 60ක් පමණ දකුණු දෙසට අමෙරිකාවේ පිහිටා තිබුණා. එක්දහස් අටසිය ගණන්වල අවසන් වරට විදාරණය වූ එය දැනට නිද්‍රාශීලිව සිටියත්, කුමන හෝ මොහොතක නැවතත් සක්‍රිය වීමේ හැකියාව සහිතවයි තිබුණේ. සීත කාලයේ එහි මුදුනත එකතු වූ හිම ගිම්හානය එළඹ තිබුණත් තවම දිය වී ගලා ගොස් නැහැ. ඒ නිසාම ඈතට හිමවලින් වැසුණු බේකර්ස් ශිඛරය දක්නට ලැබුණේ ඉතා දැවැන්ත සුදුවන් හිම කන්දක් ලෙසයි.
මෝටර් රථයේ ඇති සිසිලන යන්ත්‍රයට අයිස් ගන්නත්, උදේ කෝපි එක ගන්නත් පළමුවැනි නැවතුම ලෙස ඇබොර්ට්ස්ෆොර්ඩ්වලින් පසුව හමු වන ‘චිලිවැක්’ (Chilliwack) නවත්වන්නට තීරණය කළා. කැනඩාවේ ඔබ කොහේ සංචාරය කළත්, හැම ඉසවුවකම ඔබට දක්නට ලැබෙන කැනේඩියානුවන් අතර අතිශය ප්‍රචලිත ‘ටිම් හෝර්ටන්ස්’ (Tim Hortons) කෝපි හලක් වෙත අප ළඟා වුණා. අනුෂ්ක කඩිමුඩියේ කෝපි හල තුළට ගොස්, අවශ්‍ය සියලු දෑ ගෙනෙන තුරු අප කාරයෙන් ඉවතට පැමිණ මොහොතකට විඩා නිමුවා.
මෙතෙක් අප පැමිණි අර්ධ නාගරික කලාපයට සමු දෙමින් චිලිවැක්වලින් පසු අප ඇතුළු වූයේ ඝන කේතුධර වනාන්තර අතරටයි. වැන්කූවර් නගරය වටා දිවෙන මේ කඳු පන්තිය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ප්‍රදේශයක්. ඝන කළුවර මේ වනාන්තර අලස කළු වලසුන්ට කදිම නිවහනක් සපයනවා.
වැන්කූවර්වලින් මුහුදට වැටෙන ‘ෆ්රසෙර්’ ගංගාවේ (Fraser river) මුල් අතු කිහිපය ආරම්භ වන්නේද මේ කඳු පන්ති කිහිපයෙන්. සුළඟේ සීතලත් සමඟ මෙතෙක් නොදැනුණු නිහඬතාවකින් දැන් පරිසරය වෙළී ගිහින්. වරින් වර අප පසු කර ඉදිරියට ඇදුණු වාහන කිහිපයකින් මිස, වෙනත් කිසිම හඬකින් තොරව ඊළඟට හමු වීමට නියමිත ‘මෙරිට්’ (Merritt) නගරයේ පොඩි වේලාවකට විවේකයක් ගන්නා අදහස ඇතිව අපි ඉදිරියට ගියා.
මනාලියකගේ ඇඳුමක් වැනි දිය දහරක් සහිත ‘මනාලි ඇල්ල’ (Bridal Falls) අප පසු කළා. මීට පෙර වතාවකුත් අප එය නැරඹීමට පැමිණ තිබූ නිසා ඒ මතක අලුත් කරගනිමින් තවත් ඉදිරියට ධාවනයේ යෙදුණා. ලස්සන ඇළ පාරක් අපිත් එක්කම පාරේ වම් පැත්තෙන් ඉස්සරහට ඇදෙමින් තිබුණා. මෙතෙක් පැවති නිහැඬියාව ගලන දොළ පාරේ සංගීතයෙන් මැකී ගියා. පසුගිය 2021 සීත කාලයේ මේ ප්‍රදේශයේ කඳු පන්ති කිහිපයක් නායයෑම නිසා අධිවේගි මාර්ගය වැසී, කැනඩාවේ බටහිර ඉවුරේ ඉන්න අපට නැඟෙනහිර කැනඩාව සමඟ තිබූ සියලු සම්බන්ධකම් නතර වුණා. ඒක මේ රට මෑත කාලයේ මුහුණ පෑ විශාල ස්වාභාවික උවදුරක්. එදා අධිවේගි මාර්ගය වැසී තිබුණේ කඳු මුදුන් නායයෑමෙන් ගලා ආ විශාල මඩ තට්ටුවකින්. මාර්ගය නැවත පෙර තිබූ තත්ත්වයට ගන්න බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ආණ්ඩුව සමත් වී තිබුණා. එහෙත් තවමත් මාර්ගයේ තැන තැන පිළිසකර කටයුතු කෙරෙනවා. ඒ නිසා අධිවේගි මාර්ගයේ ගමන් කරන්න සිදු වුණේ පරිස්සමෙන්; අඩු වේගයකින්.
