Home » රිදී තිරයේ චිත්‍ර කතා

රිදී තිරයේ චිත්‍ර කතා

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment
හුලවාලි, සිටු කුමරියෝ, වානරයෝ, කැලෑ කෙල්ල

ලංකාවේ නිපදවූ ප්‍රථම කතානාද චිත්‍රපටය සම්බන්ධයෙන් කරුණු සොයන්නේ නම් එක්දහස් නවසිය හතළිහේ දශකය අග භාගය දක්වා පියමං කළ යුතුය. මීට දශක ගණනාවකට පෙර ලාංකේය සිනමාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් තුළ පැවතියේ මහත් ආකර්ෂණයකි. එයට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැක්කේ රූපවාහිනිය මේ සමය වනවිට ලංකාව තුළ අරක් ගෙන නොමැතිවීමත් අන්තර්ජාල ක්‍රමවේදයන් ලංකාව තුළට පිවිස නැති වීමත්ය.

අප මේ කතා කරනු ලබන වකවානුව වනවිට ශ්‍රී ලංකාව තුළ තවත් එක් ජනප්‍රිය මාධ්‍යයක් වූයේ චිත්‍ර කතා කලාවයි. එය මීට දශක ගණනාවකට පෙර දුප්පත්, පොහොසත් භේදයකින් මෙන්ම අධ්‍යාපන භේදයකින් තොරව කා අතරත් ජනප්‍රිය වූ මාධ්‍යයකි. එමෙන්ම මෙම ධාරා දෙකම එකම කාල සමයේදී ජනප්‍රිය වීමට බලපෑ තවත් එක් කරුණක් වන්නේ චිත්‍රකතා මුල්කරගනිමින් සිනමාපට නිපදවීමට එවක චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කටයුතු කිරීමයි.

රිදී තිරයට ආ ‘වානරයෝ’

චිත්‍රකතාවක් ඇසුරින් ශ්‍රී ලංකාවේ බිහි වූ මුල්ම චිත්‍රපටය ලෙසින් සඳහන් කළ හැකි වන්නේ 1976 වර්ෂයේ තිරගතවුණු ‘වානරයෝ’ ය. ලේක්හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත්කළ සිළුමිණ පුවත්පතේ පළවූ ‘වානරයෝ’ සිතුවම් කරන ලද්දේ දයා රාජපක්ෂ විසිනි. එහි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සරත්චන්ද්‍ර හේරත්ය. චිත්‍රකතාවක් මූලික කරගෙන නිර්මාණය වූ දෙවැනි චිත්‍රපටය වූ ‘හුලවාලි’ චිත්‍රණය කරන ලද්දේ ද දයා රාජපක්ෂය. 1976 වසරේදී තිරගත වූ එම චිත්‍රපටයට පාදක වී තිබුණේ අප්‍රිකානු ගෝත්‍රික කතා ශෛලියකි. ‘හුලවාලී’ චිත්‍රපටයක් කිරීමේ මෙහෙයුම බාරගත්තේ ඩබ්ලියු. ඒ. බී. ද සිල්වා ය. ධර්මසිරි ගමගේ තිර රචනය කළ මෙහි ප්‍රධාන භූමිකා රඟදැක්වූයේ ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ සහ සුවිනීතා වීරසිංහයි. ඊට අමතරව රෙක්ස් කොඩිප්පිලි, දෙනවක හාමිනේ, අග්‍රා සජීවනී සෙසු චරිතයන්ගෙන් සම්බන්ධ වූ අතර ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ සහ බන්දුල විජේවීර ගායනයෙන් එක්වූහ.

1978 වසරේ තිරගත වූ ‘අනූපමා’ චිත්‍රපටය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එම චිත්‍රකතාව සිතුවම් කළේ දයා රාජපක්ෂයන් විසිනි. චිත්‍රපටය සුනිල් ආරියරත්නගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන අතර, එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල මුල්වරට චිත්‍රපටයක් සඳහා යුග ගායනයෙන් සම්බන්ධ වූයේ ‘අනුපමා’ චිත්‍රපටයටය. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා චිත්‍රපටයක් තුළින් ප්‍රථම වරට මව සහ පුතාගේ චරිත නිරූපණය කරමින් සම්බන්ධ වීමයි. ‘සතුට’ පුවත්පත මුල් අවධියේ දී ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ලේක්හවුස් ආයතනය මඟිනි. 70 දශකයේ දී ජනක රත්නායක විසින් සතුට පුවත්පතට සිතුවම් කළ ‘සුගන්දි’ ඇසුරින් දයානන්ද රොද්‍රිගෝ අධ්‍යක්ෂණය කළ ‘සුගන්දි’ චිත්‍රපටය තිරගත කරනු ලැබුවේ 1979 සැප්තැම්බර් මස 14 වැනිදා ය.

