Home » කෑගල්ල ප්‍රදේ­ශයේ ගම් කිහිප­ය­කට නම් ලැබුණේ මෙහෙ­මයි

කෑගල්ල ප්‍රදේ­ශයේ ගම් කිහිප­ය­කට නම් ලැබුණේ මෙහෙ­මයි

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment
ඉෂානි මාර­සිංහ

මෙවර ගමින් ගමට පට­බැඳි කතා තුළින් ඉදි­රි­පත් කෙරෙන්නේ කෑගල්ල දිස්ත්‍රි­ක්කය හා ඒ අවට ප්‍රදේශ කිහිපයක් සඳහා නම් පට­බැ­ඳුණු ආකා­ර­යයි. ශ්‍රී ලංකාවේ සුන්දර කඳු පන්ති­ව­ලින් වට වූ ඉතා­මත් සුන්දර ප්‍රදේ­ශ­යක් ලෙස මෙම ප්‍රදේ­ශය දැක්විය හැකියි.

• කෑගල්ල

ජන­ප්‍ර­වා­ද­ව­ලට අනුව ක්‍රිස්තු පූර්ව 89 දී වළ­ගම්බා රජුගේ රාජ්‍ය පාලන කාල­යේදී ලක්දිව ආක්‍ර­ම­ණය කළ ද්‍රවිඩ සතු­රන් පරා­ජය කිරීමේ අර­මු­ණින් සේනා සංවි­ධා­නය කර­න්නට විය. මෙසේ රට පුරා සේනා සංවි­ධා­නය කර­මින් ගිය දිනක වළ­ගම්බා රජු දඹුල්ලේ සිට දන­ගි­රි­ගල, ඇකි­රි­ය­ගල හරහා සල්ග­ලට යන අත­ර­තුර එක් ගල් තලා­වක නැවතී දිවා ආහාර ගෙන බුලත් විට­කුත් සප්පා­යම් වී ඇත. ඉන්පසු නැව­තත් ගමන යන අත­ර­තුර තවත් වරක් බුලත් විටක් කෑමට වුව­මනා වීම නිසා රජ­තු­මාගේ ගිරය සොය­න්නට විය. එවිට රජුගේ එම රත්ත­රන් ගිරය අම­තක වී ඇති බව සිහි වී එය කෑ ගල උඩ බව පවසා ඇත. කෑ ගල උඩ පසු­ක­ලෙක ‘කෑගල්ල’ බවට පත් වී ඇත.

කෑගල්ල යන නම පට­බැඳී ඇති ආකා­රය සම්බ­න්ධ­යෙන් තවත් රස­වත් කතා­වක් පවතී. එනම් දඹ­දෙණි යුගයේ රජ කළ රජ කෙනෙක් මෙම ප්‍රදේ­ශයේ දඩ කෙළි­යට පැමිණ ඇත. එසේ පැමිණ සේනා­වත් සමඟ දින කිහි­ප­යක් මෙහි දඩ කෙළියේ යෙදුණු රජු දිනක් ගල් තලා­වක් මත තම දිවා ආහා­රය ගෙන ඇත. ආහාර ගෙන යන විට රජුගේ මඟුල් කඩුව එම ගල් තලාවේ අම­තක වී ගොස් ඇත. තම මඟුල් කඩුව දවල් කෑ ගලේ අම­තක වූ බව රජු පවසා එය ගෙන ඒමට සේනාව පිට­ත්කර යවා ඇත. ‘කෑ ගල උඩ කඩුව තිබ්බා‘ යන ප්‍රකා­ශය පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට කට­ව­හරේ පැව­ත­ගෙන ගොස් එය ‘කෑගල්ල’ බවට පත් වූ බව කියැවේ.

• රුව­න්වැල්ල

මෙම ප්‍රදේ­ශයේ වාසය කළ සේරි­මා­නන් නම් වූ රජුගේ මාළි­ගය අසල වනා­න්ත­රයේ ගෝනෙකු සිට ඇත. එම ගෝනා නඟන විලා­පය නිසා නින්දේදී බාධා ඇති වන නිසා රජු, රාජ­පු­රු­ෂ­යන් ලවා ගෝනා මරා දැමීය. ඊළඟ ආත්ම­යේදී එම ගෝනා මැඩි­යෙකු වී උපදී. එසේ ඉපිද ඌ රජු­ගෙන් පලි ගැනී­මට මඟුල් පොකු­ණේම ජීවත් වෙයි. දිනක් රජ­තුමා උයනේ සක්මන් කර­මින් සිටිද්දී පොකුණේ මානෙල් මලක් දැක එය කඩා සිඹිද්දී මැඩියා විෂ දුමක් පිට කර ඇත.