ඊළඟට අපි පිවිසුණේ ‘හෝප්’ (Hope) කියන නගරයට. හෝප් කියන කුඩා නගරය පසු කළාට පස්සෙ අපි ‘Coquihalla’ අධිවේගි මාර්ගයට ඇතුළු වුණා. අධිවේගි මාර්ගය මේ ප්‍රදේශයේදී වංගු සහිත කඳු අතුරින් දිවෙනවා. මේ හරියේ තියෙන්නේ වේගයෙන් හුළං හමන, වෙනස්ම දේශගුණයක්. ඒ නිසාම හිම වැටෙන කාලයට ටයර් වටා එතුණු දම්වැල් නැතිව මේ මාර්ගයට බර වාහන ඇතුළු කරන්න තහනම්. සීතල සුළං සමඟ දරුණු හිමපතනය සීත කාලයේ මෙහි පවතිනවා. මේ ගිම්හාන කාලයේ වුණත් මාර්ගයේ මේ කොටසේ සුළඟ තදයි. ඒ නිසාම අනුෂ්කට මෝටර් රථයේ සුක්කානම ඉතා තදින් අල්ලාගෙන සුළං තද ප්‍රදේශය පහු කරන්න සිද්ධ වුණා.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයකට: (බ්‍රිටිෂ් කොලොම්බියා සිට ඇල්බටා දක්වා)
අනතුරුව අප මෙරිට් (Merritt) වෙත ළඟා වුණා. මීට පෙර අප පසු කර පැමිණි කේතුධර ගස් සහිත කඳුකර හරිත වනපෙත් කෙමෙන් මැකී ගියා. ඊට හාත්පසින් වෙනස් හිස් මුඩුබිම් බවට අප අවට පරිසරය පරිවර්තනය වෙලා. මුළු පළාතම ගිම්හානයේ රස්නෙන් වේළිලා ගිහින්. මේ පළාත්වල නගර සීමාවේ ගෙවල් තිබුණත්, නගරයෙන් ඈතට වෙන්න කිසිම දෙයක් හෝ මිනිසෙක් නෑ. අතරින් පතර සීතල නිල් පාට වතුර පිරුණු විල් දකින්න ලැබුණා. ඊළඟ නගරය වන්නේ ‘කැම්ලූප්ස්’ (Kamloops) නගරය. කලින් පසු කළ මුඩුබිම්වලින් වට වූ තැනිතලාවක පිහිටි නගරයක්. හාත්පස දර්ශනය අප කැනඩාවේ සිටිනවාද නැති නම් මැදපෙරදිග රටක සිටිනවාදැයි අදහාගන්න බැරි තරමට පුදුම හිතෙන දර්ශනයක් වුණා. මෙතෙක් මගේ හිතේ කැනඩාව නිර්වචනය කළ සියලු සිතුවම් මේ භූදර්ශනයට වෙනස් කළා.
කැම්ලූප්ස් නගරයේ විචිත්‍ර දර්ශනවලින් පුදුමයට පත් ව ඉදිරියට ගමන් කළ අපට සීත කාලයේ අබලන් වූ මාර්ගය පිළිසකර කරන ප්‍රදේශයක් දක්නට ලැබුණා. ඉතා දීර්ඝ වාහන තදබදයක් තිබූ නිසා තවත් පැය ගණනක් මෙහි රැඳෙන්න වන බව පැහැදිලියි. ඒ නිසාම අප වාහනයේ භූ ස්ථාන දර්ශකයෙන් (GPS) පෙන්නුම් කළ අවශේෂ මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට තීරණය කළා.
