වත්මන් දේශපාලනය සහ මේ වන විට රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ ‘සිළුමිණ’ කළ කතාබහකි.
ආයෝජන සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා තවත් ආයතන තිබියදී රජය පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීමට යන්නේ රජය සතු මේ ආයතන කිහිපය පෞද්ගලීකරණය කරලාද?
ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු තවත් ආයතන තිබෙනවා. එහෙත් රජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිත ආයතනය දැනටමත් පවතින ආයතනයක්. එමඟින් බලාපොරොත්තු වන්නේ මේ විවිධ ආයතන මඟින් සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය අවශ්‍ය කරන පහසුකම් සැපයීමයි. සමහර කටයුතු සිදු වන්නේ රාජ්‍ය අයතනවලින් පමණක් නොවෙයි. ඒ සඳහා පෞද්ගලික අංශයේද දායකත්වය ලබාගත යුතු වෙනවා. ඒ කටයුතු පහසු කරගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. විශේෂයෙන්ම ආයෝජන සඳහා මේ වන විට ඉල්ලීම් වැඩි වෙමින් පවතිනවා. ඒ කටයුතු විධිමත් කිරීම සඳහායි ආණ්ඩුව මේ නව ඒකකයක් පිහිටුවීමට කල්පනා කළේ. ඒ සඳහා ගත වන කාලය තුළ ඒ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ මේ ඒකකය බලාත්මක වෙනවා.
සේවා අවසන් කිරීමේ පනත සම්බන්ධයෙන් නොයෙක් පිරිස් විසින් විවිධ චෝදනා නඟමින් තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළොත්…
මේ පනත සමාලෝචනය සඳහා මේ වන විට කමිටුවක් පත් කර තිබෙනවා. කමිටුව අදාළ අන්තර්ගතය පිළිබඳ ඒ කමිටුව විසින් දැනුම් දීමෙන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට බඳුන් වෙන්නේ. ඒ නිසා ඊට ඇතුළත් කරන කරුණු හෝ ඉවත් කරන කරුණු සම්බන්ධයෙන් යමක් මේ අවස්ථාවේ පැවසිය නොහැකියි. මේ පනත සමාලෝචනය සඳහා අවශ්‍ය කමිටුව පත් කිරීමට මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
පොදු ප්‍රවාහනය නවීකරණය සඳහා මෙට්‍රෝ බස් රථ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔබ දන්නවා මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තත්ත්වය මොන වගේද කියලා. බොහෝ ඩිපෝ දුවන්නේ පාඩු සහිතව. ඒ නිසා අපි උත්සාහ කරන්නේ මේ ගේන මෙට්‍රෝ බස් වෙනම ඒකකයක් ලෙස රජය සතු සමාගමක් ලෙස පවත්වාගෙන යෑමටයි. ඒ අනුවයි මේ යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ. අප මෙමඟින් බලාපොරොත්තු වන්නේ බස් රථ සීයක් නවීකරණය මඟින් ධාවනයේ යෙදවීම නොවෙයි; මේ නියමු ව්‍යාපෘතිය යටතේ අලුත් බස් රථ සීයක් ගෙන්වා සේවයට එක් කිරීමටයි. මෙය මෙතනින් නවතින්නේ නෑ. මෙහි සාර්ථකත්වය මත ජනතාවට වඩාත් සුවපහසු ගමනාගමන සේවයක් සැලසීමට තවත් බස් රථ මේ සඳහා එක් කිරීමට අප බලාපොරොත්තු වනවා.
මේ සඳහා පෞද්ගලික බස් රථ යොමු කිරීමට අවස්ථාවක් සලසා දෙනවද?
දැනට එහෙම තීන්දුවක් ගෙන නැහැ. මුලින් මෙය ක්‍රියාත්මක කර බලනවා. එහි තිබෙන සාර්ථක අසාර්ථකභාවය මත පෞද්ගලික අංශයට මේ සඳහා අවස්ථාව සලසා දෙනවද නැද්ද කියන කාරණය ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. නියමු ව්‍යාපෘතියක් ලෙසයි මෙය මුලින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ.
