Home » සතියේ කලදවස

සතියේ කලදවස

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

මේෂ – ගෘහ ජීවිතය යහපත්

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබදායක නොවන අතර කනගාටුදායක පුවත් සැලවිය හැකියි. ඉන්පසු දින කීපය රැකියා, ව්‍යාපාර සහ ගෘහ ජීවිතය යහපත් අයුරින් පවත්වා ගත හැකි පුණ්‍යවන්ත කටයුතුවලට අතහිත දෙන බවක් ද පෙනෙන්නට ඇත. විදෙස් ගමන්, දුර ගමන් යෙදේ. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල්, රතු, සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා

වෘෂභ – කීර්ති ප්‍රශංසා

සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. මේ සතිය ආරම්භයේ ඔබගේ ව්‍යාපාර සඳහා උනන්දු වුවහොත් ලාභ ප්‍රයෝජන වෙනදාට වැඩියෙන් හිමිවේ. වෙනත් ලැබීම්වලට ද ඉඩ ඇති අතර පොදු සමාජීය හා පුණ්‍ය කටයුතුවලින් ජීවිතයට සැනසීම උදා කරයි. පිළිගැනීමක් කීර්තිමත් බවක් ඇතිවේ. හදිසි අනතුරු අසනීප ආදිය ද උද්ගත විය හැකි බැවින් අවදානම් වැඩවල නොයෙදී ප්‍රවේශම් වන්න. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට පිහිටක් වන්න.

සුබ අංක – 5, 6, 8 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – ව්‍යාපාර අංශවල දියුණුව

සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතයේ බොහොමයක් ගැටලු අවම විය හැකි සතියකි. ව්‍යාපාර අංශ දියුණු වේ. නව ව්‍යාපාර අරඹයි. පොදු කටයුතුවලදී කැපී පෙනෙයි. පැසසුම් ලබයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙයි. එහෙත් අසනීප අනතුරු හදිසියේ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපල අවම වීමට කුඩා දරුවන් ආරක්ෂා කර දෙන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – දූ දරුවන්ගේ ජයග්‍රහණ

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනය, විවාහය, රැකියා වැනි සියලු යහපත් බලාපොරොත්තුවලට සුබවාදී පිළිතුරු ලැබෙන සතියකි. සතුරු කරදර අවම වී ව්‍යාපාර ලාභ ලබයි. උසස් උගත් මිතුරන් මුණගැසේ. පූජ්‍ය පුණ්‍ය ස්ථානයේ සඳු ගමන් කරන බැවින් වෙනත් ලැබීම් ද පෙන්නුම් කරයි. අපල අවම වීමට සුදු, කහ මල් පූජා කරන්න.

සුබ අංක – 2, 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකිය. නවතා දමා තිබූ වැඩ නැවත පටන්ගන්නා සතියකි. මාපිය දූදරු බැඳීම් වඩා වර්ධනය වන බවක් පෙනෙන්නට ඇත. දේපළ උරුම නිරාකරණය කරගැනීමට පුළුවන. සතිය අවසානයේ අසනීප ගති පෙන්වයි. දරුවන්ගේ සියලු බලාපොරොත්තුවලට යහපත් ප්‍රතිඵල ලැබේ. අපල අවම වීමට ඉවසීම ප්‍රමාණවත් වේ.

සුබ අංක – 1, 4, 5 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – සහජ දක්ෂතා

සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා මතින් ඉදිරියට යන ගෙදර දොර කටයුතු ගෘහ ජීවිතය සාමකාමී වන සතියකි. මාපිය සොහොයුරු සබඳතා වැඩිදියුණු වේ. අතපසු වී තිබූ වැඩ නැවත ආරම්භ කරයි. රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. ඒවායින් ලාභ ප්‍රයෝජන ගත හැකි නිසා උනන්දු වන්න. ප්‍රසිද්ධිය ගෙන දෙයි. අපල අවම වීමට ආගමට නැඹුරුව කටයුතු කරන්න.

