Home » බිඳුණු කණ්ඩියෙන් නැඟුණු රඟ පිළ වරකාපොල ‘වළ’

බිඳුණු කණ්ඩියෙන් නැඟුණු රඟ පිළ වරකාපොල ‘වළ’

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්
වර­කා­පොල පැර­කුම් එළි­ම­හන් රංග පීඨය හෙවත් ‘වර­කා­පොල වළ’

ජීවිතයම රඟමඬලක් යැයි කීවාට කලා නිර්මාණයක් එළි දක්වන්නටවත් සුදුසු රඟමඬලක් නැතිකමින් තැවෙන කලාකරුවෝ රට පුරා කොතෙක් වෙත්ද? ඒ අඩුව පුරවාලමින් ප්‍රදේශයේ නාට්‍යවේදීන්, සංගීතවේදීන් ඇතුළු කලාකරුවන්ට නව එළිමහන් රඟමඬලක් තැනූ පුවතක් වරකාපොලින් වාර්තා විය.

මේ රඟමඬලේ විශේෂත්වය වන්නේ එය සෑදීමට මුල් වී ඇත්තේ ආපදා කළමනාකරණ බැම්මක් වීමය. ඒ අපූරු කතාව ගැන අපි වරකාපොල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. රංගන සජීවගෙන් විමසුවෙමු:

“මුලින්ම අප සකස් කළේ රඟමඬලක් නොවෙයි. ඒත් ඒ ඉදිකිරීම රඟමඬලක් දක්වා පුළුල් කරන්න අපට හැකි වුණා. වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව තිබෙන ගොඩනැඟිලි වසර පනහක් පමණ පැරණියි. ඒ ගොඩනැඟිලි හදලා තියෙන්නේ කන්දක් කපලා නිසා පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව නිසා කණ්ඩියක් කැඩෙන්න පටන් ගත්තා. ඊට පිළියමක් යෙදීමේ අවශ්‍යතාව මතුවීමත් සමඟ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් අපට දී ඇති නිර්දේශවලට ගැළපෙන ආකාරයේ බැම්මක් ඉදිකිරීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මට මතක් වුණා අපේ සංස්කෘතික සංවර්ධන නිලධාරී මහේෂ් මහතා යෝජනා කළ අදහසක්. ඔහු මට කිවුවා ‘අපට මෙතැන පේරාදෙණිය සරසවි භූමියේ තිබෙන වළ (සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය) වගේ එකක් හදාගන්න පුළුවන් නේද?’ කියලා. මම ඒ අදහස අපේ තාක්ෂණික සහකාර නිලධාරිනී තුෂාරි මහත්මියට ඉදිරිපත් කරමින් කිවුවා, ‘අප හදන බැම්ම මිනිසුන්ට වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් හොඳයි,’ කියලා. ඉතින් ඒ විදිහට ආපදා ආරක්ෂණ බැම්ම තමයි අපි මුලින්ම සකස් කළේ. වතුර බැහැගෙන යන විදිහට නියමිත ප්‍රමිතියට අනුකූලව ඒ බැම්ම ඉදි කළේ රජයේ වියදමින්. ඊට පස්සේ මහේෂ්ගේ යෝජනාව අනුව එළිමහන් රංග පීඨයක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කළා. එහෙත් අපට වේදිකාව හදාගන්න මුදල් තිබුණේ නැහැ. රජයේ ප්‍රතිපාදනවලින් එවැන්නක් කළ නොහැකි නිසා අපේ කාර්ය මණ්ඩලය සහ සංස්කෘතික බල මණ්ඩලය සමඟ ඒ ගැන සාකච්ඡා කළා. ඒ අනුව ඒ වෙනුවෙන් අපට මුලින්ම ධන පරිත්‍යාගයක් කළේ සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන්. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව, මහජනතාව ඇතුළු බොහෝ දෙනකුගේ මූල්‍යමය පරිත්‍යාග මඟින් අපට වේදිකාව සකස් කරගැනීමට හැකි වුණා.”

(වමේ සිට) වර­කා­පොල ප්‍රාදේ­ශීය ලේකම් ඒ.එම්. රංගන සජීව, තාක්ෂ­ණික සහ­කාර, තුෂාරි මධු­ශංකා ධර්ම­රත්න සහ සංස්කෘ­තික සංව­ර්ධන නිල­ධාරි මහේෂ් අම­ර­කෝන්

 (වමේ සිට) වර­කා­පොල ප්‍රාදේ­ශීය ලේකම් ඒ.එම්. රංගන සජීව, තාක්ෂ­ණික සහ­කාර, තුෂාරි මධු­ශංකා ධර්ම­රත්න සහ සංස්කෘ­තික සංව­ර්ධන නිල­ධාරි මහේෂ් අම­ර­කෝන්

