Home » සුපිරි බලවතුන්ගේ බල අරගලයට මැදි වූ ආක්ටික්

සුපිරි බලවතුන්ගේ බල අරගලයට මැදි වූ ආක්ටික්

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment

මොස්කව්, බෙයිජිං මෙන්ම වොෂින්ටනය ද වත්මන් ගෝලීය පර්යාය තුළ ස්වකීය යුදමය, ආරක්ෂකමය හා ආර්ථිකමය අරමුණු ආක්ටික් සාගර කලාපය වෙත වඩ වඩාත් ව්‍යාප්ත කිරීමක් ඉතා සුපැහැදිලිව දිස් වන බව මැයි 24 දා අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ලොව සුපිරි බලවතුන් වූ එක්සත් ජනපදය, රුසියාව මෙන්ම චීනයද මේ අරබයා කැපීපෙනෙන භූමිකාවක් නිරූපණය කරන අතර, මේ ඔස්සේ ආක්ටික් කලාපයට බලපෑමක් වීමකට සුවිශාල ඉඩක් ඇති බව රාජ්‍යතාන්ත්‍රිකව විග්‍රහ වී ඇත.

ආක්ටික් කලාපය වැදගත් ඇයි?

අන්තර්ජාතික සබඳතා පර්යාය තුළ මෙන්ම ගෝලීය අරමුණු පෙරදැරි කොටගෙනද ලෝකයේ බලවත් රාජ්‍ය ආක්ටික් කලාපය වෙත නැඹුරු වූයේ, අදක ඊයෙක නොවේ. ආක්ටික් කලාපය එහි උපායමාර්ගික පිහිටීම, ස්වාභාවික සම්පත්වල අනූනත්වය හා හිමිකම හා පොහොසත්භාවය එයට ඇති උපරිම ඉඩකඩ හේතුවෙන් සුපිරි බලවතුන් අතර භූ-දේශපාලනික තරගයකට මැදි වූ කලාපයක් බවට පත් වී ඇත. එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් ආක්ටික් කලාපයේ පිහිටි විශාලතම දූපත වූ ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට සැරසෙන්නේ මන්ද? එහි ඇති ස්වාභාවික සම්පත්වල අවශ්‍යතාව හා උපායමාර්ගික ආරක්ෂක අභිලාෂයන් මත පිහිටා නොවේද? ඇත්ත වශයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇරඹි දිගුකාලීන සාමය (Long term peace) කඩකරමින් ලෝක රාජ්‍යයන් බහුධ්‍රැවීය ලෝක ක්‍රමයකට (Multipolar world system) ප්‍රවේශ වීම ගෙන දුන්නේ ගෝලීය රාජ්‍යයන් අතර තරගකාරිත්වය, බල තණ්හාව පෙරදැරි කරගත් සාමය කඩ වීමේ වටපිටාවකි.

ආක්ටික් කලාපයද මේ වන විට භූ දේශපාලනික තරගය වර්ධනය වන්නා වූත් වර්තමාන ගෝලීය අර්බුද මතු කරගැනීමට සුපිරි බලවතුන් භාවිත කරන්නා වූත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකයන් විස්තර කරන්නේ එබැවිනි.

මෙතෙක් අනාවරණය නොවූ තෙල් හා ගෑස් යන බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත සම්පත්වලින් හෙබි ආක්ටික් කලාපය පවතින වත්මන් ලෝක ක්‍රමය තුළ නිදැල්ලේ හැරීමකට ලක් වූවා නම් එය ඉතා විස්මිතය. ඒ මන්ද යත්: ආක්ටික්හි විශාලතම දූපත වූ ග්‍රීන්ලන්තය මේ වන විටත් භූ දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බැවිනි.

මොස්කව්හි ආක්ටික් අභිලාෂයන්

රුසියාව, ඉතා දිගු කලක පටන්ම උපායමාර්ගික, සමාජ – ආර්ථික හා භූ-දේශපාලනික අභිලාෂයන් ආක්ටික් කලාපයේ ව්‍යාප්ත කිරීමේ දැඩි අභිප්‍රායක පෙරදැරි කරගත් රාජ්‍යයකි. රුසියාවේ භූගෝලීය පිහිටීමද අනුව එරට ආක්ටික් සාගර කලාපීය මුහුදු තීරය සමඟ සැතපුම් 22,900කට එපිට දුරකින් ඒකාබද්ධ වන අතර රුසියානු ජනතාව මිලියන 2.5ක් පමණ ආක්ටික් සාගර කලාපයේ වාසය කරන අතර, එහි රැකියාවල නියුක්ත බවද විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. ඊට අමතරව රුසියාව ඔවුන්ගේ සාගර පදනම් කරගත් න්‍යෂ්ටික ආරක්ෂක වැඩපිළිවෙළ හා හමුදා කඳවුරු ගණනාවක්ම ආක්ටික්හි ස්ථාපිත කර ඇත්තේ ආරක්ෂක හා යුදමය උපායමාර්ගික ප්‍රවේශයන් පදනම් කරගනිමින් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ආක්ටික් උදෙසා වූ හිටපු යුරෝපීය සංගම් තානාපති වූ මාරි ඈන් කොන්ඉන්ස්ක් ප්‍රකාශ කර ඇත්තේ, ඇත්ත වශයෙන්ම රුසියාවට, ආක්ටික් භූමිය ඉතා තීරණාත්මක උපායමාර්ගික අභිලාෂයන්ගෙන් හෙබි ස්ථානයක් බවට පත්ව ඇති බවයි යන්න විස්තර වී ඇත.

