කැස්බෑව මාකන්දන ගමේ සිට පොසොන් පොහෝදා හිමිදිරියේම ගම්මුන් එකතු වී කැලණි රාජමහා විහාරය දක්වා පාගමනින් පෙරහරක් යන බව දැනගත්තේ අදින් අවුරුදු හතළිහකට පමණ පෙරය. ඒ අපේ පදිංචිය මාරුවීමත් සමඟය. එකල පොඩි උන් වූ අපට මෙය අලුත්ම අත්දැකීමක් විය. අම්මාත් සමඟ අයියලා දෙදෙනාද මේ ගමනට මුලින්ම සහභාගි වූහ. ගමන ගොස් පැමිණි අම්මාට වරු ගණනක් යන තුරු කියන්න බොහෝ දේ තිබිණි.
“ඒක හරි අපූරු ගමනක්… කැලණි පන්සලට ගියාට පස්සේ මෙතෙක් පෙරහර ගිහින් තියෙන වාර ගණනට ඒ පහන්කූඩුව කරේ තියාගෙන ගමේ අය මාරුවෙන් මාරුවට සාධුකාර දිදී දාගැබ වටේ යනවා. වට ගාණන සම්පූර්ණ වුණාට පස්සේ එළි වෙලා ගම්මු ගමට එන්න පිටත් වෙනවා. තව හොරණ, කහතුඩුව පැතිවලිනුත් මේ වගේ පෙරහර එනවා. මඟ දිගට දන්සල් තියෙනවා. ගමේ ඉඳන්ම කැලණියට පයින් ගියාට මහ වෙහෙසක් නෑ.”
අම්මා එසේ පැවෙසුවේ ඊළඟ වතාවේත් ගමනට සහභාගි වන බව අපට කියමිනි. ඉන් වසර ගණනක් යන තුරු අම්මා හා අයියලා ඊට සහභාගි වූහ.
ඒ අතීතය යළිත් සිහි වූයේ එදවස ගම්මුන් එකතු වී කැලණි විහාරයට ගිය ඒ පෙරහර අද වන විට පෙරට වඩා විධිමත්ව අලංකාරවත්ව සිදු වන බැවිනි. දිගු ඉතිහාසයක් ඇති මේ පෙරහර පිළිබඳ වැඩිදුරටත් විමසන්නට මාකන්දන ශ්‍රී සුදර්ශනාලංකාර පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක වල්ගම රතනසිරි නායක ස්වාමීන් වහන්සේගෙන් කරුණු විමසූයෙමු:

හොන්නන්තර ධම්මරතන ස්වාමීන් වහන්සේ
“මේ පෙරහර මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ 1890 අවුරුද්දේ. මුලින්ම පෙරහර ගිහින් තියෙන්නේ දුරුතු පෝයට. එහෙම ගමන් ගත් පෙරහර වසර කිහිපයකට පස්සෙ තමයි පොසොන් පෝයට යන්න පටන් අරන් තියෙන්නේ. පුරුද්දක් ලෙස ගමේ අය පන්සලත් මුල් කරගෙන ගිය පෙරහර කිහිප වතාවක් යන්න බැරි වෙලා තියෙනවා. එක කාලයක ගමට වසංගත රෝගයක් හැදිලා තියෙනවා. ඒ පාචනය. ගමේ අය තුළ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ පෙරහර යන්න බැරි වුණ නිසා තමයි රෝගි වුණේ කියලා. ඒ නිසා ඊළඟ වතාවේ සිට ඔවුන් මේ පෙරහර යන්න නැවත පටන් අරන් තියෙනවා. මෙවර පෙරහර යන්නේ 137 වැනි වරට.
“අපේ පන්සලේ මුල්ම නායක හාමුදුරුවන් වහන්සේ ලෙස කටයුතු කරලා තියෙන්නේ හොන්නන්තර ධම්මරතන ස්වාමීන් වහන්සේ (1890-1926). ඉන් පස්සේ කන්දේවෙල සීලානන්ද ස්වාමීන් වහන්සේ (1927-1930). ඉන් පස්සේ කන්දේවෙල පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ. (1931-1964). එක්දහස් නවසිය හැටපහ වසරේ සිට 2011 වන තුරු විහාරාධිපති ධුරය දැරුවේ මාකන්දන පඤ්ඤාසාර ලොකු හාමුදුරුවෝ. උන් වහන්සේගේ අපවත් වීමෙන් පස්සෙ තමයි මම විහාරාධිපති ධුරයට පත් වුණේ. ඒ 2012 වසරේ. එතැන් පටන් මේ දක්වා අප ගමේ විහාරස්ථානයේ දායක සභාව සමඟ එක් වී මේ පෙරහර බොහෝම අලංකාරවත් ලෙස කරගෙන යනවා.
