පැබ්ලෝ නෙරූදා චිලී දේශයේ මහා කවියා ලෙස ලෝක ප්‍රකට ය. 1971 දී නෙරූදාට සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි විය. 1950 දී අන්තර්ජාතික සාම ත්‍යාගය ද, 1953 දී ලෙනින් සාම ත්‍යාගය ද පිරිනමනු ලැබ ඇත්තේ නෙරූදාට ය.
චිලී රටේ සැල්වදෝර් අයන්දේගේ සමාජවාදි ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස චිලී රට නියෝජනය කරමින් ඔහු ලෝකයේ බොහෝ රටවල සේවය කර තිබේ. ශ්‍රී ලංකාවේ චිලී තානාපතිවරයා ලෙස ද නෙරූදා කෙටි කාලයක් කටයුතු කර ඇත. ඔහුගේ ස්වයං ලිඛිත අපදාන කෘතියේ ඔහු කොළඹ ගත කළ ජීවිතය පිළිබඳ අත්දැකීම් සටහන් කර තිබේ. එම සත්‍ය තොරතුරු යුක්තිගරුක මිනිසුන්ගේ හදවත් කම්පා කරවන සුලුය. ඉන් ගම්‍ය වන්නේ අතීතයේ ආසියාවේ දිළිඳු රටවල මිනිස්සුන් ජීවිත තුට්ටුවට දමා යුරෝපීයයන් සැලකූ අන්දමයි.
නෙරූදා නවාතැන්ගෙන සිටි වැල්ලවත්තේ අල්බොරාදා නම් තානාපති නිල නිවෙසේ වැසිකිළි භාජනය රැගෙන යෑමට පැමිණෙන දමිළ යුවතියගේ රූපයෙන් වසඟ වූ නේරූදා ඇය නිඳන කාමරයට ගෙන ගොස් කෙලෙසූ අන්දම ඔහුගේ
ස්වයං ලිඛිත අපදානයේ විස්තර කර ඇත.
රාජතාන්ත්‍රික සේවාවට පැමිණ විදෙස් රටක තරුණියකට බලහත්කාරකමක් කරන්නට ඔහුට නීතියෙන් ඉඩක් ලැබුණේ කෙසේ ද? එය සිදු කරන්නට පමණක් නොව, සාඩම්බරයෙන් ලොවට කියන්න ද ඔහු පෙලඹී තිබේ. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පෙනී යන්නේ ලාංකේය සමාජය ධනයට හා බලයට යට වූ ඛේදජනක සියවසක් ගෙවා දැමූ අන්දම ය.
වත්තේ මහත්තයාගේ, වලව්වේ හාමුගේ කෙළිබඩුවක් බවට ගැමි දැරියන් පත් වෙද්දී එය ඉවසා දරා සිටින තැනට එදා මෙන්ම අද ද අපේ සමාජය පත්ව තිබේ. ‘පර සතු මල්’ චිත්‍රපටයේ බොනී මහත්තයා මැගීගේ සහ නොන්නේගේ කුසට දරුවන් දෙන විට එය අපරාධයක් සේ නොදැනෙන තරමට සමාජය නිර්වින්දනය වී තිබිණි. 1960-70 දශකවල ඇතැම් මන්ත්‍රීවරුන් ගම්බද තරුණියන්ට ගුරු, ලිපිකරු පත්වීම් දුන්නේ තානායම්වලට කැටුම යෑමෙන් පසුව බව ප්‍රසිද්ධ රහසකි.
මෙරට සාමාන්‍ය පුරවැසියන්ගේ දරුවන්ට මානව අයිතිවාසිකම් ඇති බවට බලය හිමි පන්තිය දැනුවත් කරන්නට අප ගෙවා ඇති මිල ඉතා අධික ය. එහෙත්, අදටත් අපට යුක්තිය දිනාගත නොහැකි වී තිබේ. නිදහසින් පසු අපේ ආණ්ඩු සම්මත කර ගත් දරුවන් රකින නීති අණ පනත්, පිහිටුවා ගෙන ඇති ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන, රැසකි. වර්තමාන ආණ්ඩුව බලයට පත් වන විට එකී බොහෝ රාජ්‍ය ආයතන අපරාධ මඬින බව ලෝකයට පෙන්නීමට එල්ලන ලද කඩතුරා පමණක් බවට පත් වී තිබිණි.
උතුරේත් දකුණේත් ඉෂාලිනී, විද්‍යා, සේයා සදෙව්මි වැනි දැරියන් පිළිබඳ සමාජය ම කම්පාවට පත් වන සිදුවීම් වරින් වර අසන්න සිදු වීම අප මුහුණ දෙන ඛේදවාචකයේ ම පැතිකඩකි. පසුගිය දිනවල වාර්තා වූයේ පාසල් වියේ දැරියන් මුහුණ දුන් අනතුරු ය. සරසවි සිසුවියක සියදිවි නසා ගත්තේ ගුරුවරුන්ගේ පීඩනය නිසා බව වාර්තා විය. විශ්වවිද්‍යාලයවල පමණක් නොව, ගමේ පාසල්වල ද සිදු වන නවකවධය ද රෝගි සමාජයේ ලක්ෂණයකි.
දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ළමා ආරක්ෂක හා කාන්තා කටයුතු අමාත්‍යාංශය භාරයේ පවතින ආයතන ගණනාවකි.
ඒ ආයතනවල නිදිගැට කඩා, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවදි කිරීම එම අමාත්‍යාංශය පවරාගෙන තිබේ. ඒ සඳහා පවතින නීති හා අණ-පනත් ප්‍රමාණවත් නොවේ නම් නව නීති සම්පාදනය ද ආණ්ඩුවේ වගකීමකි.
කෙසේ වෙතත්, කවර තත්ත්වයක් යටතේ වත් දරුවන්ගේ අත, අත නොහරින ලෙස අපි මවුපියන්ගෙන් ඉල්ලා සිටිමු.