Home » සිංහල භාෂා විෂයක ජේ.බී. දිසානායක භූමිකාව

සිංහල භාෂා විෂයක ජේ.බී. දිසානායක භූමිකාව

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

සිංහල භාෂා අධ්‍යයනයට දිගු ඉතිහාසයක් පැවතියද නූතන භාෂා අධ්‍යයනයේ ආරම්භය ශ්‍රී ලංකාවේ යටත්විජිත යුගය ලෙස හැඳින්විය හැකිය. මේ අවධියේ දී ඉංග්‍රීසි ජාතික මිෂනාරීන් සිංහල භාෂාව හා ව්‍යාකරණය අධ්‍යයනයට ගත් ප්‍රයත්නය මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය. පාඨශාලා හා පිරිවෙන් අධ්‍යාපනයේ ඇති වූ වර්ධනයත් සමඟ සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනය සඳහා නව උනන්දුවක් දැකගත හැකි විය. විසිවැනි සියවසේ දී සිංහල භාෂා අධ්‍යයනයේ කැපීපෙනුණු සම්ප්‍රදාය තුනක් පැවතිණි. එනම්: පිරිවෙන් සම්ප්‍රදාය හෙවත් සාම්ප්‍රදායික ව්‍යාකරණ ශාස්ත්‍රය, ඓතිහාසික හා තුලනාත්මක භාෂා අධ්‍යයන සම්ප්‍රදාය හා නූතන වාග් විද්‍යාත්මක විමර්ශන යනුවෙනි.

තිහේ දශකය අවසානය පමණ වන විට සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ ආධිපත්‍යයක් හිමි කරගෙන තිබූ ඉහත සම්ප්‍රදාය ත්‍රයට ප්‍රධාන අභියෝගයක් එල්ල කළේ මුනිදාස කුමාරතුංග ය. විශේෂයෙන්ම සිංහල ව්‍යාකරණය පාලි හා සංස්කෘත ව්‍යාකරණ සම්ප්‍රදායයන්ගෙන් මුදාගෙන සිංහල භාෂාව ස්වාධීනව විග්‍රහ කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්නා දුන්නේය. ඒ සඳහා මතවාදි පදනමක් දැමීමටද ඔහුට හැකි විය. එහෙත් 1944 දී වයස අවුරුදු 56 පසු කරමින් සිටිය දී සිදු වූ ඔහුගේ අකල් මරණය හේතුවෙන් ඒ භාෂා විමර්ශන කටයුතු අඩපණ විය.

වර්ෂ 1942 දී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වීමත් සමඟ එහි ප්‍රාචීන භාෂා අධ්‍යයන අංශයේ වැදගත් අංගයක් වූයේ ඓතිහාසික හා තුලනාත්මක භාෂා විමර්ශනයයි. 1944 දී එහි සිංහල අධ්‍යයන අංශය ප්‍රාචීන භාෂා අංශයෙන් ස්වාධීන වූ අංශයක් බවට පත් වූ අතර, මහාචාර්ය එම්.ඩී. රත්නසූරිය ප්‍රථම සිංහල මහාචාර්යවරයා ලෙස පත් විය. ඔහුගේ ඇවෑමෙන් 1952 දී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය ධුරයට ඩී.ඊ. හෙට්ටිආරච්චි පත් වීම සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය.

සිංහල භාෂා අධ්‍යයනය හා ජේ.බි. දිසානායක

මේ ලිපියේ ප්‍රධාන අරමුණ පසුගිය අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ භූමිකාව සමාජ-වාග්විද්‍යාත්මක විමර්ශනයකට හසු කිරීමයි. සිංහල භාෂා විෂයකව සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක ඉටු කර ඇති මෙහෙය පහත සඳහන් අංශ යටතේ විමසුමට ලක් කළ හැකිය:

1. නූතන වාග්විද්‍යාත්මක පදනමක් සහිතව සිංහල භාෂාවේ ස්වභාවය හෙළි-පෙහෙළි කිරීම

2. සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර පෙන්නා දීම

3. නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනයට ප්‍රයත්න දැරීම

4. සිංහල ජනවහර රැස් කිරීමට හා විමර්ශනයට දැරූ වෑයම

5. සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් පොදුජන විඥානය පුළුල් කිරීම

සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයට සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ දායකත්වය ලැබීම ආරම්භ වූයේ 1960 දශකය අවසානයේ පමණ සිටය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සිංහල විශේෂ උපාධිය හැදෑරු ඔහු භාෂාව හා නූතන වාග්විද්‍යාව පිළිබඳ සිය අවධානය යොමු කරන්න වූයේ එවකට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දී නූතන වාග්විද්‍යාව හදාරා පැමිණ පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ නූතන වාග්විද්‍යාව ඉගැන්වූ ආචාර්ය ම.ව. සුගතපාල ද සිල්වාගේ බලපෑම නිසාය. සිය ප්‍රථම උපාධිය අවසන් කිරීමෙන් පසු 1961 දී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණු දිසානායක, 1963 දී ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යයත්වයක් ලැබ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

1960 දශකය නූතන වාග්විද්‍යාවේ සන්ධිස්ථානයක් සලකුණු කළ අවධියකි. අමෙරිකානු වාග්විද්‍යාඥ නෝම් චොම්ස්කිගේ අදහස් නිසා ඇති වූ ‘චෝම්ස්කියානු විප්ලවයත්’ (Chomskyan Revolution), අනෙක් අතට භාෂාව හා සමාජය පිළිබඳ අධ්‍යයන කෙරෙහි වාග්වේදීන්ගේ අවධානය යොමු වීම නිසා ප්‍රචලිත වූ ‘සමාජ වාග්විද්‍යාත්මක විමර්ශනයත්’ හැටේ දශකයේ බටහිර වාග්විද්‍යා චින්තනයේ නව නැම්මක් ඇති කළේය. මේ අවධියේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වීමේ අවස්ථාව ලැබූ දිසානායක, භාෂාවේ ව්‍යූහය හා සංස්ථිතිය අරබයා මයිකල් හැලිඩේ වැනි වාග්වේදීන් දැක්වූ අදහස්වල බලපෑමටද ලක් විය. මේ අනුව 60 දශකයේ දී අමෙරිකා හා බ්‍රිතාන්‍ය ගුරුකුල ද්වයෙන්ම වාග්විද්‍යාත්මක ශික්ෂණයක් ලැබීමේ වරම් ලැබූ දිසානායක ඒ දශකය අවසානයේ පමණ සිට ලංකාවේ වාග්විද්‍යා විෂයය ප්‍රචලිත කිරීමේ කාර්යය ඇරඹීය.

සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක සිංහල භාෂා අධ්‍යයන කෂේත්‍රයේ ස්වකීය දායකත්වය දැක්වීම ආරම්භ කළ 60 දශකයේ අග භාගය සිංහල භාෂා විෂයක මතවාද බහුල වූ අව‍ධියකි. තවද, මේ අවධිය වන විට පිරිවෙන්, විශ්වවිද්‍යාල හා හෙළ හවුල යනුවෙන් භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ මතවාදි වශයෙන් වෙනස් මත දරන ආයතන ත්‍රිත්වයක් බිහි වී තිබිණි. නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් භාෂා විෂයක ගැටලු සම්බන්ධයෙන් දැක්වූ උනන්දුව මේ අවධියේ කැපීපෙනුණු ලක්ෂණයකි.

නූතන වාග්විද්‍යාත්මක පදනමක් සහිතව සිංහල භාෂාවේ ස්වභාවය හෙළි-පෙහෙළි කිරීම

වර්ෂ 1969 දී ජේ.බී. දිසානායකගේ පළමු කෘතිය වන ‘භාෂාවක රටා සමුදාය’ නමැති ග්‍රන්ථය පළ වීම මෙරට භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. පිරිවෙන් ඇදුරන්ගේ සාම්ප්‍රදායික ව්‍යාකරණ ශාස්ත්‍රයෙන්ද හෙළ හවුලේ වියරණ ඇදුරන්ගේ අදහස්වලින්ද පරිබාහිරව, නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල භාෂාවේ රටා සමුදාය පැහැදිලි කිරීමටත්, භාෂාවේ ස්වභාවය පෙන්නා දීමටත් දැරූ උත්සාහයක් ඒ කෘතියේ පිළිබිඹු වේ. එමෙන්ම, වාග්විද්‍යාවේ ස්වභාවය සිංහල ව්‍යාකරණ ශාස්ත්‍රය හා සසඳමින් හඳුන්වා දීම සඳහා 1970 දී ‘භාෂාවක භාවිතය හා විග්‍රහය’ යන කෘතිය දිසානායක විසින් ලියා පළ කරනු ලැබීය. නූතන වාග්විද්‍යාත්මක පදනමක් සහිතව සිංහල භාෂාවේ ස්වභාවය හෙළි-පෙහෙළි කිරීම සඳහා ඔහු තුන්වනුව ලියූ පොත ‘සමකාලීන සිංහලය: ශබ්ද විචාරය’ (1973) යන කෘතියයි. සමකාලීන සිංහලයෙහි මුහුණුවර තත්ත්වාකාරයෙන් හඳුන්වා දෙනු පිණිස සම්පාදනය කරනු ලබන පොත් පෙළක පළමුවැන්න වශයෙන් පළ වූ එය සමකාලීන සිංහල භාෂණය පාදක කරගනිමින් සැපයූ ශබ්ද විචාරාත්මක විග්‍රහයකි.

සිංහල භාෂාව වාග්විද්‍යාත්මක විමර්ශනයකට හසු කරමින් සිංහලයෙන් පමණක් නොව, ඉංග්‍රීසියෙන්ද පතපොත ලිවීමට සම්මානිත මහාචාර්ය දිසානායක යොමු විය. සිංහල භාෂණයේ සංස්ථිතිය ඉංග්‍රීසි පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමේ අරමුණින් 1991 දී හෙතෙම ‘The Structure of Spoken Sinhala I: Sounds and Their Patterns’ යන ග්‍රන්ථය ලියා පළ කළේය; සිංහල භාෂාවේ ප්‍රභවය, සංස්ථිතිය, පරිණාමය හා විවිධත්වය ඉංග්‍රීසි පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා පරිච්ඡේද 25කින් හා පිටු 774කින් යුත් ග්‍රන්ථයක්ද ‘Encyclopedia of Sinhala Language and Culture’ (2012) නමින් සම්පාදනය කළේය. මෙයට අමතරව, නූතන වාග්විද්‍යාත්මක පදනමක් සහිතව සිංහල භාෂාවේ ස්වභාවය හෙළි-පෙහෙළි කිරීම සඳහා ඉංග්‍රීසි බසින් ලිපි ගණනාවක්ද ඔහු විසින් රචනා කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වෙනම වාග්විද්‍යා අධ්‍යයන අංශයක් 1968 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත වූ අවස්ථාවේ එහි ප්‍රථම අංශාධිපතිවරයා වූයේ ජේ.බී. දිසානායක ය. කෙසේ වුවද, 70 දශකයේ දී පමණ සිදු වූ විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් නිසා කොළඹ පැවැති වාග්විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයට ගෙන යනු ලැබීමෙන් පසු, ස්වාධීන විෂයයක් ලෙස වාග්විද්‍යාව ඉගැන්වීම එම විශ්වවිද්‍යාලයට පමණක් සීමා විය. ඉන් පසු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස ස්වකීය සේවා කාලයෙන් වැඩි කලක් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කිරීම නිසා වාග් විද්‍යාත්මක අධ්‍යයනවලට වඩා සිංහල භාෂාව හා ව්‍යාකරණය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූ බව පෙනේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරයකු ලෙස සිය වෘත්තීය සේවාව ඉටු කරමින්, නූතන වාග්විද්‍යාත්මක පදනමක් සහිතව සිංහල භාෂාවේ ස්වභාවය විද්‍යාර්ථින් වෙත හෙළි-පෙහෙළි කර දීම සඳහා දිසානායක හට ඉඩ ප්‍රස්තාවක් ලැබුණේ ප්‍රථම වර්ෂයේ පැවත්වූ ‘භාෂා ප්‍රවේශය’ මැයෙන් යුත් දේශන මාලාව නිසාය. වසර ගණනාවක් ඉහත දේශන මාලාව පැවත්වීමෙන් ලැබූ පරිචය සහිතව ඔහු 2005 දී ලියා පළ කළ ‘මානව භාෂා ප්‍රවේශය’ නමැති පොත සිංහල භාෂාව නූතන වාග්විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විවරණය කරන්නකි.

සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර පෙන්නා දීම

භාෂාවක යථා ස්වරූපය හඳුනාගැනීම වාග් විද්‍යාඥයන්ගේ මෙන්ම ව්‍යාකරණඥයන්ගේද අරමුණයි. සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ ජේ.බී. දිසානායකගේ භූමිකාවේ වඩාත් කැපීපෙනෙන අංශයක් වන්නේ සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර පෙන්නා දීම සඳහා ඔහු දැරූ ප්‍රයත්නයයි. සිංහල භාෂා විග්‍රහය සඳහා සමකාලීන සිංහලය පාදක කරගැනීම වියරණ ඇදුරන්ගේ විවේචනයට ලක් වූ නමුදු, සිංහල භාෂා ව්‍යවහාරය තත්ත්වානුකූල විග්‍රහයකට හසු කිරීම සඳහා ඔහු එහි වැදගත්කම පෙන්නා දුන්නේය. ‘සමකාලීන සිංහලය: ශබ්ද විචාරය’ (1973), ‘සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය1: ව්‍යාකරණ ප්‍රවේශය’ (1995), ‘සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය 2: සන්ධි විග්‍රහය’ (1996), ‘සිංහල භාෂාවේ නව මුහුණුවර’ (1996) යන කෘති මූලික වශයෙන්ම සමකාලීන සිංහලයේ විවිධ පැතිකඩ වාග්විද්‍යාත්මක පදනමකින් විවරණය සඳහා කැප වී ඇත.

සිංහල භාෂා ව්‍යවහාරය පරීක්ෂා කිරීමේ දී සමකාලීන සිංහලය විමසා බැලීම එකළ සිංහල භාෂා ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් විය. සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර වාග්විද්‍යාත්මක ප්‍රවේශයකින් ගවේෂණයට දිසානායක දැරූ වෑයම සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ නව සුසමාදර්ශයක් බවට පත් විය. එසේම, ‘ව්‍යාකරණය හුදෙක් ලේඛන ව්‍යවහාරයට පමණක් සීමා වූවකි’ යන මතවාදය සාම්ප්‍රදායික ව්‍යාකරණඥයන් විසින් පතුරුවා හරිනු ලැබූ අවධියක දී ඊට එරෙහිව ‘කථා ව්‍යවහාරයේද ව්‍යාකරණයක් පවතී’ යන අදහස පෙන්නා දීමට ඔහු උනන්දු විය.

නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනයට ප්‍රයත්න දැරීම

සිංහල වාග්වේදියකු වශයෙන් සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ භූමිකාව විමසීමේ දී කැපීපෙනෙන අංශයක් වන්නේ සිංහල ව්‍යාකරණය අරබයා ඔහුගේ මැදිහත් වීමයි. 1980 ගණන් වන තෙක්ම සිංහල ව්‍යාකරණය පිළිබඳ ග්‍රන්ථ ප්‍රධාන වශයෙන්ම සම්පාදනය වූයේ සිදත් සඟරා ආකෘතිය පදනම් කරගෙනය (1938 දී පළ වූ කුමාරතුංග මුනිදාසගේ ‘ව්‍යාකරණ විවරණය’ හැර). ව්‍යාකරණ ග්‍රන්ථකරණය සැබෑ ලෝකයෙන් පරිබාහිර වූ කාර්යයක් ලෙසත්, එය පුරාතන වූ ඡේක ව්‍යවහාරය පදනම් කරගත් කටයුත්තක් ලෙසත් සැලකිණි.

නූතන සිංහල ලේඛකයන්ගේ ව්‍යවහාරය හඳුනාගෙන, අප හා සමකාලීන සිංහලය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනය සඳහා ඉදිරිපත් වූ 1990 දී ‘නූතන සිංහල ලේඛන ව්‍යාකරණය 1: අක්ෂර වින්‍යාසය’ යන කෘතිය ලියා පළ කරමින් ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනයේ වැදගත්කම ඔහු පෙන්නා දුන්නේය. භාෂාවක් වෙනස් වේයැයි කීමෙන් අදහස් වන්නේ එහි ව්‍යාකරණයද වෙනස් වන බව පෙන්නා දුන් දිසානායක, ‘භාෂාවක ව්‍යාකරණය හෙළි-පෙහෙළි කරනු පිණිස සැපයෙන ව්‍යාකරණ ග්‍රන්ථද කලින් කලට වෙනස් විය යුතුය’ යන අදහස ව්‍යාප්ත කළේය.

නූතන සිංහලය අරබයා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමේ දී ව්‍යාකරණඥයන් අතර පවත්නා මතභේද කෙරෙහි අවධානය යොමු කළ හෙතෙම ව්‍යාකරණඥයන් අතර භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් පවත්නා මතභේද සමථයකට පත් කොටගත හැකි මාර්ගයක්ද පෙන්නා දුන්නේය; භාෂා ව්‍යවහාරයේ මතභේද පවතින විට එක් ව්‍යවහාරයක් පමණක් නිවැරදියැයි සලකාගෙන, අනෙක් ව්‍යවහාරය වැරදි සේ බැහැර කිරීම කිරීම වෙනුවට, ඒ ව්‍යවහාර දෙකම නිවැරදි සේ සලකා, ඉන් එකක් එක් රීතියකටද දෙවැන්න වෙනත් රීතියකටද අයත් ලෙස පිළිගැනීමේ වැදගත්කම පෙන්නා දුන්නේය.

භාෂාවක යථා ස්වරූපය හඳුනාගැනීමත් භාෂාවක් නිවැරදිව හසුරුවන ආකාරය දැනගැනීමත් සඳහා ව්‍යාකරණ ග්‍රන්ථ අවශ්‍ය බව පෙන්නා දුන් දිසානායක, සමකාලීන සිංහල ලේඛන ව්‍යවහාරය විමර්ශනය කරමින් 1995 දී ‘සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය 1: ව්‍යාකරණ ප්‍රවේශය’ නමැති ව්‍යාකරණ ග්‍රන්ථය සම්පාදනය කළේය. භාෂා විෂයක මතවාද හා විවේචන මධ්‍යයේ වුවද නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමේ ප්‍රයත්නයක යෙදුණු හේ 2000-2001 වකවානුවේ දී ‘බසක මහිම’ නමින් නව ව්‍යාකරණ පොත් පෙළක්ද සම්පාදනය කළේය. කාණ්ඩ 11කින් යුත් ඒ ‘බසක මහිම’ පොත් පෙළ පුළුල් විමසුමකට ලක් කිරීමෙන් නූතන සිංහලය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමට අවශ්‍ය නව ප්‍රවේශයක් ලැබිය හැකිය. බසක මහිම පොත් පෙළ සංශෝධනයට ලක් කරමින් ඔහු පසුව පළ කළ ‘සිංහල රීතිය’ පොත් පෙළ මඟින්ද සිංහල භාෂාවේ නව මුහුණුවර පෙන්නා දීමට උත්සාහ ගත්තේය.

සිංහල භාෂාවේ නව මුහුණුවර ව්‍යාකරණ ග්‍රන්ථ මාර්ගයෙන් හෙළි-පෙහෙළි කිරීමට අමතරව, පාඨශාලාවල දරුවන්ට සිංහල ඉගැන්වීමේ දී භාවිත කළ හැකි ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනයේ අවශ්‍යතාවද සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක පෙන්නා දුන්නේය. ඒ අනුව සිංහල භාෂාවේ නව මුහුණුවර දරුවන්ට සරලවද විධිමත්වද කියා දීමේ අරමුණින් ‘අකුරු මිහිර’ නමින් පොත් පෙළක් සම්පාදනය කළ හෙතෙම, එහි පළමුවැන්න 1995 දී නිකුත් කළේ අකුරු කියවන දරුවන්ගේ හෝඩි පොතක් වශයෙනි.

සිංහල ජන වහර රැස් කිරීමට හා විමර්ශනයට දැරූ වෑයම

සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ භාෂා අධ්‍යයන මෙහෙවර වඩාත් කැපීපෙනෙන්නේ සිංහල ජන වහර රැස් කිරීම හා විමර්ශනය සඳහා ඔහු දැක්වූ දායකත්වය නිසාය. සිංහල ශබ්දකෝෂ සම්පාදකයන් මෙන්ම භාෂාවේදීන්ද වියත් වහර පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වූ අවධියක පොදු ජනයා විසින් වහරට ගනු ලබන බස් වහර හැදෑරීමේ වැදගත්කම සම්මානිත මහාචාර්ය දිසානායක පෙන්නා දුන්නේය.

උපභාෂා අධ්‍යයනයේ අංගයක් වශයෙන් සිංහල ජන වහර රැස් කිරීම සඳහා 70 දශකයේ පමණ සිට විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු 1976 දී එම ගවේෂණවල ප්‍රතිඵල ‘සිංහල ජන වහර’ නමින් පළ කළේය. ජන වහරේ එන පද හා කියුම් එක් රැස් කොට පාඨක රුචිය වඩවාලන අයුරින් ඉදිරිපත් කිරීමේ ජනප්‍රිය ශෛලියක් මේ කෘතියෙන් හඳුන්වා දීම නිසා ජන වහර අරබයා පතපොත සම්පාදනය කරන ලේඛක පිරිසක්ද බිහි වූහ. කිසියම් සංස්කෘතියක නියම ස්වරූපය හඳුනාගැනීමට ඒ ජනතාවගේ ජන වහර විද්‍යාත්මකව හැදෑරීමේ වැදගත්කම පෙන්නා දුන් සම්මානිත මහාචාර්ය දිසානායක සිංහල ජන වහර අලළා පොත් කිහියක්ම රචනා කළේය. ඒ අතරින් ‘ගමක සුවඳ සිව් සිය ගවු ඇසේයා’ (1996), ‘හඬ වටා පද රටා’ (1996), ‘සියලඟ රූ සොබා’ ( 1998), ‘කිව්වම මොකද’ (1999), ‘උඩරට සිංහලය’ (2002) යන පොත් සිංහල පාඨකයන්ගේ විශේෂ අවධානයට ලක් විය. ලක්දිව විවිධ පළාත්වල ජන වහර රැස් කොට, ඒවා වඩාත් සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු ගත් උත්සාහය හේතුවෙන් ජන වහර පිළිබඳ සිංහල විද්‍යාර්ථින්ගේ වැඩි අවධානයක් යොමු වන්නට විය.

සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් පොදු ජන විඥානය පුළුල් කිරීම

සිංහල භාෂාව හා වාග් විද්‍යාව පිළිබඳ අදහස් පුළුල් පාඨක පිරිසක් අතරට ගෙන යෑමට සමත් වූ සන්නිවේදකයකු ලෙසද සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ භාෂා විෂයක භූමිකාව කැපීපෙනේ. භාෂා විෂයක කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔහු යොදාගත් සරල භාෂා ශෛලිය හේතුවෙන් භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ විශේෂ උනන්දුවක් නැති සාමාන්‍ය පාඨකයන් පවා ඔහුගේ ලිපිලේඛන කියවීමට යොමු වූ බව කිව යුතුය.

සිංහල භාෂා විෂයක ග්‍රන්ථ හා ලිපිලේඛන සම්පාදනය හැරුණු විට ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ භාෂාව පිළිබඳ අදහස් ප්‍රචලිත කිරීමටද සම්මානිත මහාචාර්ය දිසානායක යොමු විය. මේ අනුව මුද්‍රිත හා විදත් මාධ්‍ය මාර්ගයෙන් සිංහල භාෂාව අරබයා කරුණු සන්නිවේදනය කිරීමෙන් ඒ පිළිබඳ පොදුජන විඥානය පුළුල් කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. 1960-1970 දශකයේ පමණ සිට සිංහල-ඉංග්‍රීසි පුවත්පත්-සඟරාදියට භාෂාව පිළිබඳ ලිපි සැපයූ ලේඛකයකු වශයෙන්ද ගුවන්විදුලිය හා රූපවාහිනිය ඔස්සේ සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ තොරතුරු සැපයූ සන්නිවේදකයකු වශයෙන්ද සම්මානිත මහාචාර්ය දිසානායක චිර ප්‍රසිද්ධියක් ලබා ඇත.

සිංහල භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන ඉංග්‍රීසි පාඨකයන් වෙනුවෙන්ද පතපොත සම්පාදනය කළ විද්වතකු වශයෙන්ද සම්මානිත මහාචාර්ය දිසානායකගේ භාෂා විෂයක මෙහෙවර අගය කළ හැකිය. සිංහල භාෂාව ඉගෙනීමට කැමැත්තක් දක්වන විදේශිකයන් සඳහා ඔහු විසින් සම්පාදිත ‘Say it in Sinhala’ (1974) නමැති කෘතිය ඒ වර්ගයේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස දශක ගණනාවක් පුරා භාවිතයේ පවතී.

සිංහල භාෂාව සම්බන්ධයෙන් පසුගිය දශකවල පරිගණක තාක්ෂණ අංශයේ ඉස්මතු වූ ගැටලූ සඳහා ඉදිරිපත් වූ සිංහල භාෂාවේදියකු ලෙසද සම්මානිත මහාචාර්ය දිසානායක කටයුතු කර ඇත. 1997 වසරේ දී සිංහල හෝඩිය සඳහා යුනිකෝඩ් (Unicode) සම්මතය ලබා ගැනීමට අන්තර්ජාතික ප්‍රමිති සංවිධානය වෙත පරිගණක තාක්ෂණවේදීන් සමඟ යෝජනාවක් ඉදිරිපත් කළ හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ මහාචාර්ය වී.කේ. සමරනායක සමඟ එක්ව කටයුතු කරමින් පරිගණක ක්ෂේත්‍රය තුළ සිංහල භාෂාව භාවිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තේය.

ඉහත අපගේ සාකච්ඡාවට ලක් වූයේ පසුගිය අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ භූමිකාවය. සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ ඔහුගේ මෙහෙවර වඩාත් කැපීපෙනෙන්නේ සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර පෙන්නා දීම සඳහා ඔහු දැරූ ප්‍රයත්නය නිසාය. විශේෂයෙන්ම කුමාරතුංග මුනිදාසගෙන් පසු, අප හා සමකාලීන වූ සිංහලය අලළා නව ව්‍යාකරණයක් සම්පාදනයට ඉදිරිපත් වූ ව්‍යාකරණඥයා සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක ය. පසුගිය දශකවල දී සිංහල භාෂාව පිළිබඳ මාතෘකා සම්බන්ධයෙන් පොදු පාඨකයන්ගේ පවා අවධානය දිනාගත හැකි වන පරිදි සිංහල භාෂාව ජනප්‍රිය විෂයයක් බවට පත් කිරීමට ඔහුගේ පතපොත හා දේශන හේතු විය.

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා 
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division