උතුරු හා නැඟෙනහිර පළාත්වල ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් සඳහා ස්ථීර නිවාස පිරිනැමීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික් 8ක තවත් නිවාස 16,759ක් හදන්න යෝජනා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්…
අපට ලැබී තිබෙන සංඛ්‍යා දත්ත අනුව තමයි මේ නිවාස ප්‍රමාණය ඉදි කළ යුතු බව යෝජනා වී තිබෙන්නේ. ඒ අනුව ඒ නිවාස ඉදිකිරීම සඳහා කටයුතු කරනවා.
ත්‍රිපෝෂ ආනයනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙනවා. ඒ සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන බඩඉරිඟු දේශීයව ලබා නොගෙන, පිටරටින් ගෙන්වීමට යන්නේ ඇයි?
දැනට අවුරුදු දෙකහමාරක කාලයක් තිස්සේ වයස මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ත්‍රිපෝෂ දීමට හැකියාවක් ලැබී නැහැ. ඊට හේතු වී තිබෙන්නේ ඒ සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන බඩඉරිඟුවල අඩංගු ඇප්‍රොටොක්සීන් ප්‍රමාණය වැඩිවීමයි. ඒ බඩ ඉරිඟු යොදා ගෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. අපේ බඩඉරිඟු නෙළාගැනීමෙන් පසු ගබඩා කිරීමේ ප්‍රශ්න තිබෙනවා. ඒකට විකල්පයක් ලෙස ත්‍රිපෝෂ සමාගම නියමු ව්‍යාපෘතියක් ලෙස සහල්වලින් ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කළා. රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල බෙදාහැරීමේ කටයුතු සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම කිරි දෙන මවුවරුන් හා ගැබිනි මවුවරුන් සඳහා බඩඉරිඟු මිල දී ගනිමින් ත්‍රිපෝෂ යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් යනවා. එහෙත් ඒ ප්‍රමාණය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නැහැ. මේ පවතින අවශ්‍යතාව සැලකිල්ලට ගෙනයි, බඩඉරිඟු ගෙන්වීමට ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් තීන්දුවක් ගත්තේ. අපේ බඩඉරිඟු නිෂ්පාදනය වර්ධනය වෙලා නියමිත ප්‍රමිතියෙන් යුතුව සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අපට පුළුවන් ඇප්‍රොටොක්සීන් අඩු බඩඉරිඟු දේශීය ගොවීන්ගෙන් මිල දී ගන්න. ඒත් මේ වන විට පවතින ක්ෂණික අවශ්‍යතාව මත, ඒ සඳහා අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය ගෙන්වීමට අවසර දී තිබෙනවා.
ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මඟින් අග්‍රාමාත්‍යතුමිය ඉවත් කර ඔබ හෝ ඇමැති බිමල් රත්නායක හෝ අගමැති කරන්න යන බවට ප්‍රවෘත්තියක් සමාජගත වෙමින් තිබෙනවා. මෙහි සත්‍ය-අසත්‍යතාව කුමක්ද?
එය මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වගේම අසත්‍ය වාර්තාකරණයක්. අමාත්‍ය මණ්ඩල සංශෝධනය සඳහා හෝ අගමැතිනිය වෙනස් කිරීම සඳහා හෝ කිසිම සාකච්ඡාවක් හෝ යෝජනාවක් කැබිනට් මණ්ඩලය තුළ සිදු වී නෑ. මෙය අපේ විරුද්ධවාදීන් හෝ සමහර මධ්‍ය මඟින් අවධානය දිනාගැනීම සඳහා සිදු කරන ප්‍රචාරයක් වෙන්න පුළුවන්. මේ වන තෙක් කිසිම ආකාරයක කැබිණට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ අප සාකච්ඡා කර නෑ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද හියුමන් ඉමියුනොග්ලොබියුලින්වල ඖෂධීය ගුණාත්මකභාවය තහවුරු කිරීමත් සමඟ හිටපු අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල හිරේ ගිහින් ඉන්නේ බොරු චෝදනාවක් නිසා බව එක්තරා පෞද්ගලික මාධ්‍ය නාළිකාවක් මඟින් ප්‍රකාශ කළා. එය සත්‍යක්ද?
ඉමියුනොග්ලොබියුලින් ඖෂධය අප විටින් විට ආනයනය කරනවා. ඒ මෙම ඖෂධය අපේ රටේ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධයක් වන නිසා. ඒත් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වුණේ; ඉමියුනොග්ලොබියුලින් කියන ඖෂධීය නාමයෙන් යම් ඖෂධයක් මේ රටේදි හදලා අපේ රටේ රෝහල් පද්ධතියට එකතු කර තිබීම සම්බන්ධවයි. ඒක මේ වන විටත් පවතින නඩු කටයුත්තක්. ඒක එතනින් ඉවරයි.
මේ සිද්ධියෙන් පසුවත් අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගෙන මේ ඖෂධය රටට ගෙනාවා. ඊටත් පසුව ඉන්දියාවේ ඖෂධ සමාගමකින් ලංකාවේ පිළිගත් සැපයුම්කරුවකු මාර්ගයෙන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආවා. එය භාවිත කරන විට තැනක දෙකක යම් පැමිණිලි අප වෙත ලැබී තිබුණා. ඒ අනුව ඉතිරි වී තිබුණු තොගය භාවිත කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තාවකාලිකව නතර කර, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු විද්‍යාගාරයේ සහ ඉන්දීය විද්‍යාගාරයක මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කළා. ඒ වාර්තාව මත පදනම් වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් විසින් ඒ ඉමියුනොග්ලොබියුලින් තොගය යළි භාවිතයට ගන්න පුළුවන් කියලා නිර්දේශ කර තිබෙනවා. ඒ නිසා මෙය කෙහෙළිය රඹුක්වැල්ලට සම්බන්ධ ඉමියුනොග්ලොබියුලින් කතාවක් නෙමෙයි.
මෙවැනි අසත්‍ය පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
මාධ්‍ය වාර්තා කිරීමේදී ජාතික ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය වගේ සංවේදි විෂයන් වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතනවලටත්, පුරවැසියන්ටත් වගකීමක් තිබෙනවා. එහෙත් කනගාටුයි කියන්න: මේ මාධ්‍ය ආයතනය ඉතා පැහැදිලිවම කාගෙවත් වොයිස් කට් එකක් විදිහට නෙමෙයි, ඒ මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්තිය පළ කරන නිවේදකයාගේ කටින්ම ප්‍රකාශ කර තිබුණා: “එම ඖෂධ තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවරගත් අතර, එම ඖෂධ ගෙන්වා රෝගීන්ට ලබා දීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද නීතිය හමුවට රැගෙන එනු ලැබුවා. කෙසේ වෙතත් භාවිතයට නොගෙන ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින්වලින් කොටසක් යළි භාවිතයට ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් පියවරගෙන ඇති බව.” දැන් මේ කියන්නේ මොකක්ද? හිටපු අමාත්‍යවරයාට නීතිය හමුවට යන්න හේතු සාධක වෙච්ච ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් යළි භාවිතයට අවසර දුන්නයි කියන එකයි.
මේක නොදැන කළ වරදක් ලෙස මම හිතන්නේ නැහැ. මෙය පැහැදිලිවම වංචනිකව, ද්වේෂසහගතව මේ රටේ මහජන සෞඛ්‍යය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැට්ටවීම අරමුණු කරගෙන කරන ලද ප්‍රකාශයක් ලෙසයි මම දකින්නේ. මොකද: මේ වන තෙක් ඒ මාධ්‍ය ආයතනය එය තහවුරු කිරීමට කටයුතු කරනවා හැර ඔවුන් මෙය නිවැරදි කිරීමට පියවර ගෙන නැහැ. මේ වන විට මේ ප්‍රවෘත්තිය නිසා යම් මහජන කැලඹීමක් වික්ෂිප්තභාවයක් ඇති වී තිබෙනවා. ඒ වගේම, මේ මාධ්‍ය මඟින් පෝෂණය ලබන මහින්ද පතිරණ වගේ අය කෙහෙළිය රඹුක්වැල්ලට හිරේ යන්න සිද්ධ වුණ ඉමියුනොග්ලොබියුලින් තොගය මේ ආණ්ඩුව විසින් භාවිත කරන්න අවසර දුන්න කියලා සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබුණා. මේක පැහැදිලිවම මාධ්‍ය අවභාවිත කිරීමක් පමණක්ම නෙමෙයි; ඒ මාධ්‍ය සඳහා අවසර දීමේදී එකඟ වන මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් තබාගත යුතු විශ්වාසය පළුදු කිරීමක්. ඒ නිසා කරුණා කර ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න. ඒ කොහොම නමුත්, දැනුවත්ව මෙවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය කර ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි අදාළ නීති අංශ දැනුම්වත් කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොවන්න මහින්දානන්ද අලුත්ගමගේට මෙවැනි නඩු තීන්දුවක් නොදෙන බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ඔහු හිතනවා නම් කලින් පැවති ආණ්ඩුවකින් මෙවැනි නඩු තීන්දුවක් ලැබෙන එකක් නැහැ කියලා ඔහුට එහෙම කියන්න අයිතියක් තියෙවා. එහි වරදක් මා දකින්නේ නැහැ. මොකද: ඒ අය, ඒ ආණ්ඩුවල ඒ ආයතන භාර ඇමැතිවරුන් විදියට පත් කර තිබුණා. හර්ෂණ නානායක්කාර ඇමැතිවරයා ඔහුගේ පෞද්ගලික මතය ඒ විදිහට ප්‍රකාශ කර තිබෙනවා. එය අධිකරණයට ඇඟිලිගැසීමක් නෙමෙයි. මොකද: ආණ්ඩුවේ කාර්යභාරය මේ නීති කටයුතු සම්බන්ධයෙන් පහසුකම් සැපයීම පමණයි. අධිකරණ තීන්දුවක් දී තිබෙනවා. ඒ අධිකරණ තීන්දුව රටටත්, ජනතාවටත් හොඳයි.
ඒ වගේම මේ මොහොතේදී මේ දූෂිතයන්, වංචනිකයන්, හොරුන්, රටේ මහජන දේපළ හොරාකාපු අය නීතිය ඉදිරියට පැමිණවීම හා ඊට නීත්‍යනුකූලව දඬුවම් දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පවතින දේශපාලන අභිලාශයත් වැදගත්. නඩු කටයුතු හැමදාම සිදු වුණා වෙන්න පුළුවන්. එහෙත් අප විසින් රට හමුවේ තැබූ දේශපාලන අභිලාශයක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට, කැබිනට් මණ්ඩලයේ සිට අපේ ආණ්ඩුව ඉන්නේ මේ හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් කළ යුතුයි කියන දැඩි ස්ථාවරයේ. පහුගිය ආණ්ඩු කළේ මේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ අය ඒ ආයතනවලම ප්‍රධානීන් හෝ අමාත්‍යවරුන් ලෙස පත් කිරීමයි. ඉන් අධිකරණයට දෙන සිග්නල් එක මොකක්ද? දේශපාලන අධිකාරිය නායකත්වය හොරු ආරක්ෂා කරන පැත්තේ ඉන්නවා කියන එකයි. අප ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. ඉතින් ඒ ගැන අධිකරණ අමාත්‍යවරයාට සතුටක් ඇති වීම ස්වාභාවිකයි. එහි කිසිදු වරදක් නැහැ.