Home » සාන්ත අන්තෝනි මුනිඳුන්ට සූර්යයාගෙන් හරසර

සාන්ත අන්තෝනි මුනිඳුන්ට සූර්යයාගෙන් හරසර

by Mahesh Lakehouse
June 7, 2025 12:29 am 0 comment
ජයසිරි ප්‍රනාන්දු

ක්දහස් නවසිය අනූවේ ජුනි 13 වැනිදා එවකට මා සේවය කළ ‘බොස් ට්‍රේඩර්’ නමැති අතිවිශාල වෙළෙඳ නෞකාව පෘතුගාලයේ ලිස්බන් නගරයේ ‘ලිස්බොවා’ වරායට පැමිණ මාස 3කුත් දවස් 13ක් ගතවී තිබිණි.

නැවේ අලුත්වැඩියා කටයුතු සඳහා ලිස්බස් වරායට පැමිණි අපේ නැව පුරා මාස 10ක්ම ලිස්බන් වරායේ නවතා තිබුණු අතර, නැවේ අලුත්වැඩියා කටයුතු භාරදී තිබුණේ පෘතුගාලයේ “ලිස්නාවි“ නැමති සුප්‍රසිද්ධ නාවික සමාගමකටය.

මේ වන විට එම නාවික සමාගමට අයත් පෘතුගීසි ජාතිකයන් 50ක් පමණ නැවේ සේවය කරමින් සිටි අතර, ඒ වන විට ඔවුන් නැවේ කාර්ය මණ්ඩලය සමඟ මිතුරු වී සිටියහ. පෘතුගීසි ජාතිකයෝ ශුද්ධ වු අන්තෝනි මුනිවරයාට ඉමහත් ආදරයක් ගෞරවයක් භක්තියක් දක්වති.

“සේ සාන්තා අන්තෝනියෝ ෆිස්ටා“ කියමින් නළලේ කුරුසිය ලකුණ සලකුණු කරමින් ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ මහා මංගල්‍යය වාර්ෂිකව සෑම ජුනි මසකම 13 වැනිදා පැවැත්වෙන බවත් එතුමාගේ දේවස්ථානය පිහිටියේ “සේ“ ප්‍රදේශයේ බවත් ඔවුහු අපට නිතරම මතක් කළහ.

ජුනි 13 වැනිදා උදෙන්ම මමත් නැවේ කාර්ය මණ්ඩලයට අයත් ක්ලෝඩ් වික්‍රමනායක, හයින්ස්වත් ප්‍රනාන්දු සහ ජෝර්ජ් පෙරේරාත් ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ දේවස්ථානයට ගියෙමු. සාන්ත අන්තෝනි කාසා “Santa Anthonio Casa“ පෘතුගීසි භාෂාවෙන් ලියන ලද දැන්වීම් පුවරුවක් එහි විය. එහි සිංහල තේරුම ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ නිවෙස යන්නයි.

එතුමාගේ උපන් නිවෙස මැදිකර දේවස්ථානය සාදා තිබිණි. එතැනම “මියුසියම් අන්තෝනියානෝ“ ඩී ලිස්බොවා “Museu Antoniano de Lisboa“ නමින් හැඳින්වෙන එතුමාගේ කෞතුකාගාරය විය. එතුමා ජීවත්ව සිටියදී පරිහරණය කළ සියලුම භාණ්ඩ ආයිත්තම් ඇඳුම් මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබිණි.

මංගල්‍යය දිනය බැවින් ඉතා විශාල ජනකායක් එහි රැස්වී සිටියහ. පල්ලිය ඉතා ලස්සනට සරසා තිබූ අතර, උදේ 8.00ට මංගල්‍ය මහා පූජාව ආරම්භ විය. පෘතුගීසි භාෂාවෙන් පැවැත්වුණ මෙම දේව මෙහෙයට යාච්ඤා කරමින් ගීතිකා ගයමින් සියලු දෙනා දැක්වු සාමූහික සහභාගිත්වය විශේෂත්වයක් විය. මහා පූජාවෙන් පසුව ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ ශුද්ධ වස්තු අඩංගු කර සාදා තිබූ කුරුසිය සිපාචාර කිරීමේ එම මහඟු අවස්ථාව අපට ද හිමි විය.

‘සොරෝලය’ නැතහොත් වීදි පෙරහර සංචාරය කිරීමට ජනතාව පෙළ ගැසෙමින් සිටියහ. ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ කුඩා ප්‍රමාණයේ සුරුවමක් සරසන ලද විවෘත රථයක තැන්පත් කිරීමෙන් පසුව පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කරන ලදී. බෑන්ඩ් කණ්ඩායම් කිහිපයක්ම එයට සහභාගි විය. පෙරහර එතුමා උපන් “සේ“ ප්‍රදේශය ආවරණය වන පරිදි වීදි සංචාරය කර නැවත දේවස්ථානයට ළඟා වෙමින් තිබිණි. දේවස්ථානය භාර පියතුමා වීදි සංචාරය කරන ලද රථයෙන් පිටතට සුරුවම රැගෙන රැස්ව සිටි මහජනතාව ආසිරි ගැන්වීය. ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් හඬින් දේවස්ථාන භූමිය පිරී ඉතිරි ගියේය.