අපේ ඉදිරියෙන් පියස්ස ඇකිළිය හැකි මෝටර් රථයකින් (convertible car) වයසක දෙපළක් ගමන් ගනිමින් සිටියා. ඒ රථයත් සමඟ අප ‘97 වැනි අධිවේගය’ ඔස්සේ ඉදිරියට ඇදුණා. එය ග්‍රාමීය ප්‍රදේශයක් හරහා වැටී තිබුණු අතර, දෙපසින් වගා බිම් සහ අශ්ව ඉස්තාල පසු කරමින් අප ඉදිරියට ඇදුණා. අප ගමන් කරමින් සිටින්නේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතටත්, දකුණු දෙසටත් බව වටහාගන්නට අපට වැඩි වේලාවක් ගත වුණේ නෑ. අපට ඉහළින් 1 වැනි අධිවේගි මාර්ගය බටහිර දෙසට ගමන් කළා. 1 වැනි අධිවේගයේ මීළඟ පිවිසුම වෙත ගමන් කිරීමට නම් අප දැන් දකුණු දෙසට ගමන් කරන මාර්ගයේ අවසානය තෙක් ගොස්, උතුරු දෙසට වැටෙන මාර්ගයකට පිවිස, කි.මී. 75ක් පමණ උතුරට ගමන් කරන්න වන බව පැහැදිලි වුණා. ආපසු හැරී ගොස් කිලෝමීටර් ගණනාවක් දිගට ඇදුණු වාහන තදබදයට එකතු වන්නට අපට හිත දුන්නේ නැහැ. ඒ නිසාම, හිතේ චකිතයත් තිබුණත් මේ පාරේම ඉදිරියට යන්න අප තීරණය කළා. ඉක්මනින්ම මාර්ග සිතියම අධ්‍යයනය කළ මට තේරුම් ගියේ මීළඟට අපට 1 වැනි අධිවේගයට අවතීර්ණ වීමට ඇති එකම මාර්ගය ‘සිකමූස්’ (Sicamous) නගරය හරහා පමණක් වන බවයි. පැයකුත් විනාඩි 48කටත්, කිලෝමීටර් 151කටත් පසු අප නැවතත් සිකමූස් නගරයෙන් 1 වැනි අධිවේගයට වෙත අවතීර්ණ වුණා.
අප කෙළින්ම ප්‍රධාන මාර්ගයෙන් ඉවත් නොවී ධාවනය කළා නම් සිකමූස් වෙත පැමිණීමට ගත වන්නේ කි.මී. 117ක් නැතහොත් පැයකුත් විනාඩි 23ක කාලයක් පමණයි. ඒත් වාහන තදබදයත් සමඟ ගත වීමට තිබූ කාලය අවිනිශ්චිතයි. කෙසේ වෙතත් නැවතත් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් නොවීමට අප කදිම පාඩමක් ඉගෙන ගත්තා.
අප දෙදෙනා පාරවල් වැරදිලා ආපහු පාරවල් හොයාගෙන එන අතරේ ශෙඩ්රියා කිසිම සද්දයක් බද්දයක් නොකර, මගේ ලැප්ටෝප් එකේ එයාගේ ආසම ‘ෆ්රොසන්’ (Frozen) චිත්‍රපටය බල බල හිටියා. ඇයගෙන් කිසිම කරදරයක් නොවීම මහත් අස්වැසිල්ලක් වුණත්, ඇය එකපාරටම ‘අම්මි… මට වොමිට් වෙනවා!’ යැයි කෑගසන්න පටන් ගත්තා. වාහනය ආපහු නතර කර, ඇය වාහනයෙන් බසවා හුළං වැදෙන්නට දී නැවතත් ගමන් ආරම්භ කළ අප තේරුම් ගත්තේ මෙය අප හිතූ තරම් පහසු ගමනක් නොවන බවයි.