ඒ සාමූහික ප්‍රයත්නයේ සොඳුරු ප්‍රතිඵලය දැන් වරකාපොල ප්‍රාදේශීය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී දැකගත හැකිය. එය පේරාදෙණිය සරසවියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් ‘වළට’ සමාන වූවකි. ඒ තරම් විශාල නැතද මෙය 450කට අධික සංඛ්‍යාවකට හිඳගැනීමේ පහසුකම් ඇතුළුව දහසකට පමණ රැස් වී නාට්‍යයක්, ප්‍රසංගයක් නැරඹිය හැකි එළිමහන් රංග පීඨයකි. ‘පැරකුම් එළිමහන් රංග පීඨය’ ලෙස නම් කර ඇති මෙය ප්‍රදේශයේ එතෙක් පැවති එවැනි රංග පීඨයක අඩුව පිරිමසාලන කලාකරුවන්ට තෝතැන්නක් වනු ඇත. වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංවර්ධන නිලධාරි මහේෂ් අමරකෝන් ඒ පිළිබඳ සතුටු වන්නේ රජයේ නිලධාරියකු ලෙස පමණක් නොව, නිර්මාණ රැසකට රංගනයෙන් දායක වූ කලාකරුවකුද වශයෙනි:

“2022දී මම වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට එක් වුණාට පස්සේ මේ ස්ථානය දැක්කම මට හිතුණා, මෙතැන පේරාදෙණියේ වගේ ‘වළක්’ හදන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. කෙසේ නමුත් බැම්ම අස්ථාවර වීමත් සමඟ අපට අවස්ථාව උදා වුණා ඒ අදහස යථාර්ථයක් බවට පත් කරගැනීමට. මම හිතනවා සොබාදහම විපතක් විදිහට අපිට ආශීර්වාදයක් ගෙනාවා කියලා. ඒ තුළින් අපට මෙවැනි නිර්මාණයක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන කලාකරුවෙක් විදිහට මම ඉතා සතුටු වෙනවා.”

ඔහු පැවසුවාක් මෙන් මේ එළිමහන් රංග පීඨය ඉදි වන්නේ ඉතා සුළු නායයෑමකට ලක් වීමේ අවදානමක් පැවති ස්ථානයකය. සොබාදහමේ ඒ අභියෝගයට මුහුණ දෙමින් රංග පීඨය ඉදි කිරීමේ කාර්යයට තාක්ෂණික දැනුම සහ මඟපෙන්වීම ලබා දුන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික සහකාර ආර්.ඒ. තුෂාරි මධුශංකා ධර්මරත්නය. ඒ අභියෝගාත්මක වගකීම ගැන ඇය මෙසේ කීවාය:

“මේ ඉදි කිරීම සිදු කළේ නිසි ප්‍රමිතීන්ට යටත්වයි. මෙවැනි ඉදි කිරීමක් පිළිබඳ පෙර අත්දැකීම් නැති නිසා මම මේ ගැන දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළා. ඕනෑම ඉදි කිරීමකදී කරුණු ගොඩක් ගැන සැලකිලිමත් වෙනවා වගේම මෙහිදීත් අපි කරුණු රැසක් ගැන විශේෂයෙන් සැලකිලිමත් වුණා. භූමියේ ස්වාභාවය, හැඩය, පස්වල ස්වභාවය වගේම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කොපමණ වියදමක් දැරිය හැකිද යන කරුණු ගැනත් සැලකිලිමත් වෙමින් අදාළ සැලැස්ම නිර්මාණය කළා. විශේෂයෙන් නිසි ලෙස වතුර බැස යන ක්‍රමවේදයක් අනුව මෙය නිර්මාණය කර තිබෙන නිසා නායයෑමේ අවදානමක් ඇති වන්නේ නැහැ. අපට ඇති වූ මූලික අභිගෝගය වුණේ එළිමහන් රඟමඬලේ වේදිකාවක් නිර්මාණය කිරීමයි. මේ භූමිය නාය යන ඉවුරක්. බෑවුම ඒකාකාරි නැහැ. වේදිකාවක් නිර්මාණය කළාම එය ප්‍රේක්ෂකයෝ හැමෝටම පේන විදිහට කොපමණ උස් විය යුතුද? මෙතැනට දෙන හැඩය මොන වගේද කියන ප්‍රශ්න එහිදී මතු වුණා. ඒකාකාර කවයන් නිර්මාණය කිරීම තරමක් අපහසු වුණ නිසා ආරම්භයේදී සමාන පරතරවලින් නිර්මාණය කළත් පසුව පළල පරාසයන් වෙනස් කරලා නිර්මාණය කිරීමට සිදු වුණා. ඒ වගේම එතැන කොන්ක්‍රීට් බිමක් බවට පත් කරන්න මම කැමති වුණේ නැහැ. තණකොළවලින් පරිසරයේ තිබෙන හරිත පැහැයත්, කළුගල්වල තිබෙන අළු පැහැයත් ඉස්මතු වෙන විදිහටයි මෙය නිර්මාණය කළේ. එහිදීත් තවත් අභියෝගයක් මතු වුණා, තණකොළ පාවිව්චි කළාම වැහි ජලය නැවත වතාවක් බැම්මට උරාගන්නා නිසා ඒ ජලය එළියට ගන්න උපක්‍රමයක් භාවිත කළ යුතුව තිබුණා. ඒ සඳහා තිබෙන ජලබස්නා ක්‍රම ගණනාවක් අතුරින් නඩත්තු කටයුතුවල පහසුව ගැනත් හිතලා ඉතා සරල ක්‍රමයක් යොදාගෙන පිටතට එන ජලය බැම්මේ පැවැත්මට සහ අලංකාරයට බාධාවක්, හානියක් නොවන ආකාරයට සකස් කළා.”