ඒ නිසා ඇති වූ හිස­ර­ද­යක් හේතු­වෙන් රජ­තුමා බොහෝ කලක් දුක් විඳ ඇත. ඔහුට කරන ලද ප්‍රති­කා­ර­ව­ලින් පලක් වී නොමැත. එම නිසා පත්තිනි දේවිය වෙනු­වෙන් වත්පි­ළි­වෙත් කරන ලෙස ඔහුට සිහි­නෙන් උප­දෙස් ලැබී ඇත. ඒ අනුව භාර­තයේ සිටි සේර­මා­නන් රජු ලංකා­වට පැමිණ පත්තිනි පුද පූජා­ව­ලට දක්ෂ ඇදු­රන් සොයා යන්නට විය.

එම රජු මෙර­ටට ගොඩ­බ­සින්නේ වත්තල ප්‍රදේ­ශ­යෙනි. එහිදී කැල­ණිය හරහා නව­ග­මු­වට පැමිණ විවිධ පූජා­වන් සිදු­කර රනින් තැනූ අඹ­යක් දෙවො­ලට පූජා කර ඇත. එතැන් පසු අත්ත­න­ගල්ලේ සිට පැමි­ණෙන රජු මෙම රුව­න්වැල්ල ප්‍රදේ­ශ­යට පැමි­ණෙන විට රුවන් වැසි වැටී ඇත. ‘රුවන් වැසි වැටුණු වැලි­ත­ලාව‘ යන අර්ථ­යෙන් එම ප්‍රදේ­ශය ‘රුව­න්වැල්ල’ ලෙස හඳුන්වා ඇත.

• මාව­නැල්ල

අතී­ත­යේදී මෙරට එක්සේ­ස­ත්කොට රජ­කම් කළ රජකු වන දෙවන දප්පුල නම් රජ කෙනෙකු සිට ඇත. මෙම රජුගේ මාලි­ගය පිහිටා තිබුණේ අනු­රා­ධ­පු­ර­යේය. එහෙත් කන්ද උඩ­ර­ටින් සතුරු ආක්‍ර­මණ එල්ල වන්නට යන බව රජුට දැන­ග­න්නට ලැබී ඇත. මෙහි සත්‍ය අස­ත්‍ය­තාව පිළි­බඳ සැක හැර දැන­ගැ­නී­මට රජුට අවශ්‍ය විය. ඒ සඳහා තම සෙන්ප­ති­යන්ගේ සහාය ලබා ගැනී­මට රජුට අවශ්‍ය විය.

ඔහු ඒ සඳහා භාතිය හා ප්‍රතා­ප­සිංහ යන සෙන්ප­ති­යන් හට එම රාජ­ධා­නි­යට එල්ල වන්නට යන සතුරු ආක්‍ර­ම­ණය පිළි­බඳ සොයා බලා තමන්ට දන්වන ලෙස නියෝග කර ඇත.

එම නියෝග පිළි­ගත් සෙන්ප­ති­යන් දෙදෙනා තොර­තුරු සොයා බැලීම සඳහා කන්ද උඩ­ර­ටට පිට­ත්ව­න්නට විය. එහෙත් මඳ දුරක් යන විට සෙන්ප­ති­යන් දෙදෙ­නාට දැඩි වෙහෙ­සක් දැනෙ­න්නට විය.

එහිදි විඩා නිවා ගැනීම සඳහා ඔවුන් මාඔය අසල එක් ස්ථාන­යක නැවතී ඇත. මඳ වේලා­වක් මෙසේ ගිමන් හරින විට භාතිය නම් සෙන්ප­ති­යාට එහි සිරි අසි­රිය විඳ ගැනී­මට අවශ්‍ය විය. ඒ අතර මෙහි දිය­ඇ­ල්ලෙන් දිය නෑම­ටද සිත් විය. ඒ නිසා ඔහු ස්නානය කළ අතර ප්‍රතා­ප­සිංහ ස්නානය නොකර දිය­ඇල්ල අස­ලට වී බලා සිටි­න්නට විය. විඩා නිවා ගැනී­මෙන් පසු දෙදෙ­නාම සෙංක­ඩ­ගල නුවර කරා ගමන් ආරම්භ කර­න්නට විය.

ඒ සඳහා තවත් සැත­පුම් පහ­ළො­වක් පමණ දුර තිබී ඇත. එහෙත් සැත­පුම් භාග­යක් පමණ යන විට භාති­යට ඔහුගේ අසි­පත නොමැති බව සිහි විය.

එවිට ඔහු පවසා තිබෙන්නේ එය ඇත්තේ මා නෑ ඇල්ල ළඟ බවයි.

එම නිසා බොහෝ කලක් එම ප්‍රදේ­ශය හඳුන්වා ඇත්තේ මා නෑ ඇල්ල ලෙසයි. පසු­කා­ලී­නව මෙම ප්‍රදේ­ශය ‘මාව­නැල්ල’ ලෙසින් ප්‍රසිද්ධ වී ඇත.

ඔබේ ගමට නම පට­බැ­ඳුණු ආකා­රය අප වෙත ලියා එවන්න.

ගමින් ගමට පට­බැඳි කතා
සිළු­මිණ, ලේක් හවුස්, කොළඹ.
ඇම­තුම් – 0112429263

You may also like

Leave a Comment