වැඩිම චිත්‍රපට 80 දශකයේදී

1980 දශකයේ චිත්‍රකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද එක් චිත්‍රපටයක් වන්නේ ‘රක්තා’ ය. එය අධ්‍යක්ෂණය කළේ ගාමිණී හේවාවිතාරණ වන අතර, කතාවේ සිතුවම්කරණය දයා රාජපක්ෂගේය. ඔහු විසින් සිතුවම් කළ තවත් චිත්‍රකතාවක් වූ ‘තවලම’ ලාල් පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් සිනමාපටයක් වී 1981 ජනවාරි මාසයේදී තිරගත විය. එමෙන්ම ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් වූ ‘බාඳුරා මල්’ තිරගත කරන ලද්දේද එම වර්ෂයේදීම ය. 1981දී හේමසිරි සෙල්ලප්පෙරුම ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තවත් චිත්‍රපට තුනක් චිත්‍රකතා ඇසුරින් බිහි විණි. සෝමවීර සේනානායක රචනා කළ බන්දුල හරිශ්චන්ද්‍ර විසින් සිතුවම් ඇඳි ‘සෙනෙහසක කඳුළු’ චිත්‍රකතාව හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයෙන් එළිදැක්වුණේ ‘සත්වෙනි දවස’ නමිනි.

සනත් ගුණතිලක චිත්‍ර කතාවකින් තිරයට

සනත් ගුණතිලක තමාගේ රංගන දිවිය ආරම්භ කරන ලද්දේ චිත්‍රකතාවකින් නිර්මාණය වූ චිත්‍රපටයකිනි. ඒ සරත් කවිරත්නගේ චිත්‍රකතාවක් වූ ‘හිතට වහල් වීමි’ ඇසුරින් විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘සිටු කුමාරියෝ’ ය. තිරගත වූයේ 1981 වසරේදී ය. 1981 එසේ අවසාන වනවිට 1982 වර්ෂයේදී චිත්‍රකතා ඇසුරින් තවත් චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.

82 වසරේදී බන්දුල හරිශ්චන්ද්‍රගේ චිත්‍රකතා දෙකක්

මෙම වර්ෂයේ චිත්‍රකතා තුළින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතරින් 1982 මාර්තු තිරගත වූ ‘සක්විති සුවය’ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. එමෙන්ම 1982 අප්‍රේල් මස තිරගත වූ ‘පෙතිගෝමර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සිරි කුලරත්න විසිනි. එම චිත්‍රකතාව සිළුමිණ පුවත්පතේ පළවූ අතර, සෝමවීර සේනානායක විසින් රචනා කරන ලද කතාව සිතුවම් කළේ බන්දුල හරිශ්චන්ද්‍රය. තවද බන්දුල හරිශ්චන්ද්‍ර චිත්‍රණය කළ ‘තනි තරුව’ ඇසුරින් නිමැවූ චිත්‍රපටය එම වසරේදීම අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රත්නවීර ද සිල්වාය. 82 වසරේදීම ජනක රත්නායක අඳින ලද චිත්‍රකතාවක් සිනමාවට නැඟිණි. සිනමාපටය අධ්‍යක්ෂණය ගාමිණී හේවාවිතාරණගේ වන අතර චිත්‍රකතාව ‘සාරංගා’ය. චිත්‍රපටය නම් කර තිබුණේ ද ‘සාරංගා’ නමිනි.

83 දී ‘නිළියකට පෙම් කළෙමි’

දයා රාජපක්ෂගේ චිත්‍රකතා ඇසුරින් නිෂ්පාදනය කළ සාර්ථකම චිත්‍රපටය ලෙස සඳහන් කළ හැකි වන්නේ 1983 මාර්තු තිරගත වූ ‘නිළියකට පෙම් කළෙමි’ චිත්‍රපටයයි. සිරි කුලරත්නගේ අධ්‍යක්ෂණයක් වූ එහි ජෝ අබේවික්‍රමගේ රංගනය අතිශය දුර්ලභ ගණයේ රංගනයක් බව බොහෝ දෙනා ප්‍රකාශ කර ඇත. එම වසරේදීම සිරි කුලරත්න චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර, එය ‘සුබෝධා’ චිත්‍රකතාව මූලික කරගත් ‘සුබෝධා’ චිත්‍රපටයයි. මෙම වසරේදී චිත්‍රකතා ඇසුරින් තවත් චිත්‍රපට දෙකක් නිෂ්පාදනය වූ අතර, ඉන් එකක් අධ්‍යක්ෂණය කළේ හේමසිරි සෙල්ලප්පෙරුමයි. මෙම චිත්‍රපටය නම් කර තිබුණේ චිත්‍ර කතාවේම නමින් එනම් ‘සෙනෙහසක කඳුළු’ යනුවෙනි. ජනක රත්නායක විසින් නිර්මාණය කළ ‘යළි පිපුණු මලක්’ චිත්‍රකතාවෙන් ඇන්ටන් ග්‍රෙගරි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ‘පිපුණු මලක්’ නමින් තිරගත විය .