මෙතැන් සිට බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත මායිම වෙත යෑමට තිබුණේ තවත් කිලෝමීටර් 288ක් පමණක් වූ අතර, එය පැය තුනක පමණ ගමනක් වුණා. දහවල් ආහාරයෙන් පසු නැවතත් ගමන් ආරම්භ කළ අපි ‘රිවෙල්ස්ටෝක්’ (Revelstork) හා ‘ගෝල්ඩන්’ (Golden) යන නගර පසු කළා. ගෝල්ඩන් යනුවෙන් හැඳින්වෙන්නේ ඇල්බර්ටාහි ප්‍රාන්ත මායිමට ළඟ බ්‍රිටිෂ් කොලොම්බියාවල අවසාන නගරයයි. එය ග්ලැසියර් දිය දහර සහිත ඉතා විචිත්‍රවත් දර්ශනයන්ගෙන් හෙබි නගරයක්. විශේෂත්වය වුණේ එය වෙනස් කාල කලාපයකට (Time zone) අයිති වීමයි. එහිදී අපට ඔරලෝසුවේ පැයක් පමණ වේලාව ඉදිරියට යවන්න සිදු වුණා.
ප්‍රාන්ත මායිම පසු කිරීමෙන් පසු අපි ජීවිතයේ ප්‍රථම වතාවට ඇල්බටා ප්‍රාන්තයට ප්‍රවිෂ්ට වුණා.
මේ අවට ළා නිල් සහ කොළ පැහැති හිම මිදී දියව යන වතුර සහිත කුඩා ඇළ-දොළ දක්නට ලැබුණා. අප ටිකෙන් ටික ලෝක ප්‍රසිද්ධ රොකී කඳුවැටිය වෙත ගමන් කරමින් සිටියා.
අපේ සිහින ඉන්ද්‍රජාලික ඉසවු කර අපව රැගෙන යනවා. අප ගමන් කරමින් සිටියේ එවැනි දර්ශනයක් තුළටයි. රොකී කඳුවැටිය ඉතා ප්රතාපවත් ලෙස අප ඉදිරියේ දිස් වුණා. අහස සිපගන්නා කාල වර්ණ දැවැන්තයකු වූ එය අප කොතරම් කුඩා ජීවීන් විශේෂයක්දැයි අපට පසක් කළා.
පහුගිය ශිශිරයේ කඳු මුදුන් මතට වැටුණු හිම පියලි තවමත් කඳු මුදුනතින් දියව ගොස් නැත. ඒවා අතරින් පතර අපට දැක ගන්නට ලැබුණේ තවමත් කඳු මුදුන් මත නතර වී පහළ මිටියාවත දෙස බලා සිටින අති විශාල ග්ලැසියරයි. රොකී කඳු වැටියේ බොහෝ කඳු අප මෙතෙක් කිසි දිනෙක නොදුටු තරම් උසකින් යුක්ත වූ අතර, කළු පැහැති ඉතා ඝන පාෂාණයන්ගෙන් සමන්විත වුණා. අවුරුදු මිලියන ගාණක් මුළුල්ලේ සුළං සහ ග්ලැසියර් ඛාදනයට ලක් වෙමින් ඉතා කදිම භූරූප නිර්මාණය වී තිබුණු අතර, පහත් ප්‍රදේශ තුනී වෘක්ෂලතා සමූහයකගෙන් ගහනය වී තිබුණා. මේ කඳු නිර්මාණය වී තිබුණු කළු පැහැති පාෂාණ ඉතා තියුණු උල් සහිත ආයුධ මෙන් පහළ මිටියාවතේ සිට බලන අපට දිස් වුණා. පරිසරයේ කිසිම සතකුගේ හාවක් හූවක් නොතිබුණත්, මේ කඳු වැටි සීත පරිසරවල ජීවත් වන ග්රිස්ලි වලසුන්ටත්, කුඩා නරි වැනි කයෝටීන්ටත්, දැවැන්ත මූස් ලාටත්, කැරිබූන්ට සහ නොයෙකුත් පක්ෂීන් වර්ගවලටත්, අනෙකුත් කුඩා සතුන්ටත් නිවහනක් සපයනවා.
රොකී කඳු වළල්ල අතුරින් දිවෙන අධිවේගි මාර්ගයේ ගමන් කරන්නකු ඒ දසුනින් මුසපත් වී සිටියා යැයි කෙනකු කිවහොත් එය පුදුමයක් වන්නේ නෑ. ඒ ලස්සනම ඔබව වෙනත් ලොවකට රැගෙන යනවා.

ටිම් හෝටර්න්ස් කෝපි හල

97 අධිවේගී මාර්ගය

ෆ්‍රාසර් ගංගාව

ගෝල්ඩන් ටවුන්

කැම්ලූප්ස් නගරය

මවුන්ට් බේකර්ස්