ජුනිචිරෝ තනිසාකි නම් ජපන් ලේඛකයාගේ The Tattooer නම් කෙටි කතාව මෙයට කලකට ඉහත මම කියවූයෙමි. එය මා වඩාත්ම කුතුහලයට හා සන්ත්‍රාසයට පත්කළ කෙටිකතා අතරින් එකක්ද වන්නේය. කේ. ජී. කරුණාතිලක සූරීන් විසින් “පච්ච කොටන්නා” නමින් එය සිංහල බසට ද පරිවර්තනය කර තිබේ.
මෑතකදී මා බස් රථයක යමින් සිටියදී මට නුදුරින් පැහැපත් පෙනුමැති තරණයකු ගමන් කරමින් සිටියේය. සිට ගෙන ගමන් කරන ඔහුගේ ගෙලෙහි මඳක් පහළින් තරමක් විශාල මකුළුවකු සිටිනවා දුටුවෙමි.
“පුතා ඔහොම ඉන්නැයි” කියා මම මකුළුවා ඇද දමන්නට ඔහුට ළංවිමි. මකුළුවා පැහැදිලිව දැක ගත හැකි වූයේ එවිටය. තරුණයාගේ ගෙලෙහි වූයේ මකුළුවකු නොව පච්ච කොටන ලද මකුළුවකුගේ සිත්තමකි. ඉතා ප්‍රසන්න අහිංසක පෙනුමක් ඇති තරුණයා අඬුපඬු විහිදාගත් මකුළුවකු ගෙලෙහි සිත්තම් කරගත්තේ ඇයි? ඔහු එයින් අපේක්ෂා කරන්නට ඇත්තේ කුමක්ද? යන්න එතැන් පටන් මගේ සිතට වද දෙන්නට වූයේය. සිත යට සැඟවී සිටි තනිසාකිගේ “පච්ච කොටන්නා”යළි එළියට පැමිණියේය. තනිසාකිගේ පච්ච කොටන්නා ලියන කාලයේ පච්චා කෙටීම දැඩි වේදනාකාරී රෞද්‍ර එකකි.
තනිසාකිගේ පච්චකොටන්නාගේ කතාව මෙසේය.
පච්ච කෙටීම පිළිබඳ අසාමාන්‍ය දක්‍ෂතාවක් දැක්වූ සෙයිකිචි නැමැති එක්තරා තරුණ පච්ච කොටන්නෙක් විය. සෙයිකිචි අසාමාන්‍ය කෞෂල්‍යයකින් හෙබි පච්ච කොටන්නෙකි. පිරිමින් රාශියකගේ සම් ඔහුගේ තෙලිතුඩෙන් සේද රෙදි බවට පත්ව තිබුණේය. සෙයිකිචි කීර්තියට පත්වූයේ ඔහුගේ කලාවේ අසමාන එඩිතර භාවයත් රාග නිශ්‍රිත සෞන්දර්යයත් හේතු කොටගෙනය.
මෙම තරුණ පච්ච කොටන්නාගේ හදවත පතුලෙහි කිසියම් අබිරහස් ආශාවක් සැඟවී පැවතුණි. මිනිසුන්ගේ ඉදිමුණු රතු පැහැති සමයෙහි ඉදිකටු ඇනෙන විට ඔවුන්ට දරන්නට සිදුවන දැඩි වේදනාව ඔහුගේ බලවත් සන්තෝෂයට හේතු වූයේය. ඔවුන්ගේ වේදනාත්මක කෙඳිරිය වැඩිවෙන්නට, වැඩි වෙන්නට, සෙයිකිචිගේ සන්තෝෂයද දියුණු තියුණු වී ගියේය. පච්ච කෙටීමට භාජනය වන මිනිසා වේදනාවෙන් මිරිකී කෑගසන විට, මිය යන්නට තනන එකකුමෙන් දත්මිටි කාගෙන මුව ඇද කරගන්නා විට හෙතෙම මෙසේ කීවේය.
“ළමයෙකු වගේ දඟලන්න එපා, ඉවසන්න පුරුදු වෙන්න, තවම ඔබට මගේ ඉදිකටු දැනෙන්නවත් පටන් ගෙන නෑ. ”
එසේ පවසන ඔහු අනතුරුව කිසිම කැළඹීමකින් තොරව කොටාගෙන යයි.
ඉනික්බිතිව වර්ණ මතුකරගනු සඳහා මිනිසා උණුසුම් දියෙහි බහාලනු ලබයි. ඉන් පිටතට ගන්නා ඔහු අඩපණව සෙයිකිචිගේ දෙපා මුල ඇද වැටෙයි. දීර්ඝ කාලයක් තිස්සේ සෙයිකිචිගේ සිතෙහි බලපෑ එක්තරා දැඩි අභිලාෂයක් විය. එනම් අතිශයින් රූමත් කාන්තාවකගේ සමෙහි අති විශිෂ්ට කලාත්මක නිර්මාණයක් කිරීමේ බලවත් ආශාවය.