1984දී ‘බට්ටි’ සිනමාවට

1984 වර්ෂයේදී දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් සෝමසිරි බෝපිටියගේ අධ්‍යක්ෂණයෙන් සිනමාපටයක් ලෙසින් එළිදැක්විය. එය ‘නිවන් දක්නා ජාති දක්වා’ නම් විය. පී. වික්‍රම වඩාත් කතාබහට ලක්වූයේ ‘සතුට’ පුවත්පතේ පළවූ ‘බට්ටි’ තුළිනි. එවක ‘බට්ටි’ චිත්‍රකතාව ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත් වූ අතර මේ හේතුවෙන් 1984 වර්ෂය වන විට එය චිත්‍රපටයක් ලෙසින් රස විඳීමේ හැකියාව ද ලැබිණි. ආනන්ද ජයවර්ධන විසින් සිනමාවට නැඟුණු ‘බට්ටි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් සම්බන්ධ වූයේ සනත් ගුණතිලක සහ නදීකා ගුණසේකරයි.

1984 වර්ෂයෙන් පසු චිත්‍රකතා ඇසුරින් නිෂ්පාදනය වන චිත්‍රපටවල අඩුවක් දක්නට ලැබිණි .සතුට පුවත්පතෙහි පළ වූ ‘කරදිය වළල්ල’ චිත්‍රපටයක් ලෙසින් 1984 වසරේදී තිරගත විය. මධුර පුවත්පතෙහි පළ වූ අනුර විජේවර්ධනයන් සිතුවම් කළ ‘කැලෑ කෙල්ල’ චිත්‍රපටයක් ලෙසින් 1987දී තිරගත විය. ‘කැලෑ කෙල්ල’ චිත්‍රකතාව එවක අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බර්නාඩ් රෙජිනෝල්ඩ් ය. චිත්‍රපටය සඳහා රවීන්ද්‍ර රන්දෙණිය සමඟ අනෝජා වීරසිංහ මාලිනී ෆොන්සේකා රංගනයෙන් එක්වූහ.

‘වියරු මුහුද’ තුළින් ‘සප්තකන්‍යා’ සිනමාවට

87 වසරෙන් පසු වසර කිහිපයක්ම චිත්‍රකතා ආශ්‍රයෙන් චිත්‍රපටය බිහිවීමක් දක්නට නොලැබෙන අතර 1992 වසරේදී නිමාවූ චිත්‍රපටයක් ලෙසින් දයා රාජපක්ෂගේ ‘අහිමි දඩමං’ නම් කළ හැකිය. ‘අහිමි දඩමං’ අධ්‍යක්ෂණය කළේ ඩැනී ඩබ්ලිව් පතිරණය. 90 දශකයේ මුල් භාගයේ දී තිරගත වුණු අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් ලෙසින් නම් කළ හැක්කේ කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්න රංගනයෙන් සම්බන්ධ වූ ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයයි. සප්ත කන්‍යා අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැද මාවතේ සිනමාකරුවා වශයෙන් නම් ලද එච්.ඩී ප්‍රේමරත්න ය.

ඔහු එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ තලංගම ජයසිංහයන් සිතුවම් කරන ලද වජිර ජයසිංහ රචනා කළ ‘වියරු මුහුද’ චිත්‍රකතාව ඇසුරිනි. කෙසේ වෙතත් කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්නගේ රංගන ප්‍රතිභාවත්, එච්. ඩී. ප්‍රේමරත්නගේ තිර රචනයත් ‘සප්ත කන්‍යා’ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගෙන යාමට සමත් විය. එම වසරේදීම ‘නෙළුම් විලේ සමන් මලක්’ චිත්‍රකතාව ආශ්‍රයෙන් චන්ද්‍රරත්න මාපිටිගම ‘නෙළුම් සහ සමන්මලී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, ‘මලක පෙති’ චිත්‍රකතාව ආශ්‍රයෙන් ‘මහමෙර උසට’ චිත්‍රපටය නිර්මාණය විණි. එමෙන්ම ‘සාගරය පරදා’ චිත්‍රකතාව ‘ළඳුනි ඔබ දෙවඟනකි’ නමින් නිෂ්පාදනය විය.

