මිනිසා සුවිශේෂත්වයට පත්වන්නේ එම පුද්ගලයා දක්වන සමාජ සම්බන්ධතා පදනම් කොට ගෙන ය. එමෙන්ම, කිසියම් පුද්ගලයකු කිසියම් ශිල්පයක් සමඟ පවත්වන සම්බන්ධතාවන් ප්‍රමාණය මත ගොඩනැෙඟන සුවිශේෂ දක්ෂතා විශේෂයන්ට ශිල්පියකුගේ ශිල්පීයත්වය යැයි ප්‍රකාශ කෙරේ.
කිසියම් කලාකරුවකුගේ ඉතිහාසය මෙන් ම ඔහු හා ගොඩනැඟුණු කලා ක්ෂේත්‍රයේ ඉතිහාසය, ඔහු හා බැඳුණු වපසරියෙන් ගලවා ලිය නො හැකි ය . ඒ හේතු කොට ගෙන, කිසියම් විශේෂිත කලාකරුවකු පිළිබඳව සාකච්ඡා කිරීම ද, එම කලාකරුවා සම්බන්ධ කලා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ එක් කලාපයක් පිළිබඳව සාකච්ඡා කිරීමක් වන්නේ ය.
ඒ පුද්ගලයා අන් කවරෙක් හෝ නොව ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා ය.
විසිවන සියවසේ දී ලෝක නාට්‍ය කලාව මුහුණ පෑ ප්‍රධාන ගැටලු කීපයක් වේ. ඒවා ශ්‍රී ලාංකික නාට්‍යකරුවාට ද ආගන්තුක නො වී ය. මෙරට පරිසරය තුළදී දේශීය නාට්‍යකරුවා එම ගැටලු නිරීක්ෂණය කරන ලද ආකාරයත්, ඒවාට විසඳුම් සෙවීමට ඔවුන් විසින් දරන ලද්දා වූ ප්‍රයත්නයන් ද විමර්ශනය ලක් වේ. ඒවා සමස්ථ නාට්‍ය ලෝකයට ම පොදු වූ ගැටළු බව ද වැටහේ.
ඒ අතර, 20 වැනි සියවස වන විට ප්‍රචලිතව පැවැති යථාර්ථවාදය හා ස්වාභාවිකවාදය යන නාමකරණවලින් හඳුන්වන ලද නාට්‍ය සම්ප්‍රදායයන් විසින් යොදා ගන්නා ලද ලෝකධර්මී රංග ශෛල්‍යානුගත රංග ක්‍රමයේ ශක්‍යතාවන් පිළිබඳව සැක සංකා පහළ වන්නට ආරම්භ වීමත්, ඒ සඳහා විකල්පයන් සෙවීමේ අවශ්‍යතාවන් පැන නැගීමත් යන ගැටලුව ප්‍රධාන වේ.
බටහිර රටවල භාවිත කළ , යථාර්ථවාදය හා ස්වාභාවිකවාදය නාට්‍යකරණය සඳහා යොදා ගනිමින් සිටි පෙරදිග රටවල නාට්‍ය සංස්කෘතීන් තුළ ද මෙම අර්බුදයේ දෝංකාරය කල්යාමේදී දැනෙන්නට වි ය.
1865 – 1938 අතර කාලය තුළ ජීවත් වූ, කොන්ස්ටාන්ටීන් ස්ටැනිස්ලව්ස්කි නම් වූ, රුසියන් ජාතික නාට්‍යකරුවා ජාත්‍යන්තර කීර්තියට පත් වූයේ, යථාර්ථවාදී නාට්‍ය සම්ප්‍රදාය තුළ ලෝකධර්මී රංගන ක්‍රමයක් පිළිබඳ ප්‍රායෝගික අත්හදා බැලීම් කිරීමෙන් ද, රඟපෑම් හා නළුවන් පුහුණු කිරීම පිළිබඳ සුවිශේෂ ක්‍රමවේදයක් බිහිකිරීම ද නිසා ය. ඔහු ලෝකධර්මී රංග ක්‍රමයක සීමාවන් විසිවැනි සියවසේ මුල් දශකයේදී ම නිරීක්ෂණය කරන ලදි. ඒ බව පහත සඳහන් ස්ටැනිස්ලව්ස්කි ගේ ප්‍රකාශනයෙන් ප්‍රත්‍යක්ෂ වේ.
