Home » ට්‍රම්ප්ගේ අවුල්සහගත ගෝලීය වෙළෙඳ සැලසුම්වලට නීතිමය අභියෝග

ට්‍රම්ප්ගේ අවුල්සහගත ගෝලීය වෙළෙඳ සැලසුම්වලට නීතිමය අභියෝග

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment
විජය දිසානායක

නාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආනයනික බදු නීති විරෝධී බව ප්‍රකාශ කරමින් එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය තීන්දුවක් ලබා දීමෙන් දිනකට පසු එරට ෆෙඩරල් අභියාචනාධිකරණයක් ජනාධිපතිවරයාගේ ආනයනික බදු තාවකාලිකව නැවත ස්ථාපිත කර ඇත.

පහළ උසාවියේ තීන්දුව තාවකාලිකව අවහිර කළ අභියාචනාධිකරණය, පැමිණිලිකරුවන්ට ප්‍රතිචාර දැක්වීමට ජුනි 5 වැනිදා දක්වා පමණක් කල් ලබා දී තිබේ.

අභියාචනාධිකරණයේ තීරණය ධවල මන්දිරයේ පැසසුමට ලක්ව තිබේ. “අප තීරුබදු නඩු පරාජය වුවද, අපට වෙනත් මාර්ගයක් සොයාගත හැකි යැයි ඔබට උපකල්පනය කළ හැකිය,” වෙළෙඳ උපදේශක පීටර් නවරෝ පැවසීය.

බදාදා දිනයේදී, එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය ලබාදුන් මවිතය දනවනසුලු තීන්දුව, අමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ හවුල්කරුවන් ඉලක්ක කරගනිමින් පනවන ලද ට්‍රම්ප්ගේ “විමුක්ති දින” තීරු බදු මෙන්ම කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවල භාණ්ඩ සඳහා වූ ආනයනික බදු ද නැවැත්වීමට හෝ ප්‍රමාද කිරීමට නියෝග කොට තිබිණි.

ජාතික ණය පියවීමට වඩා ජාතික හදිසි අවස්ථා ගැටලු විසඳීම සඳහා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත International Emergency Economic Powers Act (IEEPA) යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද තීරුබදු සීමාව ඉක්මවා යාමක් බව ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය පැවසීය.

අභියාචනාධිකරණය ලබා දුන් සහනය තාවකාලික අස්වැසිල්ලක් වුවද, බදාදා තීන්දුව ට්‍රම්ප් පාලනයේ ආර්ථික න්‍යාය පත්‍රයට එල්ල කෙරුණු මරු පහරක් ලෙස සැලකේ. ජනාධිපතිවරයාගේ ආර්ථික ජාතිකවාදය පෙරටු කොටගත් බදු ප්‍රතිපත්තිය එරට පාරිභෝගික විශ්වාසය බිඳ වැටීමට සහ අමෙරිකා එක්සත් ජනපදයට තම ඉහළම ණය ශ්‍රේණිගත කිරීම අහිමි වීමට ද හේතු වී තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණයේ තීන්දුව සහ අභියාචනය මඟින් ඇති කරන ලද නැවුම් අවිනිශ්චිතතාව ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අවුල් සහගත කර ඇත. ඒ අනුව විශේෂඥයන්ගේ අදහස වනුයේ අවසානයේදී ට්‍රම්ප්ට තම තීරුබදු හකුළා ගැනීමට සිදුවන බවය.

තමන්ට එරෙහිව පනවන ලද තීරුබදු අඩු කරගැනීමේ උත්සාහයක නිරත විවිධ ජාතීන් 18 කට වැඩි සංඛ්‍යාවක් සමඟ සිදු වෙමින් පවතින වෙළෙඳ සාකච්ඡා ද මේ වන විට අර්බුදයට ලක්ව පවතී. තවදුරටත් සාකච්ඡා කරනවාද නැතහොත් අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් බලා සිටිනවාද යන්න එම රටවල් තීරණය කළ යුතුය.

ට්‍රම්ප් පරිපාලනයට තවදුරටත් තීරුබදු පැනවිය හැකි වෙනත් යන්ත්‍රණ පවතින නමුත් ඒවාට පැනවිය හැකි ප්‍රමාණය පිළිබඳ සීමාවන් පවතී. එමෙන්ම ඊට අදාළ ක්‍රියාවලීන් අවසන් වීමට මාස කිහිපයක් හෝ ඇතැම් විට වසර ගණනාවක් ගත විය හැකිය. මෙය ට්‍රම්ප් වඩාත් ප්‍රිය කරන සාකච්ඡා ක්‍රමවේදයට, එනම් දැඩි තර්ජන ගර්ජන සිදු කොට ප්‍රතිවාදියා බියගැන්වීම සහ සහනයක් ලැබුණු පසු හකුළා ගැනීම, අර්බුදයට ලක් කරයි.

ට්‍රම්ප්ගේ බදු තර්ජනය සම්බන්ධව යුරෝපයේ එකඟතාව නම් තමන්ට දැන් ඇත්තේ විකල්ප දෙකක් පමණක් බවය. එනම්, එක්කෝ වොෂින්ටනය සමඟ වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කොට එකඟතාවකට පැමිණිය යුතුය, නැතහොත් වොෂින්ටනයට එරෙහිව එකට එක කළ යුතුය.

කෙසේ වෙතත් මෙය විදේශ සබඳතා පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සාමාජිකාවක් වන අගතේ ඩෙමරයිස් පෙන්වා දෙන අන්දමට තුන්වැනි සහ ඇතැම් විට වඩා හොඳ විකල්පයක් නොසලකා හැරීමකි. එනම්, චීනය කළාක් මෙන් ට්‍රම්ප්ගේ තර්ජන නොසලකා හැරීමයි.

ඩෙමරයිස්ට අනුව, සාකච්ඡා මඟට පිවිසීම සහ පළිගැනීමේ උපාය මාර්ග දෙකෙහිම දෝෂ ගණනාවක් පවතී. මෙය තරමක් පැහැදිලි කරගත යුතුය.

උදාහරණයක් ලෙස, සාකච්ඡා ප්‍රවේශය තෝරා ගතහොත් අවසානයේදී ගිවිසුමක් අත්සන් කිරීමට නම් යුරෝපා සංගමය එක්සත් ජනපදයේ සැබෑ වුවමනා එපාකම් කවරේදැයි දැනගත යුතුය. නමුත් ගැටලුව නම් ට්‍රම්ප් යුරෝපයෙන් සැබෑ ලෙසින්ම අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිවකුට හෝඩුවාවක් හෝ නොමැති වීමය. වත්මන් උපකල්පනවලට අනුව, වැට් බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, යුරෝපා සංගමය අමෙරිකා එක්සත් ජනපදයෙන් වැඩි එල්එන්ජී ගෑස් ප්‍රමාණයක් ලබා ගැනීමට එකඟ වීම, යුද උපකරණ ආනයනය වැඩි කිරීමට පොරොන්දු වීම සහ චීන ආර්ථිකයෙන් තවදුරටත් විසන්ධි කිරීමට ප්‍රතිඥා දීම හෝ මේ සියල්ලට මුළුමනින්ම වෙනත් දෙයක් විය හැකිය.

වොෂින්ටනයේ ඉල්ලීම් වටා ඇති මෙම අස්ඵූට බව සාකච්ඡාමය ක්‍රියාවලියේ තවත් පැහැදිලි ගැටලුවක් ඉස්මතු කරයි. එනම්, ට්‍රම්ප් මිත්‍ර පාක්ෂිකයන් සහ සතුරන් යන දෙපාර්ශ්වයටම හිරිහැර කිරීමට කැමති බවක් පෙන්වීමය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යම් හෙයකින් ගිවිසුමක් අත්සන් කළද, ට්‍රම්ප්ට ඕනෑම මොහොතක ඉන් බැහැරව යමින් තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.

එකට එක කිරීමේ ප්‍රවේශය ද එතරම් ප්‍රායෝගික වූවක් නොවන බැව් පෙනේ. ට්‍රම්ප්ගේ ආනයනික බදුවල බර අවසාන විනිශ්චයේදී දරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපද සමාගම් සහ පාරිභෝගිකයන් විසිනි. එනම්, ඒවා එක්සත් ජනපද ආනයන සඳහා පැනවෙන බද්දකි. අමෙරිකානු භාණ්ඩවලට එරෙහිව බදු පනවා තමන්ගේම ආර්ථිකයන්ට දඬුවම් කරගැනීමට යුරෝපා සංගමයට අවශ්‍යතාවක් නොමැත.

ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ එක්සත් ජනපද ආර්ථිකයට හානි කිරීමට නම්, ඔහුට එසේ කරගත හැකිය. නමුත් යුරෝපා සංගමයට ද එය අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත.

ඊට අමතරව යුරෝපා සංගමයට අයත් රටවල් 27 අතර එකට එක කිරීමේ, එනම් පළිගැනීමේ පැකේජයක් පිළිබඳ එකඟතාවක් ගොඩනඟා ගැනීම බෙහෙවින් අසීරු කර්තව්‍යයකි. එවැනි ප්‍රයත්නයක් යුරෝපා සංගමය තුළ බෙදීම් තවදුරටත් තීව්‍ර කරනු නිසැකය. එක්සත් ජනපදයෙන් තම ආනයනවලින් විශාල ප්‍රමාණයක් මිලදී ගනු ලබන යුරෝපා සංගමයට අයත් බෙල්ජියම, ප්‍රංශය, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල් පළිගැනීමේ ප්‍රවේශය තම රටවල උද්ධමනය අවුළුවාලිය හැකි යැයි කනස්සල්ලට පත්ව සිටී. මේ අතර, ජර්මනිය සහ ඉතාලිය වැනි ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් ලෙස එක්සත් ජනපදය මත විශ්වාසය තබන සමාගම් විශාල සංඛ්‍යාවක් ඇති රටවල් වෙළෙඳ යුද්ධය අනපේක්ෂිත උත්සන්න කිරීමට බිය වනු නිසැකය.

“තීරුබදු” යනු ශබ්දකෝෂයේ ඇති ලස්සනම වචනය බවත් වෙළෙඳ යුද්ධ පහසුවෙන් ජයගත හැකි බවත් ට්‍රම්ප් සැබවින්ම විශ්වාස කරන්නේ නම්, යුරෝපා සංගමය එකට එක වශයෙන් කුමක් කළද, ට්‍රම්ප් ඉන් නොනවතිනු ඇත. චීන සමාගම් එක්සත් ජනපදයට කෙරෙන අපනයන සඳහා සියයට 145ක තීරුබදු පැනවීමේ අභියෝගයට මුහුණ පා සිටියේ මීට සති කිහිපයකට පෙරය.

යුරෝපා සංගමයට මේ ආනයනික බදු තර්ජනයට මුහුණදීමෙහිලා චීනය ආදර්ශයට ගත හැකිය. චීනය ට්‍රම්ප් පාලනය සමඟ මෑතකදී කළ ගනුදෙනුවලින් ගත හැකි පාඩම නම්, අමෙරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන නොසලකා හැරීම වඩා හොඳ විකල්පය විය හැකි බවය.

මේ දිනවල එක්සත් ජනපද වෙළෙඳ ප්‍රතිපත්තියට සම්බන්ධ සෑම දෙයකම පාහේ අවිනිශ්චිතතාවක් පවතී. අප්‍රේල් මස මුලදී මුල්වරට ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු ට්‍රම්ප් තම ලෝක ව්‍යාප්ත “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රියාත්මක කිරීම කල් දැමීය. මැයි මස මැද භාගයේදී වෙළෙඳ සටන් විරාමයකට එකඟ වෙමින් චීනය සමඟ ගැටුමේදී මුලින්ම පසුබැස්සේ ඔහුය.‍

ට්‍රම්ප් එසේ කළේ මන්දැයි කිසිවකු නිශ්චිතව නොදන්නා නමුත් පෞද්ගලික සමාගම්වල දැඩි බලපෑම් සහ එක්සත් ජනපද මූල්‍ය වෙළෙඳපොළවල ඇති වූ අවුල්සහගත තත්ත්වය ට්‍රම්ප්ට තම තීරණය වෙනස් කිරීමට බලපෑවේය. යුරෝපා සංගමයට එරෙහි ඔහුගේ තීරුබදු තර්ජන ඉදිරියට ගෙන යන්නේ නම් ට්‍රම්ප්ට ඒ හා සමාන තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. යුරෝපා සංගමය එක්සත් ජනපද ආනයනවල විශාලතම ප්‍රභවය වන අතර, 2024දී අ‍ෙමරිකානු සමාගම් සහ පාරිභෝගිකයන්ට ඩොලර් බිලියන 606ක් වටිනා භාණ්ඩ එම සංගමය විසින් සපයා ඇත. එය ප්‍රමාණයෙන් ගත් කල චීනයට වඩා තුනෙන් එකකින් පමණ වැඩිය.

සරලව කිවහොත් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් යුරෝපා සංගමයට ගත හැකි හොඳම විකල්පය නම් ඒවා නොසලකා හැරීමය. මෙයින් ලැබෙන අමතර ප්‍රතිලාභයක් නම්, ‍යුරෝපා සංගමයේ එවැනි තීරණයක් අනෙකුත් ආර්ථිකයන් ද එසේ කිරීමට පොලඹවාලනු ඇත. ට්‍රම්ප් දෙවැනි ධුර කාලය නිම වීමට තවත් වසර තුනහමාරක් ඉතිරිව තිබියදී, එවැනි පූර්වාදර්ශයක් තැබීම මුළුමනින්ම නරක අදහසක් නොවිය හැකිය.

සියලුම ප්‍රකෝප කිරීම් සඳහා ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නොවේ – ඇතැම් විට කිසිවක් නොකිරීම ද ධෛර්‍යය පෙන්වීමක් වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division