ලෝක තාක්ෂණ විප්ලවයේ නවතම හඳුන්වාදීම වන කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය වර්තමානය වන විට ලොව පුරා රටවල් රැසක එදිනෙදා කාර්යයන් පහසු කිරීම සඳහා වැඩි පිටුවහලක් සපයා තිබේ. අමෙරිකාවේ ප්‍රකට ‘මැකින්සි’ බහුජාතික සමාගම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව හෙළිව ඇත්තේ කාර්යබහුල සමාගම්වල කළමනාකරුවන්ට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මඟින් සිය කාර්යයන් පහසු කරගැනීමේ අවස්ථාවන් උදා වී ඇති බවය.
ආයතනයේ සේවකයන්ගේ නිවාඩු ඉල්ලීම් කළමනාකරණය කරගැනීමත්, රැස්වීම් සාකච්ඡාවල ප්‍රගතිය ඉහළ නිලධාරීන්ට වාර්තා කිරීමත් කඩිනම් කරගැනීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් මනා පිටුවහලක් සලසාගත හැකි බව පෙන්වා දී ඇති ඒ සමාගම එවැනි තාක්ෂණික මෙවලම් සමාගම්වල කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට මෙන්ම ප්‍රගතිය සම්බන්ධයෙන්ද තීරණාත්මක සාධකයක් බවට පත් වී ඇති බවය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් එවැනි ධනාත්මක පසුබිමක් නිර්මාණය වුවද, අනාගතයේ යම් දිනෙක කළමනාකරුවන්ගේ කාර්යභාරය මුළුමනින්ම කෘත්‍රිම බුද්ධිය යටතට පත් වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයිද අනාවැකි පළ වී තිබේ. ඇතැම් අවස්ථාවලදී ආයතනයේ සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් කළමනාකරුවන් මානුෂීය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම වැනි සංවේදි සිදුවීම් කෘත්‍රිම බුද්ධියෙන් අපේක්ෂා කළ නොහැකි බැවින් එවැනි අවදානමක් මතු වන්නේ නම් එය ආයතනයේ ප්‍රගතියට නොව අගතියට හේතු වනු ඇතැයි ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පෙන්වා දෙයි. මානුෂීය හැඟීම් යටපත් කළ කෘත්‍රිම බුද්ධිය වැනි යන්ත්‍රණයකින් කාර්යභාරය කඩිනම් කිරීම හා පහසු කිරීම වැනි කටයුතු හැරුණු විට මානුෂීය ආකාරයේ අවස්ථා සම්බන්ධව සේවකයන් හා සංවේදිව ගනුදෙනු කිරීමේ තත්ත්වයක් නැති බැවින් ඉතා කාර්යශූර සේවකයන් පවා ආයතනය හැරයෑමේ අවදානමක් මතු වී ඇතැයිද එම සඟරාව අනතුරු අඟවා තිබේ.
කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේදී සමාගම් ප්‍රධානීන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉකොනොමිස්ට් සඟරාව පැහැදිලි කර තිබේ. සමාගමේ වියදම් කප්පාදු කිරීමේ අභිප්‍රාය මුල් කරමින් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට අදහස් කරන්නේ නම් සමාගම් ප්‍රධානීන් අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණ වන්නේ සිය කළමනාකරුවන්ගෙන් ඉහළම සේවාව සලසාගැනීම සඳහා එය භාවිත කළ යුතු ආකාරය කවරේද යන්නය. එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම පසෙක ලා, ඇමසෝන් සමාගමේ ප්‍රධානි ඇන්ඩි ජෙසී ඇතුළු තවත් සමාගම් ප්‍රධානීන් රැසක් කටයුතු කරන බව ඉකොනොමිස්ටී සඟරාවේ සඳහන් වේ. කළමනාකරුවන් අවම කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට උත්සාහ ගන්නා එවැනි සමාගම් ප්‍රධානින් අතර මයික්‍රොසොෆ්ට් සමාගමද වේ. ඔවුන් කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය සලකන්නේ එවැනි අරමුණු පහසු කිරීමේ මාර්ගයක් ලෙසය. එය එක් අතකින් නිලධාරිවාදය ඉස්මතු කිරීමේ අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. එහෙත් එය යුක්තිසහගත නොවන බව ඉකොනොමිස්ටී සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
බොහෝ සමාගම්වල පිළිගැනීමට ලක් නොවූ කාර්යශූර කළමනාකරුවෝ රැසක් වෙති. ඔවුහු අවංක හා ආයතනික හැඟීමෙන් කටයුතු කරන අතර සේවකයන් සම්බන්ධව අවබෝධයෙන් යුතුව කටයුතු කරති. ඔවුහු සේවකයන් කළමනාකරණය කිරිමේදී එවැනි කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ අවධානයෙන් යුතුව කටයුතු කරති. එවැනි කළමනාකරුවන් ඕනෑම සමාගමකට කදිම ආයෝජනයකි; සමාගමේ උන්නතියට ද ප්‍රබල සාධකයකි. හුදෙක් යන්ත්‍රණ ලෙස ක්‍රියාත්මක වන කෘත්‍රිම බුද්ධි කළමනාකරුවන්ගෙන් එවැනි සංවේදීත්වයක් නොලැබෙනු ඇත. අනෙක් අතට ඉහළ නිලධාරීන්ගේ සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අවබෝධයෙන් යුතුව කටයුතු කරන කළමනාකරුවන් සහ කෘත්‍රිම බුද්ධි කළමනාකරුවන් අතර වඩාත්ම කැපීපෙනෙන වෙනස වන්නේද එයයි. එබැවින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ කළමනාකරණය භාවිතයට ගැනීමේදී ඕනෑම සමාගමකට ධනාත්මක මෙන්ම ඍණාත්මක තත්ත්වයක් අත් වන අවදානම සැලකිය යුතු ආකාරයේ ඉහළ මට්ටමක පවතින බව තාක්ෂණ විශාරදයන් විසින් පෙන්වා දී තිබේ.
බැංකු හා මූල්‍ය සේවාවලට සහාය වීමට හෝ සක්‍රිය කිරීමට භාවිත කරන පරිගණක වැඩසටහන් සහ අනෙකුත් තාක්ෂණයන් සපයනු ලබන ෆින්ටේක් මුහුණුවර යටතේ ක්‍රියාත්මක වන ‘ක්ලාර්නා’ තාක්ෂණික මූල්‍ය සමාගම දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ වියදම් අවම කිරීම සඳහා AI කළමනාකරුවන්ගේ අවශ්‍යතාව වඩාත් ඉහළ ගොස් ඇති බවයි. එය අවදානම සම්බන්ධව සිදු කළ එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක් ලෙසද සැලකිය හැකිය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සිය සමාගමේ කළමනාකරණයට භාවිත කිරීමේදී ප්‍රධානින් මුහුණ දෙන තවත් කරුණක් වන්නේ එය මිනිසුන් කෙරෙහි සංවේදිත්වයකින් තොරව හැසිරීමය. යන්ත්‍රණ හා තාක්ෂණය භාවිත කළ යුතු වන්නේ කාර්යයන් හා සේවා කඩිනම් කිරීමේ හා පහසු කිරීමටය. එහෙත් ඉන් සමාගමේ අගතියට හේතු වන්නේ නම් කඩිනම් කිරීම හෝ පහසු කිරීම සැබැවින්ම යථාර්ථයක් බවට පත් නොවනු ඇත. සේවකයන් සමඟ නිරතුරුවම ගැවසෙන මිනිස් කළමනාකරණය එම සමාගමේ ප්‍රගතියට අත් කර දෙන තවත් වැදගත් වාසියක් වන්නේ සේවකයන්ගේ ඉල්ලා අස්වීම් අවම කිරීමය. සේවකයන්ගේ ඉල්ලා අස්වීමට හේතුව සාකච්ඡා කිරීම හා ආයතනයේ උන්නතිය වෙනුවෙන් ඔවුන් සලසන සේවය අගය කිරීම වැනි ධනාත්මක සිතිවිලිවලින් සේවකයා ඇද-බැඳ තබාගැනීමට මිනිස් කළමනාකරණයට හැකියාව තිබේ. එහෙත් කෘත්‍රිම බුද්ධි කළමනාකරණය සේවකයන් සමඟ සංවාදශීලි නොවීමත්, සංවේදි නොවීමත් හේතුවෙන් සමාගමේ සේවකයන්ගේ ඉල්ලා අස්වීම් වැනි කරුණුවලදී ක්‍රියාත්මක වන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙනි. කෘත්‍රිම බුද්ධි කළමනාකරණයෙන් සිදු වන්නේ සේවකයන්ගේ එවැනි ඉල්ලා අස්වීම් භාර ගැනීමය. ඒවා ඍජුවම සමාගම් ප්‍රධානියාට යොමු කර, ඒ සඳහා අනුමැතිය ගැනීමට ඔවුන් පොලඹවාගැනීමය. එවැනි තත්ත්වයන් මත සේවකයාගේ ඉල්ලා අස් වීමට සැබෑ හේතුව හෝ ඔවුන් සමාගමේ රඳවා ගැනීමට සමාගම් ප්‍රධානීන්ට කිසිදු අවස්ථාවක් නොලැබේ. සියල්ල සිදු වන්නේ යන්ත්‍රානුසාරයෙනි.
ඉකොනොමිස්ට් සඟරාව සඳහන් කරන්නේ සමාගම්වල වඩාත් සංකීර්ණ ගැටලුවලට විසඳුම් සැපයීමට කෘත්‍රිම බුද්ධි කළමනාකරණය අසමත් බවයි. සිය සේවකයන්ට රැකියාව සම්බන්ධයෙන් උනන්දුවක් හෝ ආශාවක් ඇති කරලීමට මෙන්ම උපරිම සේවාව සැලසීම සඳහා උනන්දු කරවීමට කෘත්‍රිම බුද්ධිය අසමත් බවත් ඉන් පෙන්වා දී තිබේ. කළමනාකාරීත්වය වර්ධනය කිරීමේ විශාල හැකියාවක් AI තාක්ෂණය සතු වූවද, ඉකොනොමිස්ට් සඟරාවට අනුව කළමනාකරුවන්ගේ කාර්යභාරය වන කාර්යක්ෂමතාව හා මනුෂ්‍යත්වය මිශ්‍ර කිරීම මානුෂීය හැඟීමෙන් හා සංවේදිත්වයෙන් තොර කෘත්‍රිම බුද්ධියෙන් අපේක්ෂා කළ නොහැකිය.
(The Economist ඇසුරෙනි)