ස්ටැනිස්ලව්ස්කි මෙසේ ප්‍රකාශ කරයි.
“අපගේ නාට්‍ය කලාව තවත් ඉදිරියට යා නොහැකි මාර්ගාන්තයකට පැමිණ ඇතැයි මට දැඩි ලෙස දැනෙන්නට විය. අලුත් මාවත් නො තිබිණි. පැරණි මාවත් ශීඝ්‍රයෙන් විනාශ වී යමින් තිබිණි.”
My life in Art
–ස්ටැනිස්ලව්ස්කි
දේශීය රංග කලාව තුළට විකල්ප දහරාවේ ප්‍රධානතම රංගාකෘතිය බිහිවන්නේ මෙවන් සමයක ය. එහි නිර්මාතෘවරයා ” ආචාර්ය ගාමිණී හත්තොටුවගම” සූරීන් ය.
1938 නොවැම්බර් මස 29 වැනිදා ගාල්ලේ දී උපන් ” හත්තොටුවගමගේ ගාමීණී කල්‍යාණදර්ශ ද සිල්වා ” භාවිත කළේ ” ගාමිණී හත්තොටුවගම ” යන නමයි. කලා ක්ෂේත්‍රයේ මිතුරන් ආදරයට ඔහු අමතනු ලැබූයේ GK යන නාමයෙනි.
ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශිල්ප හදාරා, පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත්තේ ය. 1950 දශකය පුරාවට ම ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනය කළ ඉංශ්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වූ අතර, 1959 දී චෙකෝව්ෆ්ගේ ” The Proposal ” නාට්‍ය සිංහලට පරිවර්තනට කොට නිෂ්පාදනය කරමින් එහි රංගනයට ද, සහභාගි වි ය.
ඔහු ක්ලොඩෙට් ජයවර්ධන සහ ලක්ෂ්මි ඩි. සිල්වා නිෂ්පාදනය කළ, ” ඇගමෙම්නොන් ” නාට්‍යයේ ඇගමෙම්නොන් ලෙස අද්විතීය රංගනයක් ඉදිරිපත් කළ අතර එය ද ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදයට පත් විය.
කවුරුත් ආදරයට ඔහු අමතනු ලැබූයේ “හතා” යනුවෙනි.
හත්තොටුවගම මහතා 1961 දී , කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර, එහිදී ඔහු රංග කලාව ගැන විවිධ පර්යේෂණවල නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු නාට්‍ය වැඩමුළුවක් පවත්වාගෙන ගියේ ය. 1973 දී ඔහු එහි ශිෂ්‍යයන් සමඟ එක්ව “රංග කැබලි සහ සංගීත සොච්චමක්” නමින් හඳුන්වනු ලැබූ පර්යේෂණාත්මක රංගනයක් ඉදිරිපත් කළ අතර එය ද බොහෝ පැසසුමට ලක් වි ය.
ඒ වන විට ” ධම්ම ජාගොඩ ” මහතා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාව කේන්ද්‍ර කොට ගෙන “රංග ශිල්ප ශාලික” නමින් නාට්‍ය වැඩමුළුවක් පවත්වා ගෙන ගියේය. ධම්ම ජාගොඩ මහතාගේ ඇරියුමෙන් හත්තොටුවගම මහතා එහි ගුරුවරයකු ලෙස සේවයට අවතීර්ණ විය.
මෙම වැඩමුළුවෙ ශිෂ්‍යයන් පිරිස සමඟ පොසොන් පොහොය දා, එනම් 1974 ජුනි මස 06 වැනිදා අනුරාධපුරයේ බෝසත් දැක්ම, රජදැක්ම, මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද.? යන නාට්‍ය ත්‍රිත්වය රඟදක්වා මෙරට වීදි නාට්‍ය කලාව ආරම්භ කළ බව සත්‍යයකි. එය මෙරට ” වීදි නාට්‍ය ” නමින් කළ පළමු කලඑළි බැසීම යි.
මෙම රංගනය සඳහා අනුරාධපුර” ජනතා ලේඛක පෙරමුණ “උපකාර කළ අතර, පොහොය දින ද, ඊට පසු දින ද, වශයෙන් දර්ශන දෙකක් පවත්වන ලදි.