ඇත්ත වශයෙන්ම ඝනීභවනය වූ හිමතට්ටුවලින් වට වූ ආක්ටික් කලාපය, සුපිරි බලවතුන්ගේ ප්‍රමුඛතම අභිලාෂයන් අතරට එක් වූයේ මන්දැයි ඔබ විමසනු ඇත.

නිසැකයෙන්ම ආක්ටික්හි පිහිටීම හා එහි ප්‍රවේශතාව කොතරම් වැදගත්ද හා තීරණාත්මකද යත්: මේ කලාපය යුදමය ක්‍රියාකාරිත්වයන්, ස්ථානගත කිරීම් මෙන්ම මෙහෙයුම් අතින් රුසියාව හා එක්සත් ජනපදය අතර තරගකාරිත්වයක් මෙන්ම උපායමාර්ගික ඝට්ටනයක් පවා නිර්මාණය වීමට හේතු වන තීරණාත්මක කලාපයක් බවට පත්ව ඇති ආකාරය වත්මන් ගෝලීය නොසන්සුන්තාව හමුවේ මනාව සාක්ෂාත් වී ඇත.

චීනයේ ආක්ටික් අභිලාෂයන්

චීනයේ ආක්ටික් අභිලාෂයන්වලට පදනම වෙළෙඳාම පිළිබඳ උපායමාර්ගික අරමුණු ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති අතර, ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනයට ආක්ටික් කලාපය උපායමාර්ගිකව ඉතා වැදගත් කලාපයක් බව විස්තර වී ඇත. ඒ ‘Polar Silk Road’ යන වෙළෙඳ මාර්ගික සන්දර්භය තුළයි. එනම්: ආක්ටික් කලාපයේ පිහිටි උතුරු මුහුදු මාර්ගය ඔස්සේ, ආසියාව හා යුරෝපය අතර කෙටිම වෙළෙඳ හුවමාරු මාර්ගයක් නිර්මාණය කරගනිමිනි. අනෙක් සුවිශේෂ කරුණ වන්නේ, චීනය ඔවුන්ගේ විද්‍යාත්මක පර්යේෂණ උදෙසා ඉතා සුවිශාල දායකත්වයක් ආක්ටික් කලාපය ප්‍රයෝජනයට ගනිමින් සිදු කරන බැවිනි.

ඇති බව පැවසුව හොත් ඔබ මා සමඟ එකඟ වනු නොඅනුමානය. චීනයේ ආක්ටික්, අභිලාෂයන් බහුවිධ ස්වරූපයක් ගන්නා අතර, ආර්ථික භූ-දේශපාලනික විද්‍යාත්මක හා උපයාමාර්ගික යන සියලු තත්ත්වයන්හි මනා සංයෝගයක් බව නිර්මිත යථාර්ථය වේ. ගෝලීය වශයෙන් චීනයේ වර්ධනය වෙමින් පවතින බලවත්භාවය තුළ චීන නායකයන් ආක්ටික් කලාපය දකිනු ලබන්නේ, ලෝකය වෙත වඩ වඩාත් ළං වීමට ඇති හරස් මාර්ගයක් ලෙසයි.

ආක්ටික් කලාපය, උත්තර ධ්‍රැවයෙන් වට වී ඇති අතර ආක්ටික් සාගරය හා මහාද්වීප කීපයකම උතුරු කොටස්වලින් වට වූ භූගෝලීය පිහිටීමක් පෙන්නුම් කර ඇත. සාමාන්‍යයෙන් ආක්ටික් කලාපය හඳුන්වනු ලබන්නේ, ආක්ටික් වෘත්තයෙහි ප්‍රදේශයක් ලෙස වන අතර, ආක්ටික් කලාපය සමකයට අංශක 66.5ක උතුරින් පිහිටා ඇත. ආක්ටික් කලාපයේ කැනඩාවේ කොටසක්, එක්සත් ජනපදයේ (ඇලස්කාව) රුසියාව, නෝර්වේ, ස්වීඩන්, ග්‍රීන්ලන්තය හා අයිස්ලන්තය අඩංගුව ඇත. මේ භූගෝලීය පිහිටීම තුළ රුසියාවට හා එක්සත් ජනපදයට සුපිරි බලවතුන්ගේ භූමිකාව අබියස ආක්ටික් කලාපය කෙතරම් තීරණාත්මක බාධකයක්ද යන්න ඔබට වැටහෙනු ඇත.

ආක්ටික් හා වත්මන් ගෝලීය දෝලන

ඇත්ත වශයෙන්ම මේ වසරේ මාර්තු පටන්ම ආක්ටික්හි භූ දේශපාලනික නොසන්සුන්තාවක් බටහිර බලවතුන් වෙතින් පැනනැඟුණු නමුදු රුසියානු ජනපති පුටීන් ප්‍රකාශ කර ඇත්තේ, බටහිර සමඟ තමන් ආර්ථික සහයෝගිතාවක් පවත්වා ගැනීමට තමා අදහස් කරන බවයි. ඇත්ත වශයෙන්ම ජනපති ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට සූදානම් වීමත් සමඟ රුසියානු ජනපති පුටීන් ඒ උදෙසා ප්‍රතිචාර දැක්වූයේ ආක්ටික්හි රුසියානු හමුදාමය ශක්‍යතා වර්ධනය කිරීමෙනි. මෙහිදී ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු ස්වෛරිත්වය හා රුසියානු ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීම උදෙසා ඔවුන් කිසිවකුට ඉඩක් නොතබන බවයි.

මීට සමගාමීව, රුසියාව ආක්ටික්හි සෝවියට් කඳවුරු නැවත විවෘත කිරීම හා රුසියානු නාවික හමුදාව නවීකරණය කිරීම කඩිනමින් සිදු කරනු ලැබීය.

පී.ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division