“එක්දහස් අටසිය ගණන්වල පන්සලේ සිටි ප්‍රධාන දායකයන් වගේම, ගමේ නියෝජීතයන් තමයි මෙයට මූලිකත්වය දීලා තියෙන්නේ. දොන් ආගිරිස් අතුකෝරල, සීමන් අතුකෝරල යන අයගේ මූලිකත්වය එදා ලැබිලා තියෙනවා. ගමේ අයගෙන් පෙරහර සඳහා හොඳ දායකත්වයක් ලැබෙනවා. දහම්පාසල් දරුවන්ගෙන් වගේම තරුණ පරම්පරාවෙන් හොඳ දායකත්වයක් ලැබෙනවා. මුල් යුගයේ ඉඳලම කැලණියට පාගමනින් ගිය මේ පෙරහර මුලින්ම ගම මූලික කරගෙන ගමේ සීමාවන් දක්වා දින කිහිපයක් ගිහින් පෝය දිනට තමයි කැලණි විහාරයට ගියේ. අදත් ඒකේ වෙනසක් නෑ. මුලින්ම කප්සිටුවනවා. ඉන් පස්සේ දින තුනක් ගම වටේ පෙරහර යනවා. එදා වගේ නෙවෙයි අද නම් පෙරහරේ වර්ණවත් නැටුම් කණ්ඩායම්, අලි ඇත්තු ඉන්නවා. මේ සදහා අපට දායකයන්ගෙන්, ධානපතියන්ගෙන් උදවු-උපකාර ලැබෙනවා. පොසොන් පොහෝ දින උදෑසන හයට පමණ තමයි අපේ විහාරස්ථානයෙන් පෙරහර කැලණිය දක්වා ගමන් ආරම්භ කරන්නේ.
“සමහරු කියන්න පුළුවන් ‘මේක මෝඩ ගමනක්, මෙච්චර මේ විද්‍යාව දියුණු කාලේ පෙරහරක් නොගියා කියලා ගමට මුකුත් වෙනවද?’ කියලා. ඒත් ඒ හැඟීම්වලට කාටවත් මුකුත් කියන්න බැහැ. හේතුව: මේක ගියා කියලා කිසිවකුට අද දවස දක්වාම අයහපතක් වෙලා නැහැ. අතීතයේ පටන්ම කැලණි පෙරහර නිසා විවාහ දිවියට පිවිසි යුවළවල් අදටත් අපේ ගම්වල ඉන්නවා. ගමේ තරුණ දරුවොත් බොහෝම කැමැත්තෙන් මීට එකතු වෙනවා. මේ ගමේම සංස්කෘතික ආගමික උත්සවයක් බවට අද පත් වෙලා.”

වල්ගම රතනසිරි නායක ස්වාමීන් වහන්සේ
විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසන්නේ එසේය.
පොසොන් පොහෝදා හිමිදිරියේ මාකන්දන විහාරස්ථානයෙන් පිටත් වන පෙරහරට මල් බයිසිකල්, ගිනිබෝලකරුවන්, කසකරුවන්, නැටුම් කණ්ඩායම් මෙන්ම හේවිසි, හොරණෑ, කොඩි සේසත්, භක්කි ගීත ගායන කණ්ඩායම්ද සහභාගි වේ. කැස්බෑව, පිළියන්දල, බෝකුන්දර , බොරැලැස්ගමුව හරහා රත්තනපිටිය දක්වා ගමන් කරන මේ පෙරහරට දිවා ආහාරය ලැබෙන්නේ වසර 137ක් තිස්සේ රත්තණපිටියේ පවත්වාගෙන යන දන්සලෙනි. මේ දන්සලත් පෙරහර නිසාම ආරම්භ වූ එකක් බව පැවසේ. රාත්‍රි ආහාරය සැපයෙන්නේ කළපළුවාවේ මිහිඳු විහාරයේදීය. එතැන් සිට කැලණි විහාරයට ගමන් ගන්නා පෙරහර ඉන් පසු පහන් කුඩුවද රැගෙන කැලණි විහාරය වටේ තුන්වරක් පැදකුණු කර විභීෂණ දේවාලයට ගොස් පින් දී සෙත් පතා, ගමට ආශීර්වාද ලබාගනී. මේ සියලු කාර්යයන් අවසානයේ යළිත් පෙරහර නඩය ගමට පැමිණෙන්නේ පසුදා උදෑසනය. එසේ පැමිණීමට බස් සේවාවක්ද යොදා ඇත.
ශ්‍රී කල්‍යාණි චෛත්‍ය ප්‍රදීප පූජා පෙරහර සමිතියේ සභාපති ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ ජානක අල්විස්ය.
“මීට අවුරුදු එකසිය තිස්හතකට ඉස්සෙල්ලා ගමේ හිටපු වැඩිහිටියෝ තමයි පෙරහර ආරම්භ කර තිබෙන්නේ. අද වන විට පෙරහර ඉස්සරට වඩා බොහෝම සංවිධානාත්මකව පැවැත්වෙනවා. අපේ නායක හාමුදුරුවන්ගෙන් වගේම ගමේ සියලු දෙනාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. අතරමඟදිත් අපට බොහෝම ඉහළ සහයක් ලැබෙනවා. ගමනේ ගිමන් නිවන්න පෙරහරේ ගමන් ගන්න අය වෙනුවෙන්ම දෙන දන්සල් තියෙනවා. ගමේ පැරණිම වැඩිහිටියන් විසින් මේ දක්වා ගමට ආශීර්වාද කරමින් ගෙන ආව පෙරහර තවත් ඉදිරියට කරගෙන යෑමයි අපේ අරමුණ. එයට කොයි කාගෙනුත් අපට ලැබෙන ආශීර්වාදයට, උදවුවලට පින් දෙන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා…”
පෙරහර කටයුතුවලට සූදානම් වන අතරේ ජානක අප හා පැවසීය.
ඡායාරූප – ප්‍රවීන් අබේසිංහ