“වීදි රැජින” ලෙස විරුදාවලිය ලද “දීපානි සිල්වා” පළමු දර්ශනයට සහභාගි නොවූ අතර, ඇය වීදි නාට්‍ය කණ්ඩායමට එක් වූයේ පසුදා රංගගත වූ දෙවැනි දර්ශනය සඳහා ය.
හත්තොටුවගම මහතා රංග ශිල්ප ශාලිකාවේ ළමුන් සමඟ මෙම චාරිකාවට සහභාගි වූයේ, ඔවුන් භාරව එම චාරිකාවට ගුරුවරයකු ලෙස සහභාගි වන්නට කෙනකු නොමැති වූ නිසා ය. ඔහු සමඟ හේග් කරුණාරත්න මහතා ද මෙම ගමනට එක් වී ය.
නමුත් දෛවෝපගතව එතුමා මෙරට වීදිනාට්‍ය කලාවේ පියා බවට පත්වීමට, එහි නිර්මාතෘ බවට පත් වීමට එම ගමන හේතු කාරක වි ය.
1974 ජුනි මස 06 දා මංගල දර්ශනය රඟදැක් වූ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම එතුමා 2009 ඔක්තෝබර් මස 29 දා මිය යන තුරුම ක්‍රියාත්මක වු අතර, එතුමාගේ නායකත්වය ද ලැබීය.
වර්තමානය වන විට එතුමා මියයන මොහොතේ කණ්ඩායමේ සිටි නවක පිරිස විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ලෙස කටයුතු කරගෙන යති. පැරණි කණ්ඩායම “හතාගේ කතා” යනුවෙන් වීදි නාට්‍ය දර්ශන කීපයක් රඟදැක්වූ අතර වර්තමානයේ ක්‍රියාත්මක නො වේ.
හත්තොටුවගම මහතා රිච්මන්ඩ් විද්‍යාලයේ උගන්වන අවධියේදී ම විලියම් ශේක්ෂ්පියර් පිළිබඳව විවිධ පර්යේෂණාත්මක අධ්‍යයනයන්හී නිරත වූ අතර එවක නිර්මාණය කළ, ශේක්ෂ්පියර් පිළිබඳ රංගනයකදී විලියම් ශේක්ෂ්පියර් සරමක් සහ කෝට් කබායක් හැඳ කුඩා කොණ්ඩයක් බැඳ, කුඩයක් ද අතැතිව පොතේගුරෙක් ලෙස පැමිණි ආකාරය එම දර්ශනය නැරඹූ ගුරුවරු සහ අසල්වාසීන් ප්‍රකාශ කරනු මා අසා ඇත.
70 දශකය ආරම්භ වීමත් සමඟ ම 1971 කැරැල්ලේ අත්දැකීම් ද, කඩාවැටීම් හා පසුතැවිලිවීම් මෙන් ම එහිදී ඇතිවූ ධෛර්යය, උද්‍යෝගය හා ජවය හේතු කොටගෙන එකල තරුණ පිරිස තුළ කලා ක්ෂේත්‍රය සම්බන්ධව ඇති වූ නව සිතිවිලි ඔස්සේ විකල්ප නාට්‍ය කලාවක අවශ්‍යතාව මතුවිය. ඒ සඳහා ධම්ම ජාගොඩ මහතාගේ ශිල්ප ශාලිකාව ඉතා හොඳ තෝතැන්නක් වි ය.
1972 දී ධම්ම ජාගොඩ මහතා නිර්මාණය කළ “මළවුන් නැගිටියි” සහ 1973 දී නිර්මාණය කළ “මොස්කව් ගිනි ගනී” යන පර්යේෂණාත්මක නාට්‍ය ද්වය ද, ගාමිණී හත්තොටුවගම මහතා 1974 දී නිර්මාණය කළ, “අකීකරු පුත්‍රයා” සහ “ජේසු ජෙරුසෙලමට පැමිණේ” යන නාට්‍ය දෙක ද, ඊට කදිම නිදසුන් ය. මෙම නාටක සාමූහික අභිරූපණ රංගයන් ලෙස නිර්මාණය වී ඇත. දේශීය නාට්‍ය කලාවේ නිෂ්පාදිත මෙම වර්ගයේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදන මේවා බව ද කිව යුතු ය.එතුමා වසර 40 කට වැඩි කාලයක් විවෘත වීදිනාට්‍ය කණ්ඩායමට නායකත්වය දෙමින් කටයුතු කළේ ය.