වේදි­කාව ඉදි කර ඇති අයුරු දැක්වෙන ගුවන් දර්ශනයක්

වේදි­කාව ඉදි කර ඇති අයුරු දැක්වෙන ගුවන් දර්ශනයක්

මේ අනුව ඉදි කරන ලද පැරකුම් එළිමහන් රංගශාලාව ඉකුත් මාර්තු මස 28 වැනිදා විවෘත වූයේ අනාගත පරපුර වෙනුවෙන් කරන ලද හරවත් ආයෝජනයක් වශයෙනි. ඊට හේතුව, වරකාපොල ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ නගර ශාලාව යළි ගොඩනැඟීමේ බලාපොරොත්තුවෙන් කලකට පෙර කඩා ඉවත් කළද එය යළි ඉදි කිරීමට ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මේ දක්වා එම නගර ශාලාව ඉදි කිරීමට නොහැකි වීමෙන් ප්‍රදේශයේ කලා කටයුතු, ප්‍රසංග ආදිය පැවත්වීමට සුදුසු ස්ථානයක් නැති වීමේ විශාල අඩුපාඩුවක් පැවතීමය. එවැනි පසුබිමක කලා ශිල්පීන්ට වේදිකාවක් මෙන්ම ප්‍රදේශයේ පෙරපාසල් සහ පාසල් දරුවන්ට සිය කලා කුසලතා දැක්වීමට වේදිකාවක් තැනීමේ අපේක්ෂාවෙන් මේ රංග පීඨය ඉදි කළ බව වරකාපොල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. රංගන සජීව කීවේය. ඒ අනුව පෙරපාසල් සහ පාසල් දරුවන්ට අඩු මුදලකට මේ ස්ථානය පරිහරණය කළ හැකිය. රංග ශාලාවට යාබදව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව මහල් ගොඩනැඟිල්ලක් තිබෙන බැවින් ඩ්‍රෝන කැමරා මඟින් වීඩියෝ පටිගත කිරීම් ආදියද පහසුවෙන් සිදු කරගත හැකිය.

“මේ රංග ශාලාවේ වේදිකාවේ තිරයේ රාමුව හදන්න අප භාවිත කළේ කොවිඩ් කාලේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතයට ගෙන ඉවත දමා තිබූ රාමු දෙකක්. ඒ වගේම රංග ශාලාවේ ඉදි කිරීම් රැසකට අපේ කාර්යාල කාර්ය සහායක පිරිස ඇතුළු කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වය ලැබුණා. ශ්‍රමදාන විදිහට අප හැමෝම මේ කාර්යය තමන්ගේ වැඩක් විදිහට හිතාගෙන සිදු කළා. බැමි හදන්න අවුරුද්දක් විතර සහ වේදිකාව හදන්න මාස කිහිපයක් ගත වුණා. හිටපු දිසාපති රන්ජන් ජයසිංහ, හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී. නිශාන්ත, වත්මන් දිසාපති ජගත් හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත ඇතුළු මේ සඳහා නන් අයුරින් උපකාර කළ සැමට ස්තුතිවන්ත වනවා. විශේෂයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු අප සැලසුම් කළ අයුරින්ම ඉතා විධිමත්ව සහ අලංකාරව සිදු කළ මංජුල අරෝෂ ලියනගේ සහ ඉන්දික තිලක් බණ්ඩාර යන ඉදිකිරීම් ශිල්පීන් දෙදෙනාටත් ස්තුතියි,” වරකාපොල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. රංගන සජීව අවසාන වශයෙන් කීවේය.

වරකාපොල පැරකුම් එළිමහන් රංගපීඨය කලා ප්‍රසංග ඇතුළු ඕනෑම ප්‍රසංග, රැස්වීම්, වැඩමුළු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව දැන් ප්‍රදේශවාසි සහ අවට ප්‍රදේශවල ජනතාවට විවර වී ඇත. සංස්කෘතික බල මණ්ඩලයේ ළමා, වැඩිහිටි සහ තරුණ සමාජ සඳහා එය නොමිලේ ලබාගැනීමට අවස්ථාව ඇති අතර, බාහිර පාර්ශ්ව සඳහා සුළු අය කිරීමක් යටතේ රංග පීඨය ලබාගත හැකිය. වරකාපොල ප්‍රාදේශීය සභාවේ සුභසාධක සංගමය විසින් මෙහි කළමනාකරණ කටයුතු සිදු වන අතර, සංස්කෘතික සංවර්ධන අංශය ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division