රකිනු පන්සිල්
එදා මිස්සක පවුව මත්තෙන්
ගැලූවා සදහම් ගඟක්
මෙදා වනසන හැටි පටලගෙන
සමහරුන් එහි හැම කොනක්
බදා තව තව පව් හොයාගෙන
පෙනෙන කොට කැරකෙන රඟක්
බලා ඉනු බැරි කමට ලියනෙමි
මෙහි එකම එක පද පෙළක්
කලාවෙන් කලාවට මෝරනා පොසොන් සඳ
එදා මෙන් සෝබාවට දිලෙන කොට අහස මැද
බොහෝ පින් පතාගෙන මැරිය යුතු වේය විද
මහා පව්කාරකම් දහම නම් දුන්න ඇද
මනෝරි ගමගේ
මිහිඳු සමිඳු
බුත්සරණ මහා කව් සාහිතය මනාවන්
පිළිම දාගැබ් බෝධි පින් කෙතකි අමාවන්
වැව් නිල්ල රන් කෙතට සාර අස්වනුව දුන්
මිහිඳු සඳ පොසොන් දා රටට වාසනාවන්
මුවන් බිය පහව ගිය අභය ලක් ධරණී
සවන් වැකි බණ පදය රජුන් සිත රැඳුණි
නිවන් මල් පිපුණු දා සුගන්ධය දැනුණී
මිහින්තලයට එදත් පොසොන් සඳ නැඟුණි
දම් බෙරය හඬවමින් ගමින් ගම මල් පිපුණි
නිම් වළල්ලෙන් එපිට සාධුකාරය නැඟුණි
ගිම් දවා සංසාර අමා වැස්සක් හැලුණි
ගම්දොරෙන් රෑ දිවා සෙත් පිරිත් හඬ ඇසුණි
දුමිඳු රන් පත් සැලී ඇය පහන් වූවා
මිගිඳු කේසර ගතිය නිරින්දන් පෑවා
අවිදු සායෙන් මිදී දම් දියෙන් නෑවා
මිහිඳු සමිඳුගෙ සරණ අදත් හිමි වේවා!
මහගම සීලානන්ද හිමි
අනුබුදු හිමි
ජන සහනය දේ සිත
අනුබුදු හිමි පද නෙත
දෙපිය නඟන මාවත
දෙලොව දිනන ජීවිත
සුතුර උවම් ඇත් පද
මතුර දහම් නෙත් ලද
මනස නැණස ලත් තෙද
දිවිය නිවෙන සකත් සුද
මිහින්තල කඳු හිස
දහම් අමා බුදුරැස
නිවන් තලේ නැඟ උස
තදින් දැනේ අනුහස
ගොඩනැඟෙනා නන් අත
වෙහෙර දිලේ රන් කෙත
හෙළ දෙරණේ සෑයත
පල සපිරේ පින්කෙත
දැන හඳුනන තෙරුවන
බැති සැදැහැති බොදු දන
අනුබුදු හිමි නමදින
පිරිසුදු සිත සැනසෙන
නන්දසේන පලිහක්කාර
මෙත් සුව පැතිරේවා!
මිහින්තලාවෙන් අනුබුදු බුදුරැස්
දසතම පැතිරෙනවා
මී අඹ වනයේ සීතල සුළඟේ මුසුවූ දම් පද සුව දෙනවා
පොසොන් සරා සඳ හිමි ගුණ වයමින් අහස් කුසේ හිඳ හිනැහෙනවා
සිල් සුවඳින් අද මගෙ මේ සිරිලක මෙත් සුව ලොවටම පතුරනවා
මානෙල් මංගලිකා වෙත්තසිංහ
අරමකදී…
ගඟුල අසලින් වැටුණු මංපෙත් වන මැදට යන වීදි පෙන්වයි
දිය බිඳෙන හඬ කුරුලු සර හා හැනී නංවන සරය සුසරයි
කලාතුරකින් හෝ මිනිස් පිය ගැටුණු සලකුණු වුවද විරලයි
මලසුනක් නැති බුදුරුවක් නැති නිහඬ නිසසල සිසිල් අරණයි
මල් වරා වියපත් වු තුරු පෙළ ගෙවුණු මල් විය ශේෂ ලකුණකි
අරම වෙත යන පාළු පෙත් මඟ නිදහසේ පෙම් කෙළින දහනකි
වැසිපොදින් නිති හිරු රැසින් විඳි නේක පීඩා දැරූ වෙහෙරකි
වල් වැවී ගිය දෙපස මැද ඇති බවුන් වැඩු සලපතළ මළුවකි
නැමි නැමී සුළඟින් නගන රැව් උණ පඳුර මුලපුරන පිරිතකි
නියැදි වැහැරින් වැසුණු දූවිලි පටල ගඳ ඇති නූස් යහනකි
දිරාපත් වූ කසාවතකින් වසා ඇති ඇටසැකිලි බහනකි
අරම අසලින් ගලන විට දිය පැන් වඩන අවමඟුල් සිරිතකි
අගත අනගත සතර දෙස සිට පැමිණි තවුසන් විසූ දහනකි
කෙලෙස් බර රජ ඇමති සිටු පුත් ඇසුර නොපැතූ අබය විමනකි
කාලයේ සැඩ සුළඟ ඉවසා දහම් මඟ පෑ අරුම අරමකි
මෙබිම තනි කර අසපු සොයමින් දැයක් වනගත වංකගිරියකි
පාලිත අරවින්ද වීරක්කොඩි
දහම් දියරින් නිවී සැනසෙමු
පෙරෙන සඳකැන් පොසොන් පෝදා මිහින්තල ගිරි ශිඛර මුදුනින්
රැගෙන එයි සදහම් සුවඳ කඳ වැඩිය අනුබුදු හිමිගෙ පහසින්
ගිමන නිවමින් ගමන දුර යන බොදු දනගෙ සිත පහන් කරමින්
හමන මඳනල ගයයි බැති ගී නිබඳ සිහිලස දසත මවමින්
මුවන් ලුහුබැඳ දෙවනපෑතිස් රජුන් එදවස යනෙනු දුටුවේ
දනන් මෙදවස උනුන් පරයා දුවන්නටමයි නිතර පැතුවේ
සවන් වැකෙනා නිමල බුදු බණ මොහොතකින් නොදැනීම දිය වේ
නිවන් මඟ වෙත යනෙන මාවත බොහෝ දුර බව නැතිද සිතුවේ
සුගුණ පුරවා හදවතෙහි අපි බලමු ලොව දෙස නෙත් දෙකින්
අගුණ ගැන අපි කතා නොකරමු හොඳ දේම අගයමු තොසින්
නුගුණ ගති මියැදෙන්න ඉඩ දෙමු එකින් එක දුරහැර නිතින්
දැවෙන සිතිවිලි දහම් දියරින් නිවා සැනසෙමු මෙත් සිතින්
දම්මිනි ප්‍රේමචන්ද්‍ර