බ්‍රෙෂ්ට්ගේ “ආණ්ඩු කිරීමේ වැදගත්කම” නම් වූ පද්‍ය පංතිය පාදක කොට ගෙන එතුමා “ඔටුන්නක බර” නමින් මහත් ආන්දෝලනයකට තුඩු දුන් නාටකයක් නිර්මාණය කළේය. පසුව මෙම නාටකය වාරණයට ලක්විය. හේතුව මෙම නාටකය මඟින් එකල සිටි පාලකයන් විවෙිචනයට ලක්වීම යි.
තවද එතුමා 1988 දී විලියම් ශේක්ෂ්පියර්ගේ “හැමිලට්” නාටකය නිර්මාණය කළ අතර, එය පේරාදෙණිය WUS වළේ සහ ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාලවල රඟදැක්වීය.
හත්තොටුවගම මහතා Ceylon Daily News පුවත්පතට නාට්‍ය කලාව හා සිනමාව පිළිබඳ විචාර ලිපි සම්පාදනය කළේ ය. ඒ නිසාම ඔහු 1967 දී චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ සභාපති ලෙස නිතරගයෙන් පත්වී ය. තවද, එතුමා “නිසි රිසි” නමින් සඟරාවක් ද සංස්කරණය කළේය. එය කලාප 10 කට ආසන්න පළවිය. එතුමා එහි කුමාර හෙට්ටිආරච්චි කවියා ගේ “ධර්මද්වීපය” නමැති පද්‍ය පංතිය විචාරය කරමින් ලියූ “මාර කුමාර” ලිපිය මහත් ආන්දෝලනයකට පාත්‍ර වි ය.
නිසි රිසි සඟරාවට එතුමා ලියූ ලිපි අතර,
1990 – මනෝරත්නයන්ගේ රංග ශෛලිය පිළිබඳ විචාරාත්මක විග්‍රහයක්… යන ලිපිය ද, 1985/89 රාජ්‍ය නාට්‍ය උෙළලෙහි දී අපදුටූ නාට්‍ය පිළිබඳ විවරණයක් යන ලිපි ප්‍රධාන වේ.
“මනමේ නාට්‍ය සහ මධ්‍යම පාන්තික සංස්කෘතිය” යන ලිපිය තුළින් ඔහු මනමේ නාටකය මගින් සුළු ධනේශ්වර දෘෂ්ටිවාදයන් ඔසවා තබන බව ඉතා අපූරුවට සනාථ කළේය.
හත්තොටුවගම මහතා මහනුවරදී කළ දේශනයක් ඇසුරෙන් සකස් කරන ලද “නාට්‍ය රචනයේ සහ නිෂ්පාදනයේ ගැටලු” යන ලිපිය ද, නිසි රිසි හි පළ විය. එමඟින් නාට්‍ය නිර්මාණකරණය හා බැඳුණු වැදගත් ගැටලු රැසක් විග්‍රහ කළේය.
1961 දී සිංහබාහු නාටකය ගැන ” Critque and Comparison Maname and Sinhabahu ” යනුවෙන් ලියූ ලිපිය Ceylon Daily News හී පළ විය. එය මනමේ සහ සිංහබාහු නාට්‍ය පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් සහ විචාරයක් යනුවෙන් මේ ලියුම්කරු විසින් සිංහලට පරිවර්තනය කොට නිසි රිසි හී පළවිය.
1967 දී එතුමා “Sinhala Theatre Between Two Plagues” (වසංගත දෙකක් අතර සිර වූ සිංහල නාට්‍ය කලාව ) නමින් ලිපියක් සම්පාදනය කළේය. මෙම ලිපියෙන් එතුමා නාට්‍යධර්මී රංග ශෛල්‍යානුගත නාටකවල සහ ලෝකධර්මී රංග ශෛල්‍යානුගත (සංවාද) නාටකවල දුබලතා විග්‍රහ කළේය. එය ද සිංහලට පරිවර්තනය වී අත්පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් වි ය.
එතුමා ” Poetry Peradeniya ” නමැති සඟරාවට ද කාව්‍ය රචනා කළේ ය.
1977 දී Ceylon Daily News පුවත්පතට “Sinhala Theatre Some Home Truths” (සිංහල නාට්‍ය කලාව පිළිබඳ කණගාටුදායක සත්‍ය තොරතුරු මිටක් ) යනුවෙන් රචනා කළ ලිපියෙන් ද මනමේ සහ සිංහබාහු පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.
එතුමා ” The Poetry of Lakdasa Wikramasinha, A Memorial Tribute ” යනුවෙන් ලක්දාස වික්‍රමසිංහ කවියාගේ කවි පිළිබඳ විචාරාත්මක ලිපියක් පළ කළේය. එයට පාදක වන්නේ එම කවියාගේ මළගමදා හත්තොටුවගම මහතා කළ කතාවයි.
අභිනය සමරු කලාපයට එතුමා ” Unresolved Contradiction Pradoxical Discourses and Alternative Stratergies in the Post – Colonial Sinhala Theatre ” නමින් දීර්ඝ ලිපියක් සැපයීය. එහි අර්ථය “පශ්චාත් ( යටත්) විජිත රංග කලාව තුළ නො විසඳුණු ප්‍රතිවිරෝධතා සහ විරෝධාභාසාත්මක කතිකා” නම් වේ. එම ලිපියේ එතුමා 1956 මනමේ සිට 1998 දක්වා නාට්‍ය කලාව පිළිබඳ සාකච්ඡා කළේය.
1997 – සිනමා ස්වර්ණ ජයන්ති සමරු කලාපයට එතුමා පනස් වසරක සිංහල සිනමාව යනුවෙන්, 1940 – 1990 දක්වා සිංහල සිනමාවේ සංදිස්ථානයන් පිළිබඳ අපූරු විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.
හත්තොටුවගම මහතා ” Seagull Theatre Quarterly ” සඟරාවට ” බිරෙන්දාස් ෂර්මා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ අන්තර්ගත කරුණු අළලා ” You can’t have brilliant theatre and bad politics ” යන ශීර්ෂය යටතේ ලිපියක් සැකසීය. එනම් ” විශිෂ්ට රංග කලාවක් සමඟ නරක දේශපාලනයක් එකට තිබිය නො හැකි ය” යන කරුණට අදාළව එතුමාගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම නිර්මාණය වීමට හේතු භූත වූ සමාජ – දේශපාලන කරුණු පිළිබඳ කතා කළේය.
විවෘත වීදිනාට්‍ය කණ්ඩායමට එතුමා නිර්මාණය කළ නාට්‍ය අතර, බෝසත් දැක්ම සිට අපරාදේ දක්වා වන නාට්‍ය 48ක් ඇතුළත් විය. මේ අතුරෙන් බොහෝ නාටක වැඩමුළු තුළ නිෂ්පාදනය වූ අතර බොහෝ නාටක ප්‍රදර්ශනය කෙරුණේ වරක් හෝ දෙවරක් පමණි. විවෘත වීදි නාට්‍ය කණ්ඩායම නිතර රඟදැක් වු නාටක අතර රූකඩයෝ, රජදැක්ම, වෙසක් දැක්ම, පෝලිම, වෙන්දේසිය, උතුමාණන් නැවත පැමිණේ, නුරුස්සන හඬක්, මැරවර මෙහෙවර ඔබ දුටුවා, ඩෙඩ් මොබයිල්, සයනයිඩ් යන නාටක වේ.
හත්තොටුවගම මහතා විසින් ඇන්ටන් චෙකෝව්ෆ්ගේ Misery කෙටි කතාව ඇසුරෙන් රචනා කොට නිෂ්පාදනය කළ “නුරුස්සන හඬ” නාට්‍ය මෙරට වැඩිම වාර ගණනක් රඟදැක්වූ චෙකෝව්ෆ් නාටකයයි…බ්‍රෙෂ්ට්ගේ ” Mister K” නමැති උපමා කතාවෙන් නිර්මාණය කළ “මැරවර මෙහෙවර” ද ඉතාමත්ම විශිෂ්ට කෘතියකි.
හත්තොටුවගම මහතාගේ අවසන් ප්‍රසිද්ධ දේශනය පැවැත්වූයේ කොළඹ ශේක්ෂ්පියර් කේන්ද්‍රයේදී ය.
මුදු රංජිත් ද සිල්වා