ඔහු අදහස් කරගෙන සිටි අන්දමේ කාන්තාවක කෙරෙහි රූමත්කම මෙන්ම විවිධ චරිත ලක්ෂණ ද තිබිය යුතු විය. සුන්දර මුහුණකින් හා කඩවසම් සිරුරකින් පමණක් සෑහීමට පත්වීමට ඔහුට නොහැකි විය. නගරයේ විනෝදාගාරයන්හි සිටි රූ රැජනන් සියලු දෙනාම පරීක්ෂා කර බැලූ නමුදු ඔවුන් එකියක්වත් ඔහුගේ සිතෙහි වූ දැඩි නීති රීතිවලට නොගැළපුණේය. අවුරුදු ගණනාවක් ගතවුවද ඔහු ඔහුගේ පරිශ්‍රමය අත් නොහලේය. බලාපොරොත්තු සුන්කර නොගත්තේය.
පරිසමාප්ත රූමතියක් සෙවීම පටන් ගෙන හතර වැනි අවුරුද්දේ ග්‍රීස්ම සිතුවේ එක් සන්ධ්‍යාවක සෙයිකිචි පුනගාවා නගරයේ භෝජනාගාරයක් අසලින් ගමන් කළේය. මිනිසුන් විසින් උසුලා ගෙන යනු ලැබූ දෝලාවක තිර රෙදි යටින් කාන්තාවකගේ සුදෝ සුදු පාදයක් මෑත් වී තිබෙනු ඔහු දුටුවේය. ඒ මිනිස් පාදය ඒකාන්ත වශයෙන්ම පරිසමාප්තියට පත් වූවක් විය. අතිශය සියුම් ලෙස නෙළන ලද පා ඇඟිලිවලින්ද, දේදුණු පැහැ ගත් බෙලිකටු වැනි නියවලින් ද, මනාව වට වූ විළුඹකින්ද, කැලුම් විහිදවූ මේ පාදය සැබැවින්ම පිරිමින්ගේ ලෙයින් පෝෂණය කළ යුතු පාදයක් වූයේය. පිරිමින්ගේ සිරුරු පාගා මැඬීමට සෑදුනු පාදයක් වූයේය.
ඇගේ මුහුණ මොහොතකට හෝ දැක ගැනීමේ ආශාවෙන් මැඬුණු සෙයිකිච් එම දෝලාව පසුපස යන්නට වූ නමුත් පටු මං හා වීථි ගණනාවක් පසුකර වහ වහා ගිය දෝලාව අවසානයේ දර්ශන පථයෙන් ඉවත්ව නොපෙනී ගියේය. සෙයිකිචි තුළ පරිසමාප්ත රූමතියකගේ සමයෙහි අති විශිෂ්ට කලාත්මක නිර්මාණයක් බිහි කිරීමේ අභිලාෂය කෙමෙන් බලවත් අනුරාගයකට පරිවර්තනය විය.
ඊළඟ වසන්ත සෘතුවේ දිනක උදෑසන තම නිවසේ ආලින්දයේ සිටි සෙයිකිචිට වත්තේ ගේට්ටුව අසල කිසිවකු සිටින හඬ ඇසිණ. ටික වේලාවකින් වත්තේ කෙළවරින් මෑතට එන තරුණ කෙල්ලක ඔහු දුටුවේය. ඇය පැමිණ සිටියේ ඔහුගේ මිතුරියක වූ ගෙයිශාවකගේ සේද පොරෝනයක ලයින් අල්ලා ගැනීමටය.
ආලින්දයේ ඇය වාඩි කරවා ගත් සෙයිකිචි සුන්දර පාවහන් සඟලකින් වැසුණු ඇගේ මුදු මොළොක් සිඟිති පා යුගල පිරික්සීය.
“ගිය අවුරුද්දේ ජුනි මාසයේ ඔබ දෝලාවකින් මේ පෙදෙසින් ගමන් කළා නේදැයි ” ඔහු ඇගෙන් ඇසුවේය.
“තාත්තා ජීවත්ව සිටියදී අප දෝලාවල ගමන් කළා. දැන් ඔහු නැහැ.” ඇය කීවාය.
“මම අවුරුදු පහක් ඔබ වෙනුවෙන් බලා සිටියා. අද තමයි ඔබේ මුහුණ දුටු පළවෙනි වතාව. ඔබට පෙන්වන්න දෙයක් තියෙනවා, පොඩ්ඩක් එන්න ඇතුළට.”
ආපසු යෑමේ සූදානමින් සිටි තරුණියගේ අතින් අල්ලා ගත් පච්ච කොටන්නා ඇය උඩුමහලට කැටුව ගොස් අකුලන ලද විශාල චිත්‍රයක් ඇය ඉදිරියේ දිග හැරියේය.
එය ෂා රාජ වංශයේ කෲර චව් අධිරාජයාගේ බිසව වූ චීන කුමරියකගේ චිත්‍රයකි. ඇය ආලයජනක අනුරාගී ලීලාවකින් දෙතොල මත තබාගත් මිදි යුෂ කුසලානයක් සමඟ සඳළුතලයට බරව පහළින් උද්‍යානයේ කුලුනක බැඳ සිටින වදයට කැපකළ මිනිසකු දෙස බලා සිටින්නීය. කුමාරිකාවත් ඇගේ ගොදුරත් සජීවි ලෙස චිත්‍රයට නඟා තිබේ. එය අතිශයින් බිහිසුණුය.
“මේ භයංකාර චිත්‍රය ඔබ මට පෙන්වන්නේ ඇයි?”තරුණිය ප්‍රශ්න කළාය. ඇය සුදුමැළි වී සිටියාය.
“මෙහි සිටින්නේ ඔබයි. ඇගේ ලේ ඔබේ නහරවල ගමන් කරනවා.”
“අනේ ඔය චිත්‍රයේ ඉවතට ගන්න කියූ”
තරුණිය චිත්‍රයෙහි වූ අපේක්ෂාභංග කරවන මායාවෙන් ගැලවීමට ඊට පිටුපස හරවත්ම සැලෙන ගතින් යුතුව ඔහු ඉදිරියේ ඇද වැටුණාය. අත්වලින් මුහුණ වසා ගත් ඇය තමා බියපත්වී සිටින බවත් ආපසු යා යුතු බවත් යළි යළිත් කීවාය.
“නෑ ඔබ නවතින්න ඕනෑ. මම ඔබව නියම රූ රැජනක් කරනවා.” ඇයට වඩාත් සමීප වෙමින් ඔහු කීවේය. නිර්වින්දන ඖෂධ කුප්පියක් ඔහු අත විය. දොරවල් වසා දමා පච්චකෙටීමේ උපකරණ සූදානම් කරගත් සෙයිකිචි ඇගේ අතිශයින්ම අස්වාභාවිකවූත්, අතිශයින්ම අද්භූතජනක වූත්, සෞන්දර්යයෙන් මත් වූයේ ඇගේ සිරුර සිත් සේ ආස්වාදනය කරමින් වශීකෘත වූවකු සේ ඇය දෙස බලා සිටියේය. ප්‍රතිමාවක් බඳු ඇගේ මුහුණ දෙස බලා සිටීමෙන් කෙනකු කිසි කලෙක විඩාවට පත් නොවෙතැයි ඔහු සිතීය. තෙලිකූර තරයේ ගත් සෙයිකිචි එහි තුඩ තරුණියගේ පිටෙහි තවරමින් දකුණතින් ඉදිකටුවෙන් අනිමින් සටහන් කරන්නට පටන් ගත්තේය. ඇගේ සම වර්ණවත් කළ තද කළු සායම් සමඟ තමාගේ ජීවය කෙමෙන් සිඳී යනවා ඔහුට දැනුණේය. මන්දිරයට ඉහළින් සඳ නැඟ තිබියදීත් හේ තම කාර්යය මොහොතකටවත් නතර කළේ නැත. තරුණිය නින්දේ පසුවූවාය. ඇය සොයා පැමිණි පණිවිඩකරුට ඇය පැමිණි වේලාවේම ආපසු ගිය බව දන්වා හරවා යැවීය. ඉදිකටුවෙන් ඇගේ සමට වදින සෑම පහරක්ම තම හදවතට ඇන ගන්නා පහරක් සේ ඔහුට දැනිණ. කෙමෙන් කෙමෙන් කෙටීම් ලකුණු එක්වන කල චිත්‍රය විශාල කාල වර්ණ මකුළුවකුගේ ස්වරූපය ගන්නට විය. මේ බිහිසුණු අද්භූත සත්ත්වයා තරුණියගේ නිරුවත් පසුපස පෙදෙස මුළුමනින්ම වැලඳ ගැනීමට අඬු අටම දික්කර ගෙන සිටිනු දක්නා ලද්දේය.
තරුණියගේ දෙතොලින් සිහින් කෙඳිරීමක් පිටවූ අතර, සෙමෙන් ඇයට සිහිය එන්නට පටන් ගත්තේය. ඇය හෙළූ සුසුමක් පාසා සිරුර වෙව්ලා ගිය අතර එසේ සිරුර වෙව්ලා ගිය සෑම වතාවක් පාසාම මකුළුවාගේ අඬු ජීවමාන ආකාරයෙන් චංචල විය.