2003 වසරේ අගෝස්තු මස තිරගත වූ ‘යකඩ පිහාටු’ චිත්‍රපටය ද චිත්‍රකතාවක් ආශ්‍රය කර ගනිමින් නිර්මාණය වූවකි . මෙහි විශේෂත්වය වන්නේ සිතුවම් ඇඳි ශිල්පියාම ‘යකඩ පිහාටු’ චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වීමයි. ඒ අනුව තමා විසින් ම අඳින ලද චිත්‍රකතාවක් චිත්‍රපටයක් බවට පත්කළ සිනමාකරුවකු ලෙසින් උදයකාන්ත වර්ණසූරිය හැඳින්විය හැකිය. එමෙන්ම 2011 වසරේ දී ජනක රත්නායක විසින් අඳින ලද “සුසීමා” චිත්‍ර කතාව රොහාන් වැලිවිටගේ අධ්‍යක්ෂණයෙන් සිනමාපටයක් බවට පත්විය.

මීටපෙර මෙම චිත්‍රකතාව දශක කිහිපයකට පෙර ටෙලි නිර්මාණයක් වශයෙන් ජාතික රූපවාහිනියෙන් විකාශය විය. එය අධ්‍යක්ෂණය කළේ ද රොහාන් වැලිවිටයි.

චිත්‍රපටවලට වැඩිම චිත්‍රකතා දයා රාජපක්ෂගෙන්

චිත්‍රකතා ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපට සම්බන්ධයෙන් විමසා බැලීමේදී පෙනී යන කරුණ වන්නේ දයා රාජපක්ෂ විසින් සිතුවම් අඳින ලද චිත්‍රකතා සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලැබී ඇති බවයි. චිත්‍රකතාවක් මූලික කරගනිමින් චිත්‍රපටයක් මුල්ම වරට බිහිවූයේ ද ඔහුගේ චිත්‍රකතාවක් ඇසුරුකර ගනිමිනි. ඉන්පසු දෙවන චිත්‍රපටය ද බිහිවූයේ දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් මුල් කරගනිමිනි. තවත් සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ ඉරිදා පුවත්පතක මීට දශක ගණනාවකට පෙර පළවුණු දයා රාජපක්ෂ සිතුවම් අඳිනලද ‘ගිනිබත් කිරීටය’ චිත්‍රකතාව චිත්‍රපටයක් සඳහා නිර්මාණය කිරීම වෙනුවෙන් ගාමිණී ෆොන්සේකා මහත් කැමැත්තකින් සිටි බව ය. නමුත් අවාසනාවකට දයා රාජපක්ෂටත් ගාමිණී ෆොන්සේකාටත් ‘ගිනිබත් කිරීටය’ චිත්‍රපටයක් ලෙසින් ලාංකේය සිනමාවට දායාද කිරීමට නොහැකිවිණි.

වර්තමානය වනවිට චිත්‍රකතා ආශ්‍රයෙන් චිත්‍රපටය බිහිවීම සම්පූර්ණයෙන් නැවතී ඇත. එයට හේතුව ලාංකේය සමාජ ක්‍රමය තුළින්ම චිත්‍රකතාව, චිත්‍රකතා ප්‍රකාශන සහමුලින්ම විතැන්වීමයි. චිත්‍රකතා මාධ්‍ය ලංකාවේ අවසන් වීමට බලපෑ කරුණු කාරණා කවරේ ද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවකි. අවාසනාව නම් 80 දශකයේ අපට නැරඹිය හැකි වූ ජනප්‍රිය හා කලාත්මක චිත්‍රපට වර්තමානයේ දක්නට නොලැබීමයි. එයින් අවබෝධ කරගත හැකි කරුණක් වන්නේ ලාංකේය සිනමා ක්ෂේත්‍රය උදෙසා චිත්‍රකතා මාධ්‍ය මහත් පිටිවහලක්ව තිබූ බවයි.

ජනක රත්නායකගේ සුසීමා සහ කබලෙන් ලිපට, වික්‍රමගේ බට්ටී,  අනුර විජේවර්ධනගේ කැලෑ කෙල්ල

ජනක රත්නායකගේ සුසීමා සහ කබලෙන් ලිපට, වික්‍රමගේ බට්ටී, අනුර විජේවර්ධනගේ කැලෑ කෙල්ල

රජිත බස්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division