ඉක්බිතිව පැවතියේ දැඩි නිශ්ශබ්දතාවකි. දහස් ගණනක් වු මහජනතාවගෙන් කිසිඳු හඬක් නොනැඟිණි. ආගන්තුකයන් වූ අප හතර දෙනාට මෙම දැඩි නිශ්ශබ්දතාව විමතියට කරුණක් විය.

මේ වන විට වේලාව දහවල් 2 පසු වී තිබිණ. සූර්යාගේ දැඩි හිරුරැස් දේවස්ථානය දෙසට එල්ල වෙමින් තිබිණි. දේවස්ථානය භාර පියතුමා විසින් ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ ආසිරි ගැන්වු සුරුවම රැගෙන ගොස් දේවස්ථානයට විරුද්ධ දිශාවෙන් වු ගල් කුලුනක් මත තැන්පත් කරන ලදී.

මුළුමහත් මහජනතාවම නිශ්ශබ්දවම සුරුවම දෙස බලා සිටියහ. සුර්යාගේ වෙනසක් සිදු වෙමින් තිබිණි. මෙතෙක් වේලා දේවස්ථානය දෙසට හැරී තිබුණ දැඩි හිරුරැස් දහරා සෙමෙන් සෙමෙන් සුරුවම දෙසට එල්ල විය. හිරු රැස් දහරාවෙන් සුරුවම දිලිසෙන්නට විය. සුරුවමට ඉහළින් වු අහසේ පියාසර කරමින් සිටි පරෙවියන් ද කලබලයට පත්ව ඒ මේ අත වේගයෙන් පියාසර කරමින් සුරුවමට ඉහළ අහසේම රැඳී සිටියහ.

රැස්ව සිටි ජනතාව අත්පුඩි ගසන්නටත් ප්‍රීතිඝෝෂා කරන්නටත් විය. වයෝවෘද්ධ කාන්තාවෝ කඳුළු වගුරවමින් හඬන්නටත් දෑත් අහසට ඔසවමින් යාච්ඤා කරන්නටත් වූහ.

මේ අවස්ථාවේදී තවත් දෙයක් සිදු වෙමින් තිබිණ. විශේෂයෙන්ම තරුණ තරුණියන් සිය අත්බෑග්වලින් කළුපාට වීදුරු කැබලි එළියට ගෙන ඒවා හිරු දෙසට එල්ල කරමින් හිරු දෙස බලන්නට විය. හිරු රැස් සැර අඩු වැඩි කරමින් විටෙක දේවස්ථානය දෙසටත් විටෙක සුරුවම දෙසටත් හිරු රැස් එල්ල විය. මේ සෑම අවස්ථාවකදීම මහජනකායගේ අත්පොළසන් හඬින් ප්‍රීති ඝෝෂාවලින් ලිස්බන් පුරවරය ගිගුම් දෙන්නට විය.

තරුණ තරුණියන් කළුපාට වීදුරු කැබලි ඔවුන්ගේ අත්බෑගයන් තුළ දමාගෙන මෙවන් දර්ශනයක් සඳහා කල්තියාම සූදානම්ව පැමිණීම අපට මහත් ප්‍රශ්නයක් විය. අප අවට සිටි තරුණ තරුණියන්ගෙන් අප ඒ ගැන විමසුවත් ඔවුන් පෘතුගීසි භාෂාවෙන් කී දේවල් අපට වැටහුණේ නැත.

මේ අවස්ථාවේදී ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි පෘතුගීසි ජාතිකයෙක් අර තරුණ තරුණියන් විසින් අප අසලට එව්වේය. අප ශ්‍රී ලංකාවෙන් පැමිණි බව කී විට ඔහු ඉමහත් සතුටට පත් විය. මෙතනදී සිදු වු සියලු දේ ඔහු අපට තේරුම් කර දුන්නේය.

සෑම වසරකම ජුනි 13 වැනිදා ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ මංගල්‍යය දිනවලදී සුර්යා විසින් එතුමාට ගෞරව ආචාර දැක්වීම නොකඩවාම සිදු කෙරෙන බවත් එය නැරඹීම සඳහාම මහජනතාව කල්තියාම සූදානම් වී පැමිණෙන බවත් ඔවුන් විසින් කළු වීදුරු කැබලි ගෙන එන්නේ ඒ අනුව බවත් අපට පැහැදිලි කර දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division