සුබ අංක – 2, 3, 5 / සුබ වර්ණ – සුදු, කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – ධන ලාභ

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. අතමිට සරු වන ලාභ ප්‍රයෝජන ගෙන දෙන සතියකි. ස්වයං රැකියා දියුණුව ගෙන දෙයි. සහජ දක්ෂතාවලින් කරගෙන යන ව්‍යාපාර ලාභ ලබයි. ඉදිරියට යාමේ ධෛර්ය ශක්තිය වචනයේ බලය උපදවයි. ආදරය කරුණාව අන්‍යයන්ගෙන් ලබන්නට වාසනාවන්ත වන මේ සතියේ ඔබට සැනසීම උදා කරයි. අපල අවම වීමට තිරිසන් සතුනට පක්ෂීන්ට ආහාර ජලය දෙන්න.

සුබ අංක – 1, 2, 4 / සුබ වර්ණ – ක්‍රීම්, සුදු / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා, සිකුරාදා

වෘශ්චික – උත්සාහයෙන් අරමුණු කරා

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ආරම්භයේ සිත් රිදීම්, කලකිරීම් ඇතිවිය හැකි බැවින් අන්‍යයන් සමඟ ගනුදෙනු සහ ඇසුරු කිරීමේදී බුද්ධිමත් වන්න. 3, 4 යන දිනවල දී තම උත්සාහයේ තරමට අරමුණු කරා ළඟාවේ. කෙසේ වෙතත් සතිය අවසන් වන විට සැනසීම ගෙන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ අසන්නට දකින්නට ලැබේ. අපල අවම වීමට කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 1, 2, 7, 9 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

ධනු – අතමිට මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය සුබදායී නොවිය හැකිය. සිත් රිදීම් නිෂ්ඵල ගමන් ඇතිවිය හැකි අතර විදෙස් ගමන් ද යෙදීමේ ඉඩකඩ ඇත. 3 වන 4 වන දිනවල ඔබ සිතන පතන අයුරින් වැඩ කටයුතු පල දරයි. අතමිට මිල මුදල් ගැවසේ. පොදු වැඩ සඳහා ආරාධනා ලැබේ. ගෞරවනීය පිළිගැනීමක් ඇතිවේ. අපල අවම වීමට බෝමළුව අමදින්න.

සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම්, කොළ, තැඹිලි / සුබ දවස් – බදාදා, ඉරිදා

මකර – ලැබීම් සහිතයි

සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ඔබට ඥාති හිතවත් සැම දෙනාගේම උදවු උපකාර හිමි වේ. ලැබෙන්නට තිබූ මුදලක් හෝ ලැබීමේ භාග්‍ය පවතී. උත්සාහය වික්‍රමය මතු කරයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවන දරුවන්ගේ කටයුතු යහපත් කරන සතියකි. විදෙස් ගමන් යෙදේ. පා ඇඟිලිවල අනතුරු ඇතිවිය හැකියි. අපල අවම වීමට නිල් මල් පූජා කර විෂ්ණු දෙවියනට පින් දෙන්න.

සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – බදාදා, සිකුරාදා

කුම්භ – රැකියා, ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ලැබීමේ ප්‍රවණතාවක් ඇත. බොහෝ ගනුදෙනුවලදී සිත් රිදීම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ පෙන්වයි. ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පල දරයි. අපල අවම වීමට රෝගීන්ට සත්කාර කරන්න.

සුබ අංක – 2, 3, 7 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – අඟහරුවාදා, බදාදා

මීන – පුණ්‍ය සිතුවිලි පල දරයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතුවලට මුල් තැනක් දෙන මේ සතියේ ඔබේ බොහොමයක් බලාපොරොත්තු ඉටුවේ. රැකියා, ව්‍යාපාර ලාභ ලබන අතර, ගෘහ ජීවිතය සතුටින් ගෙවන්නට හැකිවේ. ගෙදර දොර අතපසු වූ වැඩ යළි අරඹයි. දුවා දරුවන්ට ද යහපත්ය. දුර ගමන් වන්දනා ගමන් යෙදෙයි. අපල අවම වීමට බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්න

